Saturday, 17 April 2021

ලොකුවට හිතා වැඩ කරන පොඩි මිනිස්සු

# ආචාර්ය ඩිල්මා තුෂාරි කොග්ගලගේ


ලෝකයේ ධනවත්, ශක්තිමත්, බලවතුන්ට වඩා බහුතරයක් සිටින්නේ සාමාන්‍ය වහරේ අප ‘පොඩි මිනිස්සු’ යයි හඳුන්වන්නවුන්ය. එහෙත් ලෝකය පාලනය කරන්නේත්, තීන්දු තීරණ ගන්නේත්, පොඩි මිනිසුන්ගේ ඉරණම විසඳන්නේත් මේ සුළුතරය බව ඓතිහාසිව නැවත නැවතත් ඔප්පු වී ඇත. පොඩි මිනිස්සු තමන්ගේ ඉරණම දරාගෙන නිහඬව ජීවිතය හා අරගල කරත්. ඉඳහිට මේ පොඩි මිනිස්සු පෑගෙන ජීවිතවලට සහනයක් පතා සටන් වදිති. එහෙත් සටනේදීද අන්තිමට ඔවුන් රවටා ඔවුන්ගේ කර මතින් බලවතුන් බිහිවන වාර අනන්තය. එයද ඓතිහාසිකව යළි යළිත් තහවුරුව ඇති සත්‍යයකි. කෙසේවෙතත් මේ හැමදේම සාමාන්‍ය තත්ත්වයක්ව පැවතියෙදී කලාතුරකින් ලෝකයේ කොහේ හෝ කොණක අමුතු දෙවල්ද සිදුවේ. පොඩි මිනිස්සුන්ට ලොකු කල්පනාවල් හා ප්‍රාර්ථනාවල් තිබිය හැකිය. එහෙත් අමුත්ත එය නොවේ. මහා හඬක් නොනගා, ලොකු වැඩ කරන පොඩි මිනිසුන් ලෝකයේ කලාතුරකින් හෝ බිහිවීමයි. ඒ මිනිසුන්ගේ ‘නිහඬ හඬ’ කිසියම් මොහොතකදී ලොව පුරා දෝංකාර දෙන්නේ පුදුමසහගත ආකාරයටය. අද ධාරණ එබඳු පොඩි මිනිසෙකු ගැන ලියන්නේ පසුගිය සති කීපය පුරා අන්තර්ජාලය ඔස්සේ අපේ රටේ කිහිප දෙනෙකුම මේ පොඩි මිනිසා ගැන විශේෂයෙන් මතක් කොට තිබූ නිසාය.

මේ දිනවල ලංකාවේ පරිසරය ගැන අලූත් උද්යෝගයක් මතු වී ඇත. මෙරට පමණක් නොව සමස්ත දකුණු ආසියාකරයේම පරිසර සංහාරය මුග්ධ දේශපාලනඥයන්ගේත් වගකීම් විරහිත නිලධාරී තන්ත‍්‍රයේ ඇතැමුන්ගේත් ක්‍රියා කලාපය හමුවේ ලාබදායී ව්‍යාපාරයක් වී අවසන්ය. මේ අතර ලංකාව තුළ පරිසරයට අභියෝග අලුතෙන් නිර්මාණය වෙන්නටත් පටන්ගෙන ඇත. මේ වාතාවරණය තුළ ඊට ප්‍රතිචාර දක්වන විවිධ බලවේග හා පාර්ශ්ව මතුව ඒමද සිදුවෙමින් පවතී. හැමදාමත් පරිසරයට ආදරය කළ නිර්පාක්ෂික කණ්ඩායම් සුපුරුදු නිහඬ අරගලයක නිරතවෙද්දී, දේශපාලන පොරයට පරිසරය නිමිති වී ඇත. ඒ අතරේ ‘චරිත’ බිහිවී ‘ගැලරියට කතා පැවැත්වීම්ද’ අඩුවක් නැත. ඒ සියල්ල අතරේ පරිසරයට සිදුවන ‘හදිය’ නොකඩවා සිදුවෙමින් ඇත. ඒ නිසා නිහඬ නමුත් ප්‍රබල ක්‍රියාකාරී පරිසරවේදීන් පොඩි මිනිසුන් අතරින් මතුවනවා නම් කොතරම් දෙයක්ද.

