- කතුවැකිය
- Posted On
IMF යෑමෙන් වැඩක් වේද?
ජනාධිපති ජාතිය අමතා කතා කරමින්, තම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑමට තීරණය කර ඇති බව අනාවරණය කළේය. අප මුල සිටම කියා සිටියේ, එහි යෑමේ වරදක් නොමැති බව සහ අපට ප්රශ්නය තියෙන්නේ එහි ගොස් කරන දේ පිළිබඳව ගැනය.
අපේ මුදල් ඇමැතිවරයෙකු මෙවර එහි යන්නේ 19 වන වතාවටය. දෙවතාවක් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිය. සෙසු සියලූ දෙනා යු.ඇන්.පි.යේ මුදල් ඇමැතිවරුන්ය. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂට යෑමට සිදු වුනේ 2014 සුනාමි ව්‍යසනය සහ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේදීය. ඒ දෙවතාවම අපේ පාලනයෙන් බාහිර ආපදා අවස්ථාවන්හිදීය.
අප මත දැඩි අහිතකර කොන්දේසි පැටවූ අවස්ථා දෙකක් විය. එනම්, රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදී සහ රනිල් වික්‍රමසිංහයන්ගේ සහජීවන (චන්ද්‍රිකා ජනාධිපති සමයේ) ආණ්ඩුව කාලයේය. රාජ්‍ය ආයතන විකිණීමට සහ නව ලිබරල්වාදයේ දැඩි බලපෑම් එල්ල වූ අවස්ථා විය.
2022දී බැසිල් රාජපක්ෂ එහි යන්නේ, නිදහසින් පසු රට මුහුණ දෙන්නා වූ දැවැන්තම ආර්ථික අර්බුදය පවතින අවස්ථාවේය. ආණ්ඩුවට ඩොලරුත් නැත. රුපියලූත් නැත. මහා භාණ්ඩාගාරය මුළුමනින්ම හිස් කොට ඇති තත්ත්වයකදීය. එය සිදුවූයේ කෙසේද යන්න IMF එක හමුවේ පැහැදිලි කර දීමට වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සමත්වේද? දුෂ්කර කාර්යය පැවරෙනු ඇත්තේ මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල්ටය. ඔහු IMF යෑමට අදිමදි කළේ, සිදුකර ඇතිදේ ඔහු දන්නා බැවිනි.
මෙම අර්බුදය, නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ අහිතකර සහ හානිකර ප්‍රතිඵල බව කීමට ඔවුන්ට ආත්ම ශක්තියක් නැති බව නම් අපි සක් සුදක් සේ දනිමු. අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ තවමත් විවාදයක් තබා මුදල් ඇමැතිගේ විග්‍රහයක් හෝ අවම වශයෙන් ප්‍රකාශයක් වත් නැත. නවලිබරල්වාදය යන වචනය පවා යෙදීමට භය බව අපි දනිමු. එහි නොපිළිගන්නා හෙයින් විය හැකිය. එසේ නොවේ නම්, අර්බුදයට හේතුව භාණ්ඩාගාරය සූරාකෑම විය යුතුය. එය එසේනම්, හේතුව දේශපාලනය හෝ මෝඩකම විය යුතුය. සැබෑ හේතුව කුමක්දැයි රජයේ කිසිවෙකු කියා සිටින්නේ නැත.
ජනපතිගේ ජාතිය අමතා කතාවේදී ඒ ගැන වචනයක් හෝ කියා සිටියේ නැත. හිටපු මුදල් ඇමැති වත්මන් අගමැති කියන්නේද නැත. දන්නා කෙනෙකුද නැත.
ශ්‍රී ලංකාව IMF හි (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ) සාමාජිකයෙකු බව සැබෑය. දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945දී ‘බ්රෙටන්වුඩ්’ සමුළුවේදී මෙම ආයතනයත් ලෝක බැංකුවත් පිහිටවනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය හසුරුවාලීමේ අරමුණින් සහ සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සැපයීමටය. ‘මාර්ෂල් සැලැස්ම’ වශයෙන් ආධාර ව්‍යාපෘතියක්ද සකස් කරනු ලැබුවේ යුද්ධයෙන් විනාශ වූ බටහිර යුරෝපය පුනරුත්ථාපනය කරලීමටය. ඇත්ත වශයෙන්ම, එම ආයතනවල අරමුණු සහ කාර්යභාරය වූයේ ධනවාදී අර්ථික ක්‍රමය සුරැකීම සහ ශක්තිමත් කිරීමය. මුදල් ප්රාග්ධනය සැපයූවේ ඇමරිකාවයි. එම නිසාම ඇමරිකාවේ කැමැත්ත සියලූ තීරණවලට අනිවාර්යයෙන් අවශ්‍ය විය.
