අනුරසිරි හෙට්ටිගේ #
ඒ කාලයේ ජනේරුව කියන්නෙ අලුත් අවුරුද්දකි. නෙතට මෙන් ම ගතට ද උළෙලක් ම වන්නේ ය. අලුත් අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා රටට ම නිවාඩු ය. දෙසැම්බර් තිස් එක් වෙනිදා රාත්‍රී දොළහට ඇසෙන රතිඤ්ඤ පෙරහැර නිමාවෙද්දි බොහෝ ගෙවල්වල අලුත් ළිපක අලුත් මුට්ටියක් තුළ කිරි උතුරා හැලෙන්නේ ය. උදෑසන අලුත් ඇඳුම් ඇඳ එළි බහින කොළඹ ළමයින් කෑකොස්සන් ගසමින් කැට ගසන්නේ ය; පන්දු කෙළින්නේ ය; ජිල් බෝල ගසන්නේ ය. රාත්‍රී ෂෝ එකට චිත්‍රපටයක් බලන්නට යාමත්, ගෝල්ෆේස් ගොස් මුහුදු රැල්ල පාගා, අයිස් පලම් කා මහා රාත්‍රියේ දී නිවෙසට පැමිණෙන්නේය. සැබැවින් ම එකල ජනේරුව කියන්නෙම කොළඹයන්ට මංගල කාරණාවකි.
කොළඹ වෙසෙන දෙමළ මෙන් ම මුස්ලිම් මැලේ හිතෛශීන්ටත් ජනේරුව මඟුලක් ම වන්නේ ඔවුන්ට ද නව අවුරුද්දක ආරම්භය ආගම් හෝ ජාති බේදයෙන් මිදී සැමරිය හැකි වසරේ එකම දිනය වන බැවිනි. ඔවුන් ද සිංහල කොළඹයන් සමග හරිහරියට අලුත් ඇඳුම් අඳින්නේ ය. කෙළි සෙල්ලම් කරන්නේ ය. පාරවල් දිගේ ඇවිදිමින් නෙක නෙක රසකැවිලි කන්නේ ය. කොළඹයාගේ පුරවරය හෙවත් උසාවි සාවියේ මේ සෑම ජාතියක්ම මිශ්‍ර ව සිටි බැවින් සිංහල දෙමළ අවුරුද්දට වැඩි සතුටක් ජනේරුව ඔස්සේ විඳින්නට ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ ය. එය ජාතික සමගියේ දිනය ලෙස වැඩෙන්නට ඉඩ නොහැරියේ කවුද?යි සිතන්නට කාලය එළැඹ ඇයි කොළඹයාට දැන් සිතෙන්නේ ය.
කොළඹයාගේ ජීවන සැරියේ යහ මතකයන් බොහෝමයක් ජනේරුව සමග බද්ධ වී ඇතත් කොළඹයා වඩාත් ආසාවෙන් සිහි කරන්නේ නැවුම් තීන්ත සුවඳ හමන පාසල් පෙළ පොත් පිටු සිඹිමින් අලුත් පාඩම් කියවීමට දැක්වූ ලොල් බවයි. අම්මාට කරදර කරමින් කෙසේ හෝ සපයා ගන්නා ‘බ්‍රවුන් පේපර්’ කඩදාසිවලින් ඒ පොත්වලට පිටකවර දමා රවුම් අකුරෙන් කොළඹයාගේ නමයි, පන්තියයි, විෂයයයි ලියන්නේ මහත් ආඩම්බරයකිනි. බොහෝ විට ජනවාරි දෙවනිදා ඒ පොත් මිටිය අතකින් ගෙන පාසලට යන්නේ අභිමානයෙනි. අලුත් අවුරුද්ද හැම විටම කොළඹයාට අලුත් පන්තියකට ආරාධනා කරන බැවින් ජනේරුවට කොළඹයා ආදරය කළේ ය. අලුත් පන්තියේ ඉස්සරහම පේළියේ ඉඳ අලුත් ළමයෙකු ලෙස වසර පිළිගැනීමට ලැබීම කොළඹයාගේ මනදොළ සපුරාලන රසවත් ආහාරයක් වැන්නේ ය. ඒ ආදරය අදටත් කොළඹයා අතහැර ගොස් නැත. විවාහ වී දරුවන් ලැබ සිටියදිත් දරුවන් දීග තල ගොස් මහලු බිරිඳ සමග බෙහෙත් පෙට්ටියක් තුරුලු කරගෙන සිටියත් කොළඹයා අදටත් ජනේරුව සමරන්නේ එනිසා ය. එපමණක් නොව අවටින් පැතිරෙන රතිඤ්ඤ හඬ මැද අලුත් ළිපක ගිනි අවුළුවා නැවුම් මුට්ටියක කිරි උතුර වන්නේ ය. නොකරන්නේ මහ හඬින් රතිඤ්ඤ දැල්වීම පමණි.
අද වනවිට ජනේරුව යන්න නව වසරක පළමු දිනය විනා පොදු ජනතාවගේ උළෙලක් නම් නොවන්නේ ය. දෙසැම්බර් තිස් එක්වෙනිදා රාත්‍රියේ රතිඤ්ඤ පුපුරනු ඇසුණත් පාන්දරින් රස්සාවලට යාම අනිවාර්ය ය. නැත්නම් අලුත් අවුරුද්දෙ පළමු වැනි නිවාඩුව ලබා ගත යුතු වන්නේ ය. නිවාඩු බහුල රටක සංවර්ධනය උදෙසා ඉන් ලැබෙන සහායක් නැති බවට අර්ථ ගැන්වෙතත් කිසිදු පලක් නැති නිකම්ම නිකං ආගමික කාරණා මුල්කොට ගත් නිවාඩුවලින් නම් දූපතේ අඩුවක් නොමැත්තේ ය. ජනේරුව විසින් දූපතේ මිනිසුන් තුළ ඇති කරන ලද ‘අපේ අවුරුද්ද’ යන සන්නාමය තරම් ඒ නිවාඩු කිසිවක් නොවටින්නේ ය.
යටත් විජිත පාලනයේ ඵලයක් ලෙස නියම වූ අනුකාරක සැමරුමක් ලෙස පසුව අර්ථකථනයකට මැදි වුවත් ජනේරුව, මිනිස් ඇසුරෙන් දුරස් කිරීම පහසු නොවන්නකි. නව මිනිසෙකු විලස පරණ මිනිසාට තමන් පිළිබඳ අවලෝකනයක නිරත වන්නට ජනේරුව විසින් ලබා දෙනු ලබන උත්තේජනය අදටත් මහරු ය. සමහරුන් මත්පැන්, සිගරට් ආදි පුරුදු අත්හරින්නට සපථ කරන්නේ ජනේරුවටය. සමහරුන් සිය ජීවිත පිළිබඳ සැලසුම් සකස් කර එය ක්‍රියාත්මක කිරීම අරඹන්නේ ද ජනේරුවෙනි. මන්ද එය සිය ජීවිතයේ අලූත් ම දවසක් බවට මිනිසුන් විශ්වාස කළ බැවිනි. එනිසා සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් ජනේරුව කියන්නේ රටකට සිය ගමනේ නව ආරම්භයක් ගැනීම සඳහා උත්ප්රේරයක් ම වන්නේ යැයි කොළඹයා සිතන්නේ ය.
එවන් ජනේරුවක් මේ දැන් උදාව ඇත්තේ ය. මුළු ලෝකයම කෝවිඞ් 19 වසංගතයෙන් ආතුරව සිටියදී මිනිසුන් ජනේරුවේ උත්කර්ෂවත් බව අමතක නොකරන සෙයකි. සිය සිනා මුව දොරවල් මුඛවාඩමින් වසා ගෙන වුව ඔවුන් රතිඤ්ඤ දල්වන්නේ ය. මල් වෙඩි පුපුරුවා අහස වර්ණවත් කරන්නේ ය. ඇස කන පිනවමින් ගිනි කෙළි විසිරෙන්නේ ය. මේ සියල්ල පැවතියත් කොළඹයාට දැනෙන්නේ නව වසරේ අලුත් විය යුතු පරණ මිනිසා අහෝසි වී ඇති නියාවකි. තමන් අවට පරිසර ස්වභාවෝක්තීන් මතින් උපන් ජනේරුව දකින්නට කොළඹයා ආසා නමුත් දකින්නේ නොහික්මුණ මාධ්‍යයන් විසින් කෘතිම ව බිහි කරන ලද මිනිස් පවුරක් මැදින් උදාවන ආටෝපිත ජනේරුවකි. මාධ්‍යයන්ගේ බලහත්කාරයට නතුවූ සරුව පිත්තල දිලිසුමක් සහිත ජනේරුවකි. එහි හඬ ඉහළ නමුත් වැඩ බාල ය.
ඇත්තෙන් ම කොළඹයා සිතන්නේ ජනේරුව බාලයන්ගේ සිතිවිලිවලට විශ්වාසය එන්නත් කරන අගනා ඹෟෂධයක් කියා ය. බාලයන් කීවේ ජඩ මාධ්‍යයන් සිතා කටයුතු කරනාකාරයේ අඳ බාලයන්ට නෙවෙන්නේ ය. සැබෑ ළමා කාලයේ නිරූපණයක් සහිත කිරි බාලයන්ට ය. ඔවුන් තුළ වඩාත් විශ්වසනීයව උදා වූ වසර පිළිගැනීමේ ආඩම්බරය තහවුරු කිරීමට අද දවසේ කෙරෙන කටයුතු අසමත් බව කොළඹයා සිතන්නේ ය. නච්ච, ගීත, වාදිත විසූක දස්සනවල අලංකාරයෙන් වැසී යන අලුත් අවුරුද්දක අලුත් ම දිනය, අලූත් දවසක් ලෙස විඳින්නට අවස්ථාවක් රහිත අද ළමයා ගැන කොළඹයා දුක්වන්නේ එනිසා ම ය.
අවිද්‍යාව පෙටු කරගත් ගුරුන්නාන්සේලාගේ සහ ගුරු මෑණිවරුන් හෙණ පතයක් ලෙස මේ කුඩාවුන්ගේ හිස් මතට කඩාපාත්වන්නේ මාර පුත්‍රයාගේ නියෝජිත භූමිකා දරමිනි. කොළඹයාට අනුව ආසන්න ජනේරු කිහිපය වගේම මේ ජනේරුවත් ළමයින්ට ‘මිස්’ වුණ අලුත් අවුරුද්දක් ය. පොදු ජන උළෙලක සැබෑ අසිරිය අතුරුදහන් වූ අවුරුද්දක් කියා ය. කූට මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට සැලසුම් මග හැර නව ජනේරුවක් උදෙසා වන කොළඹයාගේ අපේක්ෂාව තවමත් සජීව ව පවතින්නේ නමුත් කොළඹයාගේ කාලය අවසන් වෙමින් ඇති බව ද දැනෙන්නේ ය. එනිසා කොළඹයා මෙසේ කියන්නේ ය.
මිනිසුනි. අලුත් අවුරුද්දක් උදාවන්නේ නිකමට නොවේ ය. එය මිනිසාගේ අපේක්ෂාවේ ඵලයක් මිස ගණිත විජ්ජාවකට අයත් අංකයක් නොවන බව සිතන්නැ යි කියන්නට කොළඹයා කැමැත්තේ ය.
ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි.⋆