Wednesday, 25 November 2020

චූලානන්ද සමරනායක #



හොඳ කවි හෝ නරක කවි යනුවෙන් දෙවර්ගයක් ඇතැයි මම නොසිතමි. එහෙත් පාඨකයා හට කියවන විට දැනෙනා කවි සහ ඔහු උදාසීන කර කියවීමෙන් බැහැර කරනා කවි තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවත් ඒ සමගම විශ්වාස කරමි. සෑම කවි පොතකම සියළුම කවි එක මට්ටමින් ඉහළ තත්වයක නොතිබිය හැකි සේම ඇතැම් කාව්‍ය ග්‍රන්ථයක පාඨක සිත පැහැර නොගන්නා කවි අතර ඔහු සසළ කරනා කවියක්ද තිබිය හැකි බවත් එලෙසින්ම පිළිගත යුත්තකි. කවියාගේ අභියෝගය වනුයේ තමන්ගේ ප්‍රකාශණය තමන්ට මෙන්ම පාඨකයාටද කවුළු හරිනා නිර්මාණයක් බවට පත් කරගැනීමය.


ළහිරු කරුණාරත්න කවියා සිය තෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්නේ තමන් තවදුරටත් කවිය සම්බන්ධයෙන් බරපතල මැදිහත්වීමක් කළ හැකි බව සණාථ කරමිනි. ගොළු වෙණ තුරුළු කරගෙන නමින් පාඨකය අත පත්වන ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහය අතට ගත් විට යළි පසෙක තබන්නට සිත් නොදෙන තරමින් පාඨකයා ග්‍රහණයට ගැනීමෙහි සමත් නිර්මාණ සමුච්ඡයකින් සමන්විතය. කාව්‍ය නිර්මාණ හතළිහකින් සැරසෙන ඔහුගේ කාව්‍ය ග්‍රන්ථයෙහි පාඨකයා හට සුලබ නොවනා අත්දැකීම් විශාල සංඛ්‍යාවක් නැත. කාව්‍යයන්ට වස්තු විෂය බවට පත්වන අත්දැකීම් අදවන විට ඉතා පොදු වන තරමටම අප සමාජයක් වශයෙන් පරිහාණිගතව හමාරය. එහෙයින් කවියා හට වර්තමානය බරපතල අභියෝගයක් ඉදිරිපත් කරයි. ඒ සුලභ අත්දැකීමක් නව්‍ය ආකාරයකට ගෙනහැරපෑමෙහි සමත්කම අත්කර ගැනීමය. අද වනවිට කවියෙහි අලංකාරය, දැනෙනසුළු බව ඇත්තේ කවියා පොදු අත්දැකීම ඉදිරිපත්කිරීමට දක්වන සූක්ෂමතාවෙහිමය. ළහිරු අපට සනාථ කරන්නේ එම දක්ෂතාවයි.

ළහිරුගේ කවි අතර විශේෂයෙන් කැපී පෙනෙන එක් නිර්මාණයක් වනුයේ අවසන් දිනය යන කවියයි. මනුෂ්‍ය දිවියෙහි අප සැම අත්දකිනා එක් මංසන්ධියක් වනුයේ කාර්යශීලී දිවියෙන් සමුගන්නා මොහොතය. අප ඊට දී ඇති නාමකරණය විශ්‍රාම ගැනීමයි. එහෙත් මේ විශ්‍රාම ගැනීම තමන් එතෙක් නිරතව සිටි කාර්යයයෙන් සමුගන්නා තැනැත්තාට දනවන හැඟුම් කෙබඳු දැයි බොහෝ විට අප අවධානයට ලක්නොවෙයි. උත්සව පවත්වා විශ්‍රාම යන පිරිස් මෙන්ම කිසිදු අවධානයක් නොලබා තම ජීවිකා වෘත්තියෙන් සමුගන්නා අය බොහෝය. ලංකාවේ නම් විශ්‍රාම යන බොහෝ අයගේ මන්ත‍්‍රය වනුයේ දැන් ඉතිං පන්සල්කට ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්නවා යන්නයි. එහෙත් ළහිරු මේ සියල්ල පසෙක ලා එලෙස තම දෛනික පැවැත්මෙන් සමුගන්නා මිනිසකුගේ සිතුවිළි අප වෙත ගෙන එයි.


ළහිරුගේ කවියෙහි අපට හමුවන තැනැත්තා යනු සමාජයෙහි බොහෝවිට හමුවෙන එසේම කවුරුත් ඇතුළු හදට එබී නොබලන චරිතයකි. ඔහු පාසල් වෑන් රියක හෝ බස්රියක රියදුරෙකි. වෛද්‍ය උපදෙස් ඔහුගේ ගමනට නැවතුම් තිත තබයි. එහෙත් මේ මිනිසා තමන් සම`ග ආ ගිය දරුවන් දකින ආකාරය ළහිරු අපට ඉදිරිපත් කරන්නේ ඉතාම ළගන්නා ආකාරයකිනි.


කිසි දිනක මින් පසුව
පිච්ච මල් සිනා වත
රියසුන්හි නොපිපේවි


තම දිවිය සැමවිටම නැවුම්ව තැබූ ඇසුර මින්පසු අහිමි ඔහුගේ සිතේ සංවේදනාවන් ළහිරු මැනවින් වදන්වලට කැටි කරයි. එහෙත් ඒ අතරම හෙතෙම මේ සියල්ල දෙස සන්සුන්ව බලන්නට තරම් පරිණත මිනිසෙකි. ඔහු තම සේවය ලද දරුවන්ට සමුදෙන්නේ දයාබර වදනිනි.


තව බොහෝ රිය තිබෙයි
පහසුවෙන් නගිත හැකි
දොර හරිමි ඔබ සැමට
ගොඩවෙනුව නව රියට

එද කැකුළු පුත දුවණි
පාර කලබල වැඩියි
සීරුවට බැස යන්න

ආගම උමතුවක් කරගෙන, භක්තිය වියරුවක් කරගෙන පිළිම වන්දනාවෙන් පිළිම ඉදිකිරීමෙන් ගැලවුම ලබාගත හැකියයි අදහන, වියදම් අධිකම පුණ්‍යකර්ම යනු නිර්වාණයට ඇති කෙටිම මග යයි යතිවර වේශයෙන් ඉන්නා වෙළන්දන් අලෙවි ප්‍රවර්ධනය කරනා සමාජයක ළහිරු දුර සිට නමින් රචනා කරනා කවිය හරහා මේ අනෙකා පරයා ආගම අදහන්නට තැත දරන උමතුවට සියුම් විවේචනයක් එල්ල කරන්නේ උපහාසය නොව අවබෝධයට ඇරයුම් කරනා ස්වරයකිනි. ඔහු සිය කවිය අවසන් කරන පද පෙල කවියකු ලෙස ළහිරු ලොව දකින ආකාරය අපට පවසයි.


දැනටමත් දුර
අහස පරයා
උස්වු මිනිසකු
අහස වෙත තව
ළං කරන්නට
වෙහෙස වෙන ඒ
කුරු කුහුඹු කැල
දකිමි දුර සිට


ළහිරු රියන් ගණනින් උස් පිලිම බඳින්නට සටන් වදිනා ලොවක පිලිම අදහන්නන්ගේ බොල්බව සියුම් ලෙස පවසයි.
ළහිරුද අන් කවීන් මෙන්ම ප්‍රේමය සහ විරහව සිය කවියට ගෙනෙයි. එහෙත් ඔහු ඒ ප්‍රේමය ඉදිරිපත් කරනුයේ පාඨකයා හට ඔහුගේ කවිය නව්‍ය අත්දැකීමක් බවට හරවමිනි.ප්‍රේමය සිත යට සඟවාගෙන තමනට අවස්ථාව අහිමිවන තුරුම දෙගිඩියාවෙන් පසුවූ තරුණයකුගේ සිත විවරණය කරනා නුපුබුදු කුසුමක් ළහිරු අතින් රචිත එලෙස දැනෙනා නිර්මාණයක් බව කිව යුතුය. තමන්ගේ ප්‍රමාදය මැද වෙනකෙක් තමන් සිත ගත් යුවතියට ආශක්ත වන ආකාරය ළහිරු කවියට නගන්නේ ඊට මනාව ගැලපෙන ව්‍යංගාර්ථවත් බසකිනි.

කිසිවක්ම මට උදානොවූ උදයක
නන්නාඳුනන්නෙක් එතැන සිටියා වාඩිව
අසුන මත පොහොට්ටුව තිබූ තැන
පිපි මලක් තිබුණි දිලෙමින

පිපිරුම නමින් රචිත කවියද ළහිරුගේ කවියෙහි වර්ධනය මනාව පෙන්වන්නකි. මතුපිටින් කියවන විට එය රතිඥ්ඤා කරලක් දල්වා මිදුලට දැමූ පසුව නොදැල්වී යාම හේතුවෙන් පුතු එය අත තබා සිටිනු දකින පියකුගේ සිතෙහි හටගත් භීතිය විස්තර කරන්නකි. එහෙත් මේ රතිඥ්ඤාව යනු කවිය ගැඹුරින් කියවන විට ඉන් බොහෝ දුර ආලෝකය දල්වන රූපකයක් බව පෙනී යයි. ළහිරුගේ රතිඥ්ඤාව යනු ජීවිතයෙහි සංකීර්ණතාව විදහන අවස්ථාවකි. බිය දැනෙයි මට යනුවෙන් රචිත කවියද ඒ ආකාරයටම ජීවිතය විවරණය කරන්නකි. සෑම දෙයක්ම අවුස්සන බෝතල් පත්තරකාරයා අපට හමුවන කවිය යනු ඔහු ඉක්මවා යන ජීවිතය කියවීමක් බව ඉවසීමෙන් කියවන පාඨකයාට වැටහෙයි.
එකිනෙකා මරාගන්නා ලොවක මූනිස්සම් වෙනුවට හැඟීම් කතා කරනා අප්‍රකට නිමේෂයක් ඉදිරිපත් කරනා පාතාල කතාවක් නම් කවියද ළහිරු පෙනෙන දේ තුළ සැඟව යන අංශූ සොයන්නට දක්වන දක්ෂතාවට සාක්ෂි සපයයි. සුදු සහ කළු යනුවෙන් වර්ග දෙකක් බෙදීමට උත්සුක වන සමාජයක ළහිරුගේ කවිය යෝජනා කරනා වෙනස් අදහස ජනප්‍රිය නොවුනද එය මනුෂ්‍ය ස්වභාවය විමසීමට හොඳ ප්‍රවේශයකි.


ළහිරු කරුණාරත්නගේ නව කාව්‍ය සංග්‍රහය මෑතක නිකතු වූ කෘති අතර ලෙහෙසියෙන් අමතක කළ නොහැකි කෘතියකි. එසේම ළහිරුගේ මේ තෙවන කාව්‍ය කෘතිය ඔහු තම ගමනෙහි තබා ඇත්තේ ඉදිරි පියවරක් බවට සාක්ෂි සපයයි. අභියෝගය ඇත්තේ ළහිරුට තමන් තුළින්මය. ඒ තමන් තැබූ මේ පියවර පසුකර යන මග සොයා ගැනීමය. ⋆

 

 

සඳුන් ප්‍රියංකර විතානගේ


සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරපු ‘සුනාමි‘ සිනමාපටය නැරඹුවා. සාමාන්‍යයෙන් ඔහුගෙ සිනමාව සැදුම් ගන්නා ලක්ෂණ එක්ක සෝමරත්නමය සිනමාව කියලා ඒක හඳුන්වන්න පුළුවන්. සෝමෙ ලොක්කලගෙ ඩබල් ගේම්, අධිකාරිවාදයන්, අනවශ්‍ය අතපෙවීම්, චපලකම් අනන් මනන් සේරම අත්හැරලා සුනාමි විතරක් අරන් බැලුවම සෝමරත්නමය සිනමාපටයක් විදිහට මේක අවුල් එකක් නෙවෙයි. සැලසුම් කළ විදිහට කටයුතු සිද්ද නොවුණ නිසා ද මන්දා ඇඩ්වටයිසින් කොලහලය හරියට ගොඩ දාගන්න බැරි වුණා වුණත් සාමාන්‍යයෙන් සෝමෙ ලොක්කගෙ ෆිල්ම්වලට එන ප්‍රේක්ෂාව මේක අත්හැරල නෑ කියල ඉරිදා 6.30 ෂෝ එකට රිකී එකට ගිය වෙලාවෙ හිටපු පිරිස සහතික කරල දුන්නා.

