- කතුවැකිය
- Posted On
විස්සේ හදිසිය
නව රජයේ කුළුදුල් පනත, එනම් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේම අමාත්‍ය මණ්ඩලයට යොමු කරමින් අනුමත කරවාගෙන ගැසට් කරනු ලැබීය. ප්‍රකාශයට පත්වූ සැනින් ආණ්ඩුව තුළින් පවා ඊට විරෝධතා මතුවිය. ජනතාවගේ ප්‍රතික්‍රියා සැණකින් හඳුනාගත් අගමැතිතුමා, ක්ෂණිකව කමිටුවක් පත් කොට තමාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වාර්තාවද ක්ෂණිකවම ලැබුණි. එහි අඩංගු දේවල් මොනවාදැයි අපි නොදනිමු. ඒ වාර්තාව අමාත්‍ය මණ්ඩලයටද මේ දක්වා ඉදිරිපත් නොවුණි.
මේ අතරතුර අමාත්‍යවරුන්ගේ විවිධ ප්‍රකාශ මාධ්‍ය තුළින් පළවිය. ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, තමා එම ව්‍යවස්ථා සංශෝධනයේ කර්තෘ නොවන වග කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ එහි කර්තෘ තනි පුද්ගලයෙකු නොව ආණ්ඩුවම බවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා එහි වගකීම භාර ගන්නා බව අවසානයේ කියා සිටියේය. එය තේරුම්ගත හැකිය. ඔහු ආණ්ඩුවේ නායකයා මෙන්ම රාජ්‍ය නායකයාද වේ. අමාත්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වන්නේද ජනාධිපතිවරයාමය.
පිළිතුරු අවශ්‍ය වන්නේ එම ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලය තුළ ගැඹුරින් සාකච්ඡා කළාද යන්නටය. එසේ සාකච්ඡාවට බදුන් වූවා නම්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ට විවිධ වූ ප්‍රකාශ කරන්නට වුවමනාවක් නැත.
වගකිවයුත්තන් අමතක කළ ප්‍රධාන කාරණය නම් එම සංශෝධනය රටේ මූලික නීතිය සම්බන්ධ සංශෝධනයක් බව ඔවුහු තේරුම් ගෙන නැති වීමයි. එය වගකීමෙන් තොර ක්‍රියාවක් බව අපේ හැඟීමයි. ජේ.ආර්. ජයවර්ධන තම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට (බහුභූත) සංශෝධන දහසයම ගෙන ආවේ එසේ කඩිමුඩියේය.
අපේ මතකයේ හැටියට, 14වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළේවත් නැත. ශ්‍රේෂ්ඨාධිකරණයට එය යොමු කරනු ලැබුවේ අගවිනිසුරු වෙත ලිපියක් ද සමඟය. “ආදරණීය අගවිනිසුරු තුමනි, මෙය කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන්න.” යයි ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ බව ප්‍රසිද්ධ රහසකි. එම 14වන සංශෝධනය ගෙන ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම සඳහාය. ජරාජිත මන්ත්‍රීවරුන් ඊට සුදුසුකම් ලබාගත්තේ කෙසේද යන්න තවමත් ප්රහේලිකාවකි. පරාජිතයන් සුදුසුකම් ලබන්නේ නැතැයි පනත ඉදිරිපත් කළ අගමැති ආර්. ප්‍රේමදාස තරයේ කියා සිටියේය. සංශෝධන සම්මත වූ පසු, එහි පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට සුදුසුකම් ලබා තිබුණි. එය පනතට ඇතුළු වූයේ කෙසේදැයි දන්නා කෙනෙකු නැත. එම රහස දන්නේ එදි සිටි කතානයක, අගවිනිසුරු සහ ජනාධිපති පමණය.
යූඇන්පී ආණ්ඩුවේ ඉතිහාසයේ මේ සිද්ධිය මතක් කර දුන්නේ කඩිමුඩියේ පනතක් ගෙන එනවිට එවැනි සිද්ධීන් ඇතිවීමට මඟ පෑදෙන බව පැහැදිලි කර දීමටය.
20වන සංශෝධනයක් ගෙන ඒමට නව රජයට අයිතියක් ඇත. ඒ ගැන අවිවාදය. එහෙත් එය රටේ මූලික නීතිය වන බැවින්, එය අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩු පක්ෂය, පාර්ලිමේන්තුව මෙන්ම රට තුළද ප්‍රමාණවත් ලෙස සාකච්ඡා වීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම ප්රජාතන්ත්රවාදයේ සුවිශේෂී ලක්ෂණයකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ සම්පාදනය කරන බව රජය දන්වා තිබුණි. එසේ නම්, කළ යුතු දේ වන්නේ 20වන සංශෝධනයට හදිසිම සහ අවශ්‍යම සංශෝධන පමණක් තෝරා බේරා ගැනීමය.
ඒ වෙනුවට රජය කළේ මතභේදයට තුඩු දෙන්නා වූ සංශෝධන රැසක් කඩිමුඩියේ ඉදිරිපත් කිරීමය. වසරක් තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් හදිසියේ අවශ්‍ය නොවන සංශෝධන මෙහි එල්ලුවේ ඇයි?
සංශෝධන අතර විශ්මයට පත් කෙරෙන සංශෝධනයක් නම් ජනාධිපති හා අගමැති වියදම් විගණනයෙන් ඉවත් කරලීමට යෝජනා කර තිබීමයි. විගණනයෙන් ඉවත් කිරීමෙන් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණයෙන්ද ඉවත් වීමයි. ජනාධිපති සහ අගමැති ඉතාමත් අසීරු තත්ත්වයකට පත් කර ඇති බව පෙනේ. මෙය අමාත්‍යවරුන්ට පෙනුණේ නැද්ද?
ජනපතිට සහ අගමැතිට උපදෙස් දෙන උපදේශකයින් සහ ලේකම්වරුන් මෙය නොදුටුවේද? මෙම ස්ථානවල ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන්නේ ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම්ය. මෙම යෝජනාවෙන් වගකීමෙන් සහ වගවීමෙන් බේරෙන්නේ ලේකම්වරු දෙදෙනාය. පාර්ලිමේන්තුවට කැඳවන්නේ මේ දෙදෙනාය. පැහැදිලිවම ජනාධිපති සහ අගමැති ඉමහත් දුෂ්කරතාවයකට පත් කරන යෝජනාවකි. මෙවැනි ප්රතිපාදනයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් නොතිබුණි. ලොවේ කිසිදු ප්රජාතන්ත්රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මෙවැනි ප්‍රතිපාදන ඇතුළත් කොට නැත. මෙය ජනතා පරමාධිපත්‍යය අමුඅමුවේම දූෂණය කිරීමකි. අප සිතන ආකාරයට මෙම ප්‍රතිපාදන සම්මත වීමට ජනමත විචාරණයක් පවා අවශ්‍යය.
නව රජයේ කුළුඳුල් පනත මෙසේ රට හමුවේ හාස්‍යයට ලක් කළේ ඇයි? මෙය විපක්ෂයට අවි සැපයීමක් නොවේද? මෙය ඡන්දය දුන් හැටනව ලක්ෂයක ජනතාවගේ විශ්වාසය බිඳ දැමීමක් නොවේද?
අප දන්නා ආකාරයට නීතිපතිතුමා, ගැසට් නිවේදනය අනුමත කිරීමේදී නිරීක්ෂණයන් රැසක් ඉදිරිපත් කර තිබේ. එම නිරීක්ෂණයන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු නොවේද?
රට ගෝලීය - කලාපීය - ජාතික අභියෝග රැසකට මුහුණ දී තිබියදී මෙසේ කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ගොස් රට තුළ කැළඹිලි තත්ත්වයත් ඇති නොවන්නේද?
ඒ අනුව, අවශ්‍යම හා හදිසිම සංශෝධනයන් ස්ඳහා පමණක් 20 සීමා කළ යුතු බව අපේ හැඟීමයි.