Thursday, 18 April 2024

කල්‍යාණ කරුණාරත්න - 71 පුරෝගාමී සංවිධානයේ කැඳවුම්කරු


ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ක්‍රියාකාරීත්වය සැළකිල්ලට ගත්කළ පැහැදිලිවම පෙනෙනුයේ, කෙසේ හෝ බලය අල්ලා ගැනීම, සමාජ විප්ලවය ලෙස සලකා ගෙන ඉතිහාසය පුරා එය ක්‍රියා කර ඇති බවයි. සමාජ විප්ලවය පිළිබඳව 1966 සිට 1971 දක්වා එහි මතවාදය වූයේ ‘සන්නද්ධ කැරැල්ලකින් බලය අල්ලා ගැනීම’ යන්නයි. ඉන්පසු 1978 දක්වා කාලය තුළ සන්නද්ධ කැරැල්ලකින් බලය අල්ලා ගැනීම ප්‍රධාන කාරණය වූවද, තමන් ඊටම බැඳී නොසිටින බවත් වෙනත් අරගල මාධ්‍යයක් වේනම්, එයද පිළිගන්නා බවත් කියනු ලැබිණ (ජනතා විමුක්ති පෙරමුණ තුළ ලංකා බොල්ෂේවික් පක්ෂය පිහිටුවීම). මෙය ඊළඟ වකවානුවේ සන්නද්ධ කැරැල්ල ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ අතරමැදි අවස්ථාවක්, සංක්‍රමණීය අවස්ථාවක් විය. 1978 සිට 1985 පමණ දක්වා කාලය තුළ සමාජ විප්ලවය ලෙස එය සැලකුවේ සන්නද්ධ නොවන ආකාරයකින් එනම්, පාර්ලිමේන්තු මාවතින් බලය අල්ලා ගැනීම විය. රෝහණ විජයවීර ජනාධිපති ධුරයට තරග වැදුනේ, මේ වකවානුවේදීය. 1985න් පසු කාලය යළිත් වරක් සමාජ විප්ලවය යනු සන්නද්ධ කැරැල්ලකින් බලය අල්ලා ගැනීමය යන මතය කරා සේන්දු වූ කාලයක් විය. 1978න් පසු කාලය ජ.වි.පෙ. පාර්ලිමේන්තු ක්‍රමය මත පදනම් වූවද, ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයෙහි ‘ප්‍රගතිශීලී’ සන්නද්ධ හමුදා කොටස් හමුදා කුමන්ත‍්‍රණවලින් බලය අල්ලා ගැනීමද සමාජ විප්ලවය ලෙස දැක්කේය. ඒ අනුව ඉතියෝපියාවේ, ඇෆ්ගනිස්තානයේ සෝවියට් ලැදි හමුදා කුමන්ත‍්‍රණ සමාජ විප්ලව ලෙස වර්ණනා කෙරුණි.

ජනතා විමුක්ති පෙරමුණේ ලංකාලයින් ආරම්භයේ සිට අද දක්වා මතවාදය පෙන්වා දෙන්නේ සන්නද්ධ කැරැල්ලකින්, පාර්ලිමේන්තු ජයග්‍රහණයකින් එසේ නැතිනම් හමුදා කුමන්ත්‍රණයකින් වැනි කුමන හෝ මාර්ගයකින් බලය අල්ලා ගැනීමක්ය යනුවෙන් විය.

