- ආර්ථික
- Posted On
හාල් ඇටයේ දේශපාලන ආර්ථිකය
ආචාර්ය වගීෂා ගුණසේකර
සහල් ඇටයේ වටිනාකම සහ එහි ජාතික වැදගත්කම අපට වැටහෙන්නේ පසුගිය දිනවල සහල්වල මිල සම්බන්ධයෙන් ඇති වුණු ආන්දෝලනය වැනි සංවේදී සිද්ධීන් හමුවේය. ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 20කට අධික ජනතාවගේ දෛනික ආහාරය වන්නේ බත්ය. එමෙන්ම අප රටේ ජනගහණයෙන් මිලියන 2ක ජීවනෝපාය මාර්ගය වන්නේ වී ගොවිතැනයි. මෙම සාධක දෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්රයට සහ දේශපාලන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධවන්නේ හුදෙක් සහල්වල ඉල්ලූම සැපයුම යන ආර්ථික ක්‍රියාවලීන් කළමනාකරණය රජය සතු වගකීමක් නිසාම නොවේ. වී ගොවිතැනේ යෙදෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඡන්දදායකයින්ද වේ. මේ තීරණාත්මක සාධකය පශ්චාත් යටත්විජිත සමයේ බලයට පත් වුණු සෑම ආණ්ඩුවක්ම සැලකිල්ලට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ වුණු ගල්ඔය කෘෂිකාර්මික ගොවි ජනපද සංකල්පයේ මූලික පරමාර්ථය වූයේ වී සහ වෙනත් ආහාරවල නිෂ්පාදනය වැඩි කර ගැනීමයි. පසුකාලීනව සී.පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයද, 1970 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල, බෝවතැන්න වැනි ජලාශවලින් පෝෂණය වන කෘෂිකාර්මික ජනපද සංකල්පයද මේ රටේ වී ගොවිතැන නංවාලීමට දැරූ උත්සාහයන්ය. එමෙන්ම 1977න් පසු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහ ගාමිණී දිසානායක මහතාගේ නායකත්වයෙන් දියත් වුණු කඩිනම් මහවැලි ව්‍යාපෘතියද ඉලක්ක කළේ වී ගොවිතැන දියුණු කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සඳහා ස්ථාපිත කෙරුණු බොහෝ රාජ්‍ය ආයතන ඇති නමුත් මේ අතරින් වී අලෙවි මණ්ඩලය විශේෂත්වයක් දරයි. විවිධ ව්‍යාපාර ඔස්සේ රාජ්‍ය අනුග්‍රහය ලැබී ව්‍යාප්ත වුණු වී නිෂ්පාදනයේ දෙවන අදියර වනුයේ නිෂ්පාදිත වී අලෙවි කිරීමයි. 1977ට පෙර ගොවීන්ගේ වී අස්වැන්න ප්‍රධාන වශයෙන් මිලදී ගත්තේ වී අලෙවි මණ්ඩලය විසින්ය. පුද්ගලික අංශයට වී මිලදී ගැනීමට අවසර තිබුණේ නැත. වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී බුසල් 2000 කෝටා ක්‍රමයට පුද්ගලික මෝල් හිමියන්ට ලබාදී, එලෙස කොටා ගත් වී වෙළඳපොලට නිකුත් කෙරිණ.
එහෙත් මෙම කාලවකවානුව තුළ පුද්ගලික අංශය වී මිලදී ගැනීමේ කාර්යයයෙන් බැහැරව සිටියාම නොවේ. එකලද වර්තමානයේ මෙන්ම සහල් ඒකාධිකාරයක් තිබිණි. එහි කේන්ද්‍රස්ථානය පොළොන්නරුව නොව මාතලේ දිස්ත්‍රික්කයයි. මාතලේ දිස්ත්‍රික්කයේ සිට තම ව්‍යාපාර මෙහෙය වූ අතළොස්සක් මෝල් හිමියන් වී අලෙවි මණ්ඩලයේ ඇතැම් සත්ගුණවත් රාජ්‍ය නිලධාරීන් සමග අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සමබන්ධතා පවත්වාගෙන ගියෝය. මේ දෙගොල්ලන් අතර තිබූ ගනුදෙනුව හේතුවෙන් බොහෝ අවස්ථාවල වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ඉහළ ප්‍රමිතියක් යුත් වී ඉල්ලා ඇත. වී අලෙවි මණ්ඩලයට තම වී විකිණීමට නොහැකි වී ගොවින්ගෙන් මාතලේ මුදලාලි රංචුව වී මිලදී ගත්තෝය. එලෙස මිලදී ගත් වී ගබඩා කොට කෙමෙන් වෙළඳපොලට මුදාහැරීමට ඔවුහු කටයුතු කළෝය. 1977න් පසු වී අලෙවි මණ්ඩලය අඩපණ කෙරිණි. එය එලෙස වූයේ ආර්ථිකය ලිහිල් කිරීමත් සමග රජය වී මිලදී ගැනීමේ කාර්භාරය පුද්ගලික අංශයට පැවරූ නිසාවෙනි. මේ වන විට රට සහල්වලින් ස්වයංපෝෂිතභාවයට පත්ව තිබුණි.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පෙර හසුරුවන ලද වී ආනයනය 1988 දී බහුජාතික සමාගම් 3කට පවරන ලදී. වී අලෙවි මණ්ඩලය 1996 දී වසා දමන ලදී. කෙසේ වෙතත් අස්වනු නෙළන කාලය තුළ වී අතිරික්තයකින් ඇති විය හැකි මිල අර්බුදය කළමනාකරණය කිරීම සඳහා සමුපකාර තොග ආයතනය CWE හරහා වී මිලදී ගැනීම සිදු විය. එහිදීද විෂයභාර ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අතර ගොඩනැගී ඇති අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක ගනුදෙනු අසීමිත ලෙස සිදු විණි. විවෘත ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට පෙර පැවැති වී ඒකාධිකාරයෙන් පෝෂණය වූයේ මාතලේ මෝල් හිමියන් සුළු පිරිසකුත් වී අලෙවි මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පිරිසකුත්ය. 1977න් පසු ස්ථාපිත වුණු CWE යාන්ත්‍රණයෙන් පෝෂණය වූයේ විෂයභාර මැතිඇමැතිවරුන් සහ CWE නිලධාරීන්ය. එහෙත් 1977න් පසු රජය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියෙන් දරුණු ලෙස බැට කෑවේ යාපනය සහ දිවයිනේ උතුරු ප්‍රදේශයේ ගොවීන්ය. 1983 කාල වකවානුවේ ආරම්භ වුණු යුද්ධයත් දමග උතුරේ ගොවීන්ගේ වී විකුණාගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවීය. 1994 වර්ෂයේ සිදුවුණු ආණ්ඩු මාරුවත් සමග ශ්‍රී ලංකාවේ වී කර්මාන්තයේ සෙනසුරු අපලය උච්ච තලයකට පිවිසුණි. එවකට පැවති පොදු පෙරමුණු රජයට ඇමරිකාව ඩොලර් මිලියන 5ක ඉතා අඩු පොලී ණයක් දෙනු ලැබුවේ එම ණය මුදලින් ඇමරිකන් පිටි මිලදී ගැනීම සඳහාය. PL 480 නමැති මෙම ණය ගිවිසුම 1994ට පෙර සිට ලංකාවේ ක්‍රියාත්මක වූවකි. එම ණය ආධාරයෙන් පාන් රාත්තල 3.50ට බැස්සීමට හැකි බවට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනතාවට පොරොන්දුවක්ද ලබා දුන්නාය. ඒ වන විට පාන් ආහාරයට ගැනීමේ පුරුද්දක් කෙමෙන් වර්ධනය වෙමින් තිබුණද, එවැනි විදේශ ගිවිසුම්වල ප්‍රතිලයක් ලෙස ලංකාවේ සහල්වලට ඇති ඉල්ලූම පහත ගොස් ඇති බව අනුමාන කළ හැකිය. 1990 දශකයේ වී වෙළඳපොල ආශ්‍රිතව තවත් වෙනස්කම්ද ඇති විය.
