Wednesday, 29 June 2022

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය 17 වනදා ඇමරිකානු ABC රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා පිළිබඳ විවාදාත්මක අදහසක් පළ කළේය. ඒ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කළේ යැයි කියනු ලබන මැදිහත්වීම් සම්බන්ධව අදහස් දක්වමිනි.

එහිදී බයිඩන් ප්‍රකාශ කළේ මෙසේය.

“මම ඔහු සමඟ දිගු සාකච්ඡාවක යෙදුණෙමි. සාපේක්ෂ වශයෙන් මම ඔහු හොඳින් දනිමි. සාකච්ඡාව ආරම්භයේදීම මම මෙසේ පැවසුවෙමි. මා ඔබ දන්නවා, ඔබ මා දන්නවා. මේ ඇඟිලි ගැසීම් සිදුවූ බව තහවුරු වුවොත්, සූදානමින් සිටින්න”

මෙහිදී සාකච්ඡාව මෙහෙය වූ පුද්ගලයා වැඩි දුරටත් විමසා සිටියේ ඔබ ඔහු හොඳින් දන්නවා නම්, ඔහු ඝාතකයෙක්ද යන්නයි. බයිඩන් පිළිතුරු දෙමින් පවසා සිටියේ, පුටින් ඝාතකයෙකු බවය.

පසුගිය සතියේ ලෝක දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන සිදුවීම් දෙකෙන් එකක් මෙයය.

ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලොව බලවත්ම රටක රාජ්‍ය නායකයා ඝාතකයෙක් බවය. මෙම ප්‍රකාශය ඉතා බරපතල පසුවිපාක ඇතිකළ හැකි බවට අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍යය.

රුසියානු ප්‍රතිචාරය

මෙම ප්‍රකාශය සිදුකළ දිනට පසුදින රුසියාව විසින් ඇමරිකාවේ සිටි සිය තානාපතිවරයා ආපසු රුසියාවට කැඳවනු ලැබුවේය. රුසියාව විසින් මේ ගැන විවිධ ප්‍රකාශ සිදු කරනු ලැබූ අතර ජනාධිපති ව්ලැදිමිර් පුටින් මෙසේ ප්‍රතිචාර දැක්වූයේය.

“ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ඇත්තෙන්ම අපි පෞද්ගලිකව එකිනෙකා දන්නවා. මා ඔහුට කුමක් කියන්නද? මා ඔහුට යහපත් සෞඛ්‍යයක් ප්‍රර්ථනා කරනවා.

“අපි අනෙක් පුද්ගලයන්, අනෙක් රටවල් තක්සේරු කිරීමේදී ඔවුනුත් අප වැනියි කියා සිතෙන වෙලාවල් තියෙනවා. හරියට තමන්වම කන්ණාඩියකින් දකිනවා වගේ. කුඩා කාලයේදී අපි මෙහෙම කියනවා, ‘අනෙකා පිළිබඳ ඔබ කියන්නේ අනෙකාද තමන් වැනි යැයි සිතායි’. මෙය ගැඹුරු මනෝ විද්‍යාත්මක කාරණයක්. අපේ ලක්ෂණ අප අනෙකා තුළින් දැකීම.

“ඇමරිකානු ජනතාව සාමකාමී, අවංක පිරිසක්. නමුත් ඔවුන්ගේ පාලක පන්තිය එහෙම නැහැ. ඔවුන්ගේ ගැඹුරු විඥානය සකස් වී ඇත්තේ යුරෝපීයයන් විසින් ස්වදේශීය ඉන්දියානුවන් සමූල ඝාතනය කොට තැනූ පාලන ක්‍රමයක උරුමකරුවන් ලෙසයි. ඉන්පසු යුගය දුෂ්කර කාල පරිච්ඡේදයක්. වර්තමානයේ ‘කළු ජීවතද වටින්නේය’  යන නමින් ව්‍යාපාර පවා බිහිවී ඇත්තේ  තවමත් කළු ඇමරිකානුවන් තුරන් කිරීමේ වැඩසටනක් එහි පවතින නිසයි.

“ඇමරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයේ න්‍යෂ්ඨික බෝම්බ පාවිච්චි කළ එකම රට. ඒ න්‍යෂ්ඨික ශක්තියක් නොතිබුණු රටක් වුණු ජපානයට. ඒ පහරදීමට කිසිම යුද අවශ්‍යතාවයත් තිබුණේ නැහැ. එහෙනං ඇයි ඔවුන් එහෙම බෝම්බ දැම්මේ. ප්‍රතිඵලය සිවිල් ජනතාව සමූල ඝාතනය වීම පමණයි.

“අපිත් ඔවුන් හා සමාන යැයි ඔවුන් සිතුවත්, අපි වෙනස්. අපේ ඉදිරි ගමන වළක්වාලන්න කොතරම් උත්සාහ දැරුවත් අපේ ගමන නවත්වන්න ඔවුන්ට බැහැ. ඉදිරියේදීත් අප සමඟ ගනුදෙනු කිරීමට ඔවුන්ට සිදුවනවා ඇත.”

