ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී (2020) පැවැත්වෙනු ඇත. මේ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ඉදිරිපත්ව ඇත. සැප්තැම්බර් 30දා මෙම අපේක්ෂකයින් දෙදෙනා අතර පළමු රූපවාහිනි විවාදය පැවැත්වුණි. තවත් එවැනි විවාද දෙකක් පැවැත්වෙනු ඇත. මෙම විවාදයෙන් පසුව සී.එන්.එන්. ආයතනයේ ජේක් ටැපර් නැමැති විචාරකයා පැවසුවේ ”ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර විවාදයේදී අප විමසා බලන්නේ කවුරු ජයග්‍රහණය කළේද, කවුරුන් පරාජය වූයේද යන්නයි. එහෙත් අද දින පැහැදිලි වු කාරණය වන්නේ ඇමරිකානු ජනතාව පරාජය වූ බවයි.” යනුවෙනි.
ඇමරිකාව සිය ඉතිහාසයේ මෙතෙක් නොදුටු-විරූ ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුධයකට ගොදුරු වී ඇත. එහි කෙළවරක් නොපෙනේ. හිලරි ක්ලින්ටන් මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ජෝ බයිඩන් කිසිසේත් පරාජය බාර නොගත යුතු බවයි. මීට පිළිතුරු වශයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ තමන් සාමකාමීව බලය අත්හැරීමට සූදානම් නැති බවයි. මේ අතර ”කළු ජීවිතවලටද වටිනාකමක් ඇත.” යන ව්‍යවහාරය නොනවත්වා ගෙන යන උද්ඝෝෂණ වැඩපිළිවෙල තුළ තව තවත් පුද්ගල ඝාතන සිදුවෙමින් අවසානයක් නැති කැරළිකාරි තත්ත්වයක් මතුවෙමින් තිබේ. මෙම පසුබිම තුළ ජනාධිපතිවරණයෙන් පසු ඇමෙරිකාව තුළ ප්රචණ්ඩ සිවිල් ගැටුමක් නිර්මාණය වීමේ ඉඩක් පවතින බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙති.
මෙවැනි ගැටුම්කාරි තත්වයකට හේතුවන කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
1. කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමට ඩොනල්ඞ් ට්‍රම්ප් ජනධිපතිවරයා අසමත් වීම.
2. 18 වන ශතවර්ෂයේ සිට ඇමෙරිකානු දේශපාලනය තුළ ඇති වර්ගභේදවාදය මෑත කාලය තුළ උත්සන්න වීම.
3. ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයක් සමඟ උත්සන්න වු ”කළු ජීවිතවලටද වටිනාකමක් ඇත.” ව්‍යවහරය සමඟ මතුවු කැරළිකාරී තත්ත්වය හා සමාජීය බිඳ වැටීම.
4. 1960 ගණන්වල සිට ඇමෙරිකාව තුළ පවතින විවිධ සංස්කෘතික ගැටුම් මෑතදී උත්සන්න වීම.
5. ඩිමොක්රටික් පක්ෂය තුළින් මතුවී ඇති ”කැරළිකාරි වම” ව්‍යාපාරය ශක්තිමත් වෙමින් පැවතීම.
6. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් පත් කිරීමේදී දේශපාලන පක්ෂපාතීත්වය යොදාගත් ප්‍රමාණය හා ”ගබ්සා” පිළිබඳ පිළිවෙත දේශපාලනීකරණයට ලක් කිරීම.
මෙම පසුබිම තුළ ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන් ජයග්‍රහණය කළ හොත් කුමක් සිදුවිය හැකිද? රිපබ්ලිකන් පක්ෂය තුළ උග්‍ර ගැටුම් ඇතිවිය හැකි අතර, උග්‍ර ට්‍රම්ප්වාදීන් පහසුවෙන් ඔවුන්ගේ පරාජය බාර නොගනු ඇත. ඩිමොක්රටික් පක්ෂය තුළ සිටින ”කැරළිකාරි වම” ශක්තිමත් වී මෙම කණ්ඩායම් දෙක අතර වීථි සටන් ඇවිළී යාමේ සැබෑ ඉඩක් පවතින බව ඇමෙරිකානු විචාරකයෝ පෙන්වා දෙති.
ට්‍රම්ප් ජයග්‍රහණය කළොත් විය හැක්කේ කුමක්ද? ප්රජාතන්ත්රවාදී පක්ෂය කැබලිවලට කැඩි යා හැකි අතර ඇමෙරිකානු සමාජ අස්ථාවරත්වය උග්‍ර වනු ඇත. ඩිමොක්රටික් පක්ෂයේ ”කැරළිකාරි වම” සිය අරගලය උත්සන්න කරනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය ගැනීම හරහා ට්‍රම්ප්ට අවශ්‍ය පරිදි ගබ්සා නීති විරෝධි කිරීමේ තීරණයක් එම අධිකරණයෙන් ලබා දුන හොත් පවතින ගැටුම් තවත් උග්‍ර වනු ඇත. ඒ අතර ආසන්න ප්‍රතිඵලයක් හරහා සිදුවන ට්‍රම්ප් පරාජයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වී එහි ප්‍රතිඵල ලැබෙනතුරු ට්‍රම්ප් සිය ධූරයේ රැඳී සිටීමට උත්සහ ගැනීමේ අවධානමක්ද ඇත.
අතිශයින්ම විෂ වී ඇති ඇමරිකානු දේශපාලන සංස්කෘතිය තුළ ට්‍රම්ප්ට හෝ බයිඩන්ට මතුවෙමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදය විසඳාගැනීමට නොහැකිවනු ඇති බවට බොහෝ විචාරකයෝ මත පළ කරති.