Sunday, 28 February 2021

හම්බයා.. තම්බියා.. කබරයා.. සහ තලගොයා

අනුරසිරි හෙට්ටිගේ


කොළඹයාගේ ජීවන අත්දැකීම් වපසරිය අලූත්කඬේ උසාවි සාවිය සමීපයේ සන්තබස්තියම් වීදියත්, සුප්‍රකට වේල්ලවීදියත්, ඓතිහාසික පිටකොටුවත් සීමා මායිම් කොටගත් බව නොදන්නෙක් නොවේ ය. කොළඹ 11 සහ 12 තැපැල් කොට්ඨාෂ නියෝජනය කරන මේ ප්‍රදේශ ලාංකික දූපත් රාජ්‍යයේ ජන සංයුතියේ හැටි මේ යැයි දක්වන බව නොදන්නන් ‘ජාතියේ බබ්බු’ මිස පුරවැසියන් නම් නොවන්නේ ය. උඩරට සිංහල, පහත රට සිංහල, යාපනේ දෙමළ, යෝනක, මැලේ (ජා), පරවර, දෙමළ චෙට්ටි, සිංහල චෙට්ටි, ඉන්දියානු දෙමළ, සක්කිලි, බර්ගර්, චීන යනුවෙන් නාමකරණය වූ ජාතිකත්වයක්, වර්ග සැතපුම් හතරක පමණ මේ කුඩා වපසරිය තුළ ගොනුවී සිටි බව කොළඹයා අත්දැක තිබෙන්නේ ය. එය සොඳුරු ලාලසාවක් සහිත ව සිහි කෙරෙන අතීත මතක ගොනුවකි. ඒ අනුව බලන කල කොළඹයාට කියන්නට ඇති කොළඹ කතා පතරංගයක් ම ඇත්තේ ය. ඒ අතරින් කොළඹයා අදටත් සිහි කරන්නට වැඩි කැමැත්තක් ඇත්තේ කොළඹයෙක් හැටියට අත්විඳි මානව බන්ධූතා මිහිර ගැන ය. වඩාත් පැහැදිලිව කිවහොත් ජාතික සමගියේ මිහිරියාව ගැන කියන්නට ය.


කොළඹයා හැදී වැඞී ජීවත් වූ සන්තබස්තියම් වීදියේ ජන සංයුතිය සකස් වී තිබුණේ ඉතා අපූරු ආකාරයකට ය. එකකට එකක් යා වූ නිවාස පේළි ලෙස පැවති මේ වතු ජනපදවල පවුල් විස්සේ සිට තිහ හතළිහ දක්වා මිනිස් පොකුරක් පොදුවේ වැසිකිළි, කැසිකිලි සහ නාන කාමර බෙදා හදා ගත්තෝ ය. මේ සමහර ජනපදයක සිංහල පවුල් වැඩි පිරිසක් සහ මුස්ලිම් පවුල් සහ දෙමළ පවුල් ඊට අඩු පිරිසක් ද, තවත් සමහරක මුස්ලිම් පවුල් වැඩි පිරිසක් ද සිංහල දෙමළ සුළුතරයක් ද ලෙස විවිධාංගීකරණය වූ මානව මුහුවක් දක්නා ලැබුණේ ය. මේ කිසිම වත්තක දෙමළ බහුතර නියෝජනයක් නොතිබුණ බවත් සෑම වත්තකම පාහේ ‘සක්කිලි’ යනුවෙන් හඳුන්වන ඉන්දියානු දෙමළ කතා කරන පවුලක් විසූ බවත් කොළඹයා දන්නේ ය. මේ සියලූ මතක මැදින් කොළඹයා අද කියන්නට උත්සාහ ගන්නේ තම්බින් හෙවත් හම්බයන් වූ මුසල්මානුවන් සහ සිංහල කොළඹයන්ගේ මානව සබඳතාව ගැන සිහි කරන්නටය.
අද වනවිට මුස්ලිම්වරුන් ලෙස නාමකරණය වී තිබුණත් එදා කොළඹයන්ට, ‘අල්ලා දෙවියන්’ අදහමින් සුදු පාට තොප්පියක් පැළඳ නිතර නිතර යාඥ කරන, ජීවත් වීම සඳහා ‘බිස්නස්’ කරන මේ මිනිස් ප්‍රජාව, ‘තම්බින්’ ය. නැතහොත් ‘ලෙබ්බේ’ලා ය. නානාලා ය. කේන්ති ගිය විට මේ තම්බි අය්යලා, මල්ලිලා, මාමලා, නැන්දලා, ආච්චිලා සියල්ලෝම කොළඹයන් හැඳින් වූයේ ‘හම්බයන් ලෙස ය. කොළඹ මුසල්මානුවන්ට ඒ කාලයේ ‘තම්බියා’ කීවේ අමනාපයකට නොවේ ය. ‘හම්බයා’ කියන්නට නම් පොඩි තරහක් හෝ තිබෙන්නට බැරි නොවන්නේ එය හැම විට ම භාවිත වූයේ නොමනාපයක් සහිතව වීම නිසා ය. මුසල්මානුවන් බහුතරය වෙළෙන්දෝ ය. වීදියේ මුස්ලිම් කඩය කොළඹයන්ට තම්බි කඬේ ය. වත්තට රෙදි පිළි විකිණීමට එන්නේ ‘රෙදීයප් නානා’ ය. යම් යම් සමාජ විරෝධි කටයුතු සිදුවන වීදියක් ‘හම්බන් වැල්ල’ වූවේත්, සමහර වතු හම්බන් වත්ත වූවේත්, පටු මඟවල් අක්බාර් වීදිය, ජුම්මා මස්ජීඞ් පාර ලෙසින් හැඳින් වූවේත් මේ තම්බි ගහනය කරණ කොට ගෙන ය. හරක් හෝ එළු බාබත් හොදි සමඟ පිට්ටු කන්නටත්, නන්නාරි සරුවත් බොන්නටත්, පකඩ මුරුක්කු, සීනක්කු, සංචව් මෙන් ම මස් කැඳ බොන්නටත් කොළඹයන්ට පුරුදු පුහුණු කළෝ මේ තම්බින් ම ය. සරුංගල් යවන්නට, පරෙවියන් ඇති කරන්නට අනුදත්තේ ද මේ නානාලා ඇසුරේ ය. සිංහල සහ දෙමළ භාෂා සමෝ සම ව කතා බහ කරමින්, උගෙනමින් ඔවුන් ලාංකික යෝනක ජාතිකත්වයක ලක්ෂණ විදහපාමින් සිටි බව කොළඹයාට මතකය.


මැතිවරණ ආසන සිතියමේ අංක දෙක හිමි ‘මැද කොළඹ’, කොළඹයා දන්නා කාලේ සිට ම බහු ආසනයකි. මේ ඡුන්ද කොට්ඨාෂයට මන්ත්‍රීවරුන් තුන් දෙනකු පත් කරගැනීමේ වරමක් එහි වැසි සිංහල, යෝනක, දෙමළ ඈ පුරවැසියන්ට අවස්ථාවක් ලැබී තිබුණේ ය. මෙහි විශේෂය වන්නේ බොහෝ විට මැද කොළඹ ආසනය තුළ මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ එක් සිංහල මන්ත‍්‍රීවරයෙක් තේරී පත් වීමයි. පලීල් කපූර්, ජබීර් ඒ කාදර්, හලීම් ඉසාක්, ඒ.එච්.එම් පවුසි වැන්නවුන් කොළඹයා දන්නා ජනප්‍රිය මුස්ලිම් දේශපාලකයන් ය. සිංහලයන් අතරින් ආර්. ප්‍රේමදාස විශේෂිත ය. පීටර් කෙනමන් මැද කොළඹ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ජනතාවගේ කොමියුනිස්ට් නියෝජිතයා ය. ඒ. ඊ. ගුණසිංහ, ඇස්. ඇම්. තේමිස්, ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත වැන්නෝ ද මැද කොළඹ සමඟ නිතර නම කියවෙන දේශපාලකයන් ය. විශේෂය වන්නේ රටේ ඉහළම විධායක දේශපාලනය දැරූ ඇස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ සහ රණසිංහ ප්‍රේමදාසයන්ගේ දේශපාලන තිඹිරි ගෙදර වූ කොළඹ මහ නගර සභාවේ නාගරික අසුන් නියෝජනය වූයේ ද මේ කලාපය තුළ වීම ය. මැද කොළඹ ආසනයේ බහුතර ඡන්දදායක ගහණය මුසල්මානුවන් වුවත් 1970 වනවිට ඔවුන්ගේ මනාපයෙන් ආර් ප්‍රේමදාස වැනි සිංහල බෞද්ධ නායකයන් මුස්ලිම් නියෝජිතයන් පරදවමින් මැද කොළඹ පළමුවැනි මන්ත‍්‍රීවරයා ලෙසින් පත් වීම දූපතේ ජාතික දේශපාලනයේ විශේෂ මතකයක් වන්නේ ය.


වලාමයි! මේ කතා අයිති වන්නේ අතීතයට ය. කොළඹයා සමඟ ළඟ ඇසුරක් තිබූ රිස්විලාට, මොහිදින්ලාට, උවයිස්ලාට, ෆායිස්ලාට සමඟි සන්ධානයක මතක අමතක වන්නට තරම් තවමත් කල් ඉකුත් වී නැති බව කොළඹයා දන්නේ ය. එහෙත් ඔවුන්ගේ සිතුවිලි හරහා ප්‍රාකාරයක් බැඳ ඇති බවත්, සිංහල පාසල්වල සිංහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔවුන්ට, සිය දරුවන්ගේ දරුවන්ට ඒ පාසල්වල දොර වැසී යාමේ ශෝකය ඉවසන්නට සිදුව ඇති බවත් දන්නේ ය. මුස්ලිම්වරුන්ගේ අවංක සිංහල දේශපාලන විශ්වාසය රණසිංහ ප්‍රේමදාස බව කියන්නට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඔහුගේ කොළඹ මහල් නිවාස වැඩපිළිවෙලෙහි ජාතීන් අතර මිශ්‍රනයක නියැදියක් හමුවන්නේ දැයි සොයා බැලූ සමාජ විද්‍යාඥයකු ගැන අසා නැතත් කොළඹයා නම් ඒ බව හොඳින් ම දන්නේ ය. පලච්චාවේ. සිංහලයන් අතර ඒ එච්. එම්. පවුසි ‘හම්බයකු හෝ තම්බියකු’ නොවන ‘එළ පවුසි’ ම වීමේ විභතාව, ජාතික සමගියේ නියැදියේ අවසාන සංඥව වී ඇති පසුබිමක කාලය තුළ දේශපාලනයත්, දේශපාලනය තුළ ආගමත් හිටිපිනුම් ගැහීමත් නිසා සිංහල-මුස්ලිම් බන්ධූත්වය, වඳ පෙති, වඳ රෙදිපිළි, වඳ සැත්කම් ඔස්සේ ‘එළ පවුසිලා’ වෙනුවට මරාගෙන මැරෙන සහරාන්ලා බිහි කිරීම දක්වාත් විතැන් වූ බව නොකිව මනාය. අද ‘පවුසිලා’ හුදෙකලා ය.  ඒ වෙනුවට ‘සරු බදුර්දීන්ලා’ ය. දේශපාලන මුළුතැන් ගෙවල්වල රස දිව පිනවමින් පැහෙන්නේ ‘බදුර්දීන්’ පිටේ තබා කැපූ සූකර මස් ය. සංගීතය සපයන්නේ වෙළෙඳ කැණහිළුන්ගේ ජාතිවාදී සිංහ නාදයන් ය. ජන මුසුවක් වෙනුවට ජන හුදෙකලාවක් ඇතිවෙමින් තිබෙන්නේ ය. කොළඹයා මේ දෙස බලා සිටිනේනේ කෝපයෙන් නොව, ශෝකයෙනි: දූපතේ මානව බන්ධූත්වයේ අපූරු නියැදියක අවසන් සාක්ෂිකරුවා ලෙස ය. එනිසා ම කොළඹයා මෙසේ කියන්නේ ය.


පුරවැසියනි! මානව බන්ධූතා මිහිර විඳිව්..!


එ් වගත් මෙසේ ම ය. කොළඹයා වෙමි. ⋆

වම් ඉවුරේ වෙබ් නාදය