Friday, 27 November 2020

‘ද නිව්ස් පේපර්..’ තනිව නටන්නට ගිය නයාගේ කතාව

සිනමාවට නරක දසාව ලබා තිබුයේ කොරෝනා නිසා නොවේ. කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෑම සියලූ ක්ෂේත‍්‍රයක් මෙන්ම සිනමාවද ලෙඩින් වැටී තිබේ. ඊට බලපෑ සහ බලපැවැත්වෙන ආර්ථික සහ සංස්කෘතික කාරණා මූලිකව අනුශාංගික කාරණාද රාශියකි. නැව ගිලූණත් ගැට්ටෙ බජවු කිව්වා සේ සිනමාවට ඇති ලෝලය නිසා එහි එල්ලී සිටින පිරිස නිසා යාන්තමින් හෝ මේ කර්මාන්තය රැකී තිබේ. කොරෝනාවෙන් පසුව සිනමාපට තිරගත කිරීමේ අවදානම ගත්තේ චින්තන ධර්මදාසය. ඒ ඔහුගේ ‘ඇවිළෙන සුළුයි’ සිනමා පටය තිරගත කරමිනි. ඒ වෙනුවෙන් ඔහුට ගෞරවය හිමි විය යුතුය. ඉන්පසු කලා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා දන්නා කියන සහ විවිධ කලා කාර්යයන්හි කාලයක සිට තත්පරවන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ අධ්‍යක්ෂණයක් ලෙස ද ‘නිව්ස් පේපර්’ සිනමාපටය තිරගත වීම ඇරඹිණි.

සමකාලීන මාධ්‍ය හැසිරීම්හි ඇති අතිඅවමානුෂික සහ ආචාරධාර්මික නොවන බව පසුගිය කාලයේ තරම් කතාබහට ලක් වුණු කාලයක් නැති තරම් ය. ජනමාධ්‍ය යන්නට පර්යාය ලෙස ‘ජඩමාධ්‍ය’ යනුවෙන් යොදාගන්නා තරමට එය වර්ධනය විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධිරාජ්‍යයන්හි සැකැස්ම මේ වන විට පෙරට වඩා වෙනස්ව ඇති අතර ඒවා ඍජු දේශපාලන ප්‍රොපගැන්ඩා කෙරෙහි නැමී කටයුතු කරන්නේ කිසිදු විලිලැජ්ජාවකින් තොරවය. මහජන මාධ්‍ය අවකාශයන් කියා දෙයකට ඇත්තේ ලෝක ධනපතීන් හිමිකාරිත්වය දරන සමාජ මාධ්‍යයන්හි පමණි.


‘ද නිව්ස්පේපර්’ සිනමාපටයට පාදක වන්නේ පුවත්පතක (මේ නිලීන වෙමින් යන මාධ්‍ය විශේෂයකි.) පළවූ පුවතක් නිසා විනාශයට ලක් වූ හුදීජන කුටුම්භයක අත්දැකීම් වපසරියයි. මෙය සිනමාපටයක් ගොඩනැගීම විෂයෙහි ඉතා සාරවත් අනුභූතියක් බැව් කිව යුතු ය. එහෙත් අනුභූතිය තිරපිටපතක් කරා වර්ධනය කිරීමේදී එය ඉබාගාතේ යන අයුරු දකින්නට ලැබෙයි. නිර්මාණකරුවාට කීමට ඇති සියල්ලම එකම සිනමා නිර්මාණයකින් කියන්නට යෑම එයට හේතු වන බව පෙනේ. තිරපිටපත කතා වස්තුව වර්ධනය කරමින් යද්දී ඒ හා ඓන්ද්‍රීයව ගලා යන පරිදි සිදුවීම් එක් කිරීමත්, තමාට තව දේවල් කියන්නට ඇති නිසා තැනින් තැනින් දර්ශන එල්ලීමත් යනු දෙකකි. සිනමාපටය නරඹාගෙන යද්දී දැනෙන ඒකාකාරි බවට හේතුව වන්නේ එයයි. මාධ්‍ය, දේශපාලනය, සමාජය, පන්සල, පොලිසිය, හිගන්නන් ආදී සියලූ ම අංශ වෙනුවෙන් දර්ශන එක් කිරීමට සිනමාකරුවා/සිනමාකරුවන් උත්සාහ දරා තිබෙන අයුරක් පෙනේ.
තිරපිටපතේ ඇති බොහෝ අවස්ථා අභව්‍ය සිදුවීම්වලින් ගහණය. කතාව ගලා යන්නේ නූතන සමකාලීන සන්දර්භයක ය. නමුත් ප්‍රධාන චරිත දෙක කොළඹදී හැසිරෙන්නේ සිංහල සිනමාවේ ආරම්භයේ පටන් කරගෙන යන ඕලාරික විහිළු සිහිගන්වන ලෙසය. කොටින් කියන්නේ නම් බණ්ඩලා දෙදෙනෙක් කොළඹ ආ පරිදිය. නිරන්තරයෙන් පොකට් රේඩියෝවකට සවන් දෙන ලයියා වතුර බෝතල් විකුණන්නට තිබෙන බව නොදනී. නූගතුන් යනු මෙවන් කවටයන් ද? මෙවන් මිනිසුන් නූගතුන් වුවත් මෝඩයන් නොවේ. නූගත් වුවත් මානුෂවාදී ලෙස ගොඩනැගිය හැකි චරිතයක් මෝඩයෙක් ලෙස ගොඩනංවා තිබීම ඛේදයකි. ලයියා නිදහස් චතුරස්‍රය අසල පොකුණේ දිය නාන අතර පොලිස් නිලධාරියා පැමිණ ප්‍රශ්න කරන විට ඔහුට ‘වරෙං නාන්න’ කියා අඬගැසීම වැනි දර්ශන පාසල් නාට්‍යවලවත් බලාපොරොත්තු විය හැකි ඒවා නොවේ.