පීඩිත පන්තියේ ජයග්‍රහණය කරා යෑමේදී, ජනතාව බලමුළු ගැන්විය යුතු බව ජ.වි.පෙ. නොසලකා හැරියේය. විප්ලවය විෂයමූල හා මනෝමූල තත්ත්වයන්ගේ සම්පූර්ණ වීමේ ක්‍රියාදාමයක් තුළින් හටගන්නා බව, හට ගත යුතු බව, එය නොසලකා හැරියේය. එහි අභ්‍යන්තර සාකච්ඡාවලදී මේ විෂයමූල මනෝමූල තත්ත්වයන් සම්පූර්ණ වීම ගැන කතා කළත්, එයට අනුව ක්‍රියාත්මක වූයේ නැත (මෙම සාකච්ඡාවලට මා සහභාගි වී ඇත). එහි ඵලය වනුයේ, ඵලය වූයේ, බලය ඩැහැ ගැනීමේ කුමන හෝ සාහසික ක්‍රියාකාරකම් තම මතවාදය තුළට ඔබා ගැනීම විය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ ක්‍රියා, ලොව ප්‍රතිගාමි පන්තීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අමානුෂිකය. මිලේච්ඡය. කුරිරුය. කඩිනමින් වෙඩි තබා, බෙලි කපා, පලායන්නට සිදුවූ තැන්වලදී හැරුණු විට, නිදහසේ බියෙන් සැකෙන් තොරව ඝාතනයන්හි යෙදුන අවස්ථා දෙස බලන විට ජනතා විමුක්ති පෙරමුණ මොනතරම් වෛරයකින් කෝපයකින් හා පලිගැනීමේ චේතනාවකින් වියරු වැටී සිටියාද යන්න, රට පුරා සිදු කළ ඝාතන රැල්ල තුළ සිදුවීම් කිහිපයක් ගෙන හැර පෑම වර්තමානයේ ජ.වි.පෙ. ක්‍රියාකාරින්ට මෙන්ම සමාජිකත්වයේ බුද්ධිමත් පිරිසටද පෙන්වා දීම වැදගත් වනු ඇත.

1989 මහනුවර ප්‍රදේශයේ ජ.වි.පෙ. සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට සහයෝගය නොදී තම සේවාවට ගිය බස් රියදුරෙකු හා රජයේ සේවකයෙකුට ජ.වි.පෙ. දේශප්‍රේමි බලකාය දුන් දඬුවම දෙසට හැරී බලමු. විරෝධතා දිනයේ බස් රථය ධාවනය කිරීමේ වරදට එම රියදුරාගේ දෑතම කපා රියැදුරු අසුනේම මැරෙන්නට බැඳ දැමූ අතර, ඉහත කී රජයේ සේවකයාගේ හිස කපා එම හිස පිඟානක තබා ඔහුගේ බිරිඳ වෙත යවනු ලැබුණි.
මොණරාගල දිස්ත‍්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මරිඅරාව ගමේ සමන් නැමැති තරුණයෙකු, දිස්ත‍්‍රික්කයේ සමූහ මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු පොලිසිය ඉදිරියේ කර ඇති පාපොච්චාරණය අදට හා හෙටට වැදගත් වනු ඇත. ඔහු කියා ඇත්තේ මරණයට පත් කළ සියලූ දෙනාම මරා දැමීමෙන් පසු, මරා දැමුවන්ගේ උඩුකය විවර කර පපු පෙදෙස පුරා රවුමට තියුණු උල් පිහියෙන් නෙලූම් මලක ස්වරූපයෙන් ඇණ ලේ ගලා යාමට සලස්වා, මරහ`ඩ දෙමින් සිටින පුද්ගලයාගේ බඩ පලා බඩ බොකු රැගෙන හිස වටා එතීමට අණදී ඇත්තේ තමන්ට ඉහළින් සිටි නායකයා විසිනි. පාපොච්චාරණයේ සඳහන් කළ ආකාරයට එසේ සිදු කරනුයේ මිනීමැරීමට, ලේ දැකීමට ඇති බිය අනෙක් සාමාජිකයන්ගේ මනසින් ඉවත් කිරීම සඳහා යනුවෙනි.

තවත් බිහිසුණු ඛේදවාචකයක් කියා පාන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහව ප්‍රදේශයේ හමුදා නිලධාරියකුගේ නිවසට දේශප්‍රේමී බලකාය පැන ඔහුගේ බිරිඳ හා දරුවන් මරා දැමීමෙන් පමණක් නොනැවතුණු දේශප්‍රේමී බලකායේ සන්නද්ධ භටයින්, සිව්මස් වියැති බිළිඳාගේ හිස දෙබෑ කර මොළය ගෙන එය මේසය මත ප්‍රදර්ශනයට තබා ගොස් තිබිණ. පොල්ගහවෙල ප්‍රදේශයේ හමුදා නිලධාරියකුගේ නිවසට පැන ඔහුගේ හයමස් වියැති බිළිඳු දියණිය ළිඳට දමා මරා දමනු ලැබීය. ඝාතකයින්ට එම අවස්ථාවේ අසු වූයේ ඒ සිඟිති දැරිය පමණි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ලේ ගස්මුදුන් වත්තේ ගොවිපල පවත්වාගෙන ගිය නන්දසේන සිල්වා හා මොරටුව විශ්වවිද්‍යාලයේ ඩී. එම්. ජයවර්ධන ඇතුළු පස් දෙනෙකුගේ ඝාතනය මිනිස් වර්ගයාගේ ගෝත්‍ර යුගයේ සිහි කැඳවීමකි. සවස් වරුවේ හයේ පමණ සිට අඩ රැයක් පුරා රාත්‍රී දොළහ වන තුරු මෙම පස් දෙනා නොයෙකුත් වධ බන්ධනවලට ලක් කරමින් පනහක පමණ වූ ජ.වි.පෙ. ඝාතක කණ්ඩායම අවසානයේ ඔවුන් මරා දැමීමෙන් පමණක් තෘප්තිමත් වූයේ නැත. නන්දසේනද සිල්වාගේ හිස කඳින් වෙන් කළහ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජයවර්ධනගේ දකුණු අත වැලමිට ළඟින් කැපූහ. අනතුරුව එම අත් කැබැල්ල නන්දසෙනගේ කඳින් වෙන් කළ කටේ ඔබා එම හිස මහමග ගහක අත්තක එල්ලා මග යනවුන්ට ප්‍රදර්ශනයට තැබූහ. නන්දසේනද සිල්වා කළ එකම වරද වූයේ, ඔහු ප්‍රසිද්ධියේ ජ.වි.පෙ. වැරදි විවේචනය කිරීම. ඔවුන් සමග මරා දැමූ සෙස්සනුත් ජ.වි.පෙ.ට එරෙහිව කිසිම කටයුත්තක යෙදී නැත. මොවුන් මරා දැමුවේ කුමන හේතුවක් නිසාද යන්න ඝාතකයින් පවා දැන සිට නැත. මෙම ඝාතන තොරතුරු වැල්ලවාය පොලිස් ස්ථානයෙන් අද වුවත් සොයාගත හැක.

ජ.වි.පෙ. විසින් ඝාතනය කරනු ලැබූවන්ට අවමගුල් උත්සව තහනම් විය. අවමගුලට දහයකට වඩා සහභාගි වීමද, සුදු කොඩි දැමීමද, පෙට්ටියක බහා ලීමද, වැලලූ පසු සොහොන් කොත් ඉදි කිරීමද තහනම් කෙරිණි. ඝාතනය කරනු ලැබූවන් දණහිසින් ඉහළට ඔසවාගෙන යාමද තහනම් විය. මෙම නියෝග කඩ කරන්නන්ට ජනතා විමුක්ති පෙරමුණේ වචනවලින්ම කියනවා නම්, ‘කුරිරු මරණය’ හිමිවිය. ජ.වි.පෙ. මළ කඳන්වලින් පවා පළිගත්තේය.
ලෝක ඉතිහාසයේ මිනිස් බවට නිගා දුන් මෙබදු හිංසන ක්‍රියාවන්ට පදනම් වූ සමාජ විද්‍යාත්මක හේතු සොයා බැලීම වැදගත් වනුයේ පීඩිත පන්ති ජනතාවගේ විමුක්තිය සොයා හඹා ගිය ජනතා විමුක්ති පෙරමුණේ නග්න භාවය රටට, ලොවට හෙළදරව් කිරීම කොරුන්, බිහිරන්, අන්ධයින් සේ වර්තමානයේ මහා උජාරුවෙන් සමස්ත ජනතාව රැකීමට, නඩත්තු කිරීමට උගුර ලේ රහ වනතුරු පච ඇදබාන ඊනියා ජ.වි.පෙ. නායකයන්ට සිහිකැඳවීමක් මෙන්ම, තවදුරටත් ජ.වි.පෙ. මඩ ගොහොරුවේ කරවටක් ගිලී සිටින පිරිසට මඩ ගොහොරුවෙන් ගැලවී රට දෙස, ලොව දෙස දෙනෙත් යොමන ලෙස කරන ඉල්ලීමක් වශයෙනි.

ඇතැම් විද්වතුන් හා ඔවුන්ගේ ගෝලබාලයන්ට අනුව මෙම මිලේච්ඡත්වය සිංහලයාගේ ඓතිහාසික උරුමයකි. එක් අතකින් කුඩා කල සිටම ගිය පන්සලේ බිත්තිවල ඇඳ තිබුණේ වැරදිකරුවන්ට දඬුවම් දෙන අපායේ විත්තිය. යම රජුගේ අණින් යම පල්ලන් දෙන අනේක වූ වධ බන්ධන පිළිබඳ හැඟීම් කුඩා කල සිටම සිංහල බෞද්ධයාගේ සිත තුළ සටහන්ව තිබිණ. අනෙක් අතින් සිංහල කොඩියේ ඇති රූපයෙන් පෙන්නුම් කරන්නේ මෘගයෙකි. ජාතික කොඩියෙන්ද ජනිත කරන්නේ මෘග හැඟීම්ය. ආදී වශයෙන් මිලෙච්ඡුත්වය යනු සිංහලයාගේ ඓතිහාසික උරුමයෙන්ම එන්නකි යනුවෙන් මතයක් ඉදිරිපත්ව ඇත.

මෙම අදහස් ඉවත දමන තවත් කොටසක් කියා සිටින්නේ ජ.වි.පෙ. අනුගමනය කළ කුරිරු ප්‍රචණ්ඩත්වයට හේතු වූයේ ඔවුන් මාක්ස්වාදය වැළඳ ගැනීම නිසා බවය. ඉහත අදහස් ඉදිරිපත් කරන්නෝද මේ අදහස ඉදිරිපත් කරති. ජාතික චින්තනයේ ප්‍රමුඛාචාර්යවරයෙකු වන ගුණදාස අමරසේකර ඒ බව තරයේම කියා සිටී. ගුණදාස අමරසේකර කියන්නේ මෙසේය.

”ඔවුන් විසින් අර ඝාතන සඳහා අවශ්‍ය ‘දහම්චාරය’ ලබා ගන්නා ලද්දේ කිසියම් ධර්ම විඥානයක් වෙතිනුය. ඒ ධර්ම විඥානය ඔවුන්ට කියා දුන්නේ ඒ ඝාතනය ඉටුකළ යුතු සාධුකාර කාර්යයක් බව...... මේ දහම් වාරය ලබාගත්තේ පන්සලේ බිත්තියේ ඇඳ තබන ලද යමපල්ලන්ගේ පින්තූරයෙන් නොවේ. එවැනි දහම්චාරයක් සඳහා බිත්තියක ඇති පින්තූර ප්‍රමාණවත් නොවේ.

පන්සලේ බිත්තියේ නොව ඔවුන්ගේ මනසේ බිත්තියේ කොටන ලද පාරම්පරික ධර්ම විඥානය අකාමකා දමා ඒ මත නව ධර්ම විඥානයක් කෙටීමෙහි සමත්වූ කිසියම් ප්‍රබල ආගමකට, දර්ශනයකට මේ තරුණයන් ගොදුරු වූවා නම් පමණි. මෙවැන්නක් සිදුවිය හැක්කේ ඔවුන් තුළ මේ නව ධර්ම විඥානය ජනිත කළ ඔවුන් ගොදුරු කරගත් මේ ආගම දර්ශනය කුමක්ද? එය අන් කිසිවක් නොව මේ තරුණයන් විසින් සිය විමුක්තිය සඳහා ඇති ඒකායන මාර්ගය වශයෙන් සලකන ලද මාක්ස්වාදයයි” (ගුණදාස අමරසේකර ලියූ ‘අරුණළුනුසෙරෙන් අරුණෝදයට’ ග්‍රන්ථයේ 73-74 පිටු)

ජ.වි.පෙ. මිනී මරණ විට ගුණදාස අමරසේකර එය හැඳින්වූයේ ‘ඝනදුර මැදියම පහළ වූ අරුණළු දහරක්’ ලෙසය. රාජ්‍ය බලය සඳහා සටන් නොකර මිනිස් ඝාතන කරනතාක්, අමරසේකරලාට එය ධර්ම යුද්ධයක් විය. එය අධර්ම යුද්ධයක් වූයේ එම ඝාතන ක්‍රියාමාර්ගය රාජ්‍ය බලය ඇල්ලීම දක්වා වර්ධනය කරන්නට වූ විටය.

ජ.වි.පෙ. ක්‍රියාකාරීත්වයට කෲරත්වය එක්කළ සමාජ වටපිටාවක් 1977 පසු කාලයෙහි රටෙහි ගොඩනැඟිණ. ගුණදාස අමරසේකරම කියන විදියට ‘මෙතරම් දූෂිත සමාජයක් මෙරට තුළ ලන්දේසි, පරංගි සමයේදීවත් නොතිබෙන්නට ඇත.’ (ඝනදුර මැදියම දකිනෙමි අරුණළු)

 

 

මහාචාර්ය සුමනසිරි ලියනගේ


 

මේ වත්මන් අර්බුදය ප්‍රධාන වශයෙන් තල දෙකක දකින්න පුළුවන්. ඉන් පළමුවැන්න අද මතුපිට අපට පේන්න තියෙන අර්බුදය ආකාරය සහ ස්වභාවය සාකච්ඡා කිරීම. විදේශ විනිමය අර්බුදයක්, අයවැය අර්බුදයක් ලෙස එම තලය හඳුන්වන්න පුළුවන්. නමුත් මම කැමතියි ඊළඟ තලය වෙත මගේ අවධානය යොමු කරන්න. මේ අර්බුදය පහුගිය වසර හතර පහේ ඇති වුණු හදිසි අර්බුදයක් ලෙස මම දකින්නේ නැහැ. මේ අර්බුදය 1977 සිට මේ දක්වා වසර 43ක් තිස්සේ ගෙන ආ ආර්ථික මූලෝපායේ අර්බුදයක් ලෙසයි අපට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා විසඳුම් සොයන අවස්ථාවේ ඉතාම පැහැදිලි ලෙස මේ දීර්ඝකාලීන මූලෝපායී සැලසුම සැලකීමෙන් තොරව මේ අර්බුදයට විසඳුම් සෙවීමට හැකියාවක් නැහැ. 

මේ පිළිබඳ කතා කරන විට 1977 ත් අදත් සන්සන්දනය කරල හුඟක් අය කියනවා අද හුඟක් දියුණු වෙලා කියලා. ඒක ඉලක්කම්වලින් යම් ප්‍රමාණයකට පේනවා. ඒකජනක ආදායම ඩොලර් 4000ක සීමාවකට ඇවිත් තියෙනවා. ඒ නිසා සමහර අය පෙන්නනවා මේ රට දියුණු වුණා කියලා. නමුත් ඒකෙන් ආර්ථික මූලෝපාය ගැන කියන්න බැහැ. උදාහරණයක් ලෙස මේ අවුරුදු 43 තුළ කඩින් කඩ වර්ෂ කීපයක ඉතාම වේගවත් ආර්ථික වෘද්ධියක් පෙන්නුම් කරනවා. 1978 – 79 – 80 කාලවල 7% - 8% අතර මට්ටමක ආර්ථික වෘද්ධියක් තිබුණා. ඒ වගේම ආර්ථික වෘද්ධි මට්ටමක් දකින්න ලැබුණා ප්‍රේමදාස මහතා බලයට පත්වී ටික කලකින් ආර්ථික වෘද්ධිය 6%ක පමණ ප්‍රමාණයකට වැඩි වුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ 2009 න් පස්සේ 6% - 7% අතර වෘද්ධියක් තිබුණා. මේක එක පැහැදිලි ලක්ෂණයක් මේ මූලෝපාය අසාර්ථක බව පෙන්වන්න. මං ගණන් හදලා බැලුවා පිට පිට වසර පහක් මෙවැනි වර්ධන වේගයක් පවත්වාගෙන යන්න මේ ආණ්ඩු කිසිවක් සමත් වෙලා නැහැ.

ධනේශ්නර ක්‍රමය යටතේ දියුණු වුණාද කියලා බලන තවත් ක්‍රමයක් තමයි, මේ ආර්ථිකයේ ප්‍රාග්ධන සම්පාදනය විශාල වෙන්නට ඕනේ. මේ කාරණය සාකච්ඡා කිරීමට අපි යොදාගන්නවා organic composition of capital කියන සංකල්පය. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර බෙදීම කොහොමද කියලා බලන ක්‍රමය මේ. එයට අනුව ධනේශ්වරය යටතේ දියුණු වුණු හැම රටකම මේ සංයුතිය එන්න එන්නම වැඩි වෙනවා. නමුත් ලංකාවේ මේ සංයුතිය හැත්තෑ ගණන්වලට වඩා අද අඩු මට්ටමක් වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද අපේ තිබුණු බැර කර්මාන්ත සියල්ල අද නැහැ. අද තියෙන්නේ ඇගළුම් කර්මාන්තයේ තියෙන ප්‍රාග්ධන සම්පාදනය විතරයි. එයිනුත් අපට පේනවා අවුරුදු 43ක කාලය තුළ මේ මූලෝපාය ප්‍රශ්නයක් තිබෙන බව.

1977 ආරම්භ වූ මේ මූලෝපාය හැඳින්වූයේ නිර්යාත අභිමුඛ සංවර්ධන මූලෝපාය හැටියට. 77 මේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය මගින් පෙන්නුම් කළේ අපි නිර්යාත, නැතිනම් අපනයන අංශය දියුණු කරනවා. ඒ දියුණු කරන නිර්යාත පදනම් කරගෙන නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමයි අදහස වුණේ. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ 1975 තමයි  අවසාන වතාවට ලංකාවේ වෙළඳ ශේෂයේ අතිරික්තයක් තියෙන්නේ. ඇත්තටම නිර්යාත අභිමුඛ මූලෝපාය හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා තමයි යම්කිසි විදිහකට වෙළඳ ශේෂයේ අතිරික්තයක් දකින්න ලැබුණේ. 1977න් පස්සේ එනම් නිර්යාතාභිමුඛ සංවර්ධන මූලෝපාය හඳුන්වා දුන් දවසේ ඉදලා මේ වසර 43ක කාලයේ අද දක්වාම වෙළඳ ශේෂය ඍණ අගයක් වුණා.

1977 ආරම්භ කළ මෙම මූලෝපාය අසූව දශකයේ මැද වනතුරු රටට කරදරයක් නැතිව විදේශාධාර ගලා ආවා. මක්නිසාද මේ මූලෝපාය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශාධාර ලැබුණු නිසා. ඒ ආධාර නැති වෙන කොට අපි හැරුණේ ණය ආර්ථිකයකට. 21 වන ශතවර්ෂයේදී එය ඉහළම අගයකට යනවා.

මේ ඇතිවෙලා තියෙන විදේශ විනිමය අර්බුදය, අයවැය අර්බුදය, බඩු මිල ඉහළ යාම වගේ සියලු අර්බුද ඇතිවෙලා තියෙන්නේ මේ වසර 43 ඇතුළත සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ සංවර්ධන මූලෝපාය රට අනුගමනය කළ නිසයි.

දීර්ඝ කාලීන ක්‍රියාවලියක් නිසා ඇති වුණු අර්බුද රාශියකටයි අපි මුහුණ දෙමින් ඉන්නේ. මෙවර අයවැය එම දීර්ඝ කාලීන අර්බුදවලට පිළියම් හොයන දැක්මක සළකුණක්වත් නැති අයවැය ලේඛනයක්. මේ අයවැය ලේඛනය සකස් කළ අය කිසිවෙක් කල්පනා කරල නැහැ මේ අවුරුදු 43ක අනුගමනය කළ සංවර්ධන මූලෝපායේ ප්‍රධාන වැරැද්දක් හේතු කොට ගෙනයි මේ ආර්ථික අර්බුදය ඇතිවී තියෙන්නේ කියන කාරණය. ඒ අනුව ඒ අය ගනු ලබන පියවර පිළිබඳ එක් මන්ත්‍රීවරයෙක් සඳහන් කළා “අපි මෙතෙක් කල් අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගනු ලැබූවේ රාජ්‍ය සේවකයන් සහ පුද්ගලික අංශයේ සෙවකයන්. ඒ අය ස්ථීර පඩියක් ලබන්නන්. නමුත් මේ අයවැය ලේඛනය මගින් අවධානය යොමු කරලා තියෙන්නේ ඔවුනට නොව අවිධිමත් ආර්ථිකයට අයත්වන්නන් වෙනුවෙන්” බව. මේක ඔවුන් තර්කයක් විදිහට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් අයවැයේ අවසන් හරියේ අතිවිශාල ඉලක්කම් සමූහයක් ඉදිරිපත් කරනවා. විශාල පිරිසක් වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. මේකේ දේශපාලන ආර්ථික විද්‍යාව බැලුවොත් මම හිතන්නේ මේක තමයි බැසිල් රාජපක්ෂ මහතාගේ ඡන්ද මැෂිම සක්‍රීය කිරීම සඳහා ගනු ලැබූ උත්සාහය. එනම් මේ අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රය ඉලක්ක කරමින් ඉදිරිපත් කරන යෝජනා මාලාව සහ ඒවා දෙනු ලබන යාන්ත්‍රණය ඉතා පැහැදිලි ලෙස පෙනෙන කරුණක්.  බැසිල් රාජපක්ෂ මහතාගේ ඡන්ද මැෂිම ක්‍රියාත්මක වෙන්නේ මන්ත්‍රීවරු හරහා නෙවෙයි, ප්‍රාදේශීය සභා සහ පළාත් මට්ටමේ දේශපාලකයින් පදනම් කරගෙන බව අපි දන්නවා. 