කතන්දරයක් මුල් කොට ගෙන බහුල වශයෙන් තැනෙන සිනමාපට තියන ලංකාවෙ සිනමාවෙ උඩින්ම අනාගන්න තැන තමයි පිටපත. ටිකක් ප්‍රසිද්ධ වුණ සිදුවීමක් පාදක කරගෙන හරි සැණසිදුවීම් වෙමින් නරඹන්නාව සිනමාපටය අස්සෙ තියාගන්න පිටපත සමත් වෙනවා. ඒක සාපේක්ෂව ලොකු සාර්ථකත්වයක්. උසාවියක ඇහෙන නඩුවක පැමිණිලි සහ විත්ති පාර්ශ්ව දෙන ප්‍රකාශයන් එක්ක පෙර සිදුවීම් සිහි කරන ආකෘතියක තමයි කතාව දුවන්නෙ, ඒක අසමත් වෙලා නෑ. පොදුවෙ සිංහල චිත්‍රපටවල සාමාන්‍යයෙන් උසාවිය පෙන්නන ගොබ්බ තාලෙන් මිදිල තියනවා. සුනාමිය කියන්නෙ වසර 16කට පෙර සිදු වුණා වුණත් තාමත් අපේ මිනිසුන්ගෙ හිතේ රැඳිලා තියන රූප පෙළක්. ලංකාවෙ තත්වයන් යටතෙ ඔවුන් සිනමාපටයෙ නිර්මාණය කරල තියන සුනාමිය ඩේ ආෆ්ටර් ටුමාරෝ සිනමාපටයෙ තරම් නැති වුණාට සෑහෙන තරම් සෑහීමකට පත්වෙන්න පුළුවන් එකක්. සෝමරත්නමය සිනමාව ඉල්ලන තරමට රංගනයන් දෙන්නට ප්‍රධාන නළු-නිළියන් සමත් වෙලා තියනවා. විශේෂයෙන් ම බිමල් සහ දර්ශන් ධර්මරාජ් දෙන්නා ටිකක් හොඳ මට්ටමට තමන්ගෙ කටයුත්ත ඉටු කරල තියනවා. 

භද්‍ර යෞවනයෙක් විදිහට පශ්චාත් සුනාමි සහන කටයුතුවලට ගිය අයෙක් විදිහට මේ ලියුම්කරු ඒ පරිසරය අත්වින්ද නිසා ඒ ගැන අදහසක් තියනවා. එකී පරිසරය,  වර්ණ සහ තත්වයන් හොඳින් ප්‍රතිනිර්මාණය කරන්නත් සෝමරත්න දිසානායක සහ කලා අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියන බව කියන්න ඕන. මේ සිනමාපටවල ප්‍රධාන ලක්ෂණයක් විදිහට අරන් යන ප්‍රේක්ෂාවේ නෙත කඳුළක් නංවන වැඩෙත් මේකෙ හොඳටම කරල තියෙනවා. ඒ අනුව සමකාලීන ශ්‍රී ලංකා සිනමාවෙ තිරගත වෙන චිත්‍රපටි එක්ක ‘සුනාමි‘ කියන්නෙ අසමත් වැඩක් නෙවෙයි. 

සිහි කළ යුතු ම අනෙක් ප්‍රධාන කරුණ විදිහට කියන්න ඕන කරුණක් තමයි අධිපතිවාදී ආගමික අත්තනෝමතයන්ට පහරදීගෙන යන්න අධ්‍යක්ෂවරයා සමත් වෙන එක. මාලක දේවප්‍රියලට ගුවන්විදුලි නාට්‍යයකට නමක් දැම්මත් හිරේ යන්න වෙන සයිස් එකක් පෙනුණට දිලිත් ජයවීරලට සෝමරත්න දිසානායකලට එහෙම අවුලක් නැති රටක්නෙ මේක. කොයි හැටි වෙතත් දෙමළ වචන කතා කරන දැරියක් ගමේ ඉන්න බව හෙළි වුණාම පන්සලේ භික්ෂුව කටයුතු කරන ආකාරය, ජ්‍යෝතිෂකාරයො කටයුතු කරන ආකාරය එහෙම බොහොම විවේචනාත්මක අක්ෂියකින් පෙන්වන්න සිනමාපටය සමත් වෙනවා. විශේෂම අවස්ථාව විදිහ මනෝවෛද්‍යවරයාගෙන් පෙර ආත්මය ගැන උසාවියෙදි ප්‍රශ්න කරන අවස්ථාව දක්වාලන්න පුළුවන්.

සෝමරත්න දිසානායකගෙ පෙර සිනමා මැදිහත්වීම් තරම් රටේ පොදු ප්‍රේක්ෂාව මේක බාරගත්ත බවක් නොපෙනුණත් මේක අසාර්ථක, නොබැලිය යුතු සිනමාපටයක් නෙවෙයි. ජනවාර්ගික ප්‍රශ්නය ගැන වඩා ප්‍රබල මැදිහත්වීමක් කරන්න ඕනෑ තරම් ප්ලොට් එක ඇතුළෙ ඉඩකඩ තිබුණත් සෝමරත්නමය තැනින් ඒක නවතලා දාලා තිබුණා වුණත් මේක අසාර්ථක සිනමා මැදිහත්වීමක් නම් නෙවෙයි.

වම් ඉවුරේ වෙබ් නාදය