Wednesday, 25 November 2020

RCEP ගිවිසුම, ආසියා-පැසිෆික් සහයෝගීතාව, ගෝලීය පශ්චාත් වසංගත සංවර්ධනය


වසර අට (08) ක දීර්ඝ කාලීන සාකච්ඡාවකින් පසු ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 15ක් සම්බන්ධ කරගත් මෙගා නිදහස් වෙළඳ ගිවිසුමක් 2020. 11. 15 දා නිල වශයෙන් අත්සන් කරනු ලැබීය. එය කාලෝචිත හා ප්‍රරවර්ධනාත්මක පියවරක් වනවාට අමතරව කලාපීය වශයෙන් නව ගම්‍යතාවයක් ඇති කරමින් ගෝලීය පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය පහසුකරනු ඇත.


අග්නිදිග ආසියානු ජාතීන් දස (10) දෙනෙකුගෙන් යුත් ආසියාන් සංවිධානය සහ චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වීඩියෝ තාක්ශනය හරහා එක්වෙමින්, එම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුමට අත්සන් තැබූහ. වෙළඳ බාධක අඩුකිරීමට සහ කලාපය තුළ සබඳතා ප්‍රවර්ධනය කිරීමට එකඟ වූහ. ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ කලාපය බිහිවූයේ අවිනිශ්චිතතාවයන්ගෙන් පිරි තීරණාත්මක මොහොතකය. මතුව එන ආරක්ෂණවාදය සහ ඒකපාර්ශ්විකත්වය මෙන්ම ඇතැම් රටවලින් සිදු කෙරෙන වෙළඳ හා ආර්ථික හිරිහැර කිරීම ජාත්‍යන්තර සහයෝගීතාවයට මෙන්ම විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ ගෝලීය ප්‍රවේශයට බරපතල තර්ජනයක් වී තිබේ.


කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු ඇති වූ විශාලතම අවපාතය හමුවේ, ලෝකය, ආර්ථිකය පණගැන්වීමේ අරගලයක යෙදී සිටී. පසුගිය මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වර්ෂය සඳහා ගෝලීය වර්ධනයේ සියයට 4.4 ක තියුණු පහත වැටීමක් අපේක්ෂා කරන බවට අනතුරු ඇගවීය. මෙවැනි අස්ථාවර තත්වයන් යටතේ, මෙගා වෙළඳ ගනුදෙනුව අස්සන් තැබීම, එම රටවල්වල බහුපාර්ශ්වීයත්වය සහ නිදහස් වෙළඳාම සඳහා ඇති ශක්තිමත් සහයෝගය සහ කැපවීම තහවුරු කිරීමකි. වෙළඳ ගිවිසුමට අනුව, අත්සන්කරුවන් අතර ආනයන සඳහා වන තීරුබදුවලින් සියයට 90ක් ක්‍රමානුකූලව ඉවත් කරනු ඇති අතර, ඊ-වාණිජ්‍යය, වෙළඳාම සහ බුද්ධිමය දේපල සඳහා පොදු නීති රීති සකස් කරනු ඇති අතර එමගින් විශාල වශයෙන් ආයෝජන ඉහළ නංවනු ඇත. කාර්මික හා සැපයුම් දාම තවදුරටත් ඒකාබද්ධ වනු ඇත. කලාපය පුරා භාණ්ඩ, අරමුදල් සහ පුද්ගලයින් ගමන් කිරීමට පහසුකම් සැපයෙනු ඇත. වෙළඳ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කිරීම, බහුපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම, දැනටමත් පවතින ඔවුන්ගේ සමීප වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය සහ සංවර්ධනය වේගවත් කිරීම සඳහා රටවල් 15ක සාමූහික කැමැත්ත මෙම ගිවිසුමෙන් ප්‍රබල ලෙස ප්‍රදර්ශනය වේ.