මේ තියන ආර්ථික අර්බුදය වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනා ගැන සලකනවා නම් පුංචි යෝජනා දෙකක් මෙහි තියෙනවා. ලංකාවේ ආයෝජන ගලා යන අංශ කිහිපයක් තියෙනවා. ඒ මූල්‍ය, රක්ෂණ, ඉඩම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන අංශ. අපිට ධනේශ්වර මට්ටමේ වර්ධනයක් කරා යාමට උවමනාවක් තියෙනවා නම් ඉහතින් සඳහන් කළ අංශවල සිට ලාභය කෘතීම ලෙස නිෂ්පාදන සහ කර්මාන්ත දක්වා වැඩි කළ යුතුයි. මේ අයවැය ලේඛනයේ එක් වාක්‍යයක් තියෙනවා ‘ලංකාවේ ආර්ථිකය වෙළඳ ආර්ථිකයක් එය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා යා යුතු’ බව. ඒක සත්‍යයක්. ලංකාවේ ධනේශ්වර පන්තිය ඉහත සඳහන් කළ ක්ෂේත්‍රවල නිරත පන්තියක් මිස කාර්මික ධනපති පන්තියක් නොවන වග සහ ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයක් දක්වා කර්මාන්ත දෙසට ප්‍රාග්ධනය ගලා යන ලෙස සකස් කළ යුතුය කියන අදහසක් ලංකාවේ වාමාංශය හැම විටම ඉදිරිපත් කරන අදහසක්. මේකට පුංචි ඉගියක් මේ අයවැයේ තියෙනවා. ඒ තමයි බැංකු සහ රක්ෂණ වගේ අංශවලට වැඩිපුර බද්දක් අය කිරීම. බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය සම්බන්ධව මේ ලෙඩේට දෙන්න තියෙන බෙහෙත දැනගෙන තියෙනවා. නමුත් දීලා තියෙන්නේ නියමිත මාත්‍රාව නෙවෙයි. ඒ නිසා වෙළඳ ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා යන්න මේ බද්දෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ ආණ්ඩුව බලයට පැමිණි විගසම වාගේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළා ඉතාම වැරදි විදිහට. ලංකාවේ ආණ්ඩුවේ ආදායම අඩුවෙන්න විතරක් නෙවෙයි, ලංකාවේ බදු ප්‍රතිපත්තියේම විශාල අවුලක් ඇති කරන විදිහට. උදාහරණ කිව්වොත්, ලංකාවේ උපයන විට ගෙවන බද්ද තිබුණේ රුපියල් ලක්ෂයක වැටුපක් ලබා ගන්න කෙනෙකුට අදාළ වන විදිහට. මෙය 250,000ක් දක්වා වැඩි කළා. මේක කිසිසේත්ම යථාර්ථවාදී නැහැ. ඒ වගේම වක්‍ර බදු අනුපාතය තවත් වැඩි කළා. මේ විදිහට රාජ්‍යයේ බදු ආදායම අඩුවන ආකාරයට තමයි මේ ආණ්ඩු කටයුතු කරමින් ඉන්නේ. මේ සියල්ල අයිඑම්එෆ් එකට ගියත් නැතත් එහි ප්‍රතිපත්ති විදිහට. 

ආණ්ඩුවේ ආදායම් වැඩි කරලා වියදම් අඩු කිරීමට අදාළ කිසිම පියවරක් මේ අයවැයෙන් අරගෙන නැහැ. ඒ වගේම අපේ වෙළඳ ශේෂය පියවා ගැනීමට කිසිදු නිශ්චිත පියවරක් අයවැයෙන් සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තවලින් ගත් බවක් හෝ ගන්න බවක් පෙන්නේ නැහැ.

මේකට විසඳුමක් හොයන්න අවශ්‍ය නම් වසර 43ක් හොඳටම ඇති යම් ආර්ථික මූලෝපායක් සාර්ථක ද නැද්ද කියලා කියන්න. ඒ නිසා ව්‍යුහාත්මක වශයෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න නම් 1977 සිට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියට තිත තියලා නව ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කල්පනාවට ගතයුතු වෙනවා.

ආසියා ප්‍රගති සංසදය විසින් සංවිධානය කළ 'පශ්චාත් අයවැය සමාලෝචනය" සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා දැක්වූ අදහස් ඇසුරිනි.
සංවාද සටහන - සමන් ජයකොඩි

වම් ඉවුරේ වෙබ් නාදය