Friday, 28 February 2020

ධම්මො හවෙ රක්ඛති

 

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ ලියයි ෴


ඒ මා නිතර යන එන පාර ය. කලක සිට පාර අද්දර කොස් විකුණන යුවළකි. බොහෝ විට එතැනින් කොස් උරයක් රැගෙන යන මම එදින ද එතන නතර  වීමි. කොස් වර්ග දෙකකි. එකක් එතරම් පැසී නැත. 

 ‘‘හොඳට පැහිච්ච එකෙන් දෙන්න.’’  එතැන හුන් ස්ත‍්‍රියට කිමි. 

ගෙදර ගොස් බලන විට පැසුණු කොස් උඩ ද නො පැසුණු කොස් යට ද විය. උදෑසන එතැනින් යන විට ඇසෙන රේඩියෝ නාදයකි. 

 ‘ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි!’ ඔවුහු බණ අසති. 

කොළඹ සිට පාදුක්කට ගමන් ගත් බසයකි. හෝමාගම සිට මීගොඩට යන්නට ද සෑහෙන වේලාවක් ගතවිය. පැයට සැතපුම් 30ටත් අඩු වේගයකින් සිත නො සන්සුන් වෙන තරමට ම සන්සුන් ව ගමන් ගත් රථය පාදුක්කට කිට්ටුකොට  හැටට හැටේ යන්නට පටන් ගත්තේ ය. පාර ම බසයට ය. යනවාට වඩා දැනෙන්නෙ උඩ විසිවෙන බව ය.

 රියදුරු අසුන ඉදිරියේ විදුලි එළි විසිකරමින් දිදුලන විෂ්ණු කතරගම ඇතළු දේව මණ්ඩලයකි. බුදු හිමි ද එතැන ය. දෙවියෝ ද මිනිස්සු ද උඩ ගොස් බිම වැටෙති.

 ‘‘ දේවමණ්ඩලේ ම ආවේශ වෙලා. ඩ‍්‍රයිවර් වරං අරං. වැටුණොත් අතපයත් කැඩෙයි. හයියෙන් අල්ලගං’’ අසල හුන් අම්මා කීවා ය. 

මෙවැනි කතන්දර කොතෙකුත් මතකයේ ඇත. පිළිම පින්තූර වැඳ දුම් අල්ලා මහහඬින් බණ අසන කල, ධර්මය තමන් රකිතැයි මිනිස්සු සිතති. උදේ නමයයි තිහ දහය වන විට නගරයේ බොහෝ කඩවල දොර ලෑලි විවර වන්නෙ සුවඳ දුම්ගුලි පිට කරමිනි. ඉන්පසු වැයෙන්නේ සෙත් පිරිත් ය. එහෙත් ප‍්‍රතිපත්තිය පිළිබඳ බහුතරයකට අදහසක් නැත. දිනපතා පුරුද්දට කරන මේ වැඩ ටික තමුන්ට ලක්ෂ්මිය උදා කර දෙතැයි ඔවුහු සිතති. 

එසේ නො සිතන මිනිස්සු ද ඉඳහිට හමුවෙති. 

උබේසේන මාමා සිය මිත‍්‍රයා වූ ‘වෙරිජෝන්’ සමග නාච්චිමලේ ආරණ්‍ය සේනාසනයට ගියේ සිල්සමාදන් වීමට ය. තරුණ වියෙහි වූ ඔවුන්ගේ කුලුඳුල් සීලසමාදානය එය විය. ටික වේලාවකින් පටන්ගත් භාවනා වැඩසටහනකි. එරමිණියා ගොතාගෙන දෑස් තදින් පියාගෙන සිටින අතරේ කකුල කන කූඹියෙකි. කූඹියා ඇඟට තබා පොඩිකර භාවනාවට නැවත අවතීර්ණ වුව ද එය මහා අමාරු වැඩකි. ඔහුගේ ම වචනයෙන් කියනවා නම් ‘බරබාග දෙකක් කර මත තබා ගෙන ඇතිවාක් මෙන්’ සිරුර රිදුම් දෙයි. බාගෙට දෑස් හැර බැලූ කල දකින්නට ලැබුණේ දෑස් බාගෙට පියාගෙන අපහසුවෙන් සිටින වෙරි ජෝන් ය. 

 ‘‘උබේසේන කසිප්පු තියෙනවා ඇල්ලෙන් එහා. ’’ වෙරිජෝන් කොඳුරයි. 

 භාවනාවෙන් පසු නැගිට ගත් දෙදෙනා උතුරුසළුව පන්මල්ලට ඔබාගෙන කසිප්පු තිප්පොලට යන්නේ  ඇඟේ අමාරුව සමහන් කර ගන්නට ය. කසිප්පු දුන් සුවතාවෙන් ඉක්බිති ඔවුහු නිවෙස් බලා ආහ. ඔවුන් ගත් සීලය කිසි දිනෙක පවාරණය කළේ ද නැත. 

 ෙතරුණ වියේ කරත්ත රස්සාව කළ උබේසේන මාමා වියපත් වියේ දි ගොවිතැන් කළේ ය. හැම විට ම සිනාමුසු මුවින් සිටි ඔහු ගෙදර දොර යුතුකම් මෙන් ම සමාජයට ද සිය යුතුකම් ඉටු කළේ ය. ඔහු කවදාවත් පන්සල් ගියේ නැත. නැවත සිල් සමාදන් වූයේ ද නැත. ඔහු කිසිවෙකුටවත් කරදරයක් කළේ නැත; කරදරයක් වූයේ ද නැත. 

 තරුණවියේ දි ගත් සීලය පවාරණය නො කොට ම ඔහු මිය පරලොව ගියේ ය. මරණින් මතු ඔහුට කුමක් වීදැයි මම නො දනිමි. 

 ධර්මයේ හැසිරිමත් ධර්මය පරිහරණය කරමින් තම සිත රවටා අනෙකුන් රැවැට්ටීමේ කූට කමත් එකක් යැයි බහුතරයක් සිතති. එය කොතරම් සාමාන්‍යදැයි කියතොත් රටපාලනය කරන දේශපාලක කෛරාටිකයන්ගේ උපක‍්‍රමය ද එය ය. වෙනස ඇත්තේ ඔවුන් ඒ පිළිබඳ සවිඥානික වීම ය. 

 

 

Blog Right Add

වම් ඉවුරේ වෙබ් නාදය