Thursday, 18 April 2024

All Categories

මහර බන්ධනාගාරයේ කැරැල්ල සමඟ මිනිස් ඝාතනය, දේපළ විනාශයට තුඩුදුන් හේතු සාධක, කොරෝනා වැළදුණු රැඳවියන් අනෙකුත් රැඳවියන් සමඟ එක් කිරීමෙන් සිදු කර ඇති අවිධිමත් කළමනාකරණය බවත්, මේ හේතු කොට ගෙන බන්ධනාගාර පද්ධතියට කොරෝනා වසංගතය ඇතුල් වූයේ කෙසේද යන්න යටපත් කරනු ලැබ ඇති බවත්, බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ ඇත්තට වාර්තා වේ.

2020 මාර්තු මාසයේ සිට පුරා මාස 10ක් තිස්සේ පැතිරෙමින් තිබු කොරෝනා වසංගතය රැඳවියන් 32,000ක් රඳවා තිබෙන සිර ගෙවල්වලට පැතිරීමට හේතු වී තිබෙන්නේ අධිකරණ නියෝග මත රිමාන්ඞ් භාරයට පත් කරන නව රැඳවියන් දඬුවම් ලබන රැඳවියන්ට එක් කිරීමට පෙර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කොට නොමැති වීම බවද වාර්තා වේ.

10,000ක් රැදවීමට ඉඩකඩ ඇති බන්ධනාගාරවල 32,000ක් තරම් විශාල සංඛ්‍යාවක් එක් කිරීමේදී ඇතිවන තදබදයට විකල්ප ඉඩකඩ සොයා නොගන්නේ ඇයිද යන ප්‍රශ්නයත් වසංගත තත්ත්වයක් හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිබඳව ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගින බවද වැඩි දුරටත් වාර්තා වේ.

බන්ධනාගාරවල ඇති වී ඇති පහසුකම් පිළිබඳවත් පාලකයන් ඇතුලූ සියල්ලන්ම කතා කළේ අවාසනාවන්ත සිදුවීමක් හමුවේ බවත් එය සෙවීමට කොමිෂන් සභා පත් කිරීම හැර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් සිදු නොකරන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ බවත් සිවිල් සේවාවේ ඉහළ නිලධාරියෙකු ඇත්තට ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර පැවති නිල සාකච්ඡාවේදී, ජනාධිපති පැහැදිලි ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටි බව වාර්තා වේ.

”යුද්ධය නිමවීමෙන් පසු ආර්ථිකය ගොඩ නැලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකාවට ආධාර සැපයූවේ චීනයයි. චීනය නිසා ශ්‍රී ලංකාව ණය උගුලේ හිරවී ඇතැයි කරනු ලබන ප්‍රකාශ පදනම් විරහිතයි. ඒ චෝදනාව මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. විදේශ සම්බන්ධතාවලදී කිසි ලෙසකින් ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීත්වය, ආරක්ෂාව පාවා දීමට මා කිසිලෙසකින් ඉඩ තබන්නේ නැහැ”


රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණීමට පෙර ඇමරිකානු තානාපතිවරිය මෙන්ම දකුණු ආසියාව භාර උප රාජ්‍ය ලේකම්වරයාද චීනය සමඟ ඇති සබඳතා පිළිබඳව, විශේෂයෙන් ණය ආධාර සහ ආයෝජන පිළිබඳව දෙරට අතර සබඳතාවයක්ට බලපාන ආකාරයේ අහිතකර ප්‍රකාශ නිකුත් කර තිබුණි. බටහිර මාධ්‍ය විසින් තොර තෝංචියක් නැතිව, ගෙනයනු ලැබූ අසත්‍ය සහ විකෘති කළ ප්‍රකාශ නිසා යථෝක්ත පැහැදිලි කිරීම ලේකම්වරයා ඉදිරියේදීම කිරීමට ජනාධිපතිවරයාට සිදුවූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පෙර ප්‍රකාශයට පත් කර තිබුණද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් නොපැවැත්වුණි.

 

2019 යහපාලන සමයේ අය - වැය යෝජනා අතරින් 47%ක්ම ක්‍රියාත්මක කර නැතැයි පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි. තවත් 32%ක ප්‍රගති වාර්තා සම්පූර්ණ කොට නැත. 2021 සඳහා වූ අය - වැය යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති මේ අවස්ථාවේ වර්තමාන රජය මේ ශෝචනීය තත්ත්වය විමර්ශනය කළ යුතුව ඇත.

2015 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 5%ක් වූ අතර 2019 වන විට එය දෙකකටත් අඩු තත්ත්වයකට පත්වූයේ අය වැය යෝජනා ක්‍රියාත්මක නොවූ නිසාද යන්න සොයා බැලිය යුතුව ඇත.
සැලසුම් කිරීමත්, සැලසුම් ක්‍රියාත්මක කිරීමත් යන දෙකම ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ මෙවැනි තත්ත්වයක් උද්ගතවීම පුදුමයක් නොවේ යැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත. මෙම තත්ත්වය රජයේ පාලනයෙන් බාහිරව පවතින තත්ත්වයන්ට වඩා පාලනය තුළම පවතින සාධක නිසා සිදුවන බව ඔවුන්ගේ මතයයි.

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය