Saturday, 02 December 2023

කලා කතා

ශ්‍රී ලාංකේය සංස්කෘතික කතිකාවට අගනා මෙහෙයක් ඉටු කළ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල භාෂාව මූලික ව විවිධ විෂය ප්‍රදේශ ගණනාවක සුරුකම් දැක්වූ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයා විය. සසදාවත, මුවදෙව්දාවත, මයුර සංදේශය ආදී විවිධ කෘති ගණනාවක් ඔහු අතින් ඉංග්‍රිසියට පරිවර්තනය කළේ ය.

සිංහල භාෂාවේ ප්‍රගමනය වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කළ විතාරණ මහතා මෑතකදී ම සද්ධර්ම රත්නාවලිය ඉංග්‍රිසියට පරිවර්තනය කර තිබෙන අතර තවම එය මුද්‍රණයෙන් පළ වී නැති බව කියැවේ. 

මෙරට කලා සංස්කෘතික කතිකාව පෝෂණය කිරීම වෙනුවෙන් කැප වුණු මහාචාර්ය විනී විතාරණයන මහතාට ඇත්ත ආචාරය මෙසේ පුද කරමු.

 

ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කළ කෘති 3ක් පසුගිය 6 වැනිදා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ජනගත කෙරිණි. රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජීවිත කතාව ඇතුළත් ‘කල්පයක් පවතින නිමේෂයක් - පුෂ්කින් චරිතාපදානය‘,‘පෝලිම සහ ත්‍රිමූර්‘, ‘බලකාය‘ නම් කෘති තුනය, ඒ. මේ අවස්ථාවේ දී පුෂ්කින්ගේ දිවිය අරභයා කිවියර ආරියවංශ රණවීරය ද, නිකොලායි ගොගොල්ගේ සාහිත්‍ය දිවිය ගැන එස්.ජී. පුංචිහේවා මහතා ද රුසියන් සහ සෝවියට් සාහිත්‍ය කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ විශිෂ්ඨ ලේඛකයෙකු වූ දැදිගම වින්සන්ට් රොද්‍රිගු හෙවත් දැදිගම වී. රුද්‍රිගු පිළිබඳව සාහිත්‍යවේදී ඩබ්ලියු. අබේසිංහ මහතා ද දේශන පවත්වනු ලැබීය. මේ අවස්ථාවට සාහිත්‍ය ලැදි විශාල පිරිසක් සහභාගි වූහ.

වම් ඉවුරේ වෙබ් නාදය