Sunday, 28 February 2021

දමිළ සාහිත්‍යයේ රතු සළකුණ ඩොමිනික් ජීවා

ජිනදාස කංකානම්ගේ #


දමිළ සාහිත්‍යයට අමිල මෙහෙයක් ඉටු කළ සහ සිංහල සාහිත්‍යය දමිළ සමාජය වෙතට ගෙන ගිය කීර්තිමත් ලේකඛයෙකු මෙන්ම මෙරට වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වූ ඩොමිනික් ජීවා සහෝදරයා පසුගිය ජනවාරි 29 වන දින දැයෙන් සදහටම සමු ගෙන ගියේය.

ඔහුගේ සාහිත්‍ය මෙහෙය පිළිබඳව පර්යේෂණයක්ද, ඒ පිළිබඳව කරනු ලබන ඇගයීම්ද, එදා මෙදා තුළ නිබඳව සිදු වුවද, කොමියුනිස්ට් පක්ෂයේ මඟ පෙන්වීම ලබමින් විද්‍යාත්මක දෘෂ්ඨිය වෙනුවෙන් ඔහු කළ ධෛර්ය සම්පන්න කටයුතු පිළිබඳවත්, ඒ වෙනුවෙන් කළ අමිල කැපවීම පිළිබඳවත්, මුලින්ම සටහනක් තැබිය යුතුයැයි සිතමි. ඔහුගේ සාහිත්‍ය කලා ජීවිතයේ පදනම මාක්ස්වාදී දැක්ම ගුරු කොට ගැනීමය, යන්න ඔහුගේ වචනයෙන්ම මම අසා ඇත්තෙමි.

ඩොමිනික් ජීවා නම් මේ කෘතහස්ත මිනිසා මා මුලින්ම හඳුනා ගන්නේ කොමියුනිස්ට් පක්ෂයේ 17 වන ජාතික සමුළුව මුළු දුන් 2002 වසරේ දෙසැම්බරයේ කොළඹදීය. ඔහුත් මමත් එම සමුළුවේ නියෝජිතයින් දෙදෙනෙකු වීමු. එදා ඔහු විසින් මට ලබා දුන් ‘පත්තර ප්‍රසූතිය’ නම් වූ කෙටි කතා සංග්‍රහයේ ඔහුගේ අත්සන යොදා සටහනක්ද තබා තිබිණ. ඔහු වියෝ වූදා මම නැවත එය පෙරලා බැලූවෙමි. සමුළුව පැවති දින දෙක තුන තුළ ඔහු හා කුළුපඟව ඔහුගෙන් අසා ගත් ඔහුගේ කතාව මම මෙතැන් සිට සංක්ෂිප්ත කර ලියමි.

ඔහු මෙලොව එළිය දකින්නේ 1927 ජූනි මස 27 වනදා යාපනයේ දී ය. දමිළ කුල පීඩනයෙන් මිරිකී ගිය යාල්පානම්හි ඔහුගේ ළමා කාලය ගෙවී යන්නේ අනේක විද දුක් කම් කටොළු මැදිනි. ඔහු හිරිමල් තරුණ වියට පැමිණෙන්නේ මෙරට නිදහස් සටනේ තීරණාත්මක දශකය වූ 40 දශකයේදීය. කුල පීඩනයේ කුරිරු අසාධාරණකම් තුළ ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වුවද කොමියුනිස්ට්වාදියෙකු වූ කාර්තිකේෂන් නම් ගුරුවරයාගේ ඇසුරෙන් ඔහු ස්ව උත්සාහයෙන් තම භාෂා ඥාණය ප්‍රගුණ කර ගත් අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ද මැනවින් ප්‍රගුණ කළේය. මාක්ස්වාදය හා සමාජවාදී අදහස් ප්‍රචලිත කළ තම ගුරුවරයා මගින් යාපා පටුනේ කොමියුනිස්ට් ව්‍යාපාරය සමඟ බද්ධව කුල පීඩනයටත් පීඩිත දමිළ ජනතාව ලක්ව සිටි සූරා කෑමටත් එරෙහිව ඩොමිනික් ජීවා සිය කාලයෙන් වැඩි කොටස කැප කළේ තම ලේඛනද එහි අවියක් කොට ගෙනය.

