Friday, 23 October 2020

අනුරසිරි හෙට්ටිගේ


සරම වනාහි ඇඳුමක් වන්නේ ය. පිළි කියන්නේත් ඇඳුම්වලට ය. පිළි මතින් විළි වැසෙන්නේ යැයි විශ්වාසයක් ඇතත් විළි නොවැසී ඒවා මනාව දර්ශනය වූ පිළි වර්ගයක් පිළිබඳ මතකයක් කොළඹයාට ඇත්තේ ය. කොළඹුන් ඒවාට කීවේ ‘ඝණ්ටාර මාක් සරම්’ කියා ය. මන්ද සරමෙන් වැසී ඇතැයි සිතෙන අංගපුලා ඝණ්ටාරයක් සේ වැනෙනු දර්ශනය වීම නිසා ය. ඒ ජාතික විප්ලවයක් පිණිස සියරට දේ සිරි සැප දේ යැයි සිතූ යුගයක ලැබූ අත්දැකීමක් බව ද කොළඹයාට මතකය.


කලිසම වනාහි ද ඇඳුමක් වන්නේ ය. එය සරම සේ හිසෙන් බස්සවා ඉණට අඳින්නක් නොවන්නේය. කලිසම සකස්කරන්නේ කකුල්වල හැඩය සහ උස මහත බලා ය: ඉන කඳ වට ප්‍රමාණ බලා ය. සරම කලිසමෙන් වෙනස් වන්නේ එපමණකින්ම නොවේ. එය කකුල් දෙකට වෙන වෙන ම බස්සවා අඳිනා නිසාවෙනි. මේ කොහොම ඇන්ඳත් කලිසමෙන් කෙරෙන්නේ ද විළි වසා ගැනීම ය. සමහරක් උන්දලා සරමට යටින් කලිසමක් ඇන්දෝ ය. ඒ විළි වසා ගැනීමට නම් නොවේ. සැලකුම් ලබන්නට ය: මහන්තත්තය පෙන්වන්නට ය. ඒ අයට කොළඹ උන් කීවේ ‘රෙද්දස්සෙ මහත්තැන්ල’ කියා ය. උන් බරව ගමනින් ආවෝ ය: ගියෝ ය. කලිසමට යටින් ‘සස්පැන්ඩරයක්’ ඇඳිය යුතු බව නොදැන සිටියෙන් මේ රෙද්දස්සෙ මහත්තැන්ල බැරි බැරියේ කලිසම් ඇන්දෝ අංගපුලා තලා පෙලා ගෙන ය. එවැනි උන් දකින කොළඹයන් කීවේ ‘ආන් අරූගේ ගොනා කානුවේ’ කියා ය.


අඳනය වනාහි ද විළි වසා ගැනීමේ ක්‍රමයකි. ඉන් වැසෙන්නේ හතර කේන්දරයම පාළු වූ ඇත්තන්ගේ විළි ය. ඊට නිශ්චිත වර්ණයක් ද නියමිත ය. එසේ කියා එහි විළි වැසීමේ විභවතාව අහෝසි වී නැත. සරම්ධාරීන්ට සේම කලිසම්ධාරීන්ට ද නැති වාසියක් අඳනධාරීන්ට තිබෙන්නේ ද මේ වර්ණය කරණ කොටගෙන ය. විළියේ හැඩ නිලයක් නොපෙනෙනා සේ ඊට උඩින් තවත් පිළියක් පටලවා ගැනීමේ වරමක් ද අඳනධාරීන් සතු ය. එනිසා ඔවුහු, ඝණ්ටාර මාක්’ සේම ‘ගොනා කානුවේ’ අපවාදයෙන් ගැලවී සිටින්නට ඉඩ ප්‍රස්ථාවක් තමන්ට තිබෙන්නේයැයි සිතන්නෝ ය. වලාමේ! ඒවා ද ජරාවට පත් වන්නේ ය: පඪවි, ආපෝ, තේජෝ, වායු දරන්නේ ය: විනාශව යන්නේ ය. පිං පුරවා ගැනීම උරුමයක් නියමව තිබුණ ද මේ උන්දලා පව් ම පුරවා ගන්නෝ ය.


අද කොළඹයාට සාහිත්‍යය අමතක වී ඇත්දැයි දැනටමත් කයිකතාවලට මාතෘකාවන කොළඹයාගේ public කොලම ගැන දන්න අය සිතන්නට පුළුවන් ය. අනේ එහෙම නොවේ ය. මේ හදන්නෙත් සාහිත්‍යය ගැන කියන්නට ම ය. තවත් හොඳින් කියන්නේ නම් ‘සාහිත්‍ය විචාරයෙ’ හැටි ගැන කියන්නට ය. අනේ ඉතින් ඒකට මොකටද මේ සරම්, කලිසම්, අඳන කතාවක් නෙහ්.! කියා ආපහු සිතෙන්නටත් බැරි නැත අනේ නෑ. සත්තමයි. සාහිත්‍ය විචාරය ගැන කියන්නට නම් සරම්, කලිසම්, අඳන ගැන නොකියා ම බැරි ය. සිංහල සාහිත්‍ය විචාරයේ ශක්තිමත් පාදමක නටබුන් සරම්, කලිසම්, අඳන ඇඳ විළි වසා ගත් පරපුරක උරුමයට නතුව තිබෙන්නේ ය. ඒ බව සිංහල සාහිත්‍යයේ උරුමය ගැන දන්නා කොළඹයා හොඳින් ම දන්නේ ය.


පුස්කොළ පත් ඉරුවල සාහිත්‍යය ලියා තැබූ පරපුරක උරුමයක්, නිසි භාෂා පදම දැන, කල් යල් බලමින් මහා ඉවසිල්ලකින්, මාත්‍රා පත අටඑකට සිඳ ගැට පද සන්න කොට ජාතියට දායාද කළෝ අඳන ඇඳ විළි වසා ගැනීමේ උරුමය ලද ඇත්තෝ ය. ඒ මහා මෙහෙවර නිසා ම ඔවුහු ගෞරවපුරස්කාරය: පිදුම් ලැබීමේ සුදුස්සෝ ය. යළි යළි සිහි කළ යුත්තෝ ය. උන් අනුගමනය කරමින් ආවෝ සරම් හැඳ විළි වසාගත් රෙද්දස්සේ මහත්තැන්ල සේම අමුඩ හැඳ බත සරි කරගත් උගත්තු ය: පාලි, සකු, දෙමළ, සිංහල ඈ භාෂා දැනුම මූර්තිමත් කරමින් සාහිත්‍ය විචාරයට අතිමහත් ගෞරවයක් දුන්නෝ ඔවුහු ය. උහු පතපොතට මහත් බුහුමන් දැක්වූවෝ ය: ලේඛක උත්තමාචාරයෙහි කැමැත්තෝ ය. සෞන්දර්යයෙන් අනූන ජන සාහිත්‍යයක් ස්ථාපනය කළෝ ද එවැන්නෝ ය. එනිසා ම ඔවුහු පිදුම් ලබන්නෝ ය.


තල් කොළයෙන් පැපරස් කඩදාසියට සාහිත්‍ය හුවමාරු වූ යුගය ආරම්භ වන්නේ මුද්‍රණ ශිල්පයත් සමඟ ය. පළමුව විස්මයක් ලෙසත්, පසුව ප්‍රහර්ශයක් ලෙසත්, ඉනුත් අනතුරුව ආනන්දයක් ලෙසත් ආරම්භ වූ මේ සබඳතාව වඩාත් අර්ථ ගැන්වූවෝද, සරම් සහ අඳනයන් මතින් ගරු කටයුතු ලෙස විළි වසා ගත් පරපුර ම ය. පුස්කොළ පත් ඉරු මතින් පිට පැන පැපරස් කඩදාසිය මත කැටයම් වූ නව සාහිත්‍යය පිළිබඳ විචාරය උදෙසා ම කලිසමෙන් විළි වසා ගත් පිරිසක් ද මුසු වීම පැසසුම් කටයුතු විය. එකදහස් නමසිය තිහ, හතළිහ පනහ දශක පසු කරන විට සරම්, කලිසම් සහ අඳන යන විචාර සුසංයෝගය මතින් සිංහල සාහිත්‍යයේ බැබලීමක් සිදුවූ බව නොකිව මනාය.


සියල්ල ඈලියාවට යන්නට පටන් ගන්නේ ඉන්පසු ය. රටේ සාහිත්‍යය සහ රටේ පක්ෂ දේශපාලනය තනි රේඛාවක් මතට කැන්දවූයේ 1956න් පසු යුගයේ දී ය. ඉන්අනතුරුව සාහිත්‍යය විෂයයෙහි සිදුවූ අනුවණකම් ලියන්නට මෙවැනි කොලමක ඉඩ මදි ය. එහෙත් සැකෙවින් කොළඹයාට කියන්නට ඇත්තේ සරම්වලින් විළි වසාගත් සැබෑ උගතුන් අහෝසි වීමත්, කලිසම් සහ අඳන විචාරය අයාලේ යාමත් නිසා සිංහල සාහිත්‍ය විචාරය වල්වැදුණ බව ය. වැදගත් කලිසම් සහ වැදගත් අඳනයන් වෙනුවට ‘ව්‍යාජ කලිසම්’ සහ ‘ව්‍යාජ අඳනයන්’ ඉහළට එසවූණ බව ය. කොළඹයා ඒ විචාරකයන් හඳුන්වන්නේ ‘හාල්කෑලි විචාරකයන්’ කියා ය. මේ විකෘතික කලිසම් යට වසා ගත යුතු අංගපුලා ඇති බවක් නොපෙනෙන්නේය. එය ඔවුන්ගේ විචාරය තුළට විතැන්වූ සෙයකි. එනිසාම ඔවුන්ගේ විචාරයන් තුළ ‘ඝණ්ටාර මාක්' සේම ‘ගොනා කානුවේ’ සංකේත ද පෙනෙන්නේ ය: පේත කුම්භාණ්ඩ මුඛ ඕජස් ඉසින්නෝ ය: ලියන කියන අකුරක් අකුරක් පාසා කුහකකම දරන්නෝ ය.


මේ උන්දලා අංගපුලා අහිමි මිනිස් වාමනයන් බව කොළඹයාට දැනෙන්නේ ය. ඔවුන් උර තබා ගෙන සිටින්නේ තමන් විසින් ම ගෙනා පව්වල බර ය. ඔවුන්ට විචාරයක් ලියන්නට හේතුවක් වන්නේ කතුවරයාගේ දේශපාලන ආස්ථානය තමන්ගේ ආස්ථානයෙන් කොච්චරක් දුර ද? යන්න මිස ඔහුගේ කෘතියේ වැදගත්කම නම් නොවේ. මේ හාල්කෑලි විචාරකයෝ අනුන් විසින් මෙහෙයවන රූකඩයෝ ය. කොළඹයා එවැනි අය දකින්නේ හිස් මාස්ටර් වොයිස් - බලූ - සංකේත ලෙස ය. (ඒ බල්ලා පව් ය. කොළඹයා අදහස් කළේ හිස් මාස්ටර් වොයිස් බල්ලා ය)


අවසාන වශයෙන් කොළඹයා මෙසේ කියන්නේ ය. කලිසම් ඇන්දත්, අඳනයන් ඇන්දත් වසා ගන්නට විළියක් නැති විචාරක අපතයනි. තමන්ගේ ජීවිතවලට උරුම කරුම වූ අවාසනාවන්ත පීඩනකාරී අතීත වේදනාවන්, සාහිත්‍යයෙන් බේරා ගැනීමට උත්සාහ නොගෙන දෙන දෙයක් කා බණක් භාවනාවක් කර මේ ආත්මයේ උරුම කරුමයක් වූ වාමන උප්පත්තියෙන් නිදහස් වෙනු! පිළියෙන් වසා ගන්නට වත් අංගපුලාවක් ඇතිව උපදින්නට පිං රැස් කර ගනු!


ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි. x

 

කොළඹ 08 පැරණි නාමය - ඞීන්ස් පාර / සීමන්ඞ්ස් පාර මරදාන පොලිසිය ඉදිරිපිට එක් අන්තයක් ඇති ව ටවුන්හෝල් වට රවුම දක්වා දිවෙන මාර්ගය මේ නමින් හැඳින්වේ. පූජ්‍ය බද්දේගම විමලවංශ අනුනායක ස්වාමින්වහන්සේ (1913-1993* එකුන් විසිවන වියේ දී උපසම්පදාවෙන් අභිෂේක ලද්දෝ ය. උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනෙහි සිංහල සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය තනතුරක් දැරූ අතර විදේශයන්හි බොහෝ බෞද්ධ කටයුතුවල යෙදුණෝ ය. බුද්ධ ධර්මය ජාත්‍යන්තරයට ගෙන යෑම පිණිස උගත යුතු භාෂාවන් ඉගෙන ගැනීම කෙරෙහි අනෙකුත් භික්ෂූන් වහන්සේ යොමු කිරීමත් උන්වහන්සේ වෙතින් සිදු කෙරිණ. 1958 දී බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නිල නිවස අසල සත්‍යග‍්‍රහයක යෙදුණු භික්ෂූන් වහන්සේ අතර උන්වහන්සේ ද වූහ. බද්දේගම විමලවංශ ස්වාමීන්වහන්සේගේ ප‍්‍රියතම සිසුන් අතර, හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ද විය. බගතලේ පාර - බම්බලපිටිය, කොළඹ 04 ආර්. ඒ. ඩි මෙල් මාවත නොහොත් ඩුප්ලිකේෂන් පාර ඔස්සේ කොල්ලූපිටිය දෙස සිට ගමන් කරන විට ඇල්ප‍්‍රඞ් පෙදෙසට පසුව වම් දෙසට හමුවන පළමු මග මෙනමින් හැඳින්වේ. එහි අනෙක් අන්තය කුමාරතුංග මුනිදාස මාවතේ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් අවසන් වේ. 1822 දී ‘චාර්ල්ස් එඞ්වර්ඞ් ලයාර්ඞ්’ විසින් කූඩාරමක ආකාරයේ කුඩා ගෘහයක් සහිත අක්කර 6ක පළතුරු සහ වෙනත් භෝග සහිත වතුයායක් මිල දී ගත්තේය. පෙර හිමිකරු වූයේ ව්‍යාපාරිකයෙකු වූ ‘ඩැඩි පාර්සී’ නමැත්තාය. ලයාර්ඞ් එම කුඩා ගෘහය කඩාබිඳ දමා, දරුවන් 26 දෙනෙකුගෙන් යුත් ඔහුගේ විසල් පවුල වෙනුවෙන් විශාල ප‍්‍රාසාදයක් ගොඩනැගූ අතර එය ‘බගටල්’ නමින් නම් කළේය. ‘බගටල්’ යන්න ‘ඉතා ස්වල්ප දෙයක්’ යන අදහස දේ. එය, වත්ත මිල දී ගන්නාවිට තිබුණු කුඩා ගෘහය නිසා හෝ ප‍්‍රංශයේ ‘බොයිස් ඞී බොලොඥ්ඥෝ’ උද්‍යානයේ පිහිටි ‘ශටෝ ඞී බගටල්’ නම් විසල් වලව්ව හෝ ‘ඇබවිලේ’හි පිහිටි විසල් වලව්ව නිසා හෝ යෙදුණු නමක් විය යුතුය. පසුකාලීන ව මෙම ප‍්‍රසාදය සහිත වත්ත ඉතා අඩු ලන්සුවකට මිල විය. 1843 දී ‘ලයාර්ඞ්වරු’ නික්මුණු අතර ‘ද සොයිසාවරු’ මෙය අත්පත් කරගත්හ. ‘බගටල්’ යන්න ‘බගතලේ’ලෙසින් ව්‍යවහාර වන්නට වූ අතර කාමර 100කින් සමන්විත වූ බගතලේ වලව්ව 19 වන සියවසේ දී කොළඹ තිබුණු වලව් අතර මුල් තැනක් ඉසිලූ අලංකෘත ගෘහ නිර්මාණයක් විය. බහියතුලා අස්රෆ් පටුමග/බහ්ජතුල් අස්රර් පටුමග - කොම්පඤ්ඤ වීදිය, කොළඹ 02 පැරණි නාමය - කෙව් ලේන් සිනමන් ලේක්සයිඞ් හෝටලය ඉදිරිපිටි සිට මීටර 600ක් පමණ කොම්පඤ්ඤ වීදිය දෙසට ගමන් කරනවිට වම් අත දෙසට හමුවන කෙව් පැසේජය අවසන් වනුයේ බහ්ජතුල් අස්රර් පටුමගෙනි. බහ්ජට් අල්-අස්රර් යන්න අරාබි බසින් ‘රහස්වල අසිරිය’ වැනි අදහසක් ගෙන දෙන්නකි. එය, 1077-1166 කාලය තුල ජීවත් වූ පර්සියානු ඉස්ලාමීය දේශකයෙකු වූ ‘ශයික් අබ්දුල් කුවාඩිර් ජිලානි’ නොහොත් ‘හුසූර් ඝවුස්-ඒ-අසාම්’/‘රඩියල්ලාහු ටා’අලා අන්හ්’ නැමති අයගේ චරිතාපදානයෙහි නාමය වේ. පුරාවෘත්තයක් ව පවතින එක්තරා කතාවක් තිබේ. මෙරට විසූ එක් මුස්ලිම් ගැහැණු ළමයෙකු ඉහත කී ශයික්ගේ අනුගාමිකාවක වූවාය. වරෙක එක්තරා පුද්ගලයෙකු ඇයට අතවර කරන්නට උත්සහ කරන අවස්ථාවේ, ඇය, ‘ ඕ මාගේ ශයික් අබ්¥ල් කුවාඩිර්, මා බේරා ගනු මැනව!’ යි හඬ නැගුවාය. ඒ අවස්ථාවේ දී බැග්ඩෑග් නුවර ස්නානයෙහි යෙදෙමින් සිටි ශයික් එය නවත්වා සිය ලී සපත්තුව මෙදෙසට විසි කළේය. එය පෙර කී මිනිසාගේ හිසේ වැදී ඔහු මරුමුවට පත්විය. මෙම කතන්දරය විශ්වාස කරන පිරිස පවසන පරිදි එම ලී සපත්තුව මෙරට කොහේ හෝ පූජනීය ලෙසින් ආරක්ෂාකාරී ව තිබේ. ඒ මෙම මගෙහි යම් තැනක ද? බේයිලි වීදිය - කොළඹ කොටුව, කොළඹ 01 නව නාමය - මුදලිගේ මාවත කර්නල් චාල්ස් බේයිලි 1804 වනවිට කොළඹ ආඥාපතිවරයා විය. ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඇතිකරගත් ආරෝව සම්බන්ධයෙන් එකල ඔහු ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. කොළඹ කොටුවේ ගැරිසන් සරඹ පිටිය එකල යුද හමුදා කටයුතු (විශේෂයෙන් දඬුවම් කටයුතු* සඳහා භාවිතා කරමින් තිබුණු අතර අධිකරණය විසින් එය සිවිල් දඬුවම් කිරීම් සඳහා ලබා ගන්නා ලදී. බේයිලි විසින් සියලූම ගේට්ටු අගුලූ දමවා, හමුදාවේ නොවන කිසිවෙකුට සරඹ පිටියට ඇතුළුවීමට ඉඩ නොදෙන මෙන් මුරකාවලෙහි යෙදෙනවුනට අණ කළේය. මේ හේතුවෙන් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙනී සිටින්නට සිදු වූ අතර සිය නියෝගය ඉවත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කළ බැවින් ඔහුගේ ඇඟ බඳින ලදී. නෝර්ත් ආණ්ඩුකාරවරයා එය පසුදාම අහෝසි කළ අතර දෙවන අණදෙන නිලධාරි ජෙනරල් වෙම්ස් හමුදාවේ කටයුතු වෙත සිවිල් අතපෙවීම් හෙළා දකිමින් කොළඹ කොටුවට ඇතුළුවන සියලූම ගේට්ටු අගුළුදමා ලූෂින්ටන් නම් නඩුකාරවරයා මෙම සිදුවීමෙන් ඉවත් කර තැබීමට කටයුතු කළේය. නෝර්ත් ආණ්ඩුකාරවරයා ගේට්ටු නැවත විවර කරන මෙන් තදින් ඉල්ලා සිටින්නට වූ කළ ජෙනරල් වෙම්ස් විසින්, ‘එසේනම් ආණ්ඩුකාරවරයා තමන් විහින් කොළඹ කොටුවේ ආරක්ෂාව පිළිබඳ ව සහතික විය යුතුය’ යනුවෙන් පැවසුවේය. එබැවින් මහනුවරට එරෙහිව සිදුකෙරුණු හමුදාමය ව්‍යාපාරයක මැද හරියේ දී තවත් නිලධාරියෙකු අවමානයට පත්කර ඔහුගේ ඇඟ බඳින ලදී. බේයිලි යන නාමය, කොළඹ කොටුවේ පිටත තාප්පය - ඉ්සකැහ හඳුන්වනු පිණිස දමන ලද්දක් ද විය හැකිය. එසේ නැතහොත් පිස්කල්වරයා යන අදහස ඇති ඉ්සකසෙෙ යන වදනින් බිඳි ආවා ද විය හැකිය.

වම් ඉවුරේ වෙබ් නාදය