Sunday, 28 February 2021

අනුරසිරි හෙට්ටිගේ #


කොළඹයාගේ බාල කාලය නාගරික ජීවන මිහිරෙහි කිමිද තිබූ බව නොකිව මනාය. ඇසූ ඇසූ දේවලත්, කී කළ දේවලත් හද්දා නාගරික රිද්මයක් සහිත වූ බව සිහි වනවිට විටෙක හිනා යන අතර විටෙක හැඬුම් එන්නේ ය. හිනා යන්නේ එය සැබැවින් ම අපූරු වින්දයක වන නිසා ය. අඬන්නට හිතෙන්නේ එවැනි කටුක ජීවනයක් උරුම කර ගෙන වුව දශක හයක් ඉක්මවා ජීවත් වන බව සිතෙන්නට වන් කල්හි ය. කොහොම කෙසේ වුවත් කොළඹයා ජීවිතය දරන්නේ මහත් සතුටකින් ය. කිසිවක් ලබන්නට ඇත්නම් එය ලැබෙන බවත්, කිසිවක් නොලැබී යන්නට ඇත්නම් එය නොලැබ යන බවත් දැරීමෙන් ජීවිතය ඉවසන්න බොහෝ පහසු වන්නේ ය: දිරි වඩන්නේ ය. එදා නොදැනීම වින්දනය කළ ජීවිතය අද, දැන දැන වුව ද වින්දනය කෙරෙන්නේ එලෙසම වන්නේය.


කොළඹයා අද මේ සැරසෙන්නේ කුමකටදැයි දැනටත් කොළඹයාගේ අකුරු සමඟ පැටලී සිටින සුධීමතුන්ට ගැටලූවක් වන්නට බැරි නොවන්නේ ය. අනේ එහෙම නොසිතන්නයි ලියන්නේ මේ අකුරු මතින් කොළඹයා ජීවිතය ගැන සිතන්නට පෙළඹන බැවින් ය. එය නොවෙන්ස ය. කොළඹ සන්තබස්තියම් වීදියේ කොළඹයා ගෙවූ ජීවනයේ මහා මිහිර ඇත්තේ මිනිසුන් අතර ගෙවුණ කාලය ගැන සිතුවිල්ලේ ය: අත්දැකීමෙහි ය. ‘එදා වේල ටුවර්ස්’ හෙවත් දෛනික ආදායම් වියදම් ආර්ථිකයට උරුම කරුම කිව් මේ මිනිසුන් තමන්ගේ ජීවිතය වින්දේ, තමන් වටා ඉදිවෙමින් තිබෙන මහා ලෝකයෙන් විතැන්ව, තමාගේ තරමට කුඩා වූ ජීවන ලලසාවක බැඳී ය. එය කුඩා ලෝකයක් වුවත් එය තනිකරම ඔවුන්ගේ ය.: ‘පියෝ ජෙනුවින්’ ය.


කොළඹුන්ගේ මේ ජීවන ලලසාවන් අතර කෑම බීම සේම ස්ත‍්‍රී පුරුෂ සබඳතාවන් ඇසුරේ ලද වින්දනයත්, බයිස්කෝප් බැලීමත්, පුට්බෝල් ගැහීමත්, රාගගැහීමත් හෝ ඒවා නැරඹීමත් හැරුණ කොට අන් විශේෂ දෙයක් වූයේ නම් ඒ වෙසක්, නෝම්බි, වේල් වැනි ආගමික සුන්දරත්වයන් පමණි. මෙවැනි සීමිත ජීවන ලලසාවන් අතර සිටි මිනිසුන්ට රටේ පැවති ආණ්ඩු විසින් එක එක කාලයට, එක එක තාලයේ බලපෑම් කෙරුණ බව කොළඹයා ද අත්විඳ ඇත්තේ ය. ඉන් කොළඹයාට වඩාත් ම මතකයට නැගෙන්නේ ‘කානු ගැට්ටේ රෙන්ඩ එපා- කක්කුස්සියට පලයන්ලා’ත්, ‘පුක හෝදලා අත සෝද ගනිල්ලා’ සිට බරව පෙති බොන්නටත්, ‘ඇන්ටිපා’, මෝර ගුළි ආදි බෙහෙත් බොන්නටත් උගන්නට වත්තට ආ බයිස්කෝප්කාරයන් ය. මේ බයිස්කෝප් කෙරුවාවෙන් කොළඹයන් කානුවේ සිට කක්කුස්සිය දිහාට යොමු කකරන්නට සමත් වූ බව නම් කොළඹයා සිහි කරන්නේ ලැජ්ජා බයක් නැතුවාම නැත්තෙන් ම ය. පණ්ඩිත වචනයකින් කියන්නේ නම් ඇත්තටම ඒවා අපූරු සමාජානුයෝජනයන් ය. එ්වා ආණ්ඩුවල පුරවැසි යුතුකම් ය.


ඕන් ඔය කාලේ කොළඹ වීදිවල ‘දිස්පෙන්සරි’ නම් තැනක් තිබුණේ ය. කැස්සකට, හෙම්බිරිස් උණකට, තුවාලයකට, බඬේ කැක්කුමකට කොළඹයන්ට නැතුවම බැරි තැනක් තිබුණේ නම් ඒ මේ දිස්පැන්සරි ම ය. කොළඹයා මේ හදන්නේ ඒ තැන සිදුවූ දේ නොව එහිදී දුටු දේ කියන්නට ය. නිතරම හොටු දියර බේරෙන නහයක් සේම තුවාල සෑදෙන කකුල් දෙකක් හිමි ව තිබූ කොළඹයා සතියකට දෙකකට වරක් එහි යන්නේ අම්මාගේ අතේ එල්ලී ය: එන්නේ ඇගේ බෙල්ලේ එල්ලී උකුල වටා දෙකුකුල් හොවා ය: වඩාගෙන ය: අඬ අඬා ය. මේ ගමන්වලදී කොළඹයාගේ හිත පැහැර ගත් පින්තූරයක් මේ දිස්පැන්සරිවල තිබුණේ ය. එය නම්, කරත්තයක සිය දරුවන් පටවා ගෙන තල්ලූ කරමින් යන පියවරුන් දෙදෙනකුගේ රූපයන් ය. මව ඔහු අසල ය. එහි එක් කරත්තයක දරුවන් පස් හය දෙනකු නැග සිටින අතර පියා එය තල්ලූ කරන්නේ මහත් වෙහෙසී ය. මව සිටින්නේ අසරණ විලාසයෙනි. ඔවුන්ගේ ජීවිතය දුකක් බව මොනවට දිස් වෙයි. ඊළඟ කරත්තයේ දරුවන් දෙදෙනකි: ගැහැනු එකක් පිරිමි එකක් ලෙසිනි. පියා ඉතා සැහැල්ලූවෙන් කරත්තය තල්ලූ කරන අතර මව සිටින්නී සිනාසී ගෙන ය. එ් දරුවන් සේම දෙමාපියන් ද සුන්දර රූ ඇත්තෝ ය. සිනාමුසු මුහුණින් පිරිසිදු ඇඳුම් ඇඳ සිටින්නෝ ය. මේ පින්තූර දෙක ඉහළින් වගවාසගමක් ලියා තිබුණේ ය.


‘පුංචි පවුල රත්තරන්’


මේ ආණ්ඩුව විසින් කොළඹයන්ගේ ජීවන ලලසාවට වැට බැඳිමට තැත් දැරූවක් බව එකල කුඩා එකෙකු වූ කොළඹයාට වැටහුණේ නැති තරම් ය. ඒත් කොළඹයා අද අත්විඳින්නේ කිසිවකු අනුදත් බවක් නොමදත් වගවාසකමක යථාව මිනිසුන් තුළ ක්‍රියාකරන ලද ආකාරයයි. කොළඹයාගේ අම්මා තාත්තා එකතු වී පවුලට දරුවන් දහදෙනකු එකතු කරගත් අතර කොළඹයා නමවැනියා ය. කොළඹයාගේ ලොකු අය්යාට දරුවන් හය දෙනෙකි. ලොකු අක්කාට හතර දෙනෙකි. කොළඹයාට දෙදෙනෙකි. සෙස්සෝ ද එසේ මය. කොළඹයා දන්නා කියන හැම පවුලකම කතාව එසේ ම ය. කොළඹුන්ගේ ෙලෙංගික ජීවිතය වෙත එවැනි පෝස්ටර් මතින් ලත් බලපෑම සුළුපටු නොවන බව කොළඹයා සිතන්නේ හිතළුවක් ලෙස නොවේ.


මේ ආණ්ඩුවකට මිනිසුන් තුළ වර්ධනය කළ හැකි බලපෑම් සහගත බවට ඉතාමත් සුළු උදාහරණයක් පමණක් වන්නේ ය. ‘සිරිලක දේ සිරි සැප දේ’, ‘අපි මෙට්‍ර්ක් ක්‍රමයට හැරෙමු’, ‘ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගනිමු’, ‘හමුදා භටයන් රණවිරුයෝ ය’, ‘ගමයි පන්සලයි, වැවයි දාගැබයි’ වැනි කාරණා ද මිනිසුන් තුළ රෝපණය කළා වූ දේ මිස ඉබේ පැළ වූ වෘක්ෂ නොවේ.


කොළඹයා අද මේ කියන්නට යන්නේ මිනිසුන් සහ ආණ්ඩුව අතර ඇති සබඳතාව මිනිසුන්ගේ ආත්මය තුළ බලයක් ලෙස ක්‍රියා කරන බව කියන්නට ය. ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඇති අවශ්‍යතාව කුමක් වුවත් එමගින් රටේ පුරවැසි ඥනය බලවත් කරන්නට බලපෑමක් වන බව වටහා දෙන්නට ය. නාගරික සමාජ ජීවනය යනු බහු වාර්ගික, බහු ආගමික රටක සහජීවන සංකල්පයේ නියැදියකි. ඒ නියැදියේ පාර්ශ්වකරුවකු ලෙස කොළඹයා සිතන්නේ රටේ එතෙක් මෙතෙක් පත්වූ ආණ්ඩු මේ වටිනා නියැදිය නොතකා හළ බවයි: එපමණක් නොව පසුගිය කාලයේ අත්විඳි ජාතික අසමගියේ ප්‍රතිඵලය ගැන අදටත් ආණ්ඩුවටත්, බහුතර ජන සමායටත් කිසිදු වගවීමක් නැති බවය. සිදුවීමට ආසන්නතම වැරදිකරුවන් සෙවීමට ඔවුන් ගන්නා උත්සාහයන් උනන්දු සහගත ය. ඔවුන් ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක ඵලයෙහි එල්ලී සිටී. ඵලය පෙනෙන්නේ ය: දැනෙන්නේ ය: විඳින්නේ ය. හේතුව එසේ නොවේ. එය බොහෝ රහස් සඟවා ඇත්තේ ය. ආණ්ඩුවක් ලෙසින් සිදු කළ යුත්තේ ඵලය විකුණා කෑම නොව හේතුව සොයා එය විනාශ කිරීම ය.


කොළඹයා සිතන්නේ පසුගිය පාස්කු ප්‍රහාරය නමින් සමාජගත විනාශය සම්බන්ධ කාරණයේ දී ද, හේතුව සොයා පිළියම් කරනු වෙනුවට ඵලය උත්කර්ෂයට නංවන බවයි. එය වහා නිවැරදි නොවුණහොත් තව තවත් ඵල භුක්ති විඳින්නට සිදුවන බව සහතික බැව් කොළඹයාට දැනෙන්නේ ය. එනිසා කොළඹයා කියන්නේ ආණ්ඩුවක් රටේ මානව සම්පත පිළිබඳව විශ්වාසයක් පළමුව ගොඩ නංවා ගත යුතු බවයි. මානව සම්පත යනු ඡන්දයක් නොව ආණ්ඩුවක වගකීමක් බව සිතන්නට හැකි දේශපාලන වටපිටාවත් වෙනුවෙන් ‘පුංචි පවුල රත්තරන්’මෙන්ම ‘සිරිලක දේ සිරිසැප දේ’ යන බලවත් ජිංගල් තුළින් අත්පත් කරගත් ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට උත්සාහ ගත යුතු බවයි. සියල්ල සිදුවූ පසු පුරවැසියන්ගේ වාර්ගිකත්වය මත පිහිටුවා ඵලය විවච්ඡ්දන නොකර දැන් දැන් ම පුරවැසි ඥනය සහ ජාතිකත්ව අතර සහජීවනය උදෙසා මිනිසුන් සූදානම් කරන ලෙස කොළඹයා ආණ්ඩුවට කියන්නේ ය.


ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි.

අනුරසිරි හෙට්ටිගේ


කොළඹයාගේ ජීවන අත්දැකීම් වපසරිය අලූත්කඬේ උසාවි සාවිය සමීපයේ සන්තබස්තියම් වීදියත්, සුප්‍රකට වේල්ලවීදියත්, ඓතිහාසික පිටකොටුවත් සීමා මායිම් කොටගත් බව නොදන්නෙක් නොවේ ය. කොළඹ 11 සහ 12 තැපැල් කොට්ඨාෂ නියෝජනය කරන මේ ප්‍රදේශ ලාංකික දූපත් රාජ්‍යයේ ජන සංයුතියේ හැටි මේ යැයි දක්වන බව නොදන්නන් ‘ජාතියේ බබ්බු’ මිස පුරවැසියන් නම් නොවන්නේ ය. උඩරට සිංහල, පහත රට සිංහල, යාපනේ දෙමළ, යෝනක, මැලේ (ජා), පරවර, දෙමළ චෙට්ටි, සිංහල චෙට්ටි, ඉන්දියානු දෙමළ, සක්කිලි, බර්ගර්, චීන යනුවෙන් නාමකරණය වූ ජාතිකත්වයක්, වර්ග සැතපුම් හතරක පමණ මේ කුඩා වපසරිය තුළ ගොනුවී සිටි බව කොළඹයා අත්දැක තිබෙන්නේ ය. එය සොඳුරු ලාලසාවක් සහිත ව සිහි කෙරෙන අතීත මතක ගොනුවකි. ඒ අනුව බලන කල කොළඹයාට කියන්නට ඇති කොළඹ කතා පතරංගයක් ම ඇත්තේ ය. ඒ අතරින් කොළඹයා අදටත් සිහි කරන්නට වැඩි කැමැත්තක් ඇත්තේ කොළඹයෙක් හැටියට අත්විඳි මානව බන්ධූතා මිහිර ගැන ය. වඩාත් පැහැදිලිව කිවහොත් ජාතික සමගියේ මිහිරියාව ගැන කියන්නට ය.


කොළඹයා හැදී වැඞී ජීවත් වූ සන්තබස්තියම් වීදියේ ජන සංයුතිය සකස් වී තිබුණේ ඉතා අපූරු ආකාරයකට ය. එකකට එකක් යා වූ නිවාස පේළි ලෙස පැවති මේ වතු ජනපදවල පවුල් විස්සේ සිට තිහ හතළිහ දක්වා මිනිස් පොකුරක් පොදුවේ වැසිකිළි, කැසිකිලි සහ නාන කාමර බෙදා හදා ගත්තෝ ය. මේ සමහර ජනපදයක සිංහල පවුල් වැඩි පිරිසක් සහ මුස්ලිම් පවුල් සහ දෙමළ පවුල් ඊට අඩු පිරිසක් ද, තවත් සමහරක මුස්ලිම් පවුල් වැඩි පිරිසක් ද සිංහල දෙමළ සුළුතරයක් ද ලෙස විවිධාංගීකරණය වූ මානව මුහුවක් දක්නා ලැබුණේ ය. මේ කිසිම වත්තක දෙමළ බහුතර නියෝජනයක් නොතිබුණ බවත් සෑම වත්තකම පාහේ ‘සක්කිලි’ යනුවෙන් හඳුන්වන ඉන්දියානු දෙමළ කතා කරන පවුලක් විසූ බවත් කොළඹයා දන්නේ ය. මේ සියලූ මතක මැදින් කොළඹයා අද කියන්නට උත්සාහ ගන්නේ තම්බින් හෙවත් හම්බයන් වූ මුසල්මානුවන් සහ සිංහල කොළඹයන්ගේ මානව සබඳතාව ගැන සිහි කරන්නටය.
අද වනවිට මුස්ලිම්වරුන් ලෙස නාමකරණය වී තිබුණත් එදා කොළඹයන්ට, ‘අල්ලා දෙවියන්’ අදහමින් සුදු පාට තොප්පියක් පැළඳ නිතර නිතර යාඥ කරන, ජීවත් වීම සඳහා ‘බිස්නස්’ කරන මේ මිනිස් ප්‍රජාව, ‘තම්බින්’ ය. නැතහොත් ‘ලෙබ්බේ’ලා ය. නානාලා ය. කේන්ති ගිය විට මේ තම්බි අය්යලා, මල්ලිලා, මාමලා, නැන්දලා, ආච්චිලා සියල්ලෝම කොළඹයන් හැඳින් වූයේ ‘හම්බයන් ලෙස ය. කොළඹ මුසල්මානුවන්ට ඒ කාලයේ ‘තම්බියා’ කීවේ අමනාපයකට නොවේ ය. ‘හම්බයා’ කියන්නට නම් පොඩි තරහක් හෝ තිබෙන්නට බැරි නොවන්නේ එය හැම විට ම භාවිත වූයේ නොමනාපයක් සහිතව වීම නිසා ය. මුසල්මානුවන් බහුතරය වෙළෙන්දෝ ය. වීදියේ මුස්ලිම් කඩය කොළඹයන්ට තම්බි කඬේ ය. වත්තට රෙදි පිළි විකිණීමට එන්නේ ‘රෙදීයප් නානා’ ය. යම් යම් සමාජ විරෝධි කටයුතු සිදුවන වීදියක් ‘හම්බන් වැල්ල’ වූවේත්, සමහර වතු හම්බන් වත්ත වූවේත්, පටු මඟවල් අක්බාර් වීදිය, ජුම්මා මස්ජීඞ් පාර ලෙසින් හැඳින් වූවේත් මේ තම්බි ගහනය කරණ කොට ගෙන ය. හරක් හෝ එළු බාබත් හොදි සමඟ පිට්ටු කන්නටත්, නන්නාරි සරුවත් බොන්නටත්, පකඩ මුරුක්කු, සීනක්කු, සංචව් මෙන් ම මස් කැඳ බොන්නටත් කොළඹයන්ට පුරුදු පුහුණු කළෝ මේ තම්බින් ම ය. සරුංගල් යවන්නට, පරෙවියන් ඇති කරන්නට අනුදත්තේ ද මේ නානාලා ඇසුරේ ය. සිංහල සහ දෙමළ භාෂා සමෝ සම ව කතා බහ කරමින්, උගෙනමින් ඔවුන් ලාංකික යෝනක ජාතිකත්වයක ලක්ෂණ විදහපාමින් සිටි බව කොළඹයාට මතකය.


