Friday, 27 November 2020

මුට්ටිය බිඳුණොත් - ඔක්කොම ඉවරයි..

#අනුරසිරි හෙට්ටිගේ #


මුට්ටිය යනු මැටි ආශ්‍රයෙන් නිමවන මානව නිෂ්පාදනයකි. මුට්ටි නා නා ප්‍රකාර ය; කලාත්මකය; කුඩා ය; විශාල ය; බිඳෙනසුලූ ය. මිනිසුන් එයින් ඉටු කරගන්නා අටෝරාශියක් කාරණා අතර වැදගත්ම කාරණය වන්නේ ඛාජ්‍ය-භෝජ්‍ය උපයෝගිතාවයි. එය මුට්ටියේ බිඳෙනසුලූ බව ගැන හොඳින් ම දැන සිටියත් මිනිසා, ‘මුට්ටිය දමා බැලීම’ වැනි සංකල්පීය කාරණා ඇසුරේ මුට්ටිය භාවිත කරගැනීමට දක්වන්නේ මහත් කැමැත්තකි. ඒ මන්දැයි දන්නෝ හිඟ ය; ඒ  නිසා ම දුක ය.


‘මුට්ටිය දමා බැලීම’ අන්‍යාර්ථ ක්‍රියාවක් බව කොළඹයා හොඳින් ම දන්නේ මෙය සංකල්පීය නිර්මිතයක් බැව් දන්නා බැවිනි. මේ 'දමා බැලීම’ වෙනුවෙන් මැටියෙන් නිර්මිත කිසිදු මුට්ටියක් භාවිත නොකරන මුත්, කිසියම් විශේෂ අවධානයක් උදෙසා නිරන්තරයෙන් ‘මුට්ටිය’ දමා බලන විචිත‍්‍ර භාෂික අවස්ථා කොළඹයාගේ මතකයේ නිදන්ව ඇත්තේ ය. එහි භාෂාත්මක සහෘදත්වය අපූරු ය. ‘වන්දා ගුදිරේ - පෝනා පැදුරේ’ යන්න ඉන් එකකි. ඉන් අර්ථ ගන්වන්නේ ‘ආවොත් සැප ය- නාවොත් දුක ය’ වැනි අර්ථයකි; පේ‍්‍රමය විෂය කොට ගෙනය; භාෂාත්මකව තත්සම ව ය; ශෘංගාරාත්මක ය. තමා පෙම් කරන පෙම්වතිය (නියම් - අනියම්) තමා කෙරෙහි උනන්දුවක් නැති කල්හි වඩාත් ආකර්ෂණය දිනා ගනු වස් කොළඹයන් එසේ කියන්නේ ය. මේ භාෂික මැදිහත්වීම අනියමාර්ථයෙහි ‘ප්‍රේමාරාධනයක්’ ම වන්නේ ය; එනිසාම මුට්ටි දැමීමක අර්ථ දරන්නේ ය.


පිටකොටුව මැනිං මාර්කට්හි වෙළඳාමේ නිරත කොළඹයන් ‘මෑ කරල්’ විකිණීමේ දී ‘ඈට වඩා මෑ හොඳයි’ යන්න හඬ ගා කියන්නේ වැඩ ඇරී වැඩට යන කාන්තාවන්ගේ අවධානය යොමු කරගනු පිණිස ය; අන්‍යාලාපයක් ලෙස ය. එය වෙළෙඳ උපක්‍රයක් වන්නේ පසුව ය. එපමණක් නොව, තමන්ගේ සිත ආලයෙන් බඳවා ගත් කාන්තාවන්ගේ අවධානය යොමු කරගනු වස් කොළඹයන් විසින් කරනු ලබන ඉතා අපූරු පුරුදු ද තිබෙන්නේ ය. ඒවා වැඩිහිටියන්ට පමණක් ය; නැතහොත් ‘ඇඩම්ස් ඔන්ලිය’. මවිල් පිරුණු සිය කකුලේ කලවා දක්වා කාන්තාවන්ට දර්ශනය වනසේ ‘සරම වලාපට’ ගසාගන්නා තරුණ, මැදිවියේ පිරිමින් කරන්නේ ද ‘මුට්ටිය දමා බැලීමකි’. ලිංගික උත්තේජනයක් උදෙසා බලපෑමක් එම ක්‍රියාවේ රැඳී ඇති බැවින් මේ මුට්ටි දැමීම ප්‍රේමණීය තරමට ම අහිංසක ද නොවන බව කොළඹයා දන්නේ ය. වලාමේ! ඒත් ඇඟ පත හිරි වැටෙන්නේ ය.