පොළොන්නරුව ප්‍රදේශයේ මෝල් හිමියෙකු වූ සිරිපාල ගම්ලත් මහතා ශ්‍රී ලංකාවේ සහල් කර්මාන්තයේ නැගී එන තරුවක් ලෙස හඳුනාගත්තේ මෙම වකවානුවේදීය. නවෝත්පාදනවලට නැඹුරුවක් දක්වන උද්යෝගිමත් මෝල් හිමියෙකු සහ සහල් කර්මාන්තයේ ව්‍යවසායකයෙකු ලෙස සිරිපාල ගම්ලත් මහතා ප්‍රචලිතව සිටියේය. ”කොලිටියට සහල් සෑදීම” යන සංකල්පය මෙරටට හඳුන්වාදුන්නේ ඔහු විසින් යැයි කීම වැරදි නැත. ඔහු විසින් කළ නවොත්පදානයන්ට පෙර මේ රටේ නිෂ්පාදිත සහල්වල ප්‍රමිතිය තිබුණේ පහළ මට්ටමකය. සහල්වල ගල්, වැලි, රොඩු, දූවිලි, කළු ඇට බොහෝ විය. අනේක වාරයක් සහල් ගැරීමට ගෘහණියයෝ පුරුදු වී සිටියෝය. එහෙත් සිරිපාල ගම්ලත් මහතා විසින් නවීන උපකරණ – Blow fans, destoners, color sorters, steam boilers - භාවිතා කර සහල්වල ප්‍රමිතිය ඉතා ඉහළ තත්වයකට ගෙන ආවේය. රු.3.50ට පාන් ගෙඩියට ජනතාව නැඹුරු වෙමින් තිබුණු පසුබිමක
”කොලිටි හාල්” ඉදිරිපත් කිරීමේ පුරෝගාමියා සිරිපාල ගම්ලත් මහතා යැයි කීම වැරදි නොවේ. ඒ සඳහා ඔහු විශාල ආයෝජනයක් කළ අතර ”නිපුණ” සහල් ප්‍රමිතිය ඉහළ නිසා පාරිභෝගිකයාද වැඩි මිලක් ඒ සඳහා වැය කිරීමට දෙවරක් සිතුවේ නැත. මෙහිදී සිරිපාල ගම්ලත් මහතා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ කේන්ද්‍රස්ථානය වන පොළොන්නරුව දිස්ත්‍රික්කයයි.
සී.පී. පුර, කදුරුවෙල යන ප්‍රදේශ වී මෝල් හිමියන්ගෙන් බහුලය. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෝල් හිමියන් අතරින් සැලකිය යුතු කොටසක් දිවයිනේ දකුණු පළාතේ බලපිටිය. කෝට්ටගොඩ සහ මාතර ප්‍රදේශවලින් රජරටට සංක්‍රමණය වූ දක්ෂ ව්‍යාපාරිකයන්ය. 1994 සිට බලයේ සිටි පොදු පෙරමුණු ආණ්ඩුව සමග පොළොන්නරුවේ වී කර්මාන්තය ආශ්රිත ව්‍යාපාරිකයෝ සමීප සම්බන්ධතා ඇති කර ගත්තෝය. මෙම වකවානුවේ තවත් නැගී එන චරිතයක් වූයේ ඩඞ්ලි සිරිසේන මහතාය. සිරිපාල ගම්ලත් මහතා සහ ඩඞ්ලි අතර දිගුකාලීන සමීප සම්බන්ධතාවක් තිබුනේ ව්‍යාපාර කටයුතු මෙන්ම දේශපාලන සම්බන්ධතා ආශ්‍රිතවය. මෙම ව්‍යවසායකයින් දෙදෙනා සහ ඔවුන්ගේ ”සහල් කණ්ඩායම” තම දේශපාලන සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමින් තමන් සතු වී ගබඩා දිනෙන් දින තර කර ගත්තෝය.