පරිසරය උදෙසා පෙනී සිටි ඓතිහාසික වශයෙන් මතකයක් ඉතිරි කළ අපූරු පොඩි මිනිසෙකි, රතු ඉන්දියානු නායක සියැටල්. ඔහු විසින් කියන්නට ඇතැයි සිතිය හැකි අදහස් පසුකාලීනව ගලපා වාර්තා තබා ඇති අතර, ඒ වචන ලෝකයේ පරිසරය සම්බන්ධයෙන් අලූත්ම සාහිත්‍යයක් නිර්මාණය කරන්නට සමත්ව ඇත. ඔහු කී දෑ වශයෙන් වාර්තාගතව ඇති අපූරු වචන මේ වනවිට ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. එතුළින් පරම්පරා කිහිපයක් තිස්සේ ගමන් කරන දෝංකාරයක් නිර්මාණය වී ඇත. ඒ සියැටල් නම් පොඩි මිනිසා පරිසරය ගැන කී දෑ හා සිදුකළ අනතුරු ඇඟවීම් නිසාය.

මේ හැරෙන්නට තවත් අපූරු පරිසරවේදියෙක් අපේ කාලයේ පොඩි මිනිසුන් අතරින් මතුව සිටින්නේය. මා අද ධාරණ ආරම්භයේ ඉඟි කළේ ඔහු පිළිබඳවයි. ඔහු නමින් ජාදව් ‘මොලායි’ පායෙංය. 1963 දී මිසිං නම් කුඩා ගෝත්‍රයට අයත් වූවෙකු වශයෙන් ජාදෙව් ඉන්දියාවේ උපත ලැබීය. මාජුලි නම් පෙදෙසේ වාසය කරන මේ මිනිසා එසේ මෙසේ අයෙකු නොවේ. ඔහු තමන්ගේ තරමට වඩා ලොකුවට කල්පනා කොට වනාන්තරයක් නිර්මාණය කළ පොඩි මිනිසෙකි. ඔහු දශක ගණනාවක් තිස්සේ බ‍්‍රහ්මපුත‍්‍ර නදිය ආශ්‍රිතව නිහඬව නමුත් අනලස්ව වන වගාවේ නිරත විය. මේ වනවිට අක්කර 1500 කට ආසන්න භූමියක ඔහු වගා කළ ‘මොලායි වනාන්තරය’ පැතිර පවතී. ඇසෑමයේ කෝකිලමුඛ් නම් පෙදෙසේ ජාදව්ගේ මේ වනාන්තරය පිහිටා ඇත. ලොකුවට සිතා මේ සා ලොකු වැඩක් කළ මේ නිහඬ පරිසරවේදියා 2015 වසරේ භාරතයේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ මේ අරුම වෑයම අද ලොව පුරා දෝංකාර දෙමින් ප්‍රචලිතව ඇත්තේ විලියම් මක්කාස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ The Forest Man වාර්තා චිත‍්‍රපටය 2014 වර්ෂයේදී ලොව ප්‍රකට Cannes චිත‍්‍රපට උළෙලේදී සම්භාවනාවට පාත්‍රවීමත් සමගය. අද ජාදව් පායෙං හැඳින්වෙන්නේ The Forest Man වශයෙනි.

සමහර මිනිස්සු එහෙමය. ඔවුන් නිහඬවම වැඩ කරති. එහෙත් ඒ නිහැඬියාවෙන් ලෝකය මවිත වන හා තිගැස්සෙන මොහොතක් උදාවන්නේය. ඉදින් මේ දවස්වල මතුවන ලොකු ලොකු කතා හා චරිත අතරේ ඇත්තටම පරිසරය වෙනුවෙන් පෙනී සිටින පොඩි මිනිසුන් ලංකාවට ඕනෑකර තිබේ.

වම් ඉවුරේ වෙබ් නාදය