Saturday, 17 April 2021

EDITORIAL

සහල් - සීනි - පොල් තෙල් මාෆියාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ වසර එක හමාරකි. නව පාර්ලිමේන්තුව ස්ථාපනය කොට මාස හතකි. නව ආණ්ඩුවේ මුල් අවස්ථාවේදීම එල්ලවූ අභියෝගය කොවිඩ් 19 ගෝලීය කොරෝනා වසංගතයයි. එය මුල වටයේදී සාර්ථකව පාලනය කිරීමට හැකි විය. ජනතාව එය පිළිගත්තේ තුනෙන් දෙකක තරම් බලයක් ලබා දෙමිනි.

දෙවන කොවිඩ් රැල්ල පාලනය කරලීමට රජය අපොහොසත් විය. එසේ දෙවන වෑයම අසාර්ථක වූයේ ඇයිද යන්න තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නයකි. මිනුවන්ගොඩ - පෑලියගොඩ රැල්ල පහසුවෙන්ම පාලනය කරගත හැකි වූ ශක්තියක් සෞඛ්‍ය අමාත්‍යංශයයට තිබුණි. එය ඔවුන්ගේ අතින් ගිලිහී ගියේ, ප්‍රශ්නය දේශපාලනීකරණය වීමෙන් බව අපගේ පිළිගැනීමයි. එය හඳුනා නොගත් නිසා දිගින් දිගටම එවැනි අසමත්වීම් නැතිනම් පීලි පැනීම් සිදුවන බව පෙනේ.

මියගිය මුස්ලිම් ආසාදිතයන්ගෙන් සිරුරු මිහිදන් කිරීමට ගත හැකිව තිබූ තීරණය දිගින් දිගටම කල් දමා, ප්‍රශ්නය ජිනීවාහි න්‍යාය පත්‍රයට ඇතුල් වූ පසු, නිවැරදි තීරණය ගන්නා විට සිදුවී ඇති හානියට වගකිව යුත්තෙක් නැත. වරද කාගේද? කොතැනද? යන්න තවමත් රට දන්නේ නැත. එම ප්‍රශ්නය අවුල් කරනු ලැබුවේද ප්‍රශ්නය දේශපාලනීකරණය වීම නිසාය. විද්‍යාඥයින් ගත යුතු තීරණයටද දේශපාලනීකරණය වීම නිසා තවත් ප්‍රමාද විය.

දැන් එන්නත් පිළිබඳවද එවැනිම තත්ත්වයක් උග්‍රවෙමින් තිබේ. ඒ චීන එන්නත සහ රුසියානු එන්නත පිළිබඳවයි. මෙහිද දේශපාලනයක් තිබෙන බව පෙනේ. එම ප්‍රශ්නය කොතැනින් නැගුණද, අවසාන විග්‍රහයේදි එහිද දේශපාලන පැතිකඩක් ඇත. ගෝලීය මට්ටමින්ම එවැනි ප්‍රවණතා දැකිය හැකිය.

සහල් - සිනි - පොල් තෙල් ගැන කතා කිරීමට සිදුවී තිබෙන්නේ ඉහතින් දැක්වූ පසුබිම තුළ සිටිමිනි.

සහල් - සීනි - පොල් තෙල් පිළිබඳ ප්‍රශ්නය නිෂ්පාදනයට මෙන්ම බෙදාහැරීමට අදාළ ප්‍රශ්නයි. දූෂණය ප්‍රධාන ප්‍රශ්නය වශයෙන් ජනතාව හමුවේ මතුවී තිබුණද මෙහි ආර්ථික උපාය මාර්ගය සහ ප්‍රතිපත්තිය පිළිබඳ මූලික ප්‍රශ්නයට අත නොතබා, ඊට විසඳුම් සෙවිය නොහැකිය.

පළමුව සහල් ප්‍රශ්නය ගනිමු. එය පොදු ජනතාවට බලපාන්නා වූ ප්‍රධානතම ප්‍රශ්නයයි. නිෂ්පාදක ගොවියාට, බෙදාහරින්නාට නොහොත් වෙළඳ ප්‍රජාවට මෙන්ම පාරිභෝගිකයාට බලපාන්නා වූ ප්‍රශ්නයකි. එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බැවිනි. එම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය. නිෂ්පාදනයේ අතිරික්තයක් අපේක්ෂා කරන බව කියන වී ඇමැතිවරයා මෙන්ම බෙදාහරින සහල් ඇමැතිවරයා යන දෙදෙනාම වැඩිවන සහල් මිල ගැන නොතකා විවිධ හේතු ගෙනහැර පාති. සහල් ඒකාධිකාරය, සතර දෙනෙක් අත පවතින බව වී ඇමැති මෙන්ම සහල් ඇමැතිද තොර තෝංචියක් නැතිව කියා සිටිති. එය ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. එම ප්‍රශ්නය අදාළ වන්නේ ආණ්ඩුවටය. ජනතාවට අදාළ වන්නේ සාධාරණ පාරිභෝගික මිලකි. නිෂ්පාදක ගොවියා අපේක්ෂා කරන්නේද සාධාරණ මිලකි. මෙතැන ඉල්ලුම, සැපයුම න්‍යාය ක්‍රියාත්මක නොවේ. ඊට බාධා පමුණුවන්නේ සහල් ඒකාධිකාරය හිමි සතර දෙනාය.

ඉල්ලුම සැපයුම න්‍යාය නොතකා ගැසට්ටු මලින් මිල පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙතන ඇත්තේ ඉල්ලුමට වඩා සැපයුමකි. එහෙත් සැපයුමට කෘතීම බාධා පමුණුවා ඇත. එම බාධක ඉවත් කරලීම කළ හැකි වන්නේ රාජ්‍ය මැදිහත්වීමක් තුළින් පමණි. එම රාජ්‍ය මැදිහත්වීම වී ඇමැති සහ සහල් ඇමැති අතින් මෙතෙක් සිදුවී නැත.  ඊට ඇති බාධකය කුමක්ද? අමාත්‍ය මණ්ඩලයද?

සහල් මෝල් නොමැතිව රාජ්‍ය යාන්ත්‍රණයට සහල් මිලට මැදිහත්වීමක් කළ නොහැකිය. පෞද්ගලික අංශය සමඟ තරඟ කිරීමට නම් ඊට අවශ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය.

වී මිලදී ගන්නා රාජ්‍ය යාන්ත්‍රණයද මේ වන තුරු ක්‍රියාත්මකව නැත. මිලදී ගත් වී කෙටීමට යාන්ත්‍රණයක්ද තිබිය යුතුය. කොටාගත් සහල් බෙදාහැරීමටද යාන්ත්‍රණයක් අවශ්‍යය. ඒ සඳහා වූ සමූපකාරය අද ඇත්තේ නැත. සතොස වෙළඳසැල් ප්‍රමාණවත් නොවේ. ඒ අනුව බෙදාහැරීමට පෞද්ගලික අංශයද යොදාගත යුතුය. ‘නියෝජිත ක්‍රමය’ අත්හදා බලා ඇති ක්‍රමයකි. මහාපරිමාණ හාල් මෝල් වී නිෂ්පාදනය කරන ප්‍රදේශවල තිබිය යුතුය.  එවන් හාල් මෝල් පද්ධතියක් බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ තිබිණ. ඒවා සියල්ල යූඇන්පී ආණ්ඩුව විකුණා දැම්මේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය.

බණ්ඩාරනායක යුගයේ කුඩා හාල් මෝල් හිමියෝ අද සහල් ඒකාධිකාරය මෙහෙයවන්නෝය. ඔවුන්ගේ පන්තිමය උවමනාවන් එදාට වඩා අද වෙනස්ය.  ලොරි ප්‍රවාහන සේවයද එසේමය. බොහෝ විට ප්‍රවාහන සේවයද සහල් මෝල් හියන්ගේමය. බොහෝ විට ප්‍රාදේශීය හෝ කලාපීය තොග වෙළෙඳුන්ට මූල්‍ය පහසුකම් සපයන්නේද මොවුන්ය. රාජ්‍ය බැංකුවලින් උපරිම ණය පහසුකම් ලබන්නේද මෙම සහල් මෝල් හිමියන් කිහිප දෙනාටය. කුඩා මෝල් හිමියන්ද අසරණ තත්ත්වයට පත්ව ඇත.

මින් ප්‍රදර්ශනය වන්නේ ධනේශ්වරය ග්‍රාමීය ප්‍රදේශවල මෝදු වන අකාරයයි. සහල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩයකට මෙම වෙළඳ ක්‍රියාවලිය අදාළ වන විට එය රජයට බලපාන ප්‍රශ්නයක් වනු ඇත. රජය ජනතාවගේ පැත්ත ගන්නවාද? මූල්‍ය ප්‍රාග්ධන හිමියන්ගේ පැත්ත ගන්නවාද? ඒකාධිකාරී සහල් මෝල් හිමියන්ගේ පැත්ත ගන්නවාද? ප්‍රවාහන සේවා අයිතිකාරයන්ගේ පැත්ත ගන්නවාද කියා මුලින්ම නිරාකරණය කරගත යුතුය.

සැලසුමක්වත් නොමැතිව සංවර්ධනයක් සිදුවන විට ඉන් බිහිවන්නේ අයාලේ යන ආර්ථිකයකි. අයාලයේ යෑමට ඉඩදීම යවනු නව ලිබරල්වාදයයි.

වී ඇමැතිට හෝ සහල් ඇමැතිට පමණක් දොස් නැගීම ඵල රහිතය. මෙහි ඇත්තේ උපාය මාර්ගික මෙන්ම ප්‍රතිපත්තිමය ප්‍රශ්නයකි. 1956 සිට ක්‍රමානුකූලව වර්ධනය වූ දේශීය ධනේශ්වර ස්ථරයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ පක්ෂ දේශපාලන තලයේ වැජඹෙන ස්ථරයත් දේශපාලනයට අවතීරණ වී තිබේ. ඒ අනුව ප්‍රතිවිරෝධතා මතුවීම ස්වභාවිකය. එය රජයේ පැවැත්මට තර්ජනයක් වූ අවස්ථා ඉතිහාසයෙන්ද දැකිය හැකිය.

අගමැති බණ්ඩාරනායක ඝාතනය කළේ අධිරාජ්‍යවාදීන් විසින් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින්ම පෝෂණය වූ ධනේශ්වරය විසිනි.

සීනි සහ පොල් තෙල් අයිති වන්නේද වාණිජ ධනේශ්වර ස්ථරයටය. එතැනද ඇත්තේ සහල් මෝල් හිමියන් වැනි ආනයන ක්ෂේත්‍රයේ ධනේශ්වර ස්ථරයකි. මෙම ප්‍රතිවිරෝධතා පන්තිමය ප්‍රතිවිරෝධතාය. වාමගාමී බලවේගයන්ගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ මෙවැනි ප්‍රතිවිරෝධතා මතුවන අවස්ථාවලය.

වම් ඉවුරේ වෙබ් නාදය