Friday, 27 November 2020

බොලීවියාවේ ඉවො මොරාලෙස්ට එරෙහි කුමන්ත්‍රණය

ජගත්චන්ද්‍ර විසිනි


 

2019 ඔක්තෝබර් 20 වන දා පැවැති බොලීවියාවේ ජනාධිපතිවරණයෙන් ඉවො මොරාලිස් සැලකියයුතු ජයක් ලැබුවේ ය. එනම් දෙසැම්බරයේ දෙවන වර ඡන්දයකට මුහුණ නොදී ම ජයග්‍රහණය ලබා ගැනීමට ඔහු සමත් විය. ඉවො මොරාලෙස් ජනාධිපතිවරණයක් දිනූ සතරවන අවස්ථාව එය විය. එහෙත් මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල එරට විපක්ෂය අභියෝගයට ලක් කළේ ය. ඊට ආසන්නතම හේතු වූයේ කඩිනමින් ඡන්ද ගණනය ඇරඹුන ද දෙවන දවසේ පැය විසි හතරකින් ඡන්ද ගණනය අත්හිටුවීම ය. මුලදී ඡන්ද ගණනය කරන අවස්ථාව වන විට එරට නීතිය අනුව දෙවන වරටත් ඡන්දයනට මුහුණ දීම මගහැරීමට අවශ්‍ය වූ සියයට දහයකට වැඩි බහුතරය ඔහු ලබා නොතිබීම ය. ඡන්ද ගණන් කිරීම යළි අරඹා ඡන්දය ප්‍රකාශ කරන විට ඔහු 10%කට වැඩි බහුතරයක් ලබා තිබුණි. ඒ හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේදී යම්කිසි වංචනික ක්‍රියාවක් සිදුව ඇතැයි විපක්ෂය තර්ක කළේ ය. විපක්ෂයේ මෙහයවීමෙන් රට පුරා විරෝධතා පැවැත්විණ.

 ඔක්තෝබර් ඡන්ද විමසීමට පෙරාතුවත් ඉවා මෙරාලෙස් යළි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබ‍ඳව විරෝධතා සංවිධානය වී තිබිණ. ඊට හේතුව වූයේ යළි ඡන්ද විමසීමකට එනම් තුන්වන වරටත් බලය ලබා ගැනීම සඳහා 2016 දී පැවැති ජනමත විචාරණයෙන් ඔහු සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වීම ය.

ජනමත විචාරණයේ තීන්දුව ඔහු එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ව්‍යවස්ථවේ පෙරකී ප්‍රතිපාදනයේ වලංගුභාවය පිළිබඳව අර්ථ දැක්වීමක් ලබා ගන්නට ක්‍රියා කළේ ය.ශ්‍රේෂ්ඨාධිකරණය සිය අර්ථ ගැන්වීම පිළිබඳ තීන්දුව දෙමින් ප්‍රකාශ කළේ එසේ ජනාධිපති අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති ඇති අවස්ථා සීමා කිරීම ඔහුගේ අයිතිය උල්ලංඝනය කිරීමක් හෙයින් ඡන්දයට ඉදිරිපත්වීමේ අවස්ථා සංඛාව සීමා නොකළ යුතු බව ය. මෙය විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින්නේ මොරාලෙස්ගේ ගැත්තන් යැයි ප්‍රචාරය කළේ ය.

ඔක්තෝබර් 20 වැනි දා ජනාධිපතිවරණය පවත්වන ලද්දේ මෙවන් පසුබිමක් තුළ ය. එම මැතිවරණයේ දී ඡන්ද අක්‍රමිකතා සිදුවූ හෙයින් එහි ප්‍රතිඵල අවලංගු කළ යුතු යැයි විපක්ෂය දියත් කළ විරෝධතා මුළු රටම වෙලා ගත්තේ ය. මේ අතර ඇමෙරිකාවට පක්ෂපාතී ඇමෙරිකන් රාජ්‍ය සංවිධානය නම් සංවිධානයක් විසින් කළ මූලික විමර්ෂණයකින් ජනාධිපතිවරණය නියමාකාරයෙන් නොපවත්වන ලදැයි නිගමනයක් ද කෙරිණි.

විපක්ෂයේ විරෝධතාවලට විවිධ ස්ථානවලදී පොලිස් කණ්ඩායම්වල සහයෝලය හිමිවීමෙන් විරෝධතා පිටුපස කුමන්ත්‍රණකාරි හස්තයක් ඇති බව පෙනෙන්නට තිබුණි. මෙම විරෝධතා ආදිය මධ්‍යයෙහි මොරාලෙස් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමා එකග බව ප්‍රකාශ කළේ ය. මුල දී යළි ජනාධිපතිවරණයක් පවත්වන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේ වුවත් මොරාලෙස් ඊට එකග වූ විට විපක්ෂය ඔහු ඉල්ලා අස්විය යුතු යැයිි කියන්ට විය. බොලිවියාවේ හමුදා ප්‍රධානියා ද ඉවො මොරාලෙස් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි බල කළේ මේ අවස්ථාවේ දී ය. ඔහුගේ එම ක්‍රියාව මගින් ඉවො මොරාලෙස් බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය මුළුමනින්ම ක්‍රියාත්මක විය. කුමන්ත්‍රණයට සහාය දැක්වූ පොලීසියේ සහ හමුදාවේ ප්‍රධානීන් කලකට පෙර ඇමෙරිකාවේ බොලීවියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරු ලෙස ක්‍රියාකර තිබීම ද මෙහිදී සැලකිය යුතු කරුණකි.

මේ වන විට ඉවො මොරාලෙස් සහ ඔහු නායකත්වය දුන් සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ සෙසු නායකයන්ට සහ අනුගාමිකයන්ට විපක්ෂයේ පිරිස් විසින් හිංසනීය ක්‍රියා කරන්න්නට විය. මොරාලෙස්ගේ නිවසට ඇතුළු වූ විපක්ෂ කණ්ඩායමක් එය දෙවනත් කළේ ය.

මොරාලෙස් සහ ඔහුගේ ආණ්ඩුවේ නිලධාරීන් ඝාතනය කිරීමේ උත්සාහයක් ද දිස්විය. අවසානයේ ඉවො මොරාලෙස් තමන් ජනාධිපතිවරණයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේ ය. ඔහුගේ උප ජනාධිපති සහ සෙනට් මණ්ඩලය ඇතුළු ව්‍යවස්ථාදායකයේ මොරාලෙස්ට පක්ෂපාතී නිලධාරීන් එහි ක්‍රියාකාරීත්වයෙන් බැහැර වූයේ ය. මෙක්සිකානු ජනාධිපති අන්ද්‍රෝස් මැනුවෙල් ලෝපෙස්, ඉවො මොරාලෙස්ට සිය රට රැකවරණය ලබා දෙන බව ප්‍රකාශ කළේ මේ වර්ධනයන් මධ්‍යයේ ය. මණ්ඩල දෙකකින් සැදි ව්‍යවස්ථාදායකයේ මොරාලෙස්ට පක්ෂපාතී සභාපතිවරු සහ උප සභාපතිවරු ඝාතන බිය නිසා ඉන් බැහැරව සිටියේ ය. මෙම තත්ත්වයෙන් ප්‍රයෝජනගත් විපක්ෂය තමන්ගේ අන්ත දක්ෂිණාංශික නායිකාවක් වූ සෙනට් මණ්ඩලයේ උප සභාපතිනිය වූ ජෙනින් අංඤඤස් මේ වන විට හිස්ව තිබූ ජනාධිපති ධුරයට පත්කර ගැනීමට ක්‍රියා කළේ ය.

ජනාධිපති ධුරයට පත්කර ගැනීමට සුදුසුකම් තිබූ ඇයව, ජ්‍යෙෂ්ඨ මොරාලෙස්ට පක්ෂපාතී නිලධාරීන් සභා ගැබෙහි නොසිටි හෙයින් තමන් එසේ පත්වීම නිත්‍යානුකූල ලෙස ඇය සැලකුවා ය. එම පත්වීම කෙරෙන අවස්ථාවේ පැවති සෙනට් මණ්ඩල රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණය නොතිබුණ දඑය නොසලකා ක්‍රියා කරන ලද්දේ ය. කෙසේ වුව ද බෙලීවියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ පත්වීම නිත්‍යානුකූල යයි ප්‍රකාශ කළේ ය.

පාරදෘශ්‍ය භාවයෙන් යුතු ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමා ක්‍රියාකරන බව පැවසූ ජෙනින් අංඤඤස් ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීමට පැමිණියේ විශාල ප්‍රමාණයේ බයිබලයක් ද අතැතිව ය.

මොරාලෙස්ගේ පාලනය යටතේ දෙවන ජාතික කොඩිය ලෙස පිළිගන්නා ලද ආදිවාසීන්ගේ කොඩිය වූ විනෙලා, රාජ්‍ය ගොඩනැගිලිවලින් ඉවත් කරන ලදි. ආදිවාසීහු නගරයට නොපැමිණිය යුතු යයි ද ඔවුන් සිටිය යුත්තේ කඳුකරයේ යයි ද විපක්ෂයේ නායකයෝ කීහ. ඉවො මොරාලෙස් යටතේ ආදීවාසී ජනතාව දිනාගත් අයිතිවාසිකම් අහිමි කරන තත්ත්වයක් අද වන විට උදා වී ඇත.

මොරාලෙස් තමන්ට රැකවරණය දුන් මෙක්සිකෝවේ සිට තමන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය ඇමෙරිකානු රාජ්‍ය සංවිධානට විසින් ක්‍රියාත්මත්ක කළ බව සහ එය වර්ගවාදීන් විසින් මෙහෙය වූවක් ලෙස හැඳින්වූයේ ය.

රටවල් ගණනාවක නායකයෝ බොලීවියාවේ කුමන්ත්‍රණය හෙළා දුටහ. මෙක්සිකෝව, කියුබාව, නිකරගුවාව, වෙනිසියුලාව යන රටවල් ඒ අතර විය. රුසියාව සහ ස්පාඤඤය ද සිය අප්‍රසාදය පළ කළේ ය. මෙම කුමන්ත්‍රණය හෙළා දැක්කවුන් අතර බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් සහ ඇමෙරිකාවේ සමාජවාදී නායන බර්නි සැන්ඩර්ස් ද වෙයි.

දැන් ප්‍රශ්නය වන්නේ බෙලීවියාවේ අනාගතය කෙබඳු වේ ද යන්නයි. කුමන්ත්‍රණයෙන් පසු මොරාලෙස්ගේ සමාජවාදය සඳහා ව්‍යාපාරයේ ක්‍රියාකාරීහු රට පුර විරෝධතා ඇරඹූහ. අගනුවර වූ ලාපාස් හි පිහිටි ව්‍යවස්ථාදායකය ඉදිරිපිට විරෝධතා දැක්වූ මොරාලෙස්ගේ පාත්ෂිකයක් දහස් ගණනත් පොලීසිය විසින් පන්නා දමනු ලැබිණි.

ඉවො මොරාලිස්ගේ සමාජවාදී ව්‍යාපෘතිය විසින් නව ලිබරල් ප්‍රතිපත්තිය මගිනි කිසි ලෙසකින්වත් කළ නොහැකි ජාතික ධනය ජනතාව අතර නැවත බෙදා හැරීම සිදුකරන ලදී. රටේ දිළිඳුකම විශේෂයෙන්ම ආදිවාසීන් අන්ත දිළිඳුභාවයෙන් මුදා ගන්නා ලදී.

සමාජ සංවර්ධනය සඳහා වැය කළ ප්‍රතිපාදන තුළින් අන්ත දුගී භාවය භාගයකින් පමණ අඩු කරනු ලැබිණ. ආදිවාසී ජනයාගේ බහුතරය ඉතිහාසයේ පළමුවරට දිළිඳු තීරයෙන් ඉවත් විය. විශාලතම කර්මාන්ත සමාගම් ජනසතු කෙරිණි. ආදිවාසීන්ගේ භාෂා සිපා භාෂාවට අතිරේකව රාජ්‍ය භාෂා වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.

මොරාලෙස් බලයෙන් පහ කිරීම තුළින් ආදිවාසී ජනතාවට ඔහු බලයට පත්වීමෙන් පසු අත්කර දුන් ජයග්‍රහණ අනතුරට පත්ව තිබේ. අන්ත දක්ෂිණාංශික සහ වර්ගවාදී කොටස් බලයට පැමිණ තිබේ. මෙකී තත්ත්වයන් යටතේ බොලීවියාවේ බහුතරය වන ආදිවාසී ජනතාව සිය අයිතිවාසිකම් සහ ජයග්‍රහණයක් රැක ගැනීමට සටන් කරන තත්ත්වයක් උද්ගත වෙමින් ඇත.

ඇමෙරිකාවේ නිව් මැක්සිකෝවේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නික් එස්ටර් පවසන අන්දමට බොලීවියාවේ අනාගතය එරට වීථිවලදී එනම් සටන්වලදී විසඳෙනු ඇත.

වම් ඉවුරේ වෙබ් නාදය