මැතිවරණ ආසන සිතියමේ අංක දෙක හිමි ‘මැද කොළඹ’, කොළඹයා දන්නා කාලේ සිට ම බහු ආසනයකි. මේ ඡුන්ද කොට්ඨාෂයට මන්ත්‍රීවරුන් තුන් දෙනකු පත් කරගැනීමේ වරමක් එහි වැසි සිංහල, යෝනක, දෙමළ ඈ පුරවැසියන්ට අවස්ථාවක් ලැබී තිබුණේ ය. මෙහි විශේෂය වන්නේ බොහෝ විට මැද කොළඹ ආසනය තුළ මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ එක් සිංහල මන්ත‍්‍රීවරයෙක් තේරී පත් වීමයි. පලීල් කපූර්, ජබීර් ඒ කාදර්, හලීම් ඉසාක්, ඒ.එච්.එම් පවුසි වැන්නවුන් කොළඹයා දන්නා ජනප්‍රිය මුස්ලිම් දේශපාලකයන් ය. සිංහලයන් අතරින් ආර්. ප්‍රේමදාස විශේෂිත ය. පීටර් කෙනමන් මැද කොළඹ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ජනතාවගේ කොමියුනිස්ට් නියෝජිතයා ය. ඒ. ඊ. ගුණසිංහ, ඇස්. ඇම්. තේමිස්, ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත වැන්නෝ ද මැද කොළඹ සමඟ නිතර නම කියවෙන දේශපාලකයන් ය. විශේෂය වන්නේ රටේ ඉහළම විධායක දේශපාලනය දැරූ ඇස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ සහ රණසිංහ ප්‍රේමදාසයන්ගේ දේශපාලන තිඹිරි ගෙදර වූ කොළඹ මහ නගර සභාවේ නාගරික අසුන් නියෝජනය වූයේ ද මේ කලාපය තුළ වීම ය. මැද කොළඹ ආසනයේ බහුතර ඡන්දදායක ගහණය මුසල්මානුවන් වුවත් 1970 වනවිට ඔවුන්ගේ මනාපයෙන් ආර් ප්‍රේමදාස වැනි සිංහල බෞද්ධ නායකයන් මුස්ලිම් නියෝජිතයන් පරදවමින් මැද කොළඹ පළමුවැනි මන්ත‍්‍රීවරයා ලෙසින් පත් වීම දූපතේ ජාතික දේශපාලනයේ විශේෂ මතකයක් වන්නේ ය.


වලාමයි! මේ කතා අයිති වන්නේ අතීතයට ය. කොළඹයා සමඟ ළඟ ඇසුරක් තිබූ රිස්විලාට, මොහිදින්ලාට, උවයිස්ලාට, ෆායිස්ලාට සමඟි සන්ධානයක මතක අමතක වන්නට තරම් තවමත් කල් ඉකුත් වී නැති බව කොළඹයා දන්නේ ය. එහෙත් ඔවුන්ගේ සිතුවිලි හරහා ප්‍රාකාරයක් බැඳ ඇති බවත්, සිංහල පාසල්වල සිංහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔවුන්ට, සිය දරුවන්ගේ දරුවන්ට ඒ පාසල්වල දොර වැසී යාමේ ශෝකය ඉවසන්නට සිදුව ඇති බවත් දන්නේ ය. මුස්ලිම්වරුන්ගේ අවංක සිංහල දේශපාලන විශ්වාසය රණසිංහ ප්‍රේමදාස බව කියන්නට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඔහුගේ කොළඹ මහල් නිවාස වැඩපිළිවෙලෙහි ජාතීන් අතර මිශ්‍රනයක නියැදියක් හමුවන්නේ දැයි සොයා බැලූ සමාජ විද්‍යාඥයකු ගැන අසා නැතත් කොළඹයා නම් ඒ බව හොඳින් ම දන්නේ ය. පලච්චාවේ. සිංහලයන් අතර ඒ එච්. එම්. පවුසි ‘හම්බයකු හෝ තම්බියකු’ නොවන ‘එළ පවුසි’ ම වීමේ විභතාව, ජාතික සමගියේ නියැදියේ අවසාන සංඥව වී ඇති පසුබිමක කාලය තුළ දේශපාලනයත්, දේශපාලනය තුළ ආගමත් හිටිපිනුම් ගැහීමත් නිසා සිංහල-මුස්ලිම් බන්ධූත්වය, වඳ පෙති, වඳ රෙදිපිළි, වඳ සැත්කම් ඔස්සේ ‘එළ පවුසිලා’ වෙනුවට මරාගෙන මැරෙන සහරාන්ලා බිහි කිරීම දක්වාත් විතැන් වූ බව නොකිව මනාය. අද ‘පවුසිලා’ හුදෙකලා ය.  ඒ වෙනුවට ‘සරු බදුර්දීන්ලා’ ය. දේශපාලන මුළුතැන් ගෙවල්වල රස දිව පිනවමින් පැහෙන්නේ ‘බදුර්දීන්’ පිටේ තබා කැපූ සූකර මස් ය. සංගීතය සපයන්නේ වෙළෙඳ කැණහිළුන්ගේ ජාතිවාදී සිංහ නාදයන් ය. ජන මුසුවක් වෙනුවට ජන හුදෙකලාවක් ඇතිවෙමින් තිබෙන්නේ ය. කොළඹයා මේ දෙස බලා සිටිනේනේ කෝපයෙන් නොව, ශෝකයෙනි: දූපතේ මානව බන්ධූත්වයේ අපූරු නියැදියක අවසන් සාක්ෂිකරුවා ලෙස ය. එනිසා ම කොළඹයා මෙසේ කියන්නේ ය.


පුරවැසියනි! මානව බන්ධූතා මිහිර විඳිව්..!


එ් වගත් මෙසේ ම ය. කොළඹයා වෙමි. ⋆

අනුරසිරි හෙට්ටිගේ


බාල කාලයේ සිට ම කොළඹයාට ‘වම’ ගැන ඇත්තේ අමුතු හැඟීමකි. ඒ ඇයිදැයි කියන්නට අදටත් හරිහමන් විනිශ්චයක් කොළඹයාට නැත්තේ ය. එය ගෞරවයක් ද, බයක් ද කියන්නට වත් නොදත්තේ ය. ඒ කොහොම වුණත් ‘වම’ ගැන මතක ගණනාවක් ගැන සිහි කිරීමට කොළඹයාට අපහසුවක් ද නැත්තේ ය. ඉන් පළමු වැන්න හිනායනසුලූ මතකයක් ය. කොළඹයා ඒ කාලයේ කරාටේ පන්තියකට සහභාගි වුණේ කාලයේ හැටියට අතින් පයින් ගහගැනීම කලාවක් බවට හැරී තිබීමත්, බෲස් ලි නම් චීන නළුවා මේ දූපත තුළ එය ආත්ම විශ්වාසයක් බවට පත් කර තිබීමත් නිසා ය. කරාටේ පන්තියේ දී ‘යා..හ්..හූ.. යා’ කියමින් අත-පය දික් කරද්දී කාරාටේ මාස්ටර් කොළඹයා අසලට පැමිණ ‘ඒ මුගේ වමත ඇදැයි නේ’යි කී විට සභාවේ ඇති වූ මහ සිනා හඬ කොළඹයාගෙ කරාටේ සිහිනය සුනුවිසුනු කර දැම්මේ ය.


දෙවැන්න ඊටත් වඩා ශෝකජනකය. එකල කොළඹයාගේ හොඳම පාසල් මිතුරා වූයේ කරුණාරත්නය. ඔහු උපන් ගෙයි වමත්කාරයෙකි. කෝටු අතපය ඇති කරුණාරත්න තමන්ගේ වම් අතට රිදීපාට ‘සීකෝ’ ඔරලෝසුවක් බැඳ පාසල් ආවේ ය. එය ඉරිසියා හිතෙන තරමේ කාරණයකි. එවකට ‘මොන්ඩියා’ හෝ ‘ගරුඬා’ වැනි බාල ඔරලෝසුවක් වත් නැති කොළඹයාට, කරුණාරත්නගේ ඔරලෝසුව ‘ගාමිණී ෆොන්සේකාගේ’ ඔරලෝසුවක් තරම් අගේ විය. කාරණය එය ම නොවේ ය. මේ වමත්කාරයා ඉස්කෝල බංකුවේ ඉඳගෙන හිටියේ මගේ දකුණු අත පැත්තේ වීම ය. ඔහු වමතින් ලියන්නේ අත ඩෙස්එක දිහාට තල්ලූ කර ය. එය දකුණතින් ලියන කොළඹයාගේ අතේ නිදහසට බධාවක් ය. ඒ හැම විට ම ‘සොරි මචං’ යැයි ඔහු මුවින් පිටවෙයි. එය කොළඹයාගේ හදවත පතුලටම වදින්නේ ය. එක් පාසල් නිවාඩු කාලයකදී කරුණාරත්න සිය දිවි නසා ගත් පුවත ආරංචි වී කොළඹයා ‘ජම්පටාර් වීදියේ’ ඔහු පදිංචිව සිටි මහල් නිවාසයට යන විට ඊට පෙරදින ඔහුගේ අවසන් කටයුතු සිදු කොට තිබිණ. රාමු කරන ලද ඔහුගේ පින්තූරයක් නිවසේ ටීපෝවක් මත තබා තිබිණ. මිතුරාගේ වමතේ දිදුලන රිදීපාට ‘සීකෝ ඔරලෝසුව’ කොළඹයාගේ දෑසට කඳුළක් රැගෙන ආවේ ය.


‘වම’ කියන්නේ ‘දකුණේ විරුද්ධ පදය ම නොවන බව කොළඹයාට දැනෙන්නට පටන් ගත්තේ ඊටත් පසු ය. එය දේශපාලන කාරණයක් ය. වසර 1976 ය. කොළඹයා උසස් පෙළ පන්තියේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේසූරිය සහෝදරයා මරා දමා ඇති බව කියමින් ඉස්කෝලෙට කඩා වැදුණ පිරිසක් පෝස්ටර් දුන්නෝ ය: පාරට කැඳවා ගත්තෝ ය. එලෙස බලහත්කාරයෙන් ඉස්කෝලෙට කඩා වැදුණේ ‘වම්මුන්’ බව කොළඹයා දැන ගත්තේ බෞද්ධ සංස්කෘතිය ඉගැන්වූ හාමුදුරුවන්ගෙනි. අදටත් ජීවමානව සිටින මේ හිමියන් එදා කීවේ ‘වාමාංශිකයින්ට’ හසු නොවන ලෙස ය. කොළඹයාට ‘වාමාංශික’ යන්නෙහි තේරුම ගැන ඒ කාලයේ හරි හැටි වැටහීමක් නොතිබුණ බව නොකියා ම බැරි ය. සමාජවාදය සහ ධනවාදය ‘වාම අර්ථයක්’ ඔස්සේ කොළඹයාගේ සිතට කඩා වදින්නේ ඉනුත් පසු ය. එ්වා යුග කිහිපයකට ම දිවෙන දිගු කතා ය. සිත රිදවන්නේ ය. තිබිච්චාවේ!


සමාජවාදය සහ ධනවාදය අතරට වැද සිටින ‘වාමාංශික’ය කුමක්දැයි කොළඹයා නිසි අයුරින් සොයා බලන්නේ ජීවිතේ බොහෝ කාලයක් ඒ වෙනුවෙන් ම ගෙවී ගිය පසු ය. කොළඹයාට අඬඅඬ සිනාසෙන්නට තරම් ප්‍රහර්ශයක් දැනුණේ ‘වාමාංශික’ යන්නට සිංහල ශබ්ද කෝෂාර්ථවේදියෝ දුන් අර්ථ නිරූපණය ඇස ගැටුණ කල්හි ය. පාර්ලිමේන්තුවේ ආසන කොතෙක් තිබුණත් ප්‍රධානම අසුන වන්නේ කතානායක හෙවත් ‘ස්පීකර්’ ඉඳගන්නා අසුන ය. එම උස් අසුනට දකුණු පස ඉඳ ගන්නෝ ආණ්ඩුව ය. වම් පස ඉඳගන්නෝ ආණ්ඩුවට විරුද්ධ මතය නියෝජනය කරන්නෝ ය. එනිසා ම කතානායකට වම් පසින් අසුන් ගත් මහජන නියෝජිතයෝ ඉබේම ‘වාම අන්තිකයෝ’ වූයෝ ය. ඔවහු නම් එකල ‘සමාජවාදී සිහිනය’ සිය දේශපාලනය ලෙසින් දැරූ තරුණ මහජන නියෝජිතයෝ ය. පසුව වාමාංශිකයන් වන්නේ මේ නියෝජිතයෝ ය.


වම.. සමාජවාදය.. ධනවාදය සහ සැබෑ වාමාංශික කතාව වැටහෙන විට කොළඹයාට පෙරළි පෙරළි සිනාසෙන්නට සිතෙන්නේ ය. ඇන්ඇම්ලා, පිලිප්ලා, වික්‍රමසිංහලා, කොල්වින්ලා, කෙනමන්ලා, ලෙස්ලිලා, සරත්ල, ජීවමානව අසා දැක විමසා තිබෙන කොළඹයා, මේ සියල්ලෝම පාර්ලිමේන්තුවේ වම් අන්තයේ සිට තමන්ට පැවරුණ මහජන වගකීම් දැරූ බව ගරු කටයුතු ලෙස සිහි කරන්නේ ය. අදටත් පාර්ලිමේන්තුව උත්තරීතර නාමධාරී ය. කතානායකට වම් පසින් සහ දකුණු පසින් සේම ඉදිරියෙන් ද ආසන ඇත්තේ ය. මහජන නියෝජිතයෝද ඇත්තෝ ය. එහෙත් වාම අන්තයකට ගොනු කර එදා අර්ථයෙන් දක්වන්නට නියෝජිතයන් නැත්තේ ය. කතා ලතා නැත්තේ ය. විචාරයන් නැත්තේ ය. මන්ද ‘ණය’ ගැන මිස සමාජ සංවර්ධනයන් ගැන කතා කරන්නට කිසිවක් නැති බැවිනි.


මේ සියල්ලම අතරේ මිනිස් ලෝකයේ ‘වාම අන්තය’ ගැන සිතන්නට කොළඹයා කැමැත්තේ ය. ලෝකය තුළ බහාලූ කල ‘වම’ කුඩා ය. ලෝක පොලිස්කාර භූමිකාව දරන ඇමෙරිකාවේ මෙතෙක් සිටි ජනාධිපතිවරු 45 දෙනා අතරින් සැබෑ වම්මුන් සිටින්නේ අට දෙනෙකි. එහි අවසානයා බැරක් ඔබාමා ය. නළුවන් අතරින් ජනාදරයට පත් වම්මුන් වන්නේ ‘චාලි චැප්ලින්’ ද ඇතුළත් සුළුතරයක් පමණි. සාහිත්‍යකරුවන් අතර ෆ්රාන්ස් කෆ්කා සේම මාක් ට්වේන් ද සිටිති. එය ද සුළුතර නියෝජනයකි. ඒ ඇසුරෙන් බැලූ කල්හි ‘වම’ මහ බක්කක් නොවන්නේ ය. නමුත් මේ නාමයන් සුළුතරය සාපේක්ෂව දකුණන්ට වඩා ප්‍රබල බව කොළඹයා දන්නේ ය.


දහ නමවන සියවසට එළැඹෙන විටත් වමත්කාරයින් මිනිස් විකෘතිකයන් ලෙස සැලකූ බවත්, වමතට හුරුවන දරුවන් බලහත්කාරයෙන් දකුණට හැරවූ බවත් කොළඹයා අසා කියවා තිබෙන්නේ ය. එවැනි ගෝත්‍රික පීඩනයකින් ගැලවී ලොව දිනූ වමත්කාරයන් ‘නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බහුතරය නියෝජනය කිරීම වම්මුන්ගේ වටිනාකම දක්වන කැඩපතක් වන්නේ ය. කොළඹයා වෙසෙන දූපතේ වම දකුණ කියා බේදයක් දැන් නම් දකින්නට වත් නොවන්නේ ය. වමෙන් පශ්චාත් භාගය සෝදන අය වමෙන් ම ආහාර ද ගන්නේ ය: දකුණෙන් අල්ලා ගන්නා අය වමතින් විසි කරන්නේ ය. පාර්ලිමේන්තුවේ ‘වාමාන්ත සහ දකුණාන්ත’ පමණක් නොව කතානායක අසුනට පවා වැදගත්කමක් නැත්තේ ය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු ක්‍රමය රකින්නට කැප වීමේ විභතාවක් සහිත වාමාංශික උරුමය දරන මහජන නියෝජිතයන් අදටත් එහි සිටින බව කොළඹයා හොඳින් ම දන්නේ ය. මේ එළැඹ ඇත්තේ ‘වම් ඉවුරේ උන් වම් අන්තයකට ගොනු වීමේ’ කාලය යි. මන්ද ‘විස්ස’ට මුවා වී ‘එකසිය පණහක්’ මුළා කිරීම ආරම්භ ව ඇති බැවින් ය. එනිසා කොළඹයා මෙසේ කියන්නේ ය.

‘විස්ස’ නොව ‘සෙස්ස’ ම වෙනස් කරන්නට ‘සැබෑ වාම අන්තයක්’ පාර්ලිමේන්තුවේ යළි සකස් කරන්නට ගමනේ...... යා..!!

ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි.


අනුරසිරි හෙට්ටිගේ


සරම වනාහි ඇඳුමක් වන්නේ ය. පිළි කියන්නේත් ඇඳුම්වලට ය. පිළි මතින් විළි වැසෙන්නේ යැයි විශ්වාසයක් ඇතත් විළි නොවැසී ඒවා මනාව දර්ශනය වූ පිළි වර්ගයක් පිළිබඳ මතකයක් කොළඹයාට ඇත්තේ ය. කොළඹුන් ඒවාට කීවේ ‘ඝණ්ටාර මාක් සරම්’ කියා ය. මන්ද සරමෙන් වැසී ඇතැයි සිතෙන අංගපුලා ඝණ්ටාරයක් සේ වැනෙනු දර්ශනය වීම නිසා ය. ඒ ජාතික විප්ලවයක් පිණිස සියරට දේ සිරි සැප දේ යැයි සිතූ යුගයක ලැබූ අත්දැකීමක් බව ද කොළඹයාට මතකය.


කලිසම වනාහි ද ඇඳුමක් වන්නේ ය. එය සරම සේ හිසෙන් බස්සවා ඉණට අඳින්නක් නොවන්නේය. කලිසම සකස්කරන්නේ කකුල්වල හැඩය සහ උස මහත බලා ය: ඉන කඳ වට ප්‍රමාණ බලා ය. සරම කලිසමෙන් වෙනස් වන්නේ එපමණකින්ම නොවේ. එය කකුල් දෙකට වෙන වෙන ම බස්සවා අඳිනා නිසාවෙනි. මේ කොහොම ඇන්ඳත් කලිසමෙන් කෙරෙන්නේ ද විළි වසා ගැනීම ය. සමහරක් උන්දලා සරමට යටින් කලිසමක් ඇන්දෝ ය. ඒ විළි වසා ගැනීමට නම් නොවේ. සැලකුම් ලබන්නට ය: මහන්තත්තය පෙන්වන්නට ය. ඒ අයට කොළඹ උන් කීවේ ‘රෙද්දස්සෙ මහත්තැන්ල’ කියා ය. උන් බරව ගමනින් ආවෝ ය: ගියෝ ය. කලිසමට යටින් ‘සස්පැන්ඩරයක්’ ඇඳිය යුතු බව නොදැන සිටියෙන් මේ රෙද්දස්සෙ මහත්තැන්ල බැරි බැරියේ කලිසම් ඇන්දෝ අංගපුලා තලා පෙලා ගෙන ය. එවැනි උන් දකින කොළඹයන් කීවේ ‘ආන් අරූගේ ගොනා කානුවේ’ කියා ය.


අඳනය වනාහි ද විළි වසා ගැනීමේ ක්‍රමයකි. ඉන් වැසෙන්නේ හතර කේන්දරයම පාළු වූ ඇත්තන්ගේ විළි ය. ඊට නිශ්චිත වර්ණයක් ද නියමිත ය. එසේ කියා එහි විළි වැසීමේ විභවතාව අහෝසි වී නැත. සරම්ධාරීන්ට සේම කලිසම්ධාරීන්ට ද නැති වාසියක් අඳනධාරීන්ට තිබෙන්නේ ද මේ වර්ණය කරණ කොටගෙන ය. විළියේ හැඩ නිලයක් නොපෙනෙනා සේ ඊට උඩින් තවත් පිළියක් පටලවා ගැනීමේ වරමක් ද අඳනධාරීන් සතු ය. එනිසා ඔවුහු, ඝණ්ටාර මාක්’ සේම ‘ගොනා කානුවේ’ අපවාදයෙන් ගැලවී සිටින්නට ඉඩ ප්‍රස්ථාවක් තමන්ට තිබෙන්නේයැයි සිතන්නෝ ය. වලාමේ! ඒවා ද ජරාවට පත් වන්නේ ය: පඪවි, ආපෝ, තේජෝ, වායු දරන්නේ ය: විනාශව යන්නේ ය. පිං පුරවා ගැනීම උරුමයක් නියමව තිබුණ ද මේ උන්දලා පව් ම පුරවා ගන්නෝ ය.


අද කොළඹයාට සාහිත්‍යය අමතක වී ඇත්දැයි දැනටමත් කයිකතාවලට මාතෘකාවන කොළඹයාගේ public කොලම ගැන දන්න අය සිතන්නට පුළුවන් ය. අනේ එහෙම නොවේ ය. මේ හදන්නෙත් සාහිත්‍යය ගැන කියන්නට ම ය. තවත් හොඳින් කියන්නේ නම් ‘සාහිත්‍ය විචාරයෙ’ හැටි ගැන කියන්නට ය. අනේ ඉතින් ඒකට මොකටද මේ සරම්, කලිසම්, අඳන කතාවක් නෙහ්.! කියා ආපහු සිතෙන්නටත් බැරි නැත අනේ නෑ. සත්තමයි. සාහිත්‍ය විචාරය ගැන කියන්නට නම් සරම්, කලිසම්, අඳන ගැන නොකියා ම බැරි ය. සිංහල සාහිත්‍ය විචාරයේ ශක්තිමත් පාදමක නටබුන් සරම්, කලිසම්, අඳන ඇඳ විළි වසා ගත් පරපුරක උරුමයට නතුව තිබෙන්නේ ය. ඒ බව සිංහල සාහිත්‍යයේ උරුමය ගැන දන්නා කොළඹයා හොඳින් ම දන්නේ ය.


පුස්කොළ පත් ඉරුවල සාහිත්‍යය ලියා තැබූ පරපුරක උරුමයක්, නිසි භාෂා පදම දැන, කල් යල් බලමින් මහා ඉවසිල්ලකින්, මාත්‍රා පත අටඑකට සිඳ ගැට පද සන්න කොට ජාතියට දායාද කළෝ අඳන ඇඳ විළි වසා ගැනීමේ උරුමය ලද ඇත්තෝ ය. ඒ මහා මෙහෙවර නිසා ම ඔවුහු ගෞරවපුරස්කාරය: පිදුම් ලැබීමේ සුදුස්සෝ ය. යළි යළි සිහි කළ යුත්තෝ ය. උන් අනුගමනය කරමින් ආවෝ සරම් හැඳ විළි වසාගත් රෙද්දස්සේ මහත්තැන්ල සේම අමුඩ හැඳ බත සරි කරගත් උගත්තු ය: පාලි, සකු, දෙමළ, සිංහල ඈ භාෂා දැනුම මූර්තිමත් කරමින් සාහිත්‍ය විචාරයට අතිමහත් ගෞරවයක් දුන්නෝ ඔවුහු ය. උහු පතපොතට මහත් බුහුමන් දැක්වූවෝ ය: ලේඛක උත්තමාචාරයෙහි කැමැත්තෝ ය. සෞන්දර්යයෙන් අනූන ජන සාහිත්‍යයක් ස්ථාපනය කළෝ ද එවැන්නෝ ය. එනිසා ම ඔවුහු පිදුම් ලබන්නෝ ය.


තල් කොළයෙන් පැපරස් කඩදාසියට සාහිත්‍ය හුවමාරු වූ යුගය ආරම්භ වන්නේ මුද්‍රණ ශිල්පයත් සමඟ ය. පළමුව විස්මයක් ලෙසත්, පසුව ප්‍රහර්ශයක් ලෙසත්, ඉනුත් අනතුරුව ආනන්දයක් ලෙසත් ආරම්භ වූ මේ සබඳතාව වඩාත් අර්ථ ගැන්වූවෝද, සරම් සහ අඳනයන් මතින් ගරු කටයුතු ලෙස විළි වසා ගත් පරපුර ම ය. පුස්කොළ පත් ඉරු මතින් පිට පැන පැපරස් කඩදාසිය මත කැටයම් වූ නව සාහිත්‍යය පිළිබඳ විචාරය උදෙසා ම කලිසමෙන් විළි වසා ගත් පිරිසක් ද මුසු වීම පැසසුම් කටයුතු විය. එකදහස් නමසිය තිහ, හතළිහ පනහ දශක පසු කරන විට සරම්, කලිසම් සහ අඳන යන විචාර සුසංයෝගය මතින් සිංහල සාහිත්‍යයේ බැබලීමක් සිදුවූ බව නොකිව මනාය.


සියල්ල ඈලියාවට යන්නට පටන් ගන්නේ ඉන්පසු ය. රටේ සාහිත්‍යය සහ රටේ පක්ෂ දේශපාලනය තනි රේඛාවක් මතට කැන්දවූයේ 1956න් පසු යුගයේ දී ය. ඉන්අනතුරුව සාහිත්‍යය විෂයයෙහි සිදුවූ අනුවණකම් ලියන්නට මෙවැනි කොලමක ඉඩ මදි ය. එහෙත් සැකෙවින් කොළඹයාට කියන්නට ඇත්තේ සරම්වලින් විළි වසාගත් සැබෑ උගතුන් අහෝසි වීමත්, කලිසම් සහ අඳන විචාරය අයාලේ යාමත් නිසා සිංහල සාහිත්‍ය විචාරය වල්වැදුණ බව ය. වැදගත් කලිසම් සහ වැදගත් අඳනයන් වෙනුවට ‘ව්‍යාජ කලිසම්’ සහ ‘ව්‍යාජ අඳනයන්’ ඉහළට එසවූණ බව ය. කොළඹයා ඒ විචාරකයන් හඳුන්වන්නේ ‘හාල්කෑලි විචාරකයන්’ කියා ය. මේ විකෘතික කලිසම් යට වසා ගත යුතු අංගපුලා ඇති බවක් නොපෙනෙන්නේය. එය ඔවුන්ගේ විචාරය තුළට විතැන්වූ සෙයකි. එනිසාම ඔවුන්ගේ විචාරයන් තුළ ‘ඝණ්ටාර මාක්' සේම ‘ගොනා කානුවේ’ සංකේත ද පෙනෙන්නේ ය: පේත කුම්භාණ්ඩ මුඛ ඕජස් ඉසින්නෝ ය: ලියන කියන අකුරක් අකුරක් පාසා කුහකකම දරන්නෝ ය.


මේ උන්දලා අංගපුලා අහිමි මිනිස් වාමනයන් බව කොළඹයාට දැනෙන්නේ ය. ඔවුන් උර තබා ගෙන සිටින්නේ තමන් විසින් ම ගෙනා පව්වල බර ය. ඔවුන්ට විචාරයක් ලියන්නට හේතුවක් වන්නේ කතුවරයාගේ දේශපාලන ආස්ථානය තමන්ගේ ආස්ථානයෙන් කොච්චරක් දුර ද? යන්න මිස ඔහුගේ කෘතියේ වැදගත්කම නම් නොවේ. මේ හාල්කෑලි විචාරකයෝ අනුන් විසින් මෙහෙයවන රූකඩයෝ ය. කොළඹයා එවැනි අය දකින්නේ හිස් මාස්ටර් වොයිස් - බලූ - සංකේත ලෙස ය. (ඒ බල්ලා පව් ය. කොළඹයා අදහස් කළේ හිස් මාස්ටර් වොයිස් බල්ලා ය)


අවසාන වශයෙන් කොළඹයා මෙසේ කියන්නේ ය. කලිසම් ඇන්දත්, අඳනයන් ඇන්දත් වසා ගන්නට විළියක් නැති විචාරක අපතයනි. තමන්ගේ ජීවිතවලට උරුම කරුම වූ අවාසනාවන්ත පීඩනකාරී අතීත වේදනාවන්, සාහිත්‍යයෙන් බේරා ගැනීමට උත්සාහ නොගෙන දෙන දෙයක් කා බණක් භාවනාවක් කර මේ ආත්මයේ උරුම කරුමයක් වූ වාමන උප්පත්තියෙන් නිදහස් වෙනු! පිළියෙන් වසා ගන්නට වත් අංගපුලාවක් ඇතිව උපදින්නට පිං රැස් කර ගනු!


ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි. x

 

වම් ඉවුරේ වෙබ් නාදය