2020 ජනවාරියේ සිට ලොව පුර ව්යාප්තවන්නාවූ කොවිඩ්-19 නම් මාරාන්තික වසංගතය මිනිස් වර්ගයාගේ සෞඛ්‍යයට, සාමයට සහ සංවර්ධනයට එල්ලවූ ප්‍රබල, බරපතල සහ හදිසි ගෝලීය අභියෝගයක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතාගේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මේ වසංගත තත්ත්වය ලෝක ජනතාවගේ සාමුහික ප්‍රයත්නයකින්, සහයෝගීතාවයකින් හා දැඩි වගකීමකින් මැඩලිය යුතු වසංගතයක් බවත් මෙම වසංගතයෙන් ජීවිත අහිමිවූ මෙන්ම ජීවිත තර්ජනයෙන් පීඩනයට සහ වේදනාවට පත්ව ඇති සියලු පවුල්වලට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ බලවත් සංවේගය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කරයි. ජීවිත ආරක්ෂා කරලීමට කැපවීමෙන් මෙහෙයක් ඉටුකරන සියලු පාර්ශ්වයන්ට පක්ෂයේ සහ ජාතියේ ගෞරවය හිමිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදිය.
කොවිඩ් - 19 සහ එහි ගෝලීය හා දේශීය බලපෑම පිළිබඳ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය
2020 ජනවාරියේ සිට ලොව පුර ව්යාප්තවන්නාවූ කොවිඩ්-19 නම් මාරාන්තික වසංගතය මිනිස් වර්ගයාගේ සෞඛ්‍යයට, සාමයට සහ සංවර්ධනයට එල්ලවූ ප්‍රබල, බරපතල සහ හදිසි ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අදහස් කරන ආකාරයට, එය ලෝක ජනතාවගේ සාමුහික ප්‍රයත්නයකින්, සහයෝගීතාවයකින් හා දැඩි වගකීමකින් මැඩලිය යුතු වසංගතයකි.
මෙම වසංගතයෙන් ජීවිත අහිමිවූ මෙන්ම ජීවිත තර්ජනයෙන් පීඩනයට සහ වේදනාවට පත්ව ඇති සියලු පවුල්වලට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු. ජීවිත ආරක්ෂා කරලීමට කැපවීමෙන් මෙහෙයක් ඉටුකරන සියලු පාර්ශ්වයන්ට අපේ ගෞරවය පුද කරමු.
මෙම මාරාන්තික වසංගතයට පළමුවෙන්ම මුහුණ දුන්නේ චීන ජනතාවයි. එතෙක් හරිහැටි හඳුනා නොගත් නව වෛරසය කෙටිකාලයක් තුළ මැඩලීමත්, තම රට තුළ ව්‍යාප්තවීම වළක්වාලීමට ඔවුන්ට හැකිවීමත් පිළිගතයුතු සත්‍යයකි. එමගින්, මිනිස් සංහතියම දැවැන්ත ව්‍යසනයකට ලක්වීමකට තිබූ ඉඩකඩ අවමවී තිබේ. මිනිස් ජීවිත අහිමි කරගනිමින් සහ ජාතික ආර්ථිකය පසුබැසීමට මුහුණදෙමින් සිටියදීම, තමන්ට ලැබුණු පළමු අවස්ථාවේදීම තම සහෝදර රටවල ජනතාව ආරක්ෂාකරලීමට මැදිහත්වීමට චීනය ගන්නා උත්සාහය අපි ඉහලින් අගයකරමු. එම වසංගතය මැඩලීමට අවශ්‍ය උපදෙස්, සැලසුම් සහ උපායමාර්ග සපයමින් සහෝදර රටවල් සවිමත් කිරීමද අගය කලයුතුවේ. පසුබැස්වීමට ලක්වූ චීන ආර්ථිකය යළි පණගැන්වීමට හැකිවීම සහ මිත්‍ර රටවලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ පහසුකම් සැපයීමට ඉදිරිපත්වීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මහත්සේ අගය කරයි. ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ, සෙසු මිත්‍ර රටවලට තම උපදෙස්, අත්දැකීම් සහ ආධාර ලබාදීමට නොපැකිලව ඉදිරිපත්වෙමින් චීනය, කියුබාව, වියට්නාමය සහ රුසියාව දැක්වූ ජාත්‍යන්තර සහෝදරත්වය අපි අගය කරමු.