1948දී සුදන්දිරන් නැමැති දෙමළ පුවත් පතේ ඔහුගේ මුල්ම කෙටි කතාව පළ වන්නේය. එය සමාජ අසාධාරණයට එරෙහිව ඔහුගේ පෑන මුවහත් කිරීමක් විය. 1948 වන විට ඔහු වයසින් අවුරුදු 21ක තරුණයෙකි. ඔහුගේ තරුණ විය මෙරට කම්කරු පන්තිය අද භුක්තිවිඳින වරප්‍රසාදයන් රැසක් දිනාගත් වකවානුවයි. 1947 මහා වැඩ වර්ජනය ඔහු ඉතා ආස්වාදජනක ලෙස මෙනෙහි කළේය. එම සටනට නායකත්වය දුන් ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ආරම්භක ලේකම්වරයා වූ සහ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජික ඒ. වෛද්‍යලිංගම් ඇතුළු පී. කුමාරස්වාමි (පී.කුම්.), සී. කුමාරස්වාමි (සී.කුම්.), පී. කන්දයියා (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී) ඔහුට මඟ පෙන්වූ දේශපාලන දැවැන්තයන්ය. ඔවුන් සියලූ දෙනා යාපා පටුනෙන් දැයට දායාද කළ මහා පුරුෂයන් ලෙස හැ`දින්වූ ඩොමිනික් ජීවා යාපා පටුනේ දැනුමින් පිරිපුන් මාක්ස්වාදීයෙකු ලෙස පක්ෂ සංවිධානයේ කටයුතුවලට සිය දායකත්වය දෙමින් ප්‍රගතිශීලි ලේඛන කටයුත්තේද දිගින් දිගටම නිරත විය. ඉදිරියට ගෙන ගිය තම කටුක ජීවන ගමනේ තවත් කඩ ඉමකදී බාබර් සාප්පුවක් ආරම්භ කරමින් කරණවෑමියෙකු ලෙස තම ජීවනෝපාය සරිකර ගත් ජීවා එම බාබර් සාප්පුවද වමේ මධ්‍යස්ථානයක් කරගනු ලැබුවේය.

දකුණෙන් උතුරට ගිය උඩකැන්දවල සරණංකර හිමියෝ ප්‍රධාන දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, සරත් මුත්තෙට්ටුවේගම වැනි කොමියුනිස්ට්වාදීන් සමඟ සමීප ඇසුරුකින් ක්‍රියාකර ජීවා ඔවුන් යාපනයට පැමිණි බොහෝ අවස්ථාවලදී ඔවුන්ට යාපනේ ජනතාව හමුවීමට පහසුකම් සැපයූවේය. ඔහුගේ පත්තර ප්‍රසූතිය නම් කෙටි කතා සංග්‍රහය පුද කරන්නේ සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයාටය. පුද පඬුරු නමින් එහි සඳහන් පාඨය මම මෙසේ උපුටා දක්වමි.

”මා ගරු කරන ජාතික නායකයාණන් හා දෙමළ ජනතාවගේ හිත මිතුරකුද වූ සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයාට සහෝදරත්වයෙන් පුදමි.” යනුවෙන් එහි ස`දහන් කොට ඇත. කොමියුනිස්ට්වරු පිළිබඳව ඔහු තුළ වූ අසීමිත ලැදියාව ඉන් මැනවින් පිළිඹිබු වූ බව මම සිතමි.

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස යාපා පටුනෙන් ඇරඹි ඔහුගේ ආගමනයත් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු දක්වා ඉදිරියට ගිය අයුරුද විස්තර කළ ඩොමිනික් ජීවා එවකට පැවති උතුරේ යුද්ධ හේතු කොට උතුරේත් දකුණේත් කම්කරු පන්තිය වෙන් කර දැමීම දැඩි කනස්සල්ලෙන් සිහිපත් කළේය. යුද්ධයට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.

ජාතීන් අතර ගැටළුව ලිහා ගැනීමට දේශපාලන විසඳුමක අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය. දෙමළ සමාජයේ ප්‍රගතිශීලි පුළුල් කොටස් සමඟත් සිංහල සමාජයේ වමේ හා ප්‍රගතිශීලි කොටස් සමඟද ඔහු ඉතා පුළුල් කෝණයකින් සබඳතා තර කරගනු ලැබුවේය. විශේෂයෙන් ජනතා ලේඛක පෙරමුණ දකුණේ ප්‍රගතිශීලි ලේඛක ප්‍රජාව හා එක්වීමට ජීවාට අත්වැල සැපයීය. ඔහු සියලූ තැන්හි පෙනී සිටියේ අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු ලෙස බව ඔහුට ගෞරව පිණිස මෙහි සටහන් කරමි.

ඔහුගේ ලේඛන කලාවට මුල් වූ මානව දයාව සටන්කාමී බව පිළිබඳ මඟ පෙන්වීම ලබා ගත්තේ වමේ දේශපාලන අරගලයේ ආශ්වාදයෙනි. ඉබ්නු අස්මත්, එස්. අලගියාවඩු යන ලේඛකයින් විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ‘පත්තර ප්‍රසූතිය’ නම් වූ ඔහුගේ කෙටිකතා සංග්‍රහයට සටහන් එක් කරන ජීවා ඔහුගේ සාහිත්‍ය කලා ප්‍රවේශය හා ගමන්මඟ විස්තර කොට ඇත. 1956 ජනතා ජයග්‍රහණය තුළ මෙරට ඇතිවූ සංස්කෘතික ප්‍රබෝදය සිංහල සංස්කෘතියට සේම දෙමළ සංස්කෘතියටද එකසේ බලපෑ බව කියන ජීවා කලාව හා සාහිත්‍ය මගින් ජාතික සමගිය ගොඩ නැගීම ඔහුගේ ඒකායන අභිලාෂය බවද, සටහන් කොට ඇත.

