Friday, 27 November 2020

All Categories

කොරන්ටීන් නරකම නැත!

ඉන්දික පෙරේරා #


වොලෙ සොයින්කාගේ තෙවැනි නවකතාව එළි දකින්නට තිබෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේය. ඒ කෝවිඞ් 19 නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටි කාලය තුළ සොයින්කා අත්පත් කරගත් ජයග්‍රහණයයි. එහෙත් මේ ජයග්‍රහණය සුවිශේෂී එකක් වන්නේ 1986 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද සොයින්කා 1965 වර්ෂයේ සිය ප්‍රථම නවකතාව වන The Interpreters සහ 1973 වසරේදී පළකළ Season of Anomy නවකතා ද්විත්වයෙන් පසුව වසර හතළිස් හතකට පසුව එළි දක්වන සිය තෙවැනි නවකතාව මෙය වීමයි.


‘මේ කතාවේ නැත්තේ මොකක්ද.? ජීවිතයේ විඳින්නට හැකි සියළුම විදීම්, විඳවීම් මෙහි චරිත සමග ඔබට විඳින්නට පුළුවන් වෙයි. සබඳකම් - පාවාදීම්, විශ්වාසය - ද්‍රෝහීකම, බලාපොරොත්තුව - නරුමකම වගේම මිනිස්කම් ගැනත් මෙහි කතා කෙරෙන්නට පුළුවන්.’ යැයි කියන අසූ හය හැවිරිදි සොයින්කා මේ කෘතියෙන් උත්සාහ කරන්නේ නයිජිරියාවේ දශක කිහිපයක මානව සබඳතා ගැන අලුතෙන් දකින්නට බව අවධාරණය කරන්නේය.
‘මාස පහක් තිස්සේ උදේට ඇඳෙන් නැගිටින මට පෙනුණේ මගේ ලියන මේසය. ආපහු රාත්‍රියේ ඇඳට ගොඩ වෙනකම් මම කළේ ලියන එක. නිරෝධායනය නිසා මිනිස් සබඳකම් නැතිවීගෙන යන බවක් මගේ වටපිටාවෙන් තෙරුම් ගිය නිසා ඒ හැගීම් මාව දිගින් දිගටම ජීවිතය ගැන ලියන්නට පෙළඹුවා. ඒකත් නරක වැඩක් නෙවෙයි. ඒත් මට ඕනෑ වුනේ හිරවෙලා තියෙන මනුස්සකම් ගැන ආපහු හිතන්න. මගේ පරිශ්‍රමයෙන් තව එක් කෙනෙක් මේ සිරවීමෙන් නිදහස් කරගත්තොත් ඇති.’


සොයින්කාව 1960 අවුරුද්දේදී සිය දේශපාලන සහ සාහිත්‍ය භාවිතාව නිසා නයිජීරියානු පාලකයන් විසින් සිරගත කෙරුණු අතර, වසර පහළොවක් යන තෙක්ම ඔහුට හරි හමන් ලෙස නඩු පැවරුනේවත්, නිදහස් කෙරුණේවත් නැත. එහෙත් බල්ධාරීන්ට සොයින්කාව නවත්වන්නට නොහැකි වූ අතර සිරගෙදර සිට ලියු ඔහුගේ ලේඛන නයිජීරියාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම ප්‍රචලිත විය. පසුකාලයකදී මුද්‍රණය කෙරුණු මේ ලේඛන නොබෙල් සාහිත්‍ය සම්මානයේදී අගය කෙරුණේ ‘මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු අනර්ඝතම මිනිස් හැඟීම්!’ ලෙසිනි.


පසුව නිදහස ලැබූ සොයින්කා නයිජීරියාවෙන් පිටවී වසර ගණනාවක් ජීවත් වූ අතර නැවැත 1975 වර්ෂයෙදී සිය මව්බිමට පැමිණියත් එවක පාලක සනී අබාචා විසින් සිය ගුවන් බලපත‍්‍රය ආණ්ඩුවේ භාරයට ගත් නිසා නයිජිරීයාව අතහැර ගියේය. ඔහුගේ පිටමං වීමත් සමග අබාචා විසින් සොයින්කාට මරණ දඩුවම පැනවූ අතර සොයින්කාට නැවත පැමිණීමට හැකිවූයේ අබාචාගේ මරණයෙන් පසු 1998 වර්ෂයේදීය.‘මරණ දඩුවම කියන්නේ මිනිස් හැගීමක් නෙමෙයි. ඒක පාලකයාගේ බලය පිළිබඳ භීතිය එක්ක තියන දෙයක්! ඒකෙන් මා ජීවත් වෙනවාද නැත්ද කියන එක තීරණය කිරීම අවලං වැඩක්! පාලකයාගේ වගකීම ජනතාව මරණයෙන් මුදවා ගන්නා එක.’ ලෙස සොයින්කා කියන්නේ එලෙස අබාචාගේ කුරුරුකම නිසා මරණයට පත් කරන ලද ශ්‍රේෂ්ට නයිජීරියානුවන් එකෙන් එක මතක් කරමිනි.


ඒ කෙසේ වෙතත් සොයින්කාගේ ග්‍ර න්ථය එළි දැක්වීමේ ප‍්‍රවෘත්තිය මේ වන විට බොහො දෙනාගේ සතුටට හේතු වී ඇත්තේය. විචාරකයන්ට අනුව නවකතාකරණයේදී දශක පහකට ආසන්න කාලයක් නිහඬව සිටීමේ වගකීම සොයින්කා මෙයින් සාධාරණීකරනය කරනවා’ ඇත. වොලෙ සොයින්කාගේ Chronicles of the Happiest People on Earth නයිජිරියාවෙන් පිටතදී දැකගන්නට හැකි වෙන තෙක් මානව හැගීම්වලට ඉවසා ඉන්නට සිදුවීම මේ කොවිඞ් වසංගත තත්ත්වය නිසා වැළක්විය නොහැක.


එහෙත් කොවිඞ් හැම තිස්සේම අසාධාරණ නැත්තේත් ඒකය!

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය