Saturday, 17 April 2021

EDITORIAL

ජනපතිගේ 'ගම සමඟ පිළිසඳර' උතුරටත් ඕනෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන අවිවාදයෙන්ම ඵලදායී මෙන්ම ජනතාව අතර ජනප්‍රිය වැඩසටහනකි. එහි, විශේෂත්වය නම්, දිවයිනේ දුෂ්කරම, කිසිවෙකුගේ අවධානය යොමු නොවුණු ගම්මානයක් තෝරා ගැනීමය.

අපේ රටේ විවේචනයට ලක් නොවන කිසිම දෙයක් නැත. එය අපගේ දේශපාලන සංස්කෘතියේම ලක්ෂණයකි. හේතුව සියල්ල දේශපාලනීකරණය වී තිබීමය. එය නව ලිබරල්වාදයෙන් ජනිත වී ඇති ප්‍රපංචයක් විය හැකිය. නව ලිබරල්වාදය මෙහි පැමිණීමට පෙර එවැනි රෝගයක් දේශපාලනයට වැළඳී නොතිබිණ.

1978ට පෙර, රජයේ ව්‍යාපෘති විවෘත කරන විට විපක්ෂයද සහභාගි වීම අප දැක ඇත්තේය. විපක්ෂයටද ආරාධනා කිරීම ආණ්ඩු පක්ෂයේ පිළිවෙතයි, විශේෂයෙන්ම ආසනයේ මන්ත්‍රීවරයාට ආරාධනා කිරීම සිරිතකි. අමාත්‍යවරයෙකු ආසනයට සම්ප්‍රාප්ත වන විට ආසනයේ මන්ත්‍රීවරයාට දැනුම් දීම රාජ්‍ය ප්‍රතිපත්තිය විය.

එහෙත් අද ආණ්ඩු පක්ෂයේම අය පැමිණෙනවාට, ආණ්ඩු පක්ෂයේම තවත් අයෙක් අකමැතිය. ඒ මනාප පොරය නිසාය. මනාප ක්‍රමය, නව ලිබරල්වාදය ලබා දුන් දායාදයකි.

උතුර ගැන කතා කරන විට, උතුරේ ජනතාවට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකැයි කීම ද නිවැරදි නැත. කුඩම්මාගෙන් යම් සැලකිල්ලක් ලැබේ නම්, එවැනි සැලකිල්ලක්වත් උතුරේ ජනතාවට නොලැබෙන බව කිව හැකිය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිටියත්, පුළුල්ව ගත් කළ කිසිදු හව්හරණක් නොලැබෙන ජනතාවක් උතුරේ ඇත. මෙය නිදහසට පෙර සිට පැවත එන කාලකන්ණි තත්ත්වයකි. ජාති, ආගම්, දේශපාලන භේදවලට අමතරව කුලමල භේදයද අතිරේක ව්‍යවසනයකි. මන්ත්‍රීවරයා කුමන පක්ෂයකට අයත් වුවද, ජනතාවදී සත්වයෙකු සොයා ගැනීම උගහටය. භේදය එතරම් උග්‍රය. සමාජයේ සෑම මට්ටමකම පවතින්නේ බෙදීමකි.

පොදු ජනතාවගේ සාමාන්‍ය දැනුම, සහජ බුද්ධිය මතුවීමට ඉඩක් ලැබෙන්නේම නැත. මිත්‍යාව විසින් සෙසු සියලු යහපත් දේ යටපත් කරනු ලැබ ඇත. තිස් වසරක යුද්ධය, උතුරේ ජනතාව තුළ තිබූ සියලු යහපත් දේ විනාශ කරනු ලැබ ඇත. යුද්ධය නිමාවට පත්ව වසර දොළහකි. පුනරුත්ථාපනය කරනු ලැබූ තරුණයෝ තවමත් දොළොස් වසරකට පෙර සිටි තත්ත්වයේමය. ඇති - හැකි අය රටින් පිටව ගොස්ය. රැදී සිටින්නේ නැති බැරි අය පමණය.

උතුරේ දේශපාලනය ගත් කළ තවමත් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ එදා 1947 පළමුවන පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලන මතවාදයේ සිටි අයගේම මතවාදයේ නව පරපුරයි. එනම් මුල් දමිළ ජාතික සංගමය නැත්නම් ඉන් බෙදී ආ පෙඩරල් දේශපාලනයට අයත් අයමය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) හෝ දමිළ ජාතික සන්ධානය (TNA) වශයෙන් හැඳින් වුවද එම දේශපාලන මතවාදයට අයත් අයය.  1983 කළු ජූලියෙන් පසු දේශපාලන බලය මාරු වූයේ  වඩාත් උග්‍ර වර්ගවාදයට, බෙදුම්වාදයට  සහ ත්‍රස්තවාදයටය. (LTTE)

2009 දී කොටි ත්‍රස්තවාදය (LTTE) සමූල ඝාතනය කරනු ලැබුවද එම මතවාදය ඉවත් කරනු ලැබුවේ නැත. එක් මතවාදයක් පරාජය කළ හැකි වන්නේ තවත් මතවාදයකිනි. විකල්ප මතවාදයක් මතුවනවා තබා විකල්පයක්වත් මතුවූයේද නැත. මතුවූයේ විකල්පයක් නොව ආදේශකයකි. 2009න් පසු,  විකල්පයක් මතුවීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය වීමට ඉඩ ලැබුණේ නැත.

රට වශයෙන් ආණ්ඩු වෙනසක් ඇති වුවද එම ආණ්ඩු වෙනස නව දේශපාලන මතවාදයක් තබා නව දේශපාලන සංස්කෘතියක්වත් පෝෂණය වීමටවත් ඉඩ සලසා නැත. දකුණේ දෙමළ විරෝධී සිංහල අන්තවාදයට එක පැත්තකින්ද උතුරේ සිංහල විරෝධී දමිළ අන්තවාදයටද පෝෂණය වීමට ඉඩ හැර ආණ්ඩුව කරබාගෙන සිටී.

ඒ වෙනුවට දේශපාලන ‘ඩීල්’ ක්‍රමවේදය හොඳම දේශපාලන උපක්‍රමය බවට පත්ව ඇත. දැන් එය මුස්ලිම් ප්‍රජාවටද බෝවී තිබේ. ‘ඩීල් දේශපාලනය’ මනාප - සමානුපාතික මැතිවරණ ක්‍රමයට ගැට ගසා ඇත. 1983 කළු ජූලියෙන් හෝ 2019 අප්‍රේල් පාස්කු සිද්ධිය යන දෙකම රටේ දමිළ සහ මුස්ලිම් ඩීල් දේශපාලනය පෝෂණය කරලීමට ඉවහල් වී තිබේ.

රටේ බලයට එන ආණ්ඩුවලට නායකත්වය දෙන්නා වූ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම, මෙම ඩීල් දේශපාලනයෙන් ඉවත්වන තෙක් උතුර - නැගෙනහිර දේශපාලනය, ජාතික දේශපාලනයට යළි ගෙන ඒමට ඉඩ ලැබෙන්නේ නැත.

නිදහසින් පසු අවස්ථා දෙකකදී උතුරේ මෙන්ම නැගෙනහිර දමිළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාවද සිංහල ජනතාව සමඟ එක්ව එකම දේශපාලන ධාරාවකට එක්වූහ. එනම්, 1982 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුවටත්, 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටත් බහුතර  දමිළ හා මුස්ලිම් ජනතාව ඡන්දය දුන්හ. 1982 දී වමේ අසමගිය නිසා අවස්ථාව ගිලිහී ගියේය. 1994 දී බලය ලැබුණද, පාර්ලිමේන්තුවේ වැඩිපුර එක් ඡන්දයක් පමණක් වූ හෙයින් තීරණාත්මක යමක් කිරීමට අවස්ථාව නොලැබිණි. 1994 දී එල්ටීටීය ප්‍රබලව සිටියේය. යුද්ධය නිමාවට පත්වීමෙන් පසු 2009 දී උදාවූ අලුත් තත්ත්වය අපේ අතින් ගිලිහී ගියේ යුද ජයග්‍රහණයෙන් අප මත්ව සිටි බැවිනි. එදා සිට ජිනීවාවලට මුහුණ දෙමින් ලතවෙමින් සිටින්නට සිදුවී තිබේ. ඉතිහාසයෙන් උගත් පාඩමක් නැත.

ජනාධිපතිතුමාට දැන් තවත් අවස්ථාවක් උදාවී තිබේ. සමාජ - ආර්ථික ප්‍රශ්නවලට ඉහළම ජාතික ප්‍රමුඛතාවය ලබාදී දමිළ හා මුස්ලිම් ජනතාව දිනාගැනීමේ වැඩ පිළිවෙලකට අවතීර්ණ වන ලෙස ‘ඇත්ත’ අවධාරණයෙන් ඉල්ලා සිටී. ආරම්භයට, ගම සමඟ පිළිසඳරක් වැඩ සටහන් කිහිපයකින් උතුරට හා නැගෙනහිරට අවතීර්ණ වෙමු.

දිනා ගැනීමට ජනතාවක් ඇත. එඩිතර තීරණයක් ගන්න. ජනතාව ඔබ වටා රොක්වනු ඇත. ඔවුන් සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයේය.

2021 මාර්තු 28 ඇත්ත කතුවැකිය

 

වම් ඉවුරේ වෙබ් නාදය