යුද වකවානුවේදී මනම්පිටිය පාලම වැදගත් සංක්‍රාන්ති ස්ථානයක් Transit point විය. අම්පාර සහ මඩකලපුවේ නිෂ්පාදිත වී ප්‍රවාහනය මනම්පිටිය හරහා සිදු විය. මනම්පිටියේ තිබුණු යුද හමුදා මුරපොලේදී පරීක්ෂාවට ලක්වූ වී ලොරිවල තිබූ බහුතරයක් වී එතැනදීම මිලදී ගත්තේ මෙම පොළොන්නරුවේ සහල් කණ්ඩායම විසිනි. මෙයට හමුදාව සහ විශේෂයෙන් පොලීසියද සම්බන්ධව සිටි බව වාර්තා වේ. මෙලෙස තම ගබඩා තර කරගත් පොළොන්නරුවේ මෝල් හිමියන්ගේ ”නිපුණ”, ”අරලිය” කොලිටි සහල් වෙළඳපොලේ ප්‍රචලිත විය. එම සහල්වලට ඇති ඉල්ලුමද ඉහළ ගියේය. තවද පැවති යුද වාතාවරණයේ හමුදා කඳවුරුවලට සහ සරණාගත කඳවුරුවලටද උසස් ප්‍රමිතියකින් යුත් සහල් සැපයීමට නව ප්‍රසම්පාදන ප්‍රතිපත්ති හඳුන්වා දුන් පසුබිමක ”කොලිටි හාල්වලට” ඇති ඉල්ලූම සාමාන්‍යකරණයට ලක් විය. 1994 සිට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය / පොදු පෙරමුණු ආණ්ඩුවේ බල පැවැත්වුණු කාලය තුළ මෙම පොළොන්නරුවේ සහල් කණ්ඩායම ආර්ථික වශයෙන් ඉතා දියුණු මට්ටමකට පැමිණියේ අනෙක් මෝල් හිමියන්ට නොලැබුණු විශේෂ රාජ්‍ය අනුග්‍රහයත් මොවුන්ට ලැබුණු නිසා බව කීම වැරදි නැත. මෙම මෝල් හිමියන් ”සහල් රජවරු” බවට පත් විය.
2005න් පසු ඔවුන්ට අඩු පොලියට ණය පහසුගම් ලැබුණේ සෙසු මෝල් හිමියන්ට Pledge loan අහිමි වූ පසුබිමකය. රාජ්‍ය සහ පෞද්ගලික බැංකුද මෙම මෝල් හිමියන් කණ්ඩායමට ණය ලබාදීමට මැලි නොවන්නේ ආපසු ගෙවීම් නිවැරදිව කිරීමේ හොඳ වාර්තාවක් ඔවුන් සතුවන නිසාය. මෙම කණ්ඩායමේ ඩඞ්ලි සිරිසේන මහතාට විශේෂ සැලකිලි රැසක් ලැබෙන්නේ යහපාලන ආණ්ඩු කාලයේදීය. මෙම සැලකිලි කිසිවක් නීතිවිරෝධී නොවේ. එහෙත් තම දේශපාලන සම්බන්ධතා හේතුවෙන් වී මිලදී ගැනීමට ADB බැංකුව විසින් පුද්ගලික අංශයට ලබා දුන් රුපියල් බිලියන 5ක ණය (1% වැනි ඉතා අඩු පොලියට) ඩඞ්ලි සිරිසේනට ලැබීම නිසා විශාල වී ප්‍රමාණයක් තම Siloවල ගබඩා කිරීමටත්, තම වී මෝල් නවීන තාක්ෂණයට අනුකූලව යාවත්කාලීන කිරීමටත් ඔහුට හැකි විය.
මේ සහල් ඇටය වටා ගෙතුණු සංකීර්ණ දේශපාලන ආර්ථිකයට කේන්ද්‍ර වූ පුද්ගලයින්, දේශපාලන ක්‍රියාවලීන්, සීමා වෙනස්වීම් සහ රටේ පසුබිමේ යම් ජවනිකා කිහිපයකි. වර්තමානයේ අප දකින සහල් ආන්දෝලනය මෙම දීර්ඝ කතාවේ එක් ජවනිකාවක් පමණි. මෙම දේශපාලන ආර්ථිකයෙන් ලාභ ලබන කොටස් බොහෝය. රජයේ නිලධාරීන්, දේශපාලනඥයන්, සහල් ඒකාධිකාරය මෙහෙයවන රජවරු මෙම ක්‍රීඩාවෙන් සැමදා ජයග්‍රහණය කරති. එහෙත් තම දහඩිය වගුරුවමින් මුලූ රට වැසියාගේම බඩගින්න නිවන ගොවියා සැමදා පරාජිතයෙකු බවට පත් කර ඇත.
2020 ජූනි 14 ඇත්ත පුවත් පතේ පළ වූවකි