ජයන්ත වැලිවිට
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා ඉතිරි යටත් විජිතයන් බිඳ වැටීම ආරම්භ විය. යුරෝපීය ලෝක ආධිපත්‍යය ගිලිහෙන්නට විය. එය නැවත ගොඩ නගා ගැනීමේ උපාය මාර්ගික මාවතට ඇමරිකාවද ප්රමුඛ කර ගනිමින් යුරෝපය පැමිණියහ. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහකයා සෝවියට් සංගමය විය. යුද්ධයක් අවසානයේ ඉහළම වාර්තාගත අහිමිවීම් ලොවට එක් කළේ දෙවන ලෝක යුද්ධයෙනි. මිනිස් ජීවිත පමණක් මිලියන 50කට වඩා ලොවට අහිමි විය. එයින් මිලියන තිහක්ම අහිමි කර ගත්තේ සෝවියට් සංගමයයි. හිට්ලර්ගේ ෆැසිස්ට් ආක්‍රමණය පැරදවීමට සෝවියට්වරු තම ජීවිත කැප කළේය.
අහිමි වන ලෝක ආධිපත්‍ය රැකගැනීම සඳහා හා කොමියුනිස්ට්වාදයේ අනතුරෙන් උතුරු අත්ලාන්තික් රටවල් ආරක්ෂා කිරීම සඳහා වූ තීරණයකින් 1949 දී බටහිර රටවල් ප්රමුඛ ඇමරිකාව නේටෝව බිහිකළහ. නේටෝව යනු ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි.’ නේටෝව යනු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල සන්ධානයයි. නේටෝවේ අරමුණ සඳහන් වන්නේ දේශපාලන හා මිලිටරි මාර්ග හරහා එහි සාමාජිකයන්ගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීමයි. දේශපාලන වශයෙන්, ප්රජාතන්ත්රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කරමින් ගැටළු විසඳීමට, විශ්වාසය ගොඩ නගා ගැනීමේ සහ දිගුකාලීනව ගැටුම් වළක්වා ගැනීමට ආරක්ෂාව සහ ආරක්ෂාව සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට සාමාජිකයන්ට හැකියාව ලබාදේ. මිලිටරි වශයෙන් නේටෝව ආරවුල් සාමකාමීව විසඳීමට කැප වී සිටී යැයි පවසයි. රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් අසාර්ථක වුවහොත්, අර්බුද කළමනාකරණය මෙහෙයුම් සිදුකිරීමට එයට හමුදා බලය ඇත.
මේවා නේටෝවේ ආරම්භක ගිවිසුමේ සාමූහික ආරක්ෂක වගන්තිය යටතේ, වොෂින්ටන් ගිවිසුමේ 05 වැනි වගන්තිය යටතේ හෝ එක්සත් ජාතින්ගේ වරමක් යටතේ තනිව හෝ වෙනත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සහයෝගයෙන් සිදු කෙරේ.
නේටෝ සංවිධානය එහි සාමාජිකයන්ගෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එරෙහි ප්‍රහාරයක් සිදුවේ නම්, එය එහි සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ලැබේ යන මූලධර්මයට කැපවී සිටී යයි පැවසේ. වොෂින්ටන් ගිවිසුමේ 05 වැනි වගන්තියේ සඳහන් වන සාමූහික ආරක්ෂාවේ මූලධර්මය ලෙස හඳුන්වන්නේද මෙයයි.
මේ වන විට, 05 වැනි වගන්තිය එක් වරක් ක්‍රියාත්මක කරමින් 2001 එක්සත් ජනපද 9/11 ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් රටවලට කළ විනාශය සොයා බැලිය හැක.
දෙවන ලෝක යුද්ධයෙන් පසු, සෝවියට් සංගමය ප්රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතියට එරෙහිව ‘ශීතල යුද්ධයක්’ පවත්වා ගැනීමට නේටෝවේ දායකත්වය ලැබිණ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය පුරා ඇතිකළ යුද්ධයන්හී 80%කට වඩා ඇමරිකාව හෝ නේටෝවේ සාමාජිකයින් පෙරමුණ ගෙන ඇත. විශේෂයෙන් 9/11 සිදුවීමෙන් පසු සිදුකළ, රටවල්වලට පහරදීම් නිසා, වසර 20ක් ගතවූවද, වින්ධිත රටවලට දේශපාලන හෝ ආර්ථික වශයෙන් ගොඩ ඒමට හැකි වී නොමැත. රටවල් කැබලිවලට සුණු විසුණු වී ගොස් ඇත.
රටවල් 18කින් ආරම්භ කරන නේටෝව, 1990 දශකයේ මුල් භාගයේදි සෝවියට් සංගමය ප්රමුඛ සමාජවාදී නැගෙනහිර යුරෝපීය රටවල් බිඳ වැටීමෙන් පසු, 1999 සිට එම රාජ්‍යයන් එක්කර ගැනීමට ආරම්භ කෙරිණ. එය 1991දී බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර හා බටහිර ජර්මනිය එක්සත් කරද්දි, යළි එක්සත් ජර්මනියේ ‘අගලක්වත් නැගෙනහිර දෙසට’ ව්‍යාප්ත නොකරන බවට, අවසාන සෝවියට් ජනාධිපති වූ මිහායිල් ගොර්භචෝෆ්ට දුන් ප්‍රතිඥාවත්,
එක්සත් ජනපදය හා නේටෝව විසින්, කිලෝ මීටර් 800ක් පුළුල් කරමින් පිළිකුල් සහගත ලෙස කටයුතු කළහ. නැගෙනහිර දෙසින් සහ පැරණි සෝවියට් සංගමයෙන් කැඞී ගිය හෝ වර්සෝ ගිවිසුමේ (සමාජවාදි රටවල දේශපාලන, ආර්ථික හා ආරක්ෂක ගිවිසුම) හිටපු සාමාජිකයින් වූ රාජ්‍යයන් 14ක් නේටෝවට ඇතුළත් කර ගත්තේය. බටහිර (කැනඩාවද ඇතුළුව) හමුදා හා නාවික හමුදා, රුසියාවේ දේශ සීමා ආසන්නයේ දැවැන්ත යුධ අභ්‍යාස පැවැත්වීය. අලුත් නේටෝ සාමාජික රටවල රුසියානු දේශ සීමා තුළ නේටෝවේ මිසයිල පද්ධති ස්ථාන ගත කර, ස්ථාපනය කර ඇත.
පැහැදිලිවම, එක්සත් ජනපද සැලැස්ම වූවේ, රුසියාව තව දුරටත් කැබලි කිරීම සහ සමස්ථ යුරෝපීය මහද්වීපය පුරාම එක්සත් ජනපද ආධිපත්‍ය තහවුරු කිරීමයි. මෙම ආක්‍රමණශීලි මිලිටරි සන්ධානය වන නේටෝව, රුසියාවේ සියලූම දේශසීමා දක්වාම ව්‍යාප්ත කිරීමයි.
2008 වසරේ රුමේනියාවේ, බුකාරෙස්ට් නගරයේදී රැස්වූ නේටෝව, නේටෝවට එක්වන ලෙස යුක්රේනයට හා ජෝරිජියාවට ආරාධනය කළහ. එය අද ලොව මුහුණ දී සිටින යුක්රේන - රුසියානු යුද්ධය සඳහා වූ නේටෝවේ සැලසුමයි.