IMF එක යොදා ගත්තේ දියුණු වෙමින් පවතින රටවලට බර පටවා ප්රාග්ධනය සහ වෙළෙඳපොළ ධනවාදී රාජ්‍යයන් සවිමත් කරලීමටය. වෙනත් වචනවලින් කියතොත් අධිරාජ්‍යවාදය ශක්තිමත් කරලීමටය.
අප අද ජීවත් වෙන්නේ 21වන ශත වර්ෂයේ තුන්වන දශකයේය. එදා 1945දී පැවති ලෝකය අද ඇත්තේ නැත. අත ඒකද්‍රව ලෝකයක් නැත. ද්විද්‍රව ලෝකයක්ද නැත. අද තිබෙන්නේ බහුද්‍රව ලෝකයකි. අණදිය හැකි එක් මධ්‍යස්ථානයක් නැත. අද ආර්ථික මධ්‍යස්ථාන රැසකි. අද ආසියානු ආර්ථිකය වසර 500ට පසු ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත්ව ඇත. ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩකට වඩා සපයන්නේ ආසියාවයි. ආසියාවේ සියලූ කලාපයන් සංවර්ධනයේ ඉදිරියෙන් සිටිති.
ඒ අනුව, ලෝක ආර්ථික බලතුලනය වෙනස් වී ඇත. ලෝක ආර්ථික රටාවද එදාට වඩා වෙනස් වී ඇත්තේ, බහුද්‍රව වන බැවිනි. ආසියානු ආර්ථිකයේ එන්ජිම චීන ආර්ථිකයයි. චීනයේ වෙළෙඳපොළ ලොවේ විශාලතම වෙළෙඳපොළය. විශාලතම විදේශ සංචිතයද හිමිකරගෙන ඇත්තේ චීනයයි. විශාලතම අපනයනකරු සහ ආනයනකරු චීනයයි. තාක්ෂණය අතින්ද දැන් චීනය ඇමරිකාව සමග කරට කරය. අධිරාජ්‍යවාදය, නිෂ්පාදනය, මූල්‍ය ශක්තිය, යුද්ධමය ශක්තිය, තාක්ෂණ ශක්තිය අතින් දුර්වල වෙමින් තිබේ. මාධ්‍ය ප්රචාරක ශක්තියද දුබල වෙමින් පවති.
මෙම සන්දර්භය තුළ IMF යනු තවදුරටත් මහේශාක්‍ය තත්ත්වයේ ආයතනයක් නොවේ. IMF හි ප්රාග්ධනය 72%ක් පමණ දැන් අයත් වන්නේ සංවර්ධනය වන රටවලටය. ඇමරිකාවේ බලයද හීනවී ඇත. IMF බැඳුම්කර මිලදී ගන්නේ වැඩිපුර චීනයයි. IMF එක ණය ගැනීමේදී, ණය ලබාදිය හැකි රටද චීනයයි. ඒ අනුව, IMF දැන් ‘ලොම් හැලිච්ච සිංහයෙකු’ බවට පත්ව ඇත.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමා අපේක්ෂා කරන ණය ප්‍රමාණය ලැබේ යැයි සිතිය නොහැකිය. ගෝලීය මූල්‍ය අර්බුදය සමයේ ඩොලර් නොමැතිව IMF එක තමන් සතු රත්රන් ටොන් 403ක් විකුණා, ඩොලර් ලබාගත් කතාව බැසිල් ඇමැතිතුමා දන්නවාදැයි අපි නොදනිමු.
ජනාධිපතිතුමාගේ ජාතිය අමතා කතාවේ හැටියට, ඔහුට ණය ආපසු ගෙවීමට ඩොලර් බිලියන 6.9ක් මෙම වසර තුළ අවශ්‍යය. එය ලබාගන්නේ කෙසේද? ඉන්දියාවෙන් බිලියනයක් ඩොලර් ලබා ගත්තේ සිංහල-හින්දු අවුරුද්දට අවශ්‍ය කෑම ලබාගැනීමට පමණය. ණය ආපසු ගෙවන්නේ කෙසේද? සංවර්ධනයට අවශ්‍ය මුදල් ලබා ගන්නේ කෙසේද? එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් ලබා ගන්නේ කෙසේද?
මෙවැනි ගැඹුරු ප්‍රබල තීරණාත්මක අර්බුදයක් පවතිද්දී IMF එකට අප රට ගොඩනගන්න ශක්තියක් නැත. යම් ප්‍රමාණයෙන් ණය ලැබිය හැකිය. එයද ආපසු ගෙවිය යුතුය.
ආදායමක් නොමැතිව, වියදම් කිරීමෙන් ඇතිවූ ඵල විපාකවලට දැන් පොදු ජනතාව දුක් විඳිති. පාලකයෝ නිහඬය. නිදි වැදී ඇත.
ඇත්ත කතුවැකිය 27.03.2022