Friday, 27 November 2020

EDITORIAL

ඇමෙරිකානු ජනාධිපතිවරණය : ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව

ඇමෙරිකානු ජනාධිපතිවරණය 2020 නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය. මින් පෙර වතාවලට වඩා මෙවර ජනාධිපතිවරණය කෙරෙහි ලොව අවධානය යොමු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ මෙවර තරගය තියුණුවීමත්, නව ජනාධිපතිවරයෙකු කෙරෙහි දක්වන අවධානයට වඩා බලයේ සිටින ජනාධිපතිවරයා කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමයි. ඒ ඩොනල්ඞ් ට්‍රම්ප් විවාදාත්මක පුවත් මවන කයිවාරුකාරයෙකු වන බැවිනි. ආක්‍රමණශීලි පුද්ගලයෙකු බවට පෙන්නුම් කළද, බලයට පැමිණි දා සිට ඔහු සිටියේ ආරක්ෂාකාරී තත්ත්වයකය.

ඔහුගේ තේමාව වූයේ ”පළමුව ඇමෙරිකාව,” ”ශ්‍රේෂ්ඨතම ඇමෙරිකාව” යි. වසර සතරක් බලයේ සිටියද, එම කාලය තුළ ඇමෙරිකාව සිටි පළමු තැනින්, දෙවන තැනට තල්ලූ කරනු ලැබ ඇත. ඇමෙරිකාවේම නිර්මාණයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව, ”චීනය ලොව විශාලතම ආර්ථිකය” බවට පත් ව ඇත.


ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂය උපතේ සිටම ආක්‍රමණශීලි, වඩාත් ජාතිකවාදී, වඩාත් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකි. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට සුවිශේෂි වුණු ගති ලක්ෂණ නිසා ඔහු ඇමෙරිකානු සමාජය තුළ ජනප්‍රියවාදියෙකු විය. තම වානිජ ව්‍යාපාරය සහ කාන්තා ලෝලයෙකු වීම නිසාම ඔහු රාජතාන්ත්‍රක රාමුවෙන් පිට පැන්න ජනාධිපතිවරයෙකු විය.


ඔහු බලයට පැමිණියේ (2016) ගෝලීය මූල්‍ය අර්බුදය (2008-2013) අවසානයත් සමඟ ආර්ථිකය ගොඩගැනීමේ අභියෝගය මධ්‍යයේය. නව ලිබරල්වාදයේ ව්‍යුහාත්මක අර්බුදය හමුවේ ඉන් ගොඩ ඒමට ඔහු තල්ලූ වූයේ ආක්‍රමණශීලි විදේශ සහ ආර්ථික ප්‍රතිපත්තියටය. දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවු ද්විධ්‍රැ ලෝක රටාව පසුකාලයේදී ඒකධ්‍රැ ලෝක රටාවක් බවට පත්වුවද, ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ මුළුමනින්ම බහුධ්‍රැව ලෝක රටාවක් බවට පත්වීය. අද යුරෝපා සංගමය, ඇමෙරිකාවෙන් දුරස් වී ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී ඇත. යුරෝපා සංගමය තුළද ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න වී ඇත. ජර්මනිය, යුරෝපා සංගමයේ සෙසු රටවල් යට කරමින් ඉදිරියට පැමිණ ඇත. ලතින් ඇමෙරිකානු රටවල් අතුරින් ඇමෙරිකාවට සමීප වී තිබෙන්නේ බ්‍රසීල රජයට වඩා බ්‍රසීල ජනාධිපතිවරයාය. ඇමෙරිකාව, මුළුමනින්ම අප්‍රිකානු මහද්වීපයෙන් තනිවී තිබේ. නේටෝ සංවිධානයේ බලවතෙකු වන තුර්කිය ඇමෙරිකාවෙන් දුරස් වී ඇත.


චීනය බලගතු ආර්ථිකයක් බවට පත්වීම හමුවේ ඇමෙරිකාව උභතෝටිකයකට පත්ව තිබේ. ඇමෙරිකාව හමුවේ ඇත්තේ විකල්ප තුනකි. තරගකාරීත්වය, සහයෝගීතාවය සහ ගැටුම්කාරීත්වයය. ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසර තුළ තරගකාරීත්වයට බිය විය. සහයෝගීතාවයට සූදානම් නැත. එයද බිය නිසාමය. ඉතිරි වී ඇති එකම විකල්පය ගැටුම්කාරීත්වයයි. ගැටුම්කාරී තත්ත්වයකට යෑම අවදානම් සහගත බව දන්නා ඩොනල්ඞ් ට්‍රම්ප් යුද්ධ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමේ සීමාවේ සිට ක්‍රියාකරන බව පෙනේ.  මැද පෙරදිග ලැබු පරාජය, හානිය සහ පාඩුව වටහා ගනිමින් සෘජු ගැටුම්කාරීත්වයකට යෑමෙන් වැළකී සිටී. හඬ නගා තර්ජනය කිරීමේ නියැලි සිටී. ඔහු කොතරම් කෑගැසුවද ඔහු කළේ බුෂ් ආරම්භ කළ ඊනියා ත්‍රස්තවිරෝධී යුද්ධය දිගටම ගෙන යෑම පමණය.


ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ඔහු ඇමෙරිකාවේ සුදු ජාතිකයින්ගේ ඡන්ද ගරා ගැනීමේ ව්‍යායාමයක යෙදෙන බව ඔහුගේ මෑත ප්‍රකාශවලින් පැහැදිලි වන්නේය. ඔහුගේ අවසන් තුරුම්පුව වශයෙන් ගෙන ඇති තීරණය වන්නේ තායිවානයට ඩොලර් බිලියන 1.8ක් වටිනා අවි සැපයීමයි.


චීනය සහ ඇමෙරිකාව අතර යළි සබඳතා ගොඩනැගීමෙන් පසු (1971) වඩාත් ගැටුම්කාරී තත්ත්වයකට තුඩු දෙන්නාවු තීරණය, තායිවානය පිළිබඳ යථෝක්ත තීරණයයි. තායිවානය චීනයේම කොටසකි. දෙවන ලෝක යුද්ධ සමයේදී තායිවානය, ජපානය සතු කරගෙන තිබු දූපතයි. මිලයන 22ක් පමණ ජනගහණයක් ඇති තායිවානය දෙවන ලෝක යුද්ධයෙන් පසු ආපසු භාර දුන්නේ යුද්ධ සමයේදී ඇමෙරිකාවේ පැත්ත ගත් චීයාන් කායි ෂේක්ටය. ඔහු බීජිං නුවරින් පළා ගොස් තායිවානයේ රැකවරණය ලබා ගත්තේය. එය ඇමෙරිකාවේ සූක්ෂම කුමන්ත‍්‍රණයක් තුළින් සිදු කරන ලද්දකි. එම චීයාන් කායි ෂේක්ගේ පක්ෂය වර්තමානයේ එක්සත් චීනයක් සඳහා වූ ස්ථාවරයක් ගත් පක්ෂයකි. එහෙත්, දැනට බලයේ සිටින පක්ෂය ඇමෙ රිකානු ගැත්තන් වශයෙන් ක්‍රියාකරන පක්ෂයකි.


තායිවානයට අවි සැපයීමේ තීරණය චීන රජය ප්‍රකෝපයට පත් කෙරෙන ක්‍රියාවකි. චීනය, විප්ලවයෙන් පසු යුද්ධයකට පැටළුනේ නැත. දේශ සීමා ප්‍රශ්න මතුවූ බව සැබෑය. එහෙත් චීනයේ ස්වෛරීත්වයට එල්ල කළ තර්ජනය වන්නේ තායිවානයට අවි සැපයීමේ තීරණයයි.


මේ ලියන මොහොත වන විට චීනය ඇමෙරිකාවේ නම සඳහන් කරමින් අවි සපයන ඇමෙරිකානු සමාගම්වලට දඩුවම් කරන බවට විවෘත ලෙස තර්ජනය කර ඇත. ට්‍රම්ප්ගේ මෙම තීරණය ජනාධිපතිවරණය සඳහා වු ඔහුගේ අවසන් තුරුම්පුවයි. මෙය දක්ෂිණාංශික, ජාතිවාදී, වර්ණවාදී සුදු ඇමෙරිකානුවන්ගේ ඡන්දය ලබා ගැනීමේ සියුම් උපක්‍රමයක් බව දැන් වඩාත් පැහැදිලිය.


මිලියන 08ක් කොරොනාවෙන් පෙළෙන ඇමෙරිකානු, ජනතාවගේ දැවෙන සෞඛ්‍ය ප්‍රශ්නය නොතකා ඩොනල්ඞ් ට්‍රම්ප් තම අවසන් තුරුම්පුව වශයෙන් තායිවානයට අවි සැපයීමේ තීරණය ගත්තේ බලයේ රැදී සිටීමට වෙනත් මගක් නොමැති හෙයිනි. තුරුම්පුව සාර්ථක වේද?⋆

වම් ඉවුරේ වෙබ් නාදය