කොවිඩ් - 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමටත් පෙර එවැනි තත්ත්වයකට මුහුණදීමට පෙර සුදානම්වීමක් වශයෙන්, ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් මුලිකත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය සතුට සහ ඇගයීම ප්‍රකාශ කර සිටී. එමගින්, වෛරසය මැඩලීමට අවශ්‍ය සැලසුම් සහ උපයමාර්ගද සකස්කර ගැනීමට අවස්ථාව ලැබිණි. එම කාර්යයේදී, විද්‍යාත්මක සහ වෘත්තීමය ප්‍රජාවගෙන් උපදෙස් ලබාගැනීමේ ආදර්ශමත් හා බුද්ධිමත් තීරණය අප මහත්සේ අගය කරමු. උපාය මාර්ග සකස්කිරීමේදී, පොදු ජනතාවගේ අවශ්‍යතා සහ ගැටළුවලට ප්‍රමුඛත්වය ලබාදීමද සතුටට කරුණකි. මෙම කාර්යභාරයේදී, වෛද්‍යවරු ඇතුළත් සෙසු සෞඛ්‍ය සේවා නිලධාරීන්, ආරක්ෂක සේවාවන් සහ සෙසු රාජ්‍ය සේවාවන් විසින් කැපවීමෙන් ඉටුකරන මෙහෙය අපි කෘතවේදීව අගය කර සිටිමු.
මෙවැනි අභියෝගයකට මුහුණදීමේදී ශ්‍රී ලංකාව සතු ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ මුල්‍ය ක්ෂේත්රයෙහි ස්ථාවර රාජ්‍ය අංශය බෙහෙවින් උපකාරීවන බව අපි තේරුම් ගතයුතුය. මෙම තත්වය උදාකරදුන් වැඩ කරන පන්තිය අපි සිහිපත් කලයුතුය. නවලිබරල්වාදයෙන් ඒවා රැකගැනීමට ඔවුන් එඩිතරව අරගල කළ බවද වටහා ගත යුතුය. මෙම වසංගතයේ වත්මන් අත්දැකීම්වලින් අනාවරණය වන්නේ නවලිබරල්වාදයේ සමාජ විරෝධී සහ පරපුටු ස්වභාවයයි. ලොව පුරා අර්බුදයට පත්ව ඇති නවලිබරල්වාදයට එරෙහි ඉදිරි අරගලයේදී, කොවිඩ්-19 වසංගතයෙන් උගත් පාඩම් අපට මග පෙන්වනු ඇත.
පශ්චාත් කොවිඩ්-19 ගෝලීය වර්ධනයන් ලෝක ආර්ථිකය ප්‍රබල පසුබැස්මකට මග පාදනු ඇත. එය, 2008 ගෝලීය මුල්‍ය අර්බුදයන්හි අත්දුටු පසුබැස්මට වඩා ප්‍රබල විය හැකිය. එමගින් වැඩකරන ජනතාව ඛේදවාචකයකට පත්කරනු ඇත. ඒ තුළින් ආර්ථික ප්‍රතිපත්ති සහ උපයමාර්ගයන්ගේ ප්‍රබල වෙනසක අවශ්‍යතාවය පැන නගිනු ඇත. එහිදී වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍යවනු ඇත.
කොවිඩ් - 19 ට එරෙහිව රජය ගෙනයන අරගලයට සිය පුර්ණ සහයෝගය පළ කරන ලෙස මෙරටේ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආයාචනය කර සිටී.