Monday, 01 June 2020

 

සඳුන් ප්‍රියංකර විතානගේ


දේවානි ජයතිලක නම් වන සංරක්ෂණ නිලධාරිවරියක් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව මැදිහත්ව කළ අදහස් දැක්වීම දැන් මුළු රටම දන්නා සිදුවීමක් බවට පත් ව අවසන් ය. ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ද විපක්ෂය ද ඇතුළුව බොහෝ දෙනා ඈ වෙනුවෙන් පෙනී සිටින බව දැකගන්නට තිබේ. සමකාලීන සමාජයක මෙය මෙම අදහස් දැක්වීම මහත් හරසරින් පිළිගන්නට හේතුව මෙවැනි මැදිහත්වීම්වල ඇති දුලබකම බව පළමුව කිව යුතු ව තිබේ. 1970 දශකයෙන් පසුව වඩා තීව්‍ර ලෙස සකසන ලද මජර දේශපාලන ක්‍රමයේ ඓන්ද්‍රීය ලක්ෂණයක් වූයේ එවැනි මැදිහත්වීම් කරන නිලධාරීන්-නිලධාරිනියන්ගේ කොඳු කඩා දැමීම ය. ඉන්නට හිටින්න තැන් නැති කිරීමය. එළව එළවා පහර දී අවසන සමහරවිට ජීවිතය පවා උදුරා ගැනීමය. එසේ කළ අවස්ථා සිය ගණනින් උදාහරණ දැක්විය හැකි ය. එවැනි නිබය මිනිසුන් පළවාහැරි සමාජයක දේවානිගේ වැනි මැදිහත්වීමක් අතිශය ආන්දෝලනාත්මකවීම අරුමයක් නොවේ.

"අපිව මේ තැන්වලට පත් කරලා ගමේ ගොඩේ මිනිස්සු කියන විදිහට නම් වැඩ කරන්නෙ අපෙන් වැඩක් නෑ" යනුවෙන් ඇය කරන ප්‍රකාශය යමෙකුට සාහසික එකක් ලෙස පෙනී යා හැකි වුව ද එම ප්‍රකාශයේ වරදක් ඇත්තේ නැත. මේ රටේ බොහෝ අවලස්සන තැන් නිර්මාණය කර තිබෙන්නේ මේ ගමේ "ගොඩේ මිනිසුන්ය". අප ඔවුන්ට ගමේ ගොඩේ මිනිසුන් කියන්නෙ පොදු ව්‍යවහාරයේ එන අර්ථයෙන් නොවේ. "අසංස්කෘතික සහ අශිෂ්ට" යන අර්ථයෙනි. විද්‍යාත්මක හෝ ජනහිතකාමී පදනමකින් සිදු කරන්නට යන බොහෝ දේට අකුල් හෙළන්නේ මේ රටේ උක්ත ජන පිරිසයි. මේ පිරිසගේ ඡන්ද ගොන්නට කෑදරව ඒ පිටුපස දිවයන නූගත් දේශපාලුවා මොවුන්ගේ ඉල්ලීම් කවරක් වුවත් ඉදිරියට ගෙන ඉටු කරලන්නට දඟ දමයි. රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත එවැන්නෙකි. තවත් එබඳු බොහෝ දෙනා දන්නා සරල උදාහරණ දෙක තුනක් දක්වමු. පන්නිපිටිය ප්‍රදේශය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට එදිරිව මහත් හිසරදයක්ව පවතින බෝගසක් කපා සුවහසක් ජනයාට සෙත සලසන්නට ඉඩ නොදෙන්නේ උක්ත වර්ගයේ ජනයා ය. සිංහරාජය ලෝක උරුම වනසංරක්ෂණය තුළ වාහන යා හැකි පාරක් ඉදි වෙනවාට කැමති ගමේ මිනිසුන් අපට හමු විය. එද අර වර්ගයේ මිනිසුන්ය. එක්තරා ප්‍රදේශයක අයාලේ යන ගව රංචුවක් නිසා ඍජුවම සිදුවුණු වාහන අනතුරුවලින් ජීවිත දෙකක් අහිමි වූ අතර ඒ හරක් රංචුව කැළෑවට ගෙන ගොස් දමන්නට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියක් උත්සාහ දරන විට මේ වර්ගයේ මිනිසුන් රැසක් සංවිධානය වී එය වැළැක්වූයේ අනේ සිරියාවන්ත හරක් රංචුව යැ යි කියමිනි. රටක් ලෙස තම ඉපැයීම්වලින් අතිශය විසල් වියදමක් වෙන් කරන්නට සිදුව ඇති අයාලේ යන බලු ප්‍රශ්නය ද මේ ඊනියා පොදු ජනතාව විසින් නවතා දමා තිබෙයි. කියන්නට නම් තව බොහොමයක් උදාහරණ තිබේ. මේ ජන සංඝ සහ පොදු ජන සටන් ව්‍යාපාර අතර ඇති වෙනසද මෙතැන ම සිහිපත් කර යා යුතු ය.

දශකයක කාලයකට එපිටින් කුප්‍රකට ඇමැත්තෙකු වූ මර්වින් සිල්වා රජයේ නිලධාරියෙක් ගස් බැන්ද අතර මෙතරම් විරෝධයක් ඊට එල්ල නොවූ බව සිහිකටයුතු ය. සීමිත මාධ්‍ය ඉඩකඩ අස්සේ එයට විරෝධය පැන නැගුණු නමුත් දේවානි සිදුවීම වැනි යමක් එහිදී සිදු වූයේ නැති. මෙවැනි තවත් අවස්ථා ඇති අතර තවත් පුත්තලං බූරුවෙකු විසින් ගුරුවරියක් දණගස්වා තැබීම වැනි ඒවාට පවා මෙතරම් ජනරාශියක් ඇති වූයේ නැත. දේවානිට ලැබුණු මේ සහයෝගය පිටුපස ඇති සැබෑ බලය සමාජ මාධ්‍ය සතු තෙරපුම් බලය ලෙස හඳුන්වන්නට අප කැමැති ය. සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වී බහුතර මතය නිලධාරිනියගේ දෙසට හැරී ගිය පසු වගකිවයුතු අංශවලට ඒ පිලෙහි සිටගැන්ම හැර අනෙකක් කළ නොහැකි තැනට වැඩ සිදුව ගියේ ය. එසේ ම සමාජ මාධ්‍ය මගින් මේ සිදුවීම ප්‍රචාරය වී ඒ වෙත ජනමතයක් නිර්මාණය වූවාටත් පසුවය, මේ සිදුවීම ප්‍රධාන මාධ්‍ය විසින් ඩැහැගන්නා ලද්දේ. ගස්බැඳීමේ සිදුවීමේ සිට මේ දක්වා ගෙවී ගිය දශකයක කාලය තුළ ලෝකයේ සමාජ මාධ්‍ය වෙත පොදුජනයාගේ ළංවීම සිදු වූයේ පිමි වශයෙනි. එපමණක් නොවේ, මාධ්‍ය කටයුතු කෙරෙහි භාවිත කළ හැකි දුරකතන, කැමරා, පටිගත කිරීමේ යන්ත්‍ර සහ වෙනත් උපකරණ ද සුලබ වී ගියේය. දේවානිගේ සිදුවීමට අදාළව සේ ම වෙනත් අනීතික මැදිහත්වීම් පටිගත කර තිබෙන්නේ ප්‍රචාරය කරන්නේ බොහෝකොට සමාජ මාධ්‍ය වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් මිස අධිපති ධාරාවේ මාධ්‍යවේදීන් නොවේ. සමාජ මාධ්‍ය සතු තෙරපුම් බලය ජනහිතකාමී ලෙස යොදා ගැනීම ගැන වෙන ම කතිකාවක් ඇති කළ යුතුය. විශේෂයෙන් රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සැබෑ ප්‍රශ්න වෙනුවට තමා අනුයන දේශපාලන කඳවුරේ න්‍යායපත්‍රයන් ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් ලෙස ජනතාවට බෙදන අවකාශයක සමාජ මාධ්‍ය පෙනෙනවාට වඩා බලවත් ය. මේ සමාජ මාධ්‍ය යුගය හා අනන්‍ය කර සලකන කල්හි පෙර සිදුව තිබෙන සමහර සිදුවීම් සමකාලීනව සිදු වූයේ නම් ඒවායේ ප්‍රතිඵල බොහෝ වෙනස් වෙන්නට ඉඩ තිබුණු බව පැහැදිලි ය.

 

 ශ්‍යාමා බස්නායක


ඕස්ට්‍රේලියාවේ ගිනි!

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ මහා ගින්නකි. රත් පැහැ අහසින් අළු වැසි වසිද්දී ගිනි නිවන භටයින් අග්නිජාලා මැද දිවි පරදුවට තබමින් ගින්න නිවීමට වෑයම් කරන ඡායාරූප හා වීඩියෝ විශාල වශයෙන් සංසරණය වෙයි. කැන්ගරුවන් හා කොවාලාවන්ගේ පණ පිටින් පිළිස්සුණු සේයාවන් මිහිකතගේ පැමිණිල්ලක් මෙන් අප දෑස් ඉදිරිපිට ය. 

ඕස්ට්‍රේලියාවට ලැව් ගිනි අලුත් දෙයක් නොවේ. ඒ නමුත් මෙවර හටගෙන ඇති ලැව් ගින්නට විශේෂ වූ අවධානයක් යොමුවන්නේ එහි පෙර නොවූ විරූ ස්වභාවය නිසා ය. පසුගිය වසරේ අගෝස්තු මාසයේ හටගත් ලැව් ගිනි සෘතුව මේ වන විට හෙක්ටයාර මිලියන 6.3ක්  වැනි දැවැන්ත භූමි ප්‍රමාණයක් විනාශයට පත් කර ඇත. ජීවිත හානි 23ක් වාර්තා වී ඇති අතර නිවාස 1500ක් ගින්නෙන් විනාශ වී ඇත. කැන්ගරුවන් කොවාලාවන් වැනි වනජීවින් දැවැන්ත ප්‍රමාණයක් මියගොස් ඇති අතර සමහර ආවේණික වනසතුන් වඳ වීමේ තර්ජනයකටද මුහුණ පෑ හැකි බව පැවසේ. 

වැඩිම හානිය සිදුව ඇති නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි ගිනි නිවන සේවාවට අනුව එම ප්‍රාන්තයෙහි පෙර අවුරුදුවල ලැව් ගිනි සෘතූන්හි මේ කාලය වන විට තිබූ තත්වයන් සමග සංසන්දනය කිරීමේදී, මෙවර ලැව් ගින්නේ ප්‍රමාණය අති විශාල ය. ඔවුන්ගේ ප්‍රකාශයකට අනුව නිව් සවුත් වේල්ස්හි පහුගිය අවුරුදු කිහිපය තුළ ම ලැව් ගින්නට හසු වුණු මුළු භූමි ප්‍රමාණය ම හෙක්ටයාර 280,000කි. එනමුදු මෙවර 2019 දෙසැම්බරය වන විටද ගින්නට හසු වූ මුළු භූමි ප්‍රමාණය  3400000කට අධික වන අතර මේ වනවිට එය තවදුරටත් ව්‍යාප්ත වී ඇත. එම ප්‍රාන්තයෙහි ප්‍රවාහන ඇමැති මෙවර ලැව් ගින්න පරමාණු බෝම්බයකට සමාන කරන්නේද එහි අසාමාන්‍ය බව පිළිබිඹු කරමිනි.

 

 

ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව හතර වටින් පසුගිය අවුරුද්ද තුළ මෙවැනි අසාමාන්‍ය කාලගුණික තත්වයන් වාර්තා වුණි. 2019 වසරේදී ලොව මිනිස්වාසී සියලුම මහාද්වීප දේශගුණික විපර්යාසවලින් පෙර කිසි කලක නොවූ තරම් පීඩා වින්දේය. කැලිෆෝනියාවේ ලැව්ගිනි, දකුණු අප්‍රිකාවේ ඉදායී කුනාටුව හා උතුරු ඉන්දියාවේ ගංවතුර මේ අතුරින් සමහරකි.

මේ අප අත්දකින්නේ කාලයක් තිස්සේ දේශගුණය සම්බන්ධ විද්‍යාඥයින් විසින් පුන පුනා අවධාරණය කරනු ලබන global warming හෙවත් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් හටගන්නා දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයි.  මිනිස් ක්‍රියාකාරකම් නිසා (විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය කිරීමේදී) වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු මෙයට ප්‍රධාන හේතුවක් වෙයි. 2015-2019 වර්ෂයන් පෘථිවි උෂ්ණත්වය වැඩිම අවුරුදු කිහිපය ලෙස වාර්තා වන්නේ මෙම සංසිද්ධිය නිසාය.    

ඕස්ට්‍රේලියාවේ මෙවර ලැව්ගිනි සෘතුව මෙතරම් දරුණු වීමට හේතු වූ වාර්තාගත අධික උෂ්ණත්වයන් හා දරුණු නියං තත්වයන් ඉහත සඳහන් කළ දේශගුණික විපර්යාස නිසා හට ගත්තක් බව විද්වතුන්ගේ මතයයි. ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි උග්‍රම  අවස්ථාවේ හවායීහී සිය පවුල සමග විනෝද චාරිකාවක නිරතව සිටි අගමැති ස්කොට් මොරිසන්  ජනතා අප්‍රසාදය හේතුවෙන් නැවත සිය රට බලා පැමිණ මෙම ලැව්ගිනි සම්බන්ධයෙන් මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් සරල කොට සලකා කළ  ප්‍රකාශයන්ද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූයේ ය.

අධිපතියෝ නිහඬ ඇයි?

ලොව පුරා ප්‍රධාන දේශපාලනඥන් සේ ම අධිපති ජනමාධ්‍යයන්ද මෙම දේශගුණික අර්බුදයට දෙන ඉතා අඩු අවධානය විශේෂයෙන් සිහිපත් කළ යුතුව තිබේ. දේශගුණික විපර්යාසය යන සංසිද්ධියේ යථාර්ථය ලොව පුරා විද්වතුන් ඒකමතිකව පිළිගෙන තිබෙද්දී මෙවැනි නිහඬතාවයක් පවත්වාගෙන යාමෙන් ඔවුන් සහයෝගය පළ කරන්නේ කාටද යන්න ගැඹුරෙන් සිතා බැලිය යුතු කරුණකි. දේශගුණික විපර්යාසන්හි උවදුර මගහැර ගැනීම සඳහා රටවල් 187ක් අත්සන් කර ඇති 'පැරිස් එකඟතාවයෙන්'  ගිය අවුරුද්දේ නොවැම්බරයේදී ඇමෙරිකාව ඉවත්වීම මහත් ආන්දෝලනයට ලක්විණි. මෙයට හේතු දක්වමින්  ඇමෙරිකානු ජනපති ට්‍ර්ම්ප් කියා සිටියේ එය ඇමෙරිකාවට 'බෑඩ් ඩීල්' එකක් වන බවය. ලෝකයේ හරිතාගාර වායු නිෂ්පාදනයෙන්  40%ට වඩා වැඩි ප්‍රමාණයකට වග කිව යුත්තේ රටවල් 2කි. ඉන් එක රටකි ඇමෙරිකාව. අනෙකා චීනයයි.

එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමකට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට අඩුව තබා ගැනීම ලෝක පරිමාණ ඉලක්කයකි. 2018 ජනවාරි පළමු වන දින සිට පෘථිවියෙන් වායුගෝලයට මුදා හරින (ප්‍රධානතම හරිතාගාර වායුව වන) කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට අවුරුදු 12ක කාලයක් දී තිබුණි. ගෝලීය උෂ්ණත්වය උක්ත මට්ටමේ තබා ගැනීම වැදගත් වන්නේ පවතින දේශගුණික තත්වයන් විස්ථායී කිරීමට හේතු වන නැවත හැරවිය නොහැකි දාම ප්‍රතික්‍රියාවන් වළක්වා ගැනීම සඳහා ය. කෙසේ නමුදු දැනට ඇති දත්ත අනුව ලොව මෙම ඉලක්කය සපුරා ගැනීමේ මාවතට තවමත් පැමිණ නැත. 

මේ අතිශය අවදානම්කාරී තත්වය දෙස ශ්‍රී ලංකාවේ අප බැලිය යුත්තේ කිනම් අයුරකින් ද යන්න වැදගත් ම පැනයයි. 

කාළගුණයෙන් වැඩිම පීඩා විඳි රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට!

Global Climate Risk Index for 2019 වාර්තාවට අනුව 2017 ට පෙර අවුරුදු 20ක කාලයක් තුළදී දරුණු කාලගුණික තත්වයන්ගෙන් වැඩිම පීඩාවට ලක්වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 2ට පත්ව ඇත. මෙයට සාධක වූ හේතු අතරින් 2017 මැයි මාසයේ හටගත් දරුණු  නාය යාම්  හා ගංවතුර තත්වයන් මෙන්ම අවුරුදු 4ක පමණ කාලයක් එක දිගට උතුර හා උතුර මැද ප්‍රදේශවලට බලපෑ නියං තත්වය නම් කළ හැක. එසේ ම මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය කාලගුණික තත්වයන් අපට වැඩි වශයෙන් අසන්නට අත්විදින්නටද  ඇත. හුරුපුරුදු කාලගුණික රටාවන්වලින් අප ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යන බව පැහැදිලිය. නියං තත්වයන්, ජලාශ සිඳීයෑම්, අවාරික වර්ෂාපතනයන් සුලබ ය. එනමදු අප රටක් ලෙස තවමත් මෙම අර්බුදය දෙසට නිසි අවධානය යොමු කොට නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

රටක් ලෙස අප කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එක කරන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වුවද (www.globalcarbonatlas.org ට අනුව ලෝකයේ 84 වන තැන) මෙම තත්වය තව දුරටත් අඩු කර ගැනීමේ ප්‍රයත්නය අප අත්  නොහැරිය යුත්තේ ලෝකයේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්  අප අපේ කොටස ඉටුකළ යුතු නිසාම ය. ඒ පමණක් නොව ලොව දරුණුත ම කාබන් දූෂිතයින් වන චීනය හා ඇමෙරිකාව ගැන ප්‍රතිපත්තිමය වශයෙන් අප නිශ්චිත ස්ථාවරයක සිට ගත යුතු ය.

වායු දූෂණය නිසා ලංකාවේ වසරකට 4300ක් මරණයට!

පරිසර ගැටලු සම්බන්ධයෙන් ද අප රටක් ලෙස යොමු කරන අවධානය පවතින්නේ අවම මට්ටමක ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපේ රටේ වසරකට වායු දුෂණය හේතුවෙන් මිය යන සංඛ්‍යාව 4300කි. අපද්‍රව්‍ය කළමනාකරණය තිබෙන්නේද ඉතාමත් ඛේදජනක තත්වයක ය. International Business Times වාර්තා කරන පරිදි සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වශයෙන් බැහැර කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස් වන තැන ගනී. එකී මෙකී නොකී පාරිසරික ගැටලු රාශියකි. මේ සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුත්තේ අනාගතයේදී අපේ දුවාදරුවන්ට අවම තරමේ  පිරිසිදු ජලය හා වාතය හෝ දායාද කර දී යෑම අපගේ යුතුකමක් වන බැවිනි. 

 සමකාලීනව ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක්  වන ග්‍රේටා තන්බර්ග් පවසන පරිදි තම නිවස ගිනි ගෙන ඇත්තාක් මෙන් අප කටයුතු නොකළොත් නුදුරු අනාගතයෙදී ම අපට මිහිකතගේ දඬුවමට මුහුණ පාන්නට සිදුවනු ඇත. 

 

 

 

 

- අනුපමා ගනේගොඩ ෴


මම ත්‍රීවිල් එක එළවන්න ගත්ත කියලා දැනගත්තම දන්න අයම කියල තිබ්බා ඔය ගමන්ම අනිත් රස්සාවත් පටන් ගනියි කියලා.. හැබැයි ඒ ගොල්ලන්ට අමතක වෙලා ඒ රස්සාව කරන්න නම් ත්‍රීවිල් එලවන්නම ඕන නෑ කියල...

මට ඇගේ මුහුණ පෙනෙන්නේ නැත. ඒ වෙනුවට පෝනිටේලයෙන් ඉවතට පැන සුලඟ හා මුහුවෙන අකීකරු කෙහෙරැල්ලක් ඇගේ සිනිඳු උරහිස මත දඟ කරනු පෙනේ. ඩෙනිම කලිසමක් සහ අත්රහිත ටීෂර්ටයක් හැඳි ඇය සුන්දර ගැහැණියකි. ඒ මොහොතේ ඇගේ මුහුණ පෙනුණා නම් හොඳ යැයි මට සිතිණි. ඒ දෛවය හා අරගල කරන ගැහැනියෙකුගේ බැල්මෙහි සුවිශේෂී බවක්  තිබෙනු ඇතැයි මගේ කල්පනාවට ආ නිසාය.

ගෙවුණ දිනයක මද්දහනේ හදිස්සියේ කෙටිදුරක් යෑම සඳහා කෑගල්ල නගර මධ්‍යයේ සිට මා නැග තිබුණේ ඇගේ තුන්රියට ය. එය මට විශේෂිත වූයේ රැකියාවක් ලෙස ගැහැනියක් පදවන රථයකට මා මින් පෙර නැඟ තිබුණේ නැති බැවිනි. නිහඬ බව රැකගැනීම සඳහා තිබූ දැඩි වුවමනාව පසෙක ලා සංවාදයට ආරාධනා තැබුයේ මා ය.

‘‘ මගේ මහත්තයා ගුරුවරයෙක්. අපිට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. දරුවො ලොකු වෙනකන් රස්සාවකට යන්න මට පුළුවන් කමක් තිබ්බෙත් නෑ. ආර්ථිකේ එන්න එන්නම අමාරු වෙන්න ගත්ත. ඉතින් ත්‍රීවිල් එකක් එළවන එක ඒකට හොඳම උත්තරේ කියල මට කල්පනා වුණා..

ගැහැනියක් ත්‍රීරෝද රථයක් පැදවීම යන්න කොයි අත ලා බැලුවත් අභියෝගාත්මකය. විශේෂයෙන්ම ලංකාව වැනි වෘත්තීමභාවය පිළිබඳ කිසිදු අදහසක් නැති සහ විවිධ වෘත්තීයන් සමඟ සමාජ ස්ථරයන් ගොඩනඟන සමාජයක් හමුවේ ඇගේ තීරණය සමාජය පිළිගන්නට ඇත්තේ කෙසේ ද?

‘‘ කොයි රස්සාවෙත් ලොකු පොඩිකම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවෙ. මම ත්‍රීවිල් එක එළවන්න අරන් දැන් අවුරුද්දකට වැඩියි. සමහර මිනිස්සු මුලින් මුලින් එක එක විදිහට බැලුවා මම කොයි වගේද කියලා. මම මගේ ප්‍රතිපත්තිවල ඉඳලා නිහඬ වෙලා මාව රැකගත්තා. අද කවුරුත් මට මුකුත් කියන්නෙ නැහැ. සමහර හයර් මම යන්නෙ නැහැ. කොයිතරම් ගාණක් දෙන්නම් කිව්වත්. සමහර මිනිස්සු දැක්කම මට තේරුම් ගන්න පුළුවන් ඒ ගමන යන්න ඕන ද නැද්ද කියලා.. මම දැන් බය නැහැ. මම දරුවො ඉස්කෝලවලට දාලා, පන්ති දාලා ඒ ගොල්ලන්ව ආරක්ෂිතව ජීවත් කරවනවා. හවස හය හමාර වෙද්දි ගෙදර යනවා.. කොහොම වුණත් තව අවුරුද්දයි ත්‍රීවිල් එක එළවන්නේ. ඒ වෙන කොට මගේ පවුලට ස්ථාවර තැනකට එන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා.

‘‘ ත්‍රීවිල් එකක් එළවන එක ගැන ලැජ්ජා වෙන්නෙ නෑ. මම ලැජ්ජා වෙන්නේ සල්ලි නැතුව රටේ ලෝකෙට ණය වෙලා ජීවත් වෙන්න වුණා නම්. මගේ පවුලේ සතුට නැති වුණා නම්... ඇය සිනාසෙමින් පවසන්නී ය. කෙටි දුර නිමා කරමින් මම ගමනාන්තයෙන් බැස ආවෙමි.

මට ඈ ආලෝකමත් ගැහැණියකි. ඇය තමන්ට දේවල් නැතැයි කණිපින්දම් කියමින් පවුල පුරා අසතුට බෙදන අතෘප්තිකර ගැහැනියක් වූයේ නැත. ගමේ ගැහැනු හතර පස්දෙනෙක් අල්ලා ගෙන කණ්ඩායමක් හදා විවිධ ක්ෂද්‍ර මුල්‍ය ණය උගුල්වල සිරවී පවුලේ අනාගතය උකසට තබා තිබුණේ නැත. ( ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල ලංකාවේ සියළුම දිස්ත්‍රික්කවල දැනටමත් පැතිර ගොස් ඇති  වසංගතයකි. විශේෂයෙන් නිවෙසේ සිටින කාන්තාවන් ඉලක්ක කරගනිමින් ලබා දෙන මෙම ණය මුදල්වල පොළිය 150% ක් පවා ඉක්වමන අතර ණයකරුවන් අවසානයේ සියදිවි හානි කරගන්නට තැනට පත්වන සේ එය ඛේදවාචකයක් වී ඇත. ) ඒ වෙනුවට තමන්ට හිමි වූ දෛවය එලෙසින්ම බාර නොගත් ඇය ඊට එරෙහිව සටන් වැදුණා ය. ඉන් ඇය තෘප්තිමත් සහ සවිමත් ගැහැනියක් බවට අද පරිවර්තනය වී සිටී.

තුන්රෝද රියක් පැදවීම ගැහැනියකට නොහොබී සහ එවැනි ගැහැනු සියල්ලෝ අයාලේ යන්නවුන් යැයි අදහන බහුතර මිනිසුන් සිටින රටක, පියවරක් ඉදිරියට තබා නෑ මට පුළුවන් යැයි කියා සටන බාරගත්  ඇගේ විස්මිත ධෛර්ය වෙනුවෙන් හිස නවන මේ සටහන ඒ වෙනුවෙනි..

 

 

අනුපමා ගනේගොඩ

ගැහැණියකගේ ඔසප් වීම තවමත් කිල්ලක් යැයි ද එය ඉතා රහසිගතව සඟවා ගත යුතු සහ විවෘත අවකාශයක කතා කරනු ලැබීම ලැජ්ජා සහගත මෙන් ම නොසණ්ඩාල වැඩක් යැයි සලකන ගැහැණු පිරිමි බහුතරයක් සිටින රටක අපි වෙසෙමු. මට ආර්තවය හේතුවෙන් ගැහැණු ළමයෙක් ලෙස ජීවිතයේ ඉතා නරක අත්දැකීම් ලැබී තිබේ.

• ආර්තවය හේතුවෙන් මා පාසල් නොගිය දින බොහෝ ය.

• ආර්තවය හේතුවෙන් බස් රථයක් වාඩිවීමට බියෙන් හිටගෙන ගොස් ඇති වාර බොහෝ ය.

• පාසල් නිලඇඳුමේ රුධිර පැල්ලම් සටහන් වී අපහසුතාවයට පත්වී ඇති වාර ගණන අදටත් මා සිහිපත් කරන්නේ ලැජ්ජාවෙනි.

• මා වැනි ගැහැණු දරුවන් බොහෝ දෙනෙක් එවැනි අවඥාවට ලක්වූ සිද්ධීන් මගේ මතකයේ වේදනා ගෙනෙයි.

• ඔසප් සමය ඕනෑම ගැහැණියකට ඉතා සනීප සුවපහසු දින කිහිපයක් ලබා දෙන්නේ නැත. මගේ තත්ත්වය ද එසේමය. බඩේ කැක්කුම, කොන්දේ කැක්කුම, කකුල් කැක්කුම, මානසික පීඩනය, කෑම අරුචිය වැනි නරක නිමේෂයන් රැසක් එය මට උදා කර දී තිබේ.

• මල්වර වූ දා සිට ආර්තවහරණය දක්වාත් ජීවිතයේ අවම වශයෙන් දින දෙදහසකට ආසන්න කාලයක් මට ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවෙයි.

• මේ සියලු අපහසුතා වෙනුවෙන් මට ඇති එකම සහනය සනීපාරක්ෂක තුවා හෙවත් සුලබ ව්‍යවහාරයෙන් පෑඩ් පැකට් එක පමණි.

මට ප්‍රථමවරට සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මල්වර වූ දා ඥාතියෙකුගෙනි. එය ඉතා ඉක්මනින් අවසන් වූ අතර ඉන් පසු මට සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ තවත් කාලයක් ඉක්ම ගිය පසුව ය. මිලදී ගැනීමට ඇති හැකියාවට වඩා එය ගැමි ගැහැනියක වූ මගේ අම්මාගේ නොදැනුවත්කමේ ප්‍රශ්නයක් විය. රෙදි කෑලි ඇඳීමට සිදු වූ ඒ කාලය මගේ ජීවිතයේ අමිහිරි ම වකවානුවක් බව සටහන් කරමි. පෑඩ් පැකට්වල සිට රැකියාවකින් පසු ටැම්පෝන් සහ මෙන්ස්ට්‍රල් කප් භාවිතය පිළිබඳ අත්දකීම් මා උගන්නා විට ආර්තවය නිසා අපහසුතාවයට පත්වන ගැහැනු වෙනුවෙන් යම් සහනයක් ලබා දීමට ලෝකය කාරුණික වී තිබේ.

එහෙත් අප සිටින්නේ කොතැනද? තවමත් නගරයෙන් පිටත සහ අප ස්මාර්ට් ෆෝන් එකෙන් නොදකින දුර බැහැර දියණිවරුන් තවමත් ඔසප් දිනවලදී හරි හමන් පැළඳුමක් නොමැතිව පාසල් නොයති. සනීපාරක්ෂක තුවා සඳහා ඔහුන්ගේ පවුලේ ක්‍රය ශක්තිය මත මුදලක් වැය කළ නොහැකිය. දරු ප්‍රසූතියේ දී සනීපාරක්ෂක තුවා මිලට ගත නොහැකි ගර්භණී මව්වරුන් ඕනෑ තරම් ය. තවමත් රෙදි කෑලි අළවා ගෙන යන දැරියන් සුදුගවුමේ සීල් තබාගෙන සමාජයේ අවඥාවට ලක් වෙති. (උදේ සිට හවස් වන තුරු පිළුණු රුධිරය සමග දිනයක් ගත කිරීම කෙතෙරම් වෙහෙසකර ද යන්න මම හො‍ඳාකාරව දනිමි). හදිසියේ ආර්තවය වැළඳෙන විට ළඟ තබා ගැනීමට සනීපාරක්ෂක තුවායක් නොමැති දියණිවරුන්ද, වැඩිහිටි කාන්තාවන් ද වෙති. මේ රෙදි කෑළි යළි යළි භාවිතයට ගැනීම සෞඛ්‍යට කොයිතරම් අහිතකරද? පෑඩ් පැකට් එකක වැදගත්කම ඇත්තේ මෙතැනය. ඒවා ඉදිරියේදී එන කොයි ආණ්ඩුවෙන් හරි විධිමත් පරිදි ලබා දෙනවා දකින්නට කැමැත්ත ඇත්තේ ඒ නිසා ය.

(මෙකී සනීපාරක්ෂක තුවා පරිසරය වෙත බැහැර කිරීමද විධිමත් පරිදි කළමනාකරණය කළ යුතු බව සටහන් කරමි)

Blog Right Add

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය