Saturday, 17 April 2021

වම.. දකුණ.. යළිත් වම..... ගමනේ.. යා...!

අනුරසිරි හෙට්ටිගේ


බාල කාලයේ සිට ම කොළඹයාට ‘වම’ ගැන ඇත්තේ අමුතු හැඟීමකි. ඒ ඇයිදැයි කියන්නට අදටත් හරිහමන් විනිශ්චයක් කොළඹයාට නැත්තේ ය. එය ගෞරවයක් ද, බයක් ද කියන්නට වත් නොදත්තේ ය. ඒ කොහොම වුණත් ‘වම’ ගැන මතක ගණනාවක් ගැන සිහි කිරීමට කොළඹයාට අපහසුවක් ද නැත්තේ ය. ඉන් පළමු වැන්න හිනායනසුලූ මතකයක් ය. කොළඹයා ඒ කාලයේ කරාටේ පන්තියකට සහභාගි වුණේ කාලයේ හැටියට අතින් පයින් ගහගැනීම කලාවක් බවට හැරී තිබීමත්, බෲස් ලි නම් චීන නළුවා මේ දූපත තුළ එය ආත්ම විශ්වාසයක් බවට පත් කර තිබීමත් නිසා ය. කරාටේ පන්තියේ දී ‘යා..හ්..හූ.. යා’ කියමින් අත-පය දික් කරද්දී කාරාටේ මාස්ටර් කොළඹයා අසලට පැමිණ ‘ඒ මුගේ වමත ඇදැයි නේ’යි කී විට සභාවේ ඇති වූ මහ සිනා හඬ කොළඹයාගෙ කරාටේ සිහිනය සුනුවිසුනු කර දැම්මේ ය.


දෙවැන්න ඊටත් වඩා ශෝකජනකය. එකල කොළඹයාගේ හොඳම පාසල් මිතුරා වූයේ කරුණාරත්නය. ඔහු උපන් ගෙයි වමත්කාරයෙකි. කෝටු අතපය ඇති කරුණාරත්න තමන්ගේ වම් අතට රිදීපාට ‘සීකෝ’ ඔරලෝසුවක් බැඳ පාසල් ආවේ ය. එය ඉරිසියා හිතෙන තරමේ කාරණයකි. එවකට ‘මොන්ඩියා’ හෝ ‘ගරුඬා’ වැනි බාල ඔරලෝසුවක් වත් නැති කොළඹයාට, කරුණාරත්නගේ ඔරලෝසුව ‘ගාමිණී ෆොන්සේකාගේ’ ඔරලෝසුවක් තරම් අගේ විය. කාරණය එය ම නොවේ ය. මේ වමත්කාරයා ඉස්කෝල බංකුවේ ඉඳගෙන හිටියේ මගේ දකුණු අත පැත්තේ වීම ය. ඔහු වමතින් ලියන්නේ අත ඩෙස්එක දිහාට තල්ලූ කර ය. එය දකුණතින් ලියන කොළඹයාගේ අතේ නිදහසට බධාවක් ය. ඒ හැම විට ම ‘සොරි මචං’ යැයි ඔහු මුවින් පිටවෙයි. එය කොළඹයාගේ හදවත පතුලටම වදින්නේ ය. එක් පාසල් නිවාඩු කාලයකදී කරුණාරත්න සිය දිවි නසා ගත් පුවත ආරංචි වී කොළඹයා ‘ජම්පටාර් වීදියේ’ ඔහු පදිංචිව සිටි මහල් නිවාසයට යන විට ඊට පෙරදින ඔහුගේ අවසන් කටයුතු සිදු කොට තිබිණ. රාමු කරන ලද ඔහුගේ පින්තූරයක් නිවසේ ටීපෝවක් මත තබා තිබිණ. මිතුරාගේ වමතේ දිදුලන රිදීපාට ‘සීකෝ ඔරලෝසුව’ කොළඹයාගේ දෑසට කඳුළක් රැගෙන ආවේ ය.


‘වම’ කියන්නේ ‘දකුණේ විරුද්ධ පදය ම නොවන බව කොළඹයාට දැනෙන්නට පටන් ගත්තේ ඊටත් පසු ය. එය දේශපාලන කාරණයක් ය. වසර 1976 ය. කොළඹයා උසස් පෙළ පන්තියේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේසූරිය සහෝදරයා මරා දමා ඇති බව කියමින් ඉස්කෝලෙට කඩා වැදුණ පිරිසක් පෝස්ටර් දුන්නෝ ය: පාරට කැඳවා ගත්තෝ ය. එලෙස බලහත්කාරයෙන් ඉස්කෝලෙට කඩා වැදුණේ ‘වම්මුන්’ බව කොළඹයා දැන ගත්තේ බෞද්ධ සංස්කෘතිය ඉගැන්වූ හාමුදුරුවන්ගෙනි. අදටත් ජීවමානව සිටින මේ හිමියන් එදා කීවේ ‘වාමාංශිකයින්ට’ හසු නොවන ලෙස ය. කොළඹයාට ‘වාමාංශික’ යන්නෙහි තේරුම ගැන ඒ කාලයේ හරි හැටි වැටහීමක් නොතිබුණ බව නොකියා ම බැරි ය. සමාජවාදය සහ ධනවාදය ‘වාම අර්ථයක්’ ඔස්සේ කොළඹයාගේ සිතට කඩා වදින්නේ ඉනුත් පසු ය. එ්වා යුග කිහිපයකට ම දිවෙන දිගු කතා ය. සිත රිදවන්නේ ය. තිබිච්චාවේ!


සමාජවාදය සහ ධනවාදය අතරට වැද සිටින ‘වාමාංශික’ය කුමක්දැයි කොළඹයා නිසි අයුරින් සොයා බලන්නේ ජීවිතේ බොහෝ කාලයක් ඒ වෙනුවෙන් ම ගෙවී ගිය පසු ය. කොළඹයාට අඬඅඬ සිනාසෙන්නට තරම් ප්‍රහර්ශයක් දැනුණේ ‘වාමාංශික’ යන්නට සිංහල ශබ්ද කෝෂාර්ථවේදියෝ දුන් අර්ථ නිරූපණය ඇස ගැටුණ කල්හි ය. පාර්ලිමේන්තුවේ ආසන කොතෙක් තිබුණත් ප්‍රධානම අසුන වන්නේ කතානායක හෙවත් ‘ස්පීකර්’ ඉඳගන්නා අසුන ය. එම උස් අසුනට දකුණු පස ඉඳ ගන්නෝ ආණ්ඩුව ය. වම් පස ඉඳගන්නෝ ආණ්ඩුවට විරුද්ධ මතය නියෝජනය කරන්නෝ ය. එනිසා ම කතානායකට වම් පසින් අසුන් ගත් මහජන නියෝජිතයෝ ඉබේම ‘වාම අන්තිකයෝ’ වූයෝ ය. ඔවහු නම් එකල ‘සමාජවාදී සිහිනය’ සිය දේශපාලනය ලෙසින් දැරූ තරුණ මහජන නියෝජිතයෝ ය. පසුව වාමාංශිකයන් වන්නේ මේ නියෝජිතයෝ ය.


වම.. සමාජවාදය.. ධනවාදය සහ සැබෑ වාමාංශික කතාව වැටහෙන විට කොළඹයාට පෙරළි පෙරළි සිනාසෙන්නට සිතෙන්නේ ය. ඇන්ඇම්ලා, පිලිප්ලා, වික්‍රමසිංහලා, කොල්වින්ලා, කෙනමන්ලා, ලෙස්ලිලා, සරත්ල, ජීවමානව අසා දැක විමසා තිබෙන කොළඹයා, මේ සියල්ලෝම පාර්ලිමේන්තුවේ වම් අන්තයේ සිට තමන්ට පැවරුණ මහජන වගකීම් දැරූ බව ගරු කටයුතු ලෙස සිහි කරන්නේ ය. අදටත් පාර්ලිමේන්තුව උත්තරීතර නාමධාරී ය. කතානායකට වම් පසින් සහ දකුණු පසින් සේම ඉදිරියෙන් ද ආසන ඇත්තේ ය. මහජන නියෝජිතයෝද ඇත්තෝ ය. එහෙත් වාම අන්තයකට ගොනු කර එදා අර්ථයෙන් දක්වන්නට නියෝජිතයන් නැත්තේ ය. කතා ලතා නැත්තේ ය. විචාරයන් නැත්තේ ය. මන්ද ‘ණය’ ගැන මිස සමාජ සංවර්ධනයන් ගැන කතා කරන්නට කිසිවක් නැති බැවිනි.


මේ සියල්ලම අතරේ මිනිස් ලෝකයේ ‘වාම අන්තය’ ගැන සිතන්නට කොළඹයා කැමැත්තේ ය. ලෝකය තුළ බහාලූ කල ‘වම’ කුඩා ය. ලෝක පොලිස්කාර භූමිකාව දරන ඇමෙරිකාවේ මෙතෙක් සිටි ජනාධිපතිවරු 45 දෙනා අතරින් සැබෑ වම්මුන් සිටින්නේ අට දෙනෙකි. එහි අවසානයා බැරක් ඔබාමා ය. නළුවන් අතරින් ජනාදරයට පත් වම්මුන් වන්නේ ‘චාලි චැප්ලින්’ ද ඇතුළත් සුළුතරයක් පමණි. සාහිත්‍යකරුවන් අතර ෆ්රාන්ස් කෆ්කා සේම මාක් ට්වේන් ද සිටිති. එය ද සුළුතර නියෝජනයකි. ඒ ඇසුරෙන් බැලූ කල්හි ‘වම’ මහ බක්කක් නොවන්නේ ය. නමුත් මේ නාමයන් සුළුතරය සාපේක්ෂව දකුණන්ට වඩා ප්‍රබල බව කොළඹයා දන්නේ ය.


දහ නමවන සියවසට එළැඹෙන විටත් වමත්කාරයින් මිනිස් විකෘතිකයන් ලෙස සැලකූ බවත්, වමතට හුරුවන දරුවන් බලහත්කාරයෙන් දකුණට හැරවූ බවත් කොළඹයා අසා කියවා තිබෙන්නේ ය. එවැනි ගෝත්‍රික පීඩනයකින් ගැලවී ලොව දිනූ වමත්කාරයන් ‘නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බහුතරය නියෝජනය කිරීම වම්මුන්ගේ වටිනාකම දක්වන කැඩපතක් වන්නේ ය. කොළඹයා වෙසෙන දූපතේ වම දකුණ කියා බේදයක් දැන් නම් දකින්නට වත් නොවන්නේ ය. වමෙන් පශ්චාත් භාගය සෝදන අය වමෙන් ම ආහාර ද ගන්නේ ය: දකුණෙන් අල්ලා ගන්නා අය වමතින් විසි කරන්නේ ය. පාර්ලිමේන්තුවේ ‘වාමාන්ත සහ දකුණාන්ත’ පමණක් නොව කතානායක අසුනට පවා වැදගත්කමක් නැත්තේ ය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු ක්‍රමය රකින්නට කැප වීමේ විභතාවක් සහිත වාමාංශික උරුමය දරන මහජන නියෝජිතයන් අදටත් එහි සිටින බව කොළඹයා හොඳින් ම දන්නේ ය. මේ එළැඹ ඇත්තේ ‘වම් ඉවුරේ උන් වම් අන්තයකට ගොනු වීමේ’ කාලය යි. මන්ද ‘විස්ස’ට මුවා වී ‘එකසිය පණහක්’ මුළා කිරීම ආරම්භ ව ඇති බැවින් ය. එනිසා කොළඹයා මෙසේ කියන්නේ ය.

‘විස්ස’ නොව ‘සෙස්ස’ ම වෙනස් කරන්නට ‘සැබෑ වාම අන්තයක්’ පාර්ලිමේන්තුවේ යළි සකස් කරන්නට ගමනේ...... යා..!!

ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි.


වම් ඉවුරේ වෙබ් නාදය