Friday, 27 November 2020

එක්සත් ජනපද - තලේබාන් කතාබහ

ජගත්චන්ද්‍ර විසිනි


ඉකුත් බ්‍රහස්පතින්දා අපරභාගයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොර රහසේ ම ඇෆ්ගනිස්ථානයට ගියේ ය. ඔහුගේ ආරක්ෂාව සඳහා එවැනි ගමනක් යන බව ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරය ආසන්නයේ පිහිටි බග්රන් නමැති ගුවන් කඳවුරට ගුවන් යානය පහත් කිරීමට සුළු වේලාවක් වන තෙක් එම ගුවන් යානයේ ගමන් කළ මාධ්‍යවේදීන් පවා දැන නොසිටියේ ය. එම ගමනට නිල වශයෙන් සහභාගි වූයේ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මික් මල්වානි, ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක රොබට් ඕබ්‍රයන්, ජනාධිපතිගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ජුඩ් ඩීරේ, ධවල මන්දිරයේ මාධ්‍යවේදීනි ස්ටේ‍ෆානි ග්‍රිස්හෑම් සහ වයෝමින් ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනට් මන්ත්‍රී ජෝන් බර්රස්සෝ පමණි.

එක්සත් ජනපදයේ ප්‍රධාන නිවාඩු දිනයක් සහ වැදගත් උත්සවයක් වන ස්තුති කිරීමේ දිනය වැටි තිබුණේ එදිනට ය. ට්‍රම්ප් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ විශාල වත්තේ වූ නිවහනේ ස්තුති කිරීමේ දිනය සමරතැයි බොහෝ දෙනා සිතූහ. නමුත් එදින අපරභාගයේ ඔහු ඇෆ්ගනිස්ථානය වෙත ගුවනින් ගමන් කළේ අනපේක්ෂිත ලෙස ය. බග්රන් ගුවන් කඳවුරේ දී ඔහු ඇමරිකන් යුද භටයන් සමූහයක් මුණ ගැසුණේ ය. ඔවුන් අතරින් තෝරාගත් පිරිසක් සමඟ හේ ස්තුති කිරීමේ දිනය සැමරුවේ ඒ දිනයේ දී සාමාන්‍යයෙන් අනුභව කරනු ලබන කළුකුන් මස් සමඟ රාත්‍රී භෝජනය ගැනීමෙනි. හමුදා සෙබළුන්ට ස්තුති  කිරීමේ දිනය සිය නිවෙස්වලින් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ඇෆ්ගනිස්ථානයේ ගත කිරීමට සිදුවීම ගැන හෙතෙම අනුකම්පාවෙන් කතා කළේ ය.

ප්‍රශ්නය වූයේ ට්‍රම්ප් මෙතරම් හදිස්සියේ ඇෆ්ගනිස්ථානයට ගියේ ඇයි ද යන්නයි. ඉකුත් නත්තල් දින ඔහු සිරියාවට ගොස් එහි සිටි ඇමරිකන් සොල්දාදුවන් ද මාධ්‍යවේදීන්ගේ සිහියට නැගේ. එහෙත් ඇෆ්ගනිස්ථානයට ට්‍රම්ප් ගියේ හුදෙක් ඇමරිකානු සොල්දාදුවන් දිරිමත් කිරීමටදැයි ප්‍රශ්නයකි. ට්‍රම්ප් මෙම රහස් ගමනේ දී ඔහු කළ ප්‍රකාශයතින් මෙම ගමනේ අරමුණ යම්තාක් දුරට පැහැදිලි වේ.

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ 2001 ඔක්තෝබර් මාසයේ දී ය. ඒ, ඒ වසරේ සැප්තැම්බර් 11 වන දින අල්ඛයිඩා සංවිධානය විසින් නිව්යෝක් නුවර වෙළඳ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් යොදවා ගත් ගුවන් යානයක් මගින් පහර දී විනාශ කිරීමෙන් පසුව ය. එම පහර දීම අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන ලද්දේ තලෙයිබාන්වරුන්ගේ අනුදැනුම මත යැයි එක්සත් ජනපදයේ බලධාරීන්ගේ විශ්වාසය වූයේ ය. නිව්යෝර්ක් වෙළඳ මධ්‍යස්ථානයට පහරදීමේ සිද්ධියෙන් 2977 දෙනෙක් මරණයට පත්වූහ. ගුවන් හමුදා කඳවුරේ දී හෙතෙම ඇෆ්ගන් ජනාධිපති අෂ්රොෆ් ගානි මුණ ගැසුණු අවස්ථාවේ ඔහු වැදගත් ප්‍රකාශයක් කළේ ය. එනම් එක්සත් ජනපදය තලේබාන් සටන්කාමීන් සමඟ නොනිල සාකච්ඡා ඇරඹීමට අදහස් කරන බව ය. කලක් තලේබාන් සංවිධානය සමඟ එක්සත් ජනපදය නොනිල සාකච්ඡා පවත්වා තිබුණි. එහෙත් සැප්තැම්බර් මස තලේබාන්වරුන් විසින් එක්සත් ජනපදයේ සොල්දාදුවෙකු යම් ගැටුමක දී මරා දැමීම හේතු කොට ගෙන ආරම්භ කොට තිබුණු සාකච්ඡා ට්‍රම්ප් විසින් හදිසියේ ම නවතා දැමීමට ක්‍රියා කළේ ය. ඒ වන විට තලේබාන්වරු සමඟ සාකච්ඡාවක් ධවල මන්දිරයේ දී ද පැවැත්වීමට තීරණය කර තිබිණි.

ඉක්බිතිව එවක තලේබාන්වරු පාලනය කළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඇරඹුණු යුද්ධයට මේ වන විට වසර 18ක් ගෙවී තිබේ. මුල දී ඇමරිකාවට සහ නේටෝ හමුදාවලට අයත් ලක්ෂයකට වැඩි පිරිසක් එම යුද්ධයට සම්බන්ධ විය. එමගින් තලෙයිබාන්වරු බලයෙන් පහ කරන්නට හැකි වුව ද ඔවුන් සම්පූර්ණයෙන් දේශපාලන වශයෙන් පරාජය කිරීමට හෝ ඔවුන්ගේ සටන්කාමී ක්‍රියාවන් නවතාලීමට හෝ නොහැකි විය.

එක්සත් ජනපදය යථා කාලයේ දී 'මැතිවරණ' ප්‍රෝඩාවක් කර තමන්ට ගැති ආණ්ඩුවක් ඇෆ්ගනිස්ථානයේ ස්ථාපනය කළේ ය. එම ආණ්ඩුව පිහිටුවීමට ඩොලර් මිලියන ගණනක් වැය කොට එය යටතේ හමුදාවක් ද පුහුණු කළේ ය. එලෙසම නව පොලීසියක් ද ඇති කරන ලදි. අපේක්ෂාව වූයේ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව මෙසේ ගොඩ නැගූ හමුදාවට සහ පොලීසියට භාර කොට එම කාර්යන්ගෙන් ඇමරිකාව ඉවත් වීම වුවත් අපේක්ෂිත ලෙස එය සිදු වූයේ නැත. බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයට සිය පාලනය ගෙන යා හැකිව ඇත්තේ ඇමරිකන් ගුවන් හමුදාව ලබාදෙන ආවරණය සහ ආරක්ෂාව හේතුවෙනි.

නිතිපතා තලේබාන් සංවිධානය ඇෆ්ගන් ආණ්ඩුවේ තෝරාගත් ඉලක්කවලට පහර දෙයි. ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන තලේබාන් සංවිධානය සමඟ වූ ගැටුම් හේතුවෙන් ඇෆ්ගන් හමුදා භටයන් ඇතුළු 111,000 පමණ ඇෆ්ගන්වරු මේ දක්වා මරුමුවට පත්ව ඇත. මරණයට පත් වූ ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව 2213 කි. මීට අමතරව බ්‍රිතානයයන් 456ක්, කැනේඩියානුවන් 157ක් සහ ප්‍රංශ ජාතිකයන් 90ක් මරණයට පත් නේටෝ භටයන් අතර වෙති.

වසර 18ක් පැවැති ඇමරිකාව සම්බන්ධ වූ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමේ වුවමනාවක් එක්සත් ජනපදයට තිබෙන්නට පුළුවන. එමෙන්ම තලේබාන්වරු ද මේ යුද්ධයෙන් වෙහෙසට පත්ව සිටින බව ද වාර්තා වේ. නමුත් යුද්ධය නවාලන්නේ කෙසේ ද?

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකන් හමුදා පිරිසක් අමතා කීවේ යුද්ධය මගින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවය. ඊට ඇත්තේ දේශපාලන විසඳුමක් යයි හේ අවධාරණය කළේ ය.

කටාර් දේශයේ ඩෝහා අගනුවර තලේබාන්වරු ලෝකය සමඟ සබඳතා පවත්වන ස්ථානයයි. එක්සත් ජනපදය සමඟ නොනිල සාකච්ඡා මෙතෙක් පවත්වා ඇත්තේ එහි ය. එක්සත් ජනපදය තලේබාන්වරු සමඟ යළි සාකච්ඡා ඇරඹීමට අදහස් කරන බව ප්‍රකාශ වීමෙන් පසු මාධ්‍යවේදීහු තලේබාන්වරුන්ගෙන් ඒ ලගැන විමසුවේ ය. ඔවුන් කීවේ ඊට පිළිතුරක් කඩිනමින් දිය නොහැකි බවය. කෙසේ වුව ද තලේබාන්වරු එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව නම් පැහැදිලි ය.

මීළඟට මතුවන ප්‍රශ්නය නම් මේ සාකච්ඡා පිළිබඳව ඇෆ්ගන් ආණ්ඩුව දරණ මතය කුමක් ද යන්නය. ඇෆ්ගන් ආණ්ඩුව එක්සත් ජනපදය තලේබාන්වරු සමඟ සාකච්ඡා පැවැත්වීමට මෙතෙක් විරෝධයක් දක්වා නැත. එම සාකච්ඡාවලට ඇතුළත් වීමට ඇෆ්ගන් ආණ්ඩුවේ ද උනන්දුවක් ඇත. ඊට ප්‍රධාන බාධාව වන්නේ තලේබාන්වරු දක්වන විරෝධයයි. ඔවුන් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව හඳුන්වන්නේ රූකඩ ආණ්ඩුවක් ලෙසිනි.

එක්සත් ජනපද - තලේබාන් සාකච්ඡාවල පරිමාව මෙතෙක් පැහැදිලි නැත. පැහැදිලි එකම කරුණ වන්නේ සටන් විරාමයක් ඇති කර ගැනීම පොදු වුවමනාව බවයි. සටන් විරාමයක් ඇති කරගැනීමේ ප්‍රථම පියවර වියයුත්තේ තලේබාන්වරුන්ගේ ප්‍රහාර ආරම්භයක් වශයෙන් නැවැත්වීම යයි එක්සත් ජනපදය කියයි. තලේබාන්වරු මෙතෙක් ඊට පිළිතුරු දී නැත.

සටන් විරාමයක දී ඊට සම්බන්ධ පාර්ශ්වයන්, එක් පැත්තකින් එක්සත් ජනපදය සහ ඇෆ්ගන් ආණ්ඩුවත් අනෙක් පැත්තෙන් තලේබාන්වරුන් පාලනය කරන ප්‍රදේශ ඇතැම් විට නිශ්චය කර ගැනීමට අවශ්‍ය වේ. මෙය සංකීරණ ප්‍රශ්නයකි.

එක්සත් ජනපදය 14,000ක හමුදාවතක් දැනට ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත කොට තිබේ. ඉන් පන්දහසක් පමණ ඉවත් කරගැනීමට එක්සත් ජනපදය සූදානමින් සිටී. ඇමරිකාව කියන්නේ එරට හමුදා යම් ගිවිසුමකට එළඹෙන තෙක් හෝ පූර්ණ ජයග්‍රහණයක් ලැබෙන තෙක් ඇෆ්ගනිස්ථානයේ රැදෙන බවය.

ඇෆ්ගනිස්ථානයට සාමය උදාකිරීම කල්ගතවන ක්‍රියාදාමයකි. සටන් විරාමයක් ඇති කිරීම ඒ දෙසෙට වූ ප්‍රථම පියවර වේ. එය සාක්ෂාත් කරගැනීම ද ව්‍යාකූල කරුණකි.

වම් ඉවුරේ වෙබ් නාදය