Friday, 29 March 2024

සැප්තැම්බරය ජේආර්ගේ මාසයයි

අනුරසිරි හෙට්ටිගේ


සිංහල මාස ක්‍රමයට අනුව වසරේ නමවැනි මාසය ‘බිනර’ ය. ඉංගිරිස් ක්‍රමයට එය ‘සැප්තැම්බර්’ ය. මේ සිංහල රට යැයි කීව ද දැන් දැන් සිංහල රටට ‘බිනර’ අමතක ය. ඉංග්‍රී ද රාජ්‍ය භාෂාවක් නිසා දෝ අප කාටත් සැප්තැම්බර් කියා මිස බිනර කියා මාසයක් නැත.
සැප්තැම්බර් මාසය කී සැණින් සාහිත්‍ය ප්‍රේමීන්ට සිහිවන්නේ ‘ජේආර්’ ය. හෙවත් ජූනියස් රිචඞ් ජයවර්ධනය. තවත් පැහැදිලි කළොත් ගැහැනියෙක් පිරිමියෙක් කොරන්නටත්, පිරිමියෙක් ගැහැනියක් කොරන්නටත් උත්සාහ කළා නම් බැරිකමක් නොතිබුණ ලංකාවේ පළමු විධායක ජනාධිපතිය. අති උතුම් සිරි ලාංකික ව්‍යවස්ථාවේ පියා ය. වසර හතළිස් දෙකක් ගතවෙලත් ගලවනව තියා බුරුල් කරගන්නවත් බැරි මහා ’දේශපාලනය ගැටය’ ගැසූ උත්තමයා ය.
පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ජූනියස් රිචඞ් උන්නැහේ හරි හරි වැඩ කෙරුවේය. ඒවා ලියා නිම කළ නොහැකි පතරංග ය. මේ කාලයේ උන්නැහේගේ ‘දාං ගැට’ මතක් වන්නේ ඉඳහිටය. එක්කෝ මහ ඡන්දයක් ළං වන විට ‘ජේආර්ගේ ව්‍යවස්ථා උගුලෙන් ගැලවෙමු’යි කියා බෙරිහන් දෙන්නටය. නැතහොත් ‘ඒකාධිපති වියරුව පරදවමු’ කියා බෙරිහන් දෙද්දි ලැබෙන ස්වයං වින්දන සුරතාන්තය ලැබ ගන්නටය. එනිසා ‘ජේආර් නෙල්ලි ගෙඩිය’ මරු ය. ත්‍රෛලෝක රස සපිරි ය.
ජේආර් උන්නැහේ ව වාර්ෂිකව සමරන පිරිසක් ද රටේ සිටිති. ඒ ‘කොළඹයා’ වැනි අහිංසක සාහිත්‍ය ප්‍රේමීහු ය. අපට සහාය වීමට පත්තර පිටු සාහිත්‍යකාරයෝ ද එක් වෙති. වසරේ මාස එකොළහක් නිදා සිට සැප්තැම්බර් මාසයේ අවදි වන පත්තර පිටු විචාරක විරයෝ ද සිටිති. වාර්ෂිකව ජේආර් සමරන්නට හේතුවූ කාරණය සැප්තැම්බර් මාසයේ පවතින ‘සාහිත්‍ය ඝෝෂාවට’ වඩා අහිංසක ය. සෞන්දර්ය ය. ජේආර් උන්නැහේ ඇසුවේ මෙච්චර ය.
‘සාහිත්‍යය කන්ඩ ද?’
