Friday, 22 September 2023

චීනයෙන් රටවල් 80කට නොමිලේ එන්නත්

 
චීනය රටවල් 80කට සහ ජාත්‍යන්තර සංවිධාන තුනකට එන්නත් නොමිලේ ලබාදෙන අතර, රටවල් 40කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින්, එන්නත් පර්යේෂණ, සංවර්ධනය හා නිෂ්පාදනය සඳහා රටවල් 10කට වැඩි සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ධනවත් හා දුප්පත් රටවල් අතර පුළුල් වන කොරෝනා වෛරස් එන්නත් ලබාදීමේ පරතරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ‍්‍රයිසස් සඳුදා අනතුරු ඇගවීමෙන් අනතුරුව මාධ්‍ය ප්‍රකාශක හුවා මේ බව ප්‍රකාශ කළේය.
 
සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක ජනගහනයෙන් සියයට 16ක් වන ධනවත් රටවලට දැන් ලෝකයේ දැනට නිෂ්පාදිත එන්නත්වලින් සියයට 60ක් හිමි කරගෙන සිටියි. ධනවත් සංවර්ධිත රටවල් කිහිපයක්ම තමන්ගේ ජනගහනය මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයකින් එන්නත් ඇණවුම් කර ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට දැන් බටහිර එන්නත් ලබා ගැනීමට හෝ ඒවාට ප්‍රවේශයක් නොමැති බව හුවා සඳහන් කළේය.
 
එන්නත, වෛරස්වලට එරෙහි ප්‍රබල ආයුධයක් බවත්, ජීවිත බේරා ගැනීමේ බලාපොරොත්තුවක් බවත් පවසන හුවා, එය මුළු ලෝකයටම සේවය කළ යුතු අතර සියලූ මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත් විය යුතු බවද පෙන්වා දුන්නේය. ගෝලීය පොදු යහපතක් ලෙස එන්නත් ලබා දීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීමට චීනය පෙරමුණ ගත්තේය.
 
චීනය COVAX සමඟ සම්බන්ධ වී සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දීමට පැහැදිලි කැපවීමක් කර ඇති බව ප්‍රරකාශකයා පැවසීය.
 
ලොව පුරා සිටින සාම සාධක භටයින්ට එන්නත් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට ද චීනය ප්‍රතිචාර දක්වා ඇති බව හුවා පැවසීය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත් ලබා දීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි කැමැත්තෙමු. ‘එන්නත ජාතිකවාදයේ’ දුරාචාර හා වගකීම් විරහිත හැසිරීමට සහ ‘ප්‍රතිශක්තීකරණ පරතරයට’ චීනය විරුද්ධ වන්නේය. අවශ්‍යතාවයෙන් පෙළෙන රටවලට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කරන ලෙස ඒ සඳහා හැකියාවක් ඇති සෑම රටකින්ම අපි ඉල්ලා සිටිමු.
 
 

වම් ඉවුරේ වෙබ් නාදය