චීන අගමැති ලී කේකියැන්ග් 2020 නොවැම්බර් 15 වන දින බීජිං හිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ 4 වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) නායකයින්ගේ රැස්වීමට සහභාගී විය.


චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් පැවසුවේ ආර්සීඊපී ගිවිසුම ”බහුපාර්ශ්වීය හා නිදහස් වෙළඳාමේ ජයග්‍රහණයක්” බවයි. රැස්වීමට සහභාගී වූ වෙනත් රටවල නායකයින් ද එවැනිම අදහස් දැක්වූහ.


මෙම කලාපීය ආර්ථික හවුල්කාරීත්වය ආරම්භ කරන ලද්දේ ආසියාන් සංවිධානය විසිනි. එයට සහභාගී වීමට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආරාධනා ලැබූහ. 2019 නොවැම්බරයේ පැවති සාකච්ඡාවල අවසාන මොහොතේදී ඉන්දියාව ඉවත්වීමට තීරණය කළේය. ආසියා-පැසිෆික් කලාපයේ බොහෝ ප්‍රධාන එක්සත් ජනපද මිත්‍රයින් මෙම ගිවිසුමේ සිටින අතර චීනයට මෙම රටවල හෝ ආසියාන් රටවල ආකල්පය මත ආධිපත්‍යය දැරීමට නොහැකිය. කෙසේ වෙතත්, සමහර එක්සත් ජනපද හා බටහිර පුද්ගලයින් තවමත් විශ්වාස කරන්නේ චීනය මෙම හවුල්කාරීත්වයෙහි ‘විශාලතම ජයග්‍රාහකයා’ බවයි.


සෑම රටකටම මෙම ගිවිසුමේ ජයග්‍රාහකයන් විය හැකිය. චීනයේ සංවර්ධනය සඳහා මූලික මාර්ගය මෙයයි. බලපෑම් ක්ෂේත‍්‍රවල පදනම මත ගෝලීය සිතියම තවදුරටත් ආලේප කළ නොහැක. බහුපාර්ශ්වීයත්වය තවමත් ජීව ශක්තියෙන් පිරී ඇති බවත් අපට එයට සහභාගී වීමට පුළුල් ඉඩක් ඇති බවත් මෙම ගිවිසුමෙන් (RCEP) පෙන්වා දේ. අප මෙතෙක් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී සංවර්ධනයේ මාවතට අනුගත වී ඇති අතර අපි දිගටම එම මාර්ගය අනුගමනය කරන්නෙමු, යැයිද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.


කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) පිළිබඳ නායකයින්ගේ ප්‍රකාශය


අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සාමාජික රටවල රාජ්‍ය ප්‍රධානීන් (බෘනෙයි දරුස්සලාම්, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලා ඕ පීඞීආර්, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය) හා ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, කොරියාව සහ නවසීලන්තය යන රටවල රාජ්‍ය ප්‍රධානීන්ද, 2020 නොවැම්බර් 15 වන දින, මාර්ගගතව පැවැත්වුණු 4 වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව (RCEP) සමුළුවේදී හමුවූහ.


කොවිඩ් - 19 ගෝලීය වසංගතය විසින් පෙර නොවූ විරූ අභියෝගයකට ලෝකය මුහුණ දී සිටින මොහොතක මෙම ගිවිසුම (RCEP) අත්සන් කිරීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. වසංගතයෙන් අපේ ආර්ථිකයන්ට, ජනතාවගේ ජීවනෝපායට හා යහපැවැත්මට ඇති අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින්, මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික ප්‍රකෘතිය, සියලූ දෙනාගේම සංවර්ධනය, රැකියා උත්පාදනය සහ කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට අප දක්වන ශක්තිමත් කැපවීමයි. විවෘත, සහභාගීත්ව, නීති රීති පදනම් කරගත්, වෙළඳ සහ ආයෝජන විධිවිධානයන් සඳහා අපගේ සහයෝගය ප්‍රකාශ කරමු. කොවිඩ් - 19 වසංගතයට අපගේ කලාපයේ ප්‍රතිචාරය සඳහා RCEP ගිවිසුම ඉතා වැදගත් බව අපි පිළිගනිමු. සියල්ල ඇතුළත් හා තිරසාර පශ්චාත් වසංගත ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියක් තුළින් කලාපයේ ශක්තිමත් නැගීසිටීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.


RCEP ගිවිසුම පෙර නොවූ විරූ මෙගා කලාපීය වෙළඳ විධිවිධානයක් වන අතර එය කලාපයේ සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා අවම වශයෙන් සංවර්ධිත ආර්ථිකයන්ගේ විවිධාකාර මිශ්‍රණයකින් සමන්විත වේ. බිලියන 2.2ක වෙළඳපොළක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වන ගිවිසුමක් ලෙස, ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 26.2ක් හෝ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් නියෝජනය වන මෙම කලාපය, ගෝලීය වෙළඳාමෙන් 28% කට ආසන්න ප්‍රමාණයකට (2019 සංඛ්‍යාලේඛන අනුව) වගකියයි. ලොව විශාලතම නිදහස් වෙළඳ විධිවිධානය වන ගිවිසුම (RCEP) ගෝලීය වෙළඳ හා ආයෝජන නීතිවල පරමාදර්ශී රාමුවක් කරා යන වැදගත් පියවරක් නියෝජනය කරන බව අපි විශ්වාස කරමු.

ආසියාන් විසින් ආරම්භ කරන ලද වඩාත්ම අභිලාෂිත නිදහස් වෙළඳ ගිවිසුම වන එය, කලාපීය රාමුවල ආසියාන් කේන්ද්‍රීයභාවය ඉහළ නැංවීමට සහ කලාපීය හවුල්කරුවන් සමග ආසියාන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට දායක වේ. ගිවිසුම සඳහා සහභාගී වන ආසියාන් සහ ආසියාන් නොවන රටවල් අතර දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම්වල කලින් ආවරණය නොවූ ක්ෂේත්‍ර එයට ඇතුළත් වේ. භාණ්ඩ හා සේවා වෙළඳාම සහ ආයෝජන ආවරණය වන නිශ්චිත විධිවිධාන හැරුණු විට, බුද්ධිමය දේපළ, ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය, තරගකාරිත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සහ රජයේ ප්‍රසම්පාදනය පිළිබඳ පරිච්ඡේ ද ගිවිසුමෙහි ඇතුළත් ය.


RCEP ගිවිසුමෙන් ලැබෙන අවස්ථාවන් සහ එහි පූර්ණ හැකියාවන් සාක්ෂාත් කරගත හැක්කේ ගිවිසුම බලාත්මක වූ පසු පමණක් බව අපි එකග වෙමු. කලාපයට බලපාන වෙළඳ හා ආර්ථික ගැටළු පිළිබඳ සංවාද හා සහයෝගීතාවයේ වේදිකාවක් ලෙස RCEP සංවර්ධනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම ගිවිසුම (RCEP) ඉන්දියාවට විවෘතව පවතින බව නැවත අවධාරණය කරමු. සහභාගී වූ මුල් රටවල් 16 න් එකක් ලෙස, 2012 සිට සාකච්ඡාවලට සහභාගී වීම සහ එහි උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මෙම ගිවිසුමට පිවිසීම සාදරයෙන් පිළිගනී.⋆

 

 

දේශාන්තර පැසිෆික් හවුල්කාරිත්වය (TPP) හරහා අඩු තීරුබදු ආර්ථික කලාපයක් ගොඩනැගීම මගින් ‘ආසියාව වෙත හැරීමට’ ඔබාමා පරිපාලනය උත්සාහ කළේය. එය චීනය බැහැර කළ උපාය මාර්ගයක් විය. ටම්ප් පරිපාලනය ටීපීපී ප්‍රතික්ෂේප කර එයින් ඉවත් විය. චීන නිෂ්පාදන සඳහා තීරුබදු ඉහළ නැංවීම, චීන නිෂ්පාදකයින්ට අධි තාක්‍ෂණික සැපයුම් තහනම් කිරීම සහ චීන සමාගම්වලට තම වෙළඳපොළට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම මගින් එය චීනයට එරෙහිව ආර්ථික යුද්ධයක් දියත් කළේය.


දැන් ඇමරිකාව, චීනයට එරෙහි මිලිටරි සන්ධානයක් ගොඩ නැගීමට ද උත්සාහ කරමින් සිටී. ඒ සඳහා 2007 - 2008 සිව්පාර්ශ්වීය ආරක්ෂක සංවාදය නැවත පණ ගැන්වූ අතර එය එක්සත් ජනපද - ඕස්ට්‍රේලියා - ඉන්දියා - ජපාන සංවාද ‘ක්වොඞ්’ ලෙස නම් කරන ලදී. එක්සත් ජනපද අණ යටතේ ක්‍රියාත්මක වන ආසියානු නේටෝවක් බවට එය පත් කිරීම එහි අරමුණ විය.


එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අංක 2 රාජ්‍ය තාන්ත‍්‍රිකයා පසුගිය සඳුදා පැවසුවේ වොෂින්ටනය ‘ක්වොඞ්’ සංසදය හරහා ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ උපායමාර්ගික සබඳතා ‘විධිමත් කිරීමට’ කටයුතු කරන බවයි. ‘ඉන්දු - පැසිෆික් කලාපයේ ඇත්ත වශයෙන්ම ශක්තිමත් බහුපාර්ශ්වීය ව්‍යුහයන් නොමැති බව යථාර්ථයකි. ඔවුන්ට නේටෝවේ හෝ යුරෝපීය සංගමයේ සහායක් නැත, යනුවෙන් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ස්ටීවන් බීගන් වාර්ෂික එක්සත් ජනපද - ඉන්දියානු උපායමාර්ගික හවුල්කාරිත්ව සංසදයට සමගාමීව මාර්ගගත සම්මන්ත්‍රණයකදී පැවසීය. ”යම් අවස්ථාවක දී මෙවැනි ව්‍යුහයක් විධිමත් කිරීම සඳහා නිසැකවම ආරාධනයක් ඇත” යනුවෙන්ද ඔහු පැවසීය.


එහෙත් චීනය කෙරෙහි දැඩි ස්ථාවරයක් ගැනීමට ඕස්ට්‍රේලියාවට හෝ ජපානයට හෝ ඉන්දියාවට කිසිදු උනන්දුවක් නැති බව පෙනේ. සියල්ලන්ම චීනය දෙස බලන්නේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු ලෙසය. එය සමග ඇති වන ඕනෑම ගැටුමකදී තමන්ට විශාල වියදමක් දැරීමට සිදුවන බව ඔවුහු දනිති.


ඔක්තෝබර් 06 වන දින රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ක්වොඞ් හි සෙසු විදේශ ඇමතිවරුන් සමග සාකච්ඡාවක් සඳහා ටෝකියෝ බලා පියාසර කළේය. ඔහුගේ සටන්කාමී කතාවට කිසිවෙකු තමා හා එක් නොවන බව ඔහු ඉක්මනින්ම තේරුම් ගත්තේය. ටෝකියෝ නුවර ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල විදේශ ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉල්ලා සිටියේ, වඩ වඩාත් තහවුරුවෙමින් සිටින චීනයට එරෙහි වීම සඳහා ඔවුන්ගේ ප්‍රජාතන්ත‍්‍රවාදී රටවල් හතරේ සන්ධානය ශක්තිමත් කරන ලෙසයි. පෙනෙන ආකාරයට, පොම්පියෝ චීනය සමග ගැටුමක දී එක්සත් ජනපදයේ පැත්ත ගැනීමට ක්වොඞ් හි සෙසු සාමාජිකයන් තල්ලූ කරමින් සිටියේ නම්, ඒ සඳහා ඔහු කිසිදු ප්‍රසිද්ධ අනුමැතියක් නොලැබූ අතර, ඔහුගේ ප්‍රකාශ ඔහුගේ සත්කාරකයාගේ අදහස් සමග ගැටුණි.


පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්ෂය වෙත කෙලින්ම ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ කළේ රටවල් හතරේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් හා කතා කිරීමට වාඩිවීමට පෙරය.
‘මෙම ක්වොඞ් හි හවුල්කරුවන් වශයෙන්, චීන කොමියුනිස්ට් පක්ශයේ සූරාකෑම, දූෂණය සහ බලහත්කාරයෙන් අපගේ ජනතාව සහ හවුල්කරුවන් ආරක්ෂා කිරීමට සහයෝගයෙන් කටයුතු කිරීම වෙන කවරදාටත් වඩා දැන් තීරණාත්මකය,’ යනුවෙන් ඔහු පැවසීය. එහෙත් ජපාන රජයේ ප්‍රධාන ප්‍රකාශක කට්සුනොබු කැටෝ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ”මෙම ක්වොඞ් රැස්වීම පැවැත්වෙන්නේ කිසිදු රටක් ඉලක්ක කරගෙන නොවන” බවයි. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ද චීනයට අමනාප විය හැකි කිසිවක් කීමට අකමැති විය. එක්වරම පෙනෙන්නේ පොම්පියෝගේ උත්සාහය අසාර්ථක වූ බවය.


සෝවියට් සංගමය මෙන් නොව එය එක්සත් ජනපදය මෙන් එකම ගෝලීය සමාජයේ කොටසක් වන බැවින් චීනය පරාජය කළ නොහැක. ගෝලීය පාලනය, භූ ආර්ථික විද්‍යාව, වෙළඳාම, ආයෝජන, මූල්‍ය, මුදල් භාවිතය, සැපයුම් දාම කළමනාකරණය, තාක්‍ෂණික ප්‍රමිතීන් සහ පද්ධති, විද්‍යාත්මක සහයෝගීතාව යනාදි ඇතුලූ ක්ශේත‍්‍ර රාශියක් පුරා එක්සත් ජනපද - චීන ගැටුම පුළුල්ය. චීනයේ ගෝලීය ප්‍රවේශයේ විශාලත්වය එබඳු ය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ තත්ත්වය මෙය නොවීය.


සියල්ලටත් වඩා, චීනය දෘෂ්ටිවාදයක් අපනයනය කිරීමට නොවෙහෙසෙන අතර, ජයග්‍රහණ තුළින් ආදර්ශයක් සැපයීමට කැමැත්තක් දක්වයි. එය වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීමේ ව්‍යාපාරයන්හි නිරත නොවන අතර ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වයි.


එක්සත් ජනපදය ආසියාන් සංවිධානය නිර්මාණය කළ නමුත් අද එහි කිසිදු සාමාජිකයෙකුට ආරක්ෂක හවුල්කරුවෙකු ලෙස ඇමරිකාව සහ චීනය අතර තෝරා ගැනීමක් නැත. දකුණු චීන මුහුදේ චීනයට එරෙහිව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින කිසිදු රටක් චීනයට එරෙහිව එක්සත් ජනපදයට සම්බන්ධ වීමට සූදානම් නැත.

එක්සත් ජනපදය සිය යුරෝපීය නේටෝ සගයින් චීනයට එරෙහිව ස්ථාවරයක් ගැනීමට පොළඹවා ගැනීමට ද උත්සාහ කළේය. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සෙනසුරාදා අනතුරු ඇගවූයේ චීනයේ වැඩිවන බලපෑම ‘ගෝලීය බල තුලනයේ මූලික වෙනසක්’ ඇති කර ඇති අතර එය නොසලකා හැරිය යුතු නොවන බවයි.
ක්වොඞ් උත්සාහය ආසියාවේ ගිලී ගිය තරමටම එම පියවර යුරෝපයේද ගිලෙනු ඇත. චීනය, යුරෝපයට දෘෂ්ටිවාදාත්මක හෝ මිලිටරි අනතුරක් නොවේ. එය ආර්ථික පරමාර්ථයක් වන අතර ඒ සමග ඇති සම්බන්ධතාවය ප්‍රවේශමෙන් හැසිරවිය යුතුය. යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස චීනය එක්සත් ජනපදය අභිබවා ගොස් ඇත. 2020 මුල් මාස හත තුළ චීනය එක්සත් ජනපදය අභිබවා යුරෝපීය සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්විය. යුරෝ - ස්ටැට් සඳහන් කළේ යුරෝපා සංගමයේ චීනයෙන් ආනයනය වාර්ෂිකව සියයට 4.9 කින් ඉහළ ගොස් ඇති බවයි. ජර්මනියේ ෆෙඩරල් සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, චීනය, 2016 සිට යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, මේ වසරේ දෙවන කාර්තුවේදී ප්‍රථම වතාවට එක්සත් ජනපදය අභිබවා ජර්මනියේ විශාලතම අපනයන වෙළඳපොල බවට පත්වූ අතර, ජූලි මාසයේදී එය පසුගිය වසරේ මට්ටම දක්වා යළිත් වර්ධනය වී තිබේ.


එක්සත් ජනපදය යථාර්ථයට මුහුණ දිය යුතු කාලය පැමිණ ඇත. එය, මිල අධික, අකාර්යක්ෂම මිලිටරියක් සහිත ඉහළ ණයගැති රටකි. පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ ආර්ථික භූමිකාව තුළ අඛණ්ඩව පහත වැටී ඇත. එක්සත් ජනපදයේ නිධන්ගත අයවැය හිඟයක පවතින අතර රජයේ සාමාන්‍ය මෙහෙයුම් සඳහා පවා දැන් ණය ලබා දිය යුතුය. එහි මානව හා භෞතික යටිතල පහසුකම් චීනයේ හා අනෙකුත් විශාල ආර්ථික බලවතුන් සමග තරගකාරී මට්ටමක තබා ගැනීමට සම්පත් සොයා ගැනීම අවශ්‍ය වේ.


නිරන්තර සටන්කාමී ස්ථාවරයන් සහ ‘අප පවසන පරිදි කරන්න’ ආකල්පය එහි සගයන් දුරස් කර ඇත. මිත‍්‍ර පාක්ෂිකයින් නොමැතිව එක්සත් ජනපදයට කිසිදු ගැටුමකදී චීනය පරාජය කිරීමට අවස්ථාවක් නැත.
එක්සත් ජනපදයට තවමත් කළ හැක්කේ චීනය සමඟ අවංකව තරග කිරීමයි. එහෙත් ඒ සඳහා නිහතමානිකම, ශක්තිමත් කාර්මික ප්‍රතිපත්තියක් සහ හොඳින් ගෙවන හා තරගකාරී ශ්‍රම බලකායක් අවශ්‍ය වේ. එහෙත් එම කොන්දේසීන් ඇමෙරිකාව තුළ නොපෙනේ.⋆

චීනය දැන් එක්සත් ජනපදය පසෙකට කර, ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සීඅයිඒ යන සංවිධාන දෙකම ජාතික ආර්ථිකයන් සංසන්දනය කිරීමේ හොඳම මිනුම් භාවිතා කොට සකස් කරනලද වාර්තාව පෙන්නුම් කරන්නේ චීනයේ ආර්ථිකය ඇමරිකාවට වඩා හයෙන් එකක ප්‍රමාණයකින් විශාල වන බවයි (චීනය - ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 24.2 හා එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 20.8)

මේ සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය 2020 ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කළේ ගෝලීය ආර්ථිකය හා ඉදිරි අභියෝග පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයමිනි. වාර්තාවේ ඇමරිකානුවෙකු ඇසීමට හා
පිළිගැනීමට අකැමැතිම කාරණය වන්නේ, චීනය දැන් එක්සත් ජනපදය විතැන් කර ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත යන කරුණයි.


ජාතියක ආර්ථිකයේ ප්‍රමාණය මැනීම පෙනෙන ආකාරයට වඩා සංකීර්ණය. දත්ත එක්රැස් කිරීමට අමතරව, නිසි මිනුම් ක්‍රමයක් තෝරා ගැනීම අවශ්‍ය වේ. සාම්ප්‍රදායිකව ආර්ථික විද්‍යාඥයන් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා වෙළඳපල විනිමය අනුපාත (MER) නමින් ඒකකයක් භාවිතා කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු වසරවලදී මෙම ක්‍රමය සකස් කරන විට එක්සත් ජනපදය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට වගකියන තත්වයක් තුළ, එම ක්‍රමයේ මූලික පදනම ලෙස එක්සත් ජනපද ආර්ථිකය සලකනු ලැබුණි.


මෙම ක්‍රමය අනුව, රටවල් මගින් නිෂ්පාදනය කරනු ලබන සියළුම භාණ්ඩ හා සේවා ඔවුන්ගේම මුදලින් එකතු කර එම මුදල වර්තමාන ‘වෙළඳපල විනිමය අනුපාතයට’ අනුව එක්සත් ජනපද ඩොලර් වලට පරිවර්තනය කිරීමෙන් එම ආර්ථිකයන්වල විශාලත්වය ගණනය කරනු ලැබේ. 2020 වර්ෂය සඳහා චීනයේ නිෂ්පාදිත සියළුම භාණ්ඩ හා සේවාවල වටිනාකම යුවාන් ට්‍රිලියන 102ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඩොලර් 1ක් සඳහා යුවාන් 7ක් වන වෙළඳපල අනුපාතයකින් එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කරන ලද චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 14.6ක් වන අතර එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 20.8 කි.
නමුත් මෙම සංසන්දනය උපකල්පනය කරන්නේ යුවාන් 7ක් එක්සත් ජනපදයේ ඩොලර් 1 ට සමාන භාණ්ඩ ප්‍රමාණයක් චීනයේ මිලදී ගන්නා බවයි. පැහැදිලිවම එය එසේ නොවේ. උදාහරණයක් ලෙස යුවාන් 21ක් සඳහා, චීන
පාරිභෝගිකයෙකුට බීජිං හි සම්පූර්ණ බිග් මැක් එකක් මිලදී ගත හැකිය. ඔහු එම යුවාන් වත්මන් විනිමය අනුපාතයට පරිවර්තනය කළහොත් ඔහුට ඩොලර් 3ක් ලැබෙනු ඇත, එය එක්සත් ජනපදයේ බිග් මැක් එකකින් අඩක් පමණක් මිලට ගනු ඇත. වෙනත් වචනවලින් කිව හොත්, බර්ගර් සහ ස්මාර්ට් ෆෝන්වල සිට මිසයිල දක්වා මිල දී ගැනීම්වලදී චීන ජාතිකයින් සෑම යූවානයකටම දෙගුණයක් ලබා ගනී.


මෙම යථාර්ථය හඳුනා ගනිමින්, සීඅයිඒ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාතික ආර්ථිකයන් සංසන්දනය කිරීම සඳහා වඩාත් සුදුසු මිනුමක් නිර්මාණය කර ඇති අතර එය මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (PPP) ලෙස හැඳින්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාව පැහැදිලි කරන පරිදි, එම ක්‍රමය යටතේ ‘ආර්ථිකයන් අතර මිල මට්ටම්වල වෙනස්කම් ඉවත් කරයි’ සහ එමගින් ජාතික ආර්ථිකයන් සංසන්දනය කරනුයේ එක් එක් ජාතියට
තමන්ගේම මුදලින් කොපමණ ප්‍රමාණයක් එහි විකුණන මිල ගණන් යටතේ මිලදී ගත හැකිද යන්න අනුව ය. ඇමරිකානු මිල ගණන්වලට චීන ජාතිකයකයෙකුට මිලදී ගතහැකි ප්‍රමාණය ‘වෙළඳපල විනිමය අනුපාත’(MER) ක්‍රමයෙන් පෙන්වාදෙන අතර ‘මිලදී ගැනීමේ බල සමානාත්මතා’ (PPP) ක්‍රමයෙන් පෙන්වා දෙන්නේ චීන මිලට චීන ජාතිකයෙකුට කොපමණ ප්‍රමාණයක් ලැබේද යන්නයි.


මේ අනුව, මිලදී ගැනීමේ බල සමානාත්මතා(PPP) මිනුම ‘ආර්ථික ශක්තිය හා ආර්ථිකයන් අතර යහපැවැත්ම සංසන්දනය කිරීම සඳහා ඇති හොඳම ආරම්භක ස්ථානය සපයයි.’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් සඳහන් කරන්නේ, ‘වෙළඳපල අනුපාත වඩාත් අස්ථාවර වන අතර ඒවා භාවිතා කිරීමෙන් එක් එක් රටවල වර්ධන වේගය ස්ථාවර වන විට පවා සමස්ත වර්ධන පියවරයන්හි විශාල වෙනසක් ඇති කළ හැකිය.’ යන්නය.


සමස්තයක් ලෙස ගත් කල, බොහෝ ඇමරිකානුවන් සිතන්නේ චීන ආර්ථිකය එක්සත් ජනපදයට වඩා තුනෙන් එකක් කුඩා ලෙසිනි. එහෙත් ඇමෙරිකානු ඩොලර් 1න් එක්සත් ජනපදයේදීට වඩා චීනයේදී දෙගුණයක් පමණ මිලදී ගන්නා බව යමෙකු හඳුනා ගත් විට, අද චීන ආර්ථිකය එක්සත් ජනපද ආර්ථිකයට වඩා හයෙන් එකක් විශාල බව තෙරුම් ගනු ඇත.


ලෝකයේ ජාතියක දළ දේශීය නිෂ්පාදිතය යනු එහි ගෝලීය බලයේ උප ව්‍යුහයකි. පසුගිය පරම්පරාව පුරා, චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය නිර්මාණය කර ඇති හෙයින්, එය සෑම ප්‍රධාන ජාතියකම පාහේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස එක්සත් ජනපදය විතැන් කර ඇත. කොරෝනා වයිරස අර්බුදයේදී අප දැන් දකින පරිදි මුහුණු ආවරණ සහ වෙනත් ආරක්ෂක උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා එය ලෝකයේ නිෂ්පාදනාගාරය බවට පත්ව ඇත. මේ වසරේදී චීනය පර්යේෂණ හා සංවර්ධන (Research & Development) වියදම්වලදී එක්සත් ජනපදය අභිබවා යමින් සිටී.


චීනය දැනටමත් ලෝකයේ අංක 1 ආර්ථිකය බවට පත්වීමේ තරගයෙන් ඇමරිකා එක්සත් ජනපදය පසු කර ඇත. එපමණක් නොව, 2020 දී ධනාත්මක වර්ධනයක් වාර්තා කරන එකම ප්‍රධාන ආර්ථිකය චීනය වනු ඇත. වර්ෂය ආරම්භ වනවාට වඩා වසර අවසානයේ විශාල වන එකම ආර්ථිකය චීන ආර්ථිකය වන්නේය. ⋆

 

වම් ඉවුරේ වෙබ් නාදය