Monday, 18 January 2021

ගෙවන්නෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් ද?

තමන්ගේ අම්මගෙ අප්පගෙ බූදලේ වියදම් කරමින් දේශපාලනය කළ කාලයක් තිබුණේ 1977ට කලින් ය. දේශපාලනය යනු යම් පමණකට ගෞරවාර්හ යමක් ව තිබුණේ ද එකල ය. වමේ ද දකුණේ ද බහුතරයක් දේශපාලනයට පිවිසුණේ නිස්සරණාධ්‍යාශයෙනි. තියෙන එකක් වියදම් කර කීර්තිය පමණක් උපයා ගන්නට ය. 1978 න් පසුව තත්වය සහමුලින් ම නොපිටට පෙරැළුණු අතර දේශපාලනයට පිවිසුණේ හම් කරන්නට ය. ක්‍රමිකව එකී විකාශනය මේ වන විට රාජ්‍ය පාලනයේ ද දැවැන්ත විකෘතියක් බවට පත් ව තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණුවලට කිසිසේත් ම නොපෑහෙන මුදල් ඇති මැරබලය සහ වාචාලකම ඇතියවුන්ගෙන් රාජ්‍ය පාලනය පිරී ගොස් තිබීමෙන් රට කුණු වී දුඟද හමන තත්වයක් ඇතිවී තිබේ.

යහපාලනය ගෙන එන බව කියමින් ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මුල් කාලීන මාධ්‍ය සංදර්ශනවල දී පෙන්වූයේ ඔහු ඉතා ම සරල කෙනෙකු බවයි. ගෙදරින් කෑම එක පවා ගෙනැවිත් අනුභව කරන බවයි. එහෙත් යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ඔහු දැනට පදිංචිව සිටින මන්දිරය ඉල්ලා සිටි අතර එය ලබා දෙන්නට යෙදුණි. ආසන්නත ම සිදුවීම වශයෙන් ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර ජනාධිපති කාර්ය මණ්ඩලයට බඳවා ගන්නා ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ම තැටිය රත් වූ වෙලාවේ තමන්ගේ රොටිය ද පුච්චා ගැනීමට අමාත්‍ය වජිර අබේවර්ධන ද අමාත්‍ය කාර්යමණ්ඩලවල සේවකයන් ස්ථිර කරන්නැයි තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මේ කාර්ය මණ්ඩල වනාහි අදාළ පුද්ගලයාගේ හෙංචයියන් සහ සට්ටැඹිරාළලාගෙන් සමන්විත වන්නේ බව රහසක් නොවේ. මේ පිරිස මෙසේ ස්ථිර කිරීමේ බරත් දැරිය යුතු වන්නේ දැනට සියලු බර දරමින් සිටිනා මහජනතාව ය. මේ කිසිවකට වන්දි ගෙවන්නට සිදුවන්නේ උක්ත පිරිසගේ අම්මාගේ අප්පාගේ බූදලයෙන් නොවේ. ජනතාවගේ බදු මුදලිනි. ඔවුන්ගේ හත් මුතු පරම්පරාවකට නම් බූදලයක් නිර්මාණය කරගෙන තිබෙන බව තොරතුරු පිරික්සා බැලීමෙන් දැනගත හැකි ය.

ප්‍රියංකර

වම් ඉවුරේ වෙබ් නාදය