එහෙත් මෙහි ගොඩ නංවා ඇති සියලූ සිදුවීම් එවැනි අභව්‍ය ඒවා නොවේ. පුවත්පතක යමෙක්ව ගර්හා කටයුතු ලෙස දක්වා පුවතක් පළ වූ පසුව ගැමියන් ක්‍රියා ආකාරය, කර්තෘවරයාට පහරදීමෙන් පසු ඇති වන තත්ත්වය විවිධ බලවේග විසින් සිය න්‍යාය පත‍්‍රයන් අනුව යොදාගන්නා අයුරු ගොඩනගා ඇති ආකාරය ආදී දර්ශන අගය කළ හැකි ඒවාය.


‘ද නිව්ස්පේපර්’ කුදු මහත් සෑම සියලූ චරිතයකට පාහේ දක්ෂ ගැලපෙන නළු නිළියන් යොදාගෙන තිබෙන අයුරු දුට හැකිය. ඒ සියලූ දෙනා පාහේ සිය චරිතවලට සාධාරණය ඉෂ්ඨ කරති. සරත් කොතලාවල සිය චරිතයේ සීමාවන් අතික්‍රමණය කරන අතර කුමාරගේ චරිතය පිටපත තුළ කවරෙක්දැයි නිශ්චිත නැති නිසාදෝ ඔහු වරෙක කවටයෙකුටත්, මෝඩයෙකුටත්, ලෙහි පපුකම් දන්නා මිනිසෙකුටත් රගමින් අතරමං වන අයුරක් පෙන්වයි.
සිනමාපටයේ වඩාත් ම සිත්ගන්නාසුළු වන්නේ ආලෝකකරණය බව කිව යුතු ය. එය සිනමාපටයට ම අලෝකයකි. සංස්කරණය අතින් නම් සෑහීමකට පත්වන්නට නොහැකිය. සිනමාපටයේ අවසානය ගැන සලකා බලත්දී මවගේ මරණයෙන් එය අවසන් වෙයි. එය මනා සහ සිනමාපටය ඉල්ලා සිටින කූටප්‍රාප්තියයි. එහෙත් බලෙන් දර්ශන ඇතුළත් කර තවදුරටත් එය ඉදිරියට ඇදගෙන යන්නේ කුමකටදැයි දන්නේ සරත් සහ කුමාර පමණි.
බොහෝ දෙනා සිනමාපටයේ කුදු හෝ දොසක් නොදැක අගය කරමින්ම ලියා තිබුණේ කුමක් නිසා දැ යි අප නොදනිමු. අනෙක් අතට සිනමාපටය නූතන මාධ්‍ය භාවිතය ප්‍රශ්න කරනවා යැයි බොහෝ දෙනා කියා තිබුණද එය සිදු කර ඇත්තේ කෙසේදැයි අපට නම් විමතියකි. අපට අනුව නම් ද නිව්ස්පේපර් සිනමාපටය කරන්නේ ද පුවත්පතක් කරන්නාක් මෙන් ම සිදුවීම දක්වාලීම පමණි. මාධ්‍ය අධිරාජ්‍යයන් විසින් මිනිසුන්ගේ ජීවිත හා කරන සෙල්ලමෙහි අශ්ලීල අර්ධය එනම් බල දේශපාලන සබඳතා, ආර්ථික මූලයන් සහ ප්‍රොපගැන්ඩාහි ස්වභාවය හෙළි කරන්නට එය සමත් වන්නේ නැත. එය සුන්දර ලෙස ඉදිරිපත් කරන ලද හුදු වාර්තාවක් පමණි.
අප මෙහි දකින ප්‍රධානම දුබලතාව නම් මෙහි අධ්‍යක්ෂණයක් නොමැති වීමයි. සිනමාව සහ අධ්‍යක්ෂණය අතර ඇති සම්බන්ධය සිනමාපටයකට කොතරම් වැදගත් ද යන්න ‘ද නිව්ස්පේපර්’ අපට කියා දෙන පාඩමයි. සිනමාපටය සාර්ථක බව කියා සරත් - කුමාර උඩ යවන්නට අපට අවැසි නැත. අහිගුණ්ඨිකයා නැතිව තනිව නටන්නට ගිය නයා සිහිපත් කරමින් මේ සටහන නිමා කරන්නට අප කැමැති වන්නේ ඒ නිසාය.

සඳුන් ප්‍රියංකර විතානගේ

2020.09.13 - ඇත්ත

වම් ඉවුරේ වෙබ් නාදය