කොළඹයා කුමක්, කෙසේ කීවත් ‘මුට්ටිය දමා බැලීම’ එසේ මෙසේ භාවිතයක් නොවේ ය. එහි අක්මුල් සමාජ දේහය වෙලා ගෙන ඇත්තේ ය. සංස්කෘතික පැවරුම් වූ කතා ලෙස ය; කපටිකම්, මෝඩකම් සහ උවමනාවෙන් නිර්මාණය කළ තක්කඩිකම් ලෙස ය. මහදැන මුත්තාගේ මෝඩ විඥනය විශද කිරීමට කියා එළුවාගේ හිස මුට්ටියක දමා එළුවා ඝාතනයට ලක්කිරීමේ කතාව, හුදු කතන්දරයක්ම නොවන බව කොළඹයාට සිතෙන්නේ ද තක්කඩිකමක් ලෙස ය. එළුවා මුට්ටියට හිස දැමීම අහිංසක කාරණයක් ය, මහදැනමුත්තා එළුවා ඝාතනය කිරීමත් සැලසුම් සහගත ය. ඒ ඇසුරෙන් සමාජගත කෙරෙන කතිකාව දරුණු ය. පීඩකාධිකාරී ය. එමතුදු නොව සුළු පරිමාණයේ හොරකම් කරන සමාජ විරෝධීන් කතා බහ කරමින් සිටින අතරතුර අයිතිකරුට රහසින් කිසිවක් සඟවා ගන්නේ ‘දැක්කොත් බුවා - නොදැක්කොත් එබුවා’ සංකල්පයට යටත් ව ය. බස් කොන්දොස්තරවරයා ටිකට් පතට අදාළ ඉතිරි රුපියල හෝ දෙක හෝ ගැන නිහඬව සිටින්නේ ද ‘මුට්ටිය දමා බැලීම’ පිණිස ය. අදෝමැයි!


‘මුට්ටිය දමා බැලීමේ’ අටෝරාශියක් කතා අතරට බහාලීමට කොළඹයා කැමැත්තක් දක්වන ආගමික අර්ථයෙහි බහාලිය හැකි කතාවක්ද තිබෙන්නේ ය.. එය සිද්ධාර්ථ තවුසාණන් සිය දුක්ඛ ප්‍රාප්තිය නිමා කරමින් අන්තර්වත්ති සුඛයක් යටතේ මහා ජීවනාවබෝධයක් ලබා ගත් බව සටහන් කෙරෙන අවස්ථාව සමඟ බද්ධ ව තිබෙන්නේ ය. කොටින්ම කිවහොත් එය බුද්ධත්වය පිළිබඳ ස්වයං විශ්වාසය තහවුරු ගැනීම පිළිබඳ කතාවයි. තමාගේ සිතත්, කයත්, මනස සමඟ ඒකාත්මික වූ මොහොත ස්වයංස්මරණයකට නතු කිරීමෙන් නොනැවතී ඒ බව බාහිර සාධකයක් ඇසුරේ තහවුරු කරගැනීමට ගත් ‘සිද්ධාර්ථවත්’ උත්සාහය ද එක්තරා ආකාරයක ‘මුට්ටිය දමා බැලීමක්’ ම වන්නේ යැයි කොළඹයාට සිතන්නේ ය. දන් පින් කැමති සුජාතාවන් විසින් කිරිපිඬු සහිත ව තමන්ට පිළිගන් වන ලද බඳුන හිස් කොට, ගං දියෙහි තබා, එය උඩුගං බලා යා යුතුයි ප්‍රාර්ථනා කළේ තමා අවබෝධ කරගත් සත්‍යය වඩාත් පරීක්ෂා කරනු වස් ය. ගං දිය ගලන්නේ පහළට ය. අපේක්ෂාව උඩු ගං ය. ගියහොත් ජය ය; නැතහොත් පැරදුම් ය. තලිය උඩු ගං ගියේය. එනිසා ම බුද්ධ සංකල්පය තහවුරු වූයේ ය. එය උසස් වූද, සමාජ වැඩ කැමැති අව්‍යාජ සිතිවිල්ල සහිත වූ ද ‘මුට්ටිය දමා බැලීමක්’ යැයි කොළඹයා සිතන්නේ එහි පරෝපකාර අපේක්ෂාවක සහිත ආයාචනයක් රැඳී ඇති බැවින් වන්නේ ය.


කොළඹයාට අනුව මේ කතා ලතා සියල්ල ඉතා අහිංසක සේම, මානව සූරාකෑමක ඉඟි රහිත සම්‍යප්‍රයෝගයන් ය. එසේ වුවත් දැන් දැන් ‘මුට්ටිය දමා බැලීමේ’ අලුත් ම කලාවක් සමාජය අභිමුවේ විද්‍යාමාන වන බව කොළඹයාට දැනෙන්නේ ය. ඒ දේශපාලනික සමාජ කුලකයන් සේ කරළියට එන ‘මුට්ටිය දමා බැලීමේ’ ක්‍රීඩාවක් ලෙස ය. යහපාලනය පිණිස ජනතා වරමක් ලැබූ ජනාධිපතිවරයෙකු සිය ජනතා වගවීම් අමතක කරමින් අත්හදා බැලූ ‘මුට්ටි දමා බැලීම්’ හේතුවෙන් දූපතේ ප්‍රජාතන්තරවාදය ගිනි ගත් ආකාරය කොළඹයාට අමතක නොවන්නේ ය. දූපතේ අධිකරණය ඊට එරෙහි වුයේ ය. අඥන දේශපාලන මැදිහත්වීම් බහාලූ සියලූ මුට්ටි බිඳී ගිය බවත් කොළඹයාට මතකය. තවමත් ගිනි දළු නිවී නොගිය ‘විස්සේ සෙල්ලම’ ද එසේම ය. සමහරුන්ට ‘සෙස්ස නොව විස්ස’ ‘මුට්ටිය දමා බැලීමේ’ ක්‍රීඩා පිටියක් ම වූයේ ය. විස්ස ගැන කතා ලතා කරළියට ආවේ මරාගෙන මැරෙන්නට ය; අඩුම තරමේ අකුළුවා ලන්නට ය. අවසානයේ ටෙලි නළුවක ‘හැඟීම්බර අවසානයකට’ නතුව ඔවුහු ම මුට්ටිය ඔසවා පොළොවේ ගසා දැම්මෝ ය. වන්නාවේ!


මේ අවුඅස්සේ අලූත් ම අලූත් මුට්ටි සෙල්ලමක් කරළියට වන්නේ ය. ඒ මහාචාර්ය, ආචාර්ය, වෛද්‍ය, නීතිඥ, මේජර් ජෙනරාල් ඈ කී නොකී ‘වියත්’ මඟක් ඔස්සේ ස්ථාපිත වූ නව දේශපාලන සංස්කෘතියක ‘මැටි වැඩ’ සෙල්ලමයි. උදා ව ඇත්තේ මැටි වැඩවලට නිදහස් අවකාශයක් සහිත යුගයකැයි කොළඹයා දන්නේ ඉතිහාසයේ පළමු වතාවට ‘මැටි ඇමතිවරු’ද ස්ථාපිතව ඇති බැවිනි. මැටි ඇමතිලා කොතෙක් හිටියත්, දේශවාත්සල්‍යයෙන් යුතු හැඟීම් සහිත නිමාවක් ලැබුණත්, නේක වර්ණ සහිත මල් ලියකම් සහිත වුවත්, උඩ සිට අතහැරියොත් මුට්ටි බිඳී යන්නේ ය. මන්ද ඒ මැටි වැඩක් නිසා ය. දේශපාලකයෝ ද මනුෂ්‍යයෝ ය. එනිසා මැටි වැඩක් ගැන වුව සිතිය යුත්තේ මැටි මොළයකින් නොවේ ය; මිනිස් වගවීම් සහිත අවබෝධයක් ප්‍රකාර දේශපාලනික අර්ථාවබෝධයක් සහිත ව ය. නැතහොත් නිකම්ම නිකම් ‘මැට්ටන්’ ලෙස ඉතිහාස ගත වීම සහතික ය; ස්ථීර ය. ඒ අර්ථයේ පිහිටා සිටින කොළඹයා, අඥන දේශපාලකයන්ට මෙසේ කියන්නේ ය.


‘මුට්ටිය බිඳුණොත් - ඔක්කොම ඉවරයි’


එ් වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි.⋆

 

වම් ඉවුරේ වෙබ් නාදය