කොළඹයා සාහිත්‍ය කෙරෙහි දක්වන්නේ බයපක්ෂපාතකම් සහිත ඇල්මකි. මන්ද එය කොළඹයාගේ නොව රටේ අනාගතයට අයිති වර්තමාන විකාශයක උරුමයක් බැවිනි. ජේආර්ගේ ‘අහිංසක ප්‍රකාශය’ නිසා ලාංකික සාහිත්‍ය පොල්මක්කාරයන්ගේ හෘදය මාංශය ඉරි තැලී ගිය බව සැබෑය.  එ උත්තමයෝ ජේආර්ට පාඩමක් ඉගැන්වීමට පෙරමුණ ගත්තෙන් ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ ජේආර්ට ම තියා ගන්න දී විකල්ප සාහිත්‍ය සම්මාන උත්සව සංවිධානය කරන්නට වූහ. සාහිත්‍යය සහ පුරවැසියා අතර පැවති චිරන්තන මිත්‍රත්වය පළුදු කිරීමේ ජේආර්ගේ අහිංසක උත්සාහය පැරදී ගියේ ය. විකල්ප සාහිත්‍යයක් සේම විකල්ප සම්මානයන් ද බිහිවිණ. සාහිත්‍යය කන්ඩදැයි ඇසූ ලංකාවේ පළමු විධායකයා ඇස් කන් හිරී වැටී, දත කට පූට්ටු වී පැත්ත වැටී බලා සිටියදී නිල් කොළ මිටිවල වගකීම දැරූ ‘ඩමි චෙක්’ උර තබා ගත් සාහිත්‍යකරුවෝ ‘සාහිතය කේතුමතියේ’ සැරීම සාමාන්‍යයක් විය. සම්මානය උත්තේජනයක් විය. ජේආර්ගේ ගැට සියදහසකින් එකක් ගැලවී ගියේ අත්තම්මාගේ මුඛයේ දත් ගැලවෙනවාටත් වඩා වේගයෙනි: ලැම්බො ගිනි ජවයෙනි. ‘ගමේ කොස් දෙල් අල බතල කන අපි පරිධියේ බයියන් යැයි’ ස්වයං පම්පෝරි ගැසූ අහිංසකයෝ, සම්මාන පිණිස ම කොළඹට ආහ: සින්න වූහ. සැප්තැම්බරයේ සම්මාන උත්සව, පොත් සැණකෙළි, සාහිත්‍යය පමණක් නොව ‘නූඞ්ල්ස්’ ද පතඅට එකට සිඳ වලඳමින් ම මැක්්ඩොනල් කේඑෆ්සී රස ද වින්දෝ ය: වසරකට වරක් පොත් ලිව්වෝ ය: නොකඩවා සම්මාන ද ගත්හ. එනිසා ම ඇගයීම් ලද්දෝය: ගැරහුම් වින්දෝය.
සාහිත්‍යය කන්ඩදැයි ජේආර් ඇසූවේ කුමන අර්ථයෙන් දැයි අදටත් නිසි අර්ථයකින් විභාග වී නැතුදු ජේආර්ගේ ප්‍රකාශයට විකල්ප වූ පුරවැසියාගේ භාවිතාව එල්ලයේ විවිධ අර්ථ විභාග පවත්වනු දැකීම සුලභය. එනම්: සම්මාන පිරිනැමීම සේම එ් හා මුසුවූ අධිපතිවාදී මැදිහත්වීම් නිර්ලජ්ජිත රූපණයක් බවට පත් වීමය. එනිසා ‘සම්මාන කතිකාව’ යටපත් කරමින් ‘අවමාන කතිකාව’ බලවත්ව තිබීමය. බිනරය සැප්තම්බරය වුවද සියල්ල දූපතක ගෝත්‍රකත්වයෙන් නොමිදුණ ස්වභාවයකි. එහි ආසන්නම ගෝත‍්‍රිකත්වය පෙන්නූ සම්මාන උළෙලක් ගැන නොකියා ජේආර් උන්නැහේ සිහි කැඳවීම අවසන් කළ නොහැකිය.
සම්මාන උළෙලේ නාමය කීර්තිමත් ය. සම්මාන කමිටුව වර්ණවත් ය. සාහිත්‍යකරුවන්ගේ ඇල්ම බැල්ම එම සම්මානය කෙරෙහි යොමුව ඇත්තේ දහසින් බැඳි පියලි නිසා නොව. ආයතනික වපසරියේ බරසාර බව නිසා ය. එම සම්මානය ස්වභාවයෙන් ම ඒකාධිපතිය. සැප්තැම්බරයේ සම්මාන පෙරහැරේ කසකාර භූමිකාවද දැරුවෝ ය. එහෙත් මෙවර ඔවුන් සම්මාන උත්සව දිනයට පෙර වීදුරු මාලිගාවක සිට අනුන් නොදැකිය යුතු කාරියක් කළ අයුරු ය. ලැජ්ජා ය.
සම්මාන අනුග්‍රහකයන් සම්මාන දිනයේ මුද්‍රිත සම්මාන නාම ලේඛනයක් ප්‍රසිද්ධ කළ ද සම්මාන උළෙලේදී   ඒමත වසුරු පහ කෙරිණ. අනුග්‍රහකයන් සහ සම්මාන සංවිධායකයන් අතර තිබී ඇත්තේ ගොසිප් සයිස් එකේ ගනුදෙනුවක් ය. වම එක අතක ය. දකුණ තව අතක ය. කතුවරයාගේ පුද්ගලිකත්වය, කෘතියට සම්මාන නොදීමේ හේතුවක් බවට පත්වූ ‘ත්‍රස්ත නිර්ණායකයක්’ බිහි කෙරුණේ ද, අනේ පව්! එයාට කවදාවත් සම්මානයක් දෙන්න බැරි උනා! වැනි සකෝ බල ලෝ සාහිත්‍ය නිර්ණායක බිහි කෙරුණේ ද මෙහිදී ය. අවසානයේ සම්මාන ප්‍රණාමය වෙනුවට ලේඛකයා අවමානයට පාත‍්‍ර කෙරුණේ ද මෙහිදී ය. එනිසා කොළඹයා මෙසේ කියමි.
සැප්තැම්බරය සාහිත්‍යය මාසය නොවේ. එය බිනරය ද නොවේ. සැප්තැම්බරය ලේඛකයන්ගේ ලේ රත්වන මාසය යැයි ප්‍රවීණ ලේඛිකාවක් කීවා මතක ය. ලේඛකයන්ගේ ලේ රත් කරන කම්මල් ඇත්තේ සාහිත්‍ය භූමිකාව දරමින් ම සම්මාන කමිටු මෙහෙයවන ප්‍රබුද්ධයන්ගේ දූෂිත සිත් තුළ ය. මයිනහම ගසන්නේ ද සම්මානයක් ලබා ගැනීම තියා නිර්දේශයක් කරා හෝ ළං වීමට තරම් නොවන ලේඛක භූමිකා දරන්නෝ ය: මයිනහම ගැසීමේ පිනෙන් සම්මානයක් දෙකක් හිමි කරගත්තෝ ය.
එනිසා කොළඹයාට අනුව සැප්තැම්බරය තවදුරටත් සාහිත්‍ය මාසය නොවේ. එය ලේඛකයන් ත‍්‍රස්ත කරන මාසය යි. ඒකාධිපතියන්ට යටත් ව සිය කෘති අවමානයට පාත‍්‍ර වනු ඉවසන මාසය යි. වැදගත් කෘති අතුරුදහන් කරන, තමන්ගේ උන් සම්මාන කමිටු තුළට ඇතුළු කරමින් වැදගත් කෘති ඉදිරියට එ්ම වළක්වන සාහිත්‍ය කුහකයන්ගේ මාසය යි. වළක්වනු නොහැකි නම් ‘පොත් උස්සන’ සාහිත්‍ය චෞරයන්ගේ මාසය යි. මේ සියල්ලම ජේආර් පන්නයේ වැඩ ය. නිර්ලජ්ජිත ය.
එනිසා ම සැප්තැම්බරය ජේආර්ගේ මාසය යැයි කියමි.


ඒ වගත් මෙසේ ම ය -
කොළඹයා වෙමි.

වම් ඉවුරේ වෙබ් නාදය