1960දී වසරේ පළවූ ‘තන්තීරුම්-කන්තීරුම්’ (ජලයයි-කඳුලයි) ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහයට හොඳම දමිළ කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. 1964 වසරේ ඔහු ‘මල්ලිගෙ’ (පිච්ච මල) සඟරාව ආරම්භ කළ අතර එය ජාතීන් අතර සමගිය සහ විශ්වාසය ගොඩ නැගීමත් සිංහල සාහිත්‍යකරුවන් දෙමළ සමාජය වෙත කැඳවාගෙන යාමටත් අවශ්‍ය සියලූ ඉඩකඩ විවර කළේය. විශේෂයෙන් ඔහු නිර්මාණවලින් පමණක් හඳුනා ගත් ඇතැම් සිංහල ලේඛකයින් දෙමළ සමාජය වෙත හඳුන්වා දුන්නේය. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, ගුණසේන විතාන, බුද්ධදාස ගලප්පත්ති, බොබි ජි. බොතේජු යන සිංහල ලේඛකයන්ගේ නිර්මාණ ‘මල්ලිෙගෙ’ සඟරාව මගින් දෙමළ පාඨකයා වෙත හඳුන්වා දෙනු ලැබුණි. එහි අරමුණ වූයේ ජාතික සමගිය වෙනුවෙන් අත්වැල සැපයීමයි. ඔහු සිංහල ලේඛකයන්ගේ නිර්මාණ සිය ගණනක් දෙමළ බසට පරිවර්තනය කොට දෙමළ සමාජය වෙතට ගෙන ගියේය.

පසු කලෙක ප්‍රවීණ ගත්කතුවරයෙකු වන කේ. ජයතිලකයන්ගේ චරිත තුනක් නව කතාව දෙමළට පරිවර්තනය කොට එළි දැක්වූ ඩොමිනික් ජීවා, එය දෙමළ සමාජයට පමණක් නොව දකුණු ඉන්දියානු දෙමළ ප්‍රජාව වෙතද, ගෙන ගියේය.
‘මල්ලිෙගෙ සඟරාව’ මගින් ලැබු දිගුකාලීන අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන මල්ලිෙගෙ පන්දල් නම් වූ පොත් ප්‍රකාශන ආයතනය පටන් ගත් ජීවා දෙමළ හා සිංහල කෘති රැසක් දැයට දායාද කළේය. ඔහුගේ කෙටිකතා බොහෝමයක් ඉංග්‍රීසි, රුසියානු, චෙකෝස්ලෝවැකියානු භාෂාවලට පරිවර්තනය කොට විශ්ව සාහිත්‍යයටද එක්ව ඇත. පසු කලෙක ඔහු ඔහුගේ බාබර් සාප්පුව වසා දමා ලේඛන කලාවට හා පොත් ප්‍රකාශනය වෙනුවෙන්ම කැප වූයේය. දමිළ සාහිත්‍ය පුබුදුවාලූ ඔහුගේ නිර්මාණාත්මක බව දමිළ සාහිත්‍යයට පමණක් කොටු කර තැබිය නොහැක. එය සිංහල සාහිත්‍යයද පෝෂණය කොට ශ්‍රී ලාංකීය සාහිත්‍ය අතික්‍රමණය කොට විශ්ව සාහිත්‍ය දක්වා ගිය විශිෂ්ඨ ගමනේ ගෞරවය ශ්‍රී ලාංකික ජාතියටම හිමි විය යුතු ගෞරවයක් සේ සැළකිය යුතුය. එහෙත් ඔහු පැතු ශ්‍රී ලාංකික ජාතිය ගොඩ නගා ගැනීමට අපි තවමත් අපොහොසත් වී සිටිමු. ජාතිවාදයටත්, කුලවාදයටත්, දෙමළ සමාජයේ පීඩිත පන්තිය ලක්ව සිටි සූරා කෑමටත් විරුද්ධව නිරන්තර අරගලයේ යෙදුණ ඩොමිනික් ජීවා පසුගියදා දැයෙන් සමුගන්නා විට 94 වියේ පසුවිය.

පීඩිත පන්තියේ විමුක්තිය වෙනුවෙන් මේ දමිළ බුද්ධිමතා පෑනෙන් කළ හරඹයද විවිධ වූ දුක් ගැහැටෙන් පන්නරය ලබමින් කල විප්ලවීය වැඩ කටයුතුද ඉතිහාසයේ නොමැකී සටහන් වනු ඇත. ඔහුට අපි අපගේ විප්ලවීය ආචාරය පුද කර සිටිමු.⋆

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය