පසුගිය සති කිහිපය තුළ වඩාත් කතාබහට ලක්වූ ආයතන අතර මුලින්ම කියවූ නමක් වූයේ ‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි’. කතා බහ ඇති වීමට ප්රමුඛව බලපෑවේ ලොව පිළිගත් රුසියානු විශ්වවිද්‍යාල තුනකින් ලබාදෙන වෛද්‍ය උපාධිය පිළිනොගැනීමට ගත් තීරණයයි. ඒ තීරණය ගැන විවේචන එළි දැක්වෙන විට, සිදුවූයේ විහිළු සහගත සිදුවීමකි. රටටම ඇසෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, ලොව පිළිගත් රුසියානු විශ්වවිද්‍යාල තුනක වෛද්‍ය උපාධිය පිළිගැනීමේ තත්ත්වයෙන් ඉවත් කිරීම තම වෛද්‍ය සභාව අතින් සිදුවූ අත්වැරැද්දක් බවය. එම ප්‍රකාශය විශ්වාස කරන එකදු පුද්ගලයෙකු හෝ මේ රටේ සිටිය හැකියැයි විශ්වාස කළ නොහැක. මෙලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය උපාධිය ලබා දෙන විශ්වවිද්‍යාල තුනම ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරේ තිබෙන විශ්වවිද්‍යාල බව මුලින්ම සටහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලයක් හෝ එම විශ්වවිද්‍යාල 500 තුළ නැති බවද මෙහිලා සිහිපත් කළ යුතුය. එමෙන්ම රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ඉතාමත් ප්‍රබල මිත්‍රත්වය නොසලකා ගනු ලැබූ සාහසික තීරණයක් ලෙසද මෙම අමනෝඥ තීරණය විග්රහ කරගත යුතුය. මේ තත්ත්වය රටවල් දෙක අතර අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට පවා හැකියාවක් තිබුණි.
ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව විසින් මේ ආපසු හරවනු ලැබූ තීරණය හුදෙක් අත්වැරදීමක්ද?
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළින් මෙහිදී අත්වැරැද්දක් සිදුවුණේ යැයි කියන කාරණය පිළිනොගන්නා අප මෙය ඔවුන් විසින් හිතාමතා ගෙන යන වැඩපිළිවෙලක කොටසක් බව අවධාරණය කර සිටින්නෙමු.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රටේ කිසිදු නීතියකට ගරු නොකරමින්, ඉතාමත් අත්තනෝමතික, අතාර්තික, බලහත්කාරී වැඩ පිළිවෙලක නිරතව සිටින බව කලක පටන්ම නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් පත්ව සිටින්නේ දැඩි මානසික පීඩාවකටය.
අතීතයටත් බලපාන සේ නීතිය නැවීම
නේපාලයේ මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබා ලංකාවට පැමිණෙන උපාධිධාරීන් තම වෛද්‍ය අධ්‍යයන කටයුතු වසර හතර හමාරකින් අවසන් කරති. ඔවුන්ට එසේ කිරීමට හැකිවී ඇත්තේ සතියේ දවස් හතෙන් දවස් හයක්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්ව තිබීමත් වර්ෂයක් තුළ ලැබෙන එකම දීර්ඝ නිවාඩුව සති දෙකකට සීමා වීමත්ය. මේ නිසා එම වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් වසර හතර හමාරකින් සිය අධ්‍යාපන කටයුතු අවසන් කරති.
1999 වසරේ සිට 2016 දක්වා එම සිසුහු වසර හතර හමාරක අධ්‍යන කාල සීමාව ගත කොට උපාධිය ලබා ලංකාවට පැමිණ, ලංකාවේදී මෙරට වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන විභාගය (ERPM) සමත් වූ පසු ඔවුන් සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා බඳවා ගැනුණි. එහෙත් 2016 වර්ෂයේ මැද භාගයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දන්වා සිටියේ නේපාලයේ මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් වසර හතර හමාර පමණක් නොව ඒ වසර හතර හමාරට පසුවත්, නේපාලයේ වෛද්‍ය උපාධිධාරීන් සඳහා වන සීමාවාසින වෛද්‍ය පුහුණුවට අයත් වසරක කාලයද එහි ගතකොට පැමිණියොත් පමණක් එම උපාධිය පිළිගන්නා බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණය ගනු ලැබුවේ 1999 සිට වසර 17ක් පුරා වසර හතර හමාරක අධ්‍යාපනයෙන් පසු ලබන වෛද්‍ය උපාධිය මෙරට දී පැවැත්වෙන ERPM විභාගය සඳහා ප්‍රමාණවත් බවට තිබූ පිළිගැනීම එකවරම අහෝසි කරමිනි.
මෙම තීන්දුව ගනු ලැබූ අවස්ථාවේ විවිධ පුද්ගලයන්, මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබව සිසු සිසුවියන්ගේ දෙමාපියන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හමුවී පෙන්වා දුන්නේ එකී වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්බන්ධ ශ්‍රී ලාංකික සිසුන්ට බලපාන පරිදි අලුතින් තීරණයක් ගන්නේ නම්, එම තීරණය අනාගතයට බලපැවැත්වෙන පරිදි ගන්නා ලෙසත්, ඒ වන විටත් මනිපාල් හි අධ්‍යාපන කටයුතු අවසන් කරමින් සිටින සිසුන් එම තීරණයේ බලපෑමට හසු නොකර ගන්නා ලෙසත්ය. එහෙත් වෛද්‍ය සභාව ඊට කිසිසේත්ම එකඟ නොවීය. දීර්ඝ කාලයක් ඇදී ගිය සාකච්ඡාවකින් පසු 2017 වෛද්‍ය සභාවේ එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වූ අතර, එම පෙත්සමේ තීන්දුව මගින් පහත සඳහන් තීන්දු ප්‍රකාශයට පත්කොට තිබුණි.
- වෛද්‍ය සභාව ඉහත සඳහන් තීරණය (මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වසර පහමාරක් නේපාලයේ ගතකළ යුතු බවට ගනු ලැබූ තීන්දුව) ගන්නා විට එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමිවන් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නීතිමය වශයෙන් වලංගු අපේක්ෂාවක් (Legitimate Expectation) තිබූබවත්, එම අපේක්ෂාව වූයේ වසර හතර හමාරක අධ්‍යයන කාලයකින් පසු ලබන වෛද්‍ය උපාධිය මෙරට දී ERPM විභාගයට මුහුණ දීම සඳහා ප්රමාණවත්ය.
- එබැවින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගනු ලැබූ තීරණය ශූන්‍ය හා නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණයයේ තීරණයෙන් ප්‍රකාශ විය.
- එම නඩුව පවරනු ලැබූ පාර්ශ්වයන්ට රුපියල් ලක්ෂ ගණනක වන්දි ගෙවන ලෙස ශ්‍රීලංකා වෛද්‍ය සභාවට නියම විය.
ඉහතින් දැක්වූ වෛද්‍ය සභා තීරණය අතීතයට බලපාන ලෙසද ගනු ලැබූ තීරණයක් වූ බැවින්, එය ස්වභාවික යුක්තියට පටහැනි බව වෛද්‍ය සභාවේ සිටින උගත් වෛද්‍යවරුන්ට නොවැටහුනද ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට තේරුම් ගතහැකි කරුණකි.
මෙහිදී මතුවන ප්රශ්නය නම්, වෛද්‍ය සභාව මේ තීරණය ගනු ලැබුවේ එම තත්ත්වය නොදැනද යන්නයි. සරලම පිළිතුර නම් ඔවුන් එම තීරණය ගනු ලැබුවේ දැන දැනම බවයි. එසේ නම් දැන් දැනම නීතියට පටහැනි එවැනි තීරණ ගන්නට වෛද්‍ය සභාව ක්‍රියා කරන්නේ ඇයි?
මෙහිදී පෙන්වා දිය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ලෝභකමක් නැතිව අත දිගහැර නඩු කටයුතු සඳහා ඕනෑතරම් මුදල් වියදම් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සැදී පැහැදී සිටින විලාශයයි. පසුගිය වසර තුළ පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නඩු ගාස්තු වශයෙන් පමණක් රැපියල් මිලියන 13ක පමණ මුදල් සම්භාරයක් වැය කොට තිබෙන බව වාර්තා වේ. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙතෙක් ගන්නා ලද බොහෝ තීන්දු නතර වෙන්නේ අධිකරණයේදීය
විභාගයට පෙරළන බාල්දි
2019 වර්ෂයේ ජූලි මාසයෙන් පසුව පසුගිය මාසයේ එනම් 2020 අගෝස්තු මාසයේ ERPM විභාගය පැවැත්වීම සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබුණි. මෙම විභාගය සඳහා ඉල්ලුම් කළ හැකි අවසාන දිනය ලෙස දැන්වීම්වල සඳහන් වූයේ 2020 සැප්තැම්බර් මස 07 වෙනිදා ලෙසය. එහෙත් සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පළ කරනු ලැබූ තවත් දැන්වීමකට අනුව, ඉල්ලුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය නැවත දැනුම් දෙන තුරු විවෘතව තැබෙන බවට ප්‍රකාශ වුණි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පැවැත්වීමට සැලසුම් කොට තිබූ ERPM විභාගය දින නියමයක් නොවැතිව කල් තබා ඇති බවයි.
විභාගයක් පැවැත්වීමට ඉල්ලුම්පත්‍ර කැඳවා තිබියදී, දින නියමයක් නොමැතිව ඉල්ලුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය කල්තැබුවේ මන්දැයි විමසන විට පිළිතුරක් දීමට වෛද්‍ය සභාවේ නිලධාරියෙක් නැත. නමුත් අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වන්නේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම විභාගය සම්බන්ධයෙන් දෙනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක නොකළ යුතු බවට වෛද්‍ය සභාව තුළ සිදුවූ සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.
“ඔබ කොතරම් උස වුවත් නීතිය ඔබට වඩා උඩින් සිටිනු ඇතැයි” යන අදහස වලංගු වන්නේ හුදී ජනයාට මිස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සිටින මහ බමුණන්ට නොවන බව පෙනී යයි. ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා මඟ පෙන්වීම් මායිම් නොකරන බව පෙන්වා ඇත්තේ අද ඊයේ නොවේ. බොහෝ විට ඉතිහාසය පුරාම ඔවුන් සිදුකර ඇත්තේ එයයි.
වසරකට තුන්වරක් ?
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙනු ලැබූ තීරණයක් පරිදි, විදේශ උපාධිධාරී වෛද්‍යවරයන්ගේ ලියාපදිංචිය සඳහා මෙම ERPM විභාගය වසරකට තුන් වතාවක් පැවැත්විය යුතුය. 2019 ජූලි මාසයේ සිට මේ දක්වා මාස 14කට ආසන්න කාලයක් ගතව ඇති නමුත් එකදු විභාගයක් හෝ පැවැත්වීම වෛද්‍ය සභාව හිතාමතාම පැහැර හැර ඇත.
ඉහත සඳහන් කරුණුවලින් බැසගත හැකි එක් නිගමනයක් වන්නේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තර්කානුකූල නොවන, බලහත්කාරී හා නිර්දය ආකාරයකින් ක්‍රියාකරමින් සිටින බවයි. ඔවුහු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වෙනත් රටවල වෛද්‍ය අධ්‍යාපනය ලැබීම හොඳින් හෝ නරකින් වැළැක්වීමට ක්‍රියාකරමින් සිටිති. ඔවුන්ගේ එම උත්සාහයේදී සාධාරණත්වය, තර්කාණුකූලබව හෝ මානුෂීයත්වය අදාළ නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම් හා තීන්දු ඔවුහු ගණන් නොගනිති. හොඳින් හෝ නරකින් විදෙස් වෛද්‍ය උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයන් මෙරට වෛද්‍ය වෘත්තියට ඇතුළුවීම වැළැක්වීමට ක්‍රියා කරති. බැලු බැල්මට පෙනෙන්නේ ශ්‍රී ලංකා වෙද්‍ය සභාව යක්ෂාවේෂ වී ඇති බවය. මෙවැනි වෛද්‍ය සභාවතින් රටකට ඇති ඵලය කුමක්ද?
ඕනෑම රටක වෛද්‍ය සභාවක් අතිශයින් නිර්මල, පිවිතුරු, පිරිසිදු, නිකැලැල්, අවංක සහ ඉහළම වෘත්තීය භාවයෙන් යුතු විශිෂ්ඨ ආයතනයක් වියයුතුය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ඒ අහලකටවත් නැත. මෙය වෙනස් කළ යුතුය. මෙහි මූලික වෙනසක් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවා ඇත්තේ 1924 අංක 24 දරණ වෛද්‍ය සභා ආඥා පනත යටතේය. එනම් දැන් වසර 100කට ආසන්න කාලයකට කලිනි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා ආඥා පනත වෙනස් කොට, වෛද්‍ය සභාවේ සංයුතිය වෙනස් කිරීමට අවශ්‍ය පදනම සකස් කළ යුතුය. එහි වෛද්‍ය වෘත්තිකයන් නොවන නීති හා වෙනත් අදාළ අංශවල විශිෂ්ඨයන් සිටිය යුතුය. වෛද්‍ය සභා සංයුතියේ 51%ක් සමන්විත විය යුත්තේ එවැනි පුද්ගලයන්ගෙනි.
මෙම ප්‍රතිසංස්කරණය කිරීමට කල්ගත විය හැකිය. එහෙත් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ක්ෂණික ගැටලුව නම් නවත්වන්නට සැලසුම් කොට තිබූ ERPM විභාගයයි. මෙම විභාගය වහා පවත්වන ලෙස නියෝගයක් නිකුත් කිරීමට වෛද්‍ය ආඥා පනත යටතේ වෛද්‍ය කටයුතු භාර සෞඛ්‍ය ඇමැතිවරයාට හෝ ඇමැතිවරියට නීතිමය බලයක් තිබෙන බවද පෙන්වා දෙන්නට කැමැත්තෙමු.
එබැවින් එම ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගනිමින් දහසකට අධික විදේශ උපාධි ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධිධාරීන්ට ERPM විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව උදාකිරීමට කටයුතු කිරීම රජයේ වගකීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ගවේෂක