 

 

කුප්‍රකට රුසියානු විපක්ෂ නායක නවාල්නි පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම නිසා විරෝධතා රට පුරා විවිධ නගරවල සිදුවිය. මෙම විරෝධතාවල සහභාගීත්වය අඩුවුවද ප්‍රචණ්ඩත්වය ඇවිලවීමේ උත්සාහයන් තිබුණේය. විරෝධතා වහාම වොෂිංටනය විසින් අනුමත කරන ලදී. මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විරෝධතා රැලි පැවැත්වූ වේලාවන් සහ ස්ථාන සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කරන ලදී. සමහර බටහිර නායකයින් ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා සෘජු ඉල්ලීම් කර තිබේ.

ඇලෙක්සි නවාල්නි, ඔහුගේ අනුග්‍රාහකයින්, කණ්ඩායමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් ජර්මනියේ සිට රුසියාවට ආපසු යන විට ඔහු අත්අඩංගුවට ගන්නා බව හොඳින් දැන සිටි බව පැහැදිලිය. ඔහු මඳක් කලින් ආපසු පැමිණියේ නම් මෙය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි. එසේ වූයේ නම් ඔහු සම්බන්ධයෙන් ඒ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබූ අත්හිටවූ සිර දඬුවමේ කොන්දේසීන්වලට අනුකූල වන්නේය. එවිට විරෝධතා දැක්වීමට හේතුවක් මතු නොවන බැවින් ඔවුන් හිතාමතාම මෙලෙස ක්‍රියාකළ බව පැහැදිලිය.

රුසියාවේ නව ලිබරල් න්‍යාය පත‍්‍රයේ කේන්ද්‍රස්ථාන වන මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් හි ප්‍රධාන විරෝධතා පැවැත්විණි. වෙනත් ප්‍රදේශවල විරෝධතා ඊට වඩා කුඩා විය. කෙසේ වෙතත්, අධික ශීතල මධ්‍යයේ විරෝධතා දැක්වූ අය පවා සිටි අතර, එයින් පෙන්නුම් කළේ සමහර පිරිස් අතර පවතින දැඩි හා මුල්බැසගත් විරෝධයයි. කෙසේ වෙතත්, නගරවල සමස්ත ජනගහනයට සාපේක්ෂව විරෝධතාවල සහභාගීත්වය අවම බව පෙන්නුම් කරයි. සැලකිය යුතු විරෝධතා දැක්වූ අනෙකුත් නගර අතර යෙකටරින්බර්ග්, නොවොසිබිර්ස්ක්, ව්ලැඩිවොස්ටොක් සහ නිශ්නි නොව්ගොරොද් ඇතුළත් වේ.

විරෝධතාකරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ගෙවීම් ලැබූ පිරිස් විය හැකිය. ඔවුහු රැකියා විරහිත පිරිස්, තරුණ නාගරිකයින්, ලිබරල්වාදීන් සහ විවිධ සුළුතරයන්ගෙන් සමන්විත විය. මහා පරිමාණ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක බලපෑමට හසුවූ යෞවනයන් හා බාල වයස්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ද දක්නට ලැබුණි. පොලිස් ප්‍රචණ්ඩත්වය යැයි කියමින් බොහෝ වීඩියෝ නිකුත් කරන ලදී. සෑම වීඩියෝවකම පෙන්නුම් කළේ පුද්ගලයෙකු පොලීසිය දෙසට දිව ගොස් නිලධාරීන්ට පහර දීමට තැත් කිරීම සහ ඉන් පසුව සිදුවූ රඳවා තබා ගැනීමය. කෙසේ වෙතත්, බලධාරීන්ගේ පැත්තෙන් හෝ විරෝධතාකරුවන්ගෙන් කිසිදු තුවාල වීමක් සිදුවී නැත.

ව්‍යාජ ප්‍රවෘත්ති ද මෙම රාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ අනිවාර්ය අංගයක් බවට පත්විය. ඝාතන සහ බලධාරීන් විසින් ඇදහිය නොහැකි තරම් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව චෝදනා එම ප්‍රවෘත්තිවලින් ප්‍රකාශ විය. මෙම පණිවිඩ ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය විසින් සක්‍රීයව ප්‍රචාරය කරන ලදී.

පසුගිය අගහරුවාදා මොස්කව් නගර අධිකරණය තීන්දු කළේ නවාල්නි අත්හිටවූ ෆෙඩරල් සිර දඬුවම අනුව නිතිපතා වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඒ පිළිබඳ ඔහුගේ නිදහසට කරුණ ප්‍රමාණවත් නොවන බවත්ය. එබැවින්, අත්හිටවූ තීන්දුව සැබෑ එකක් බවට පරිවර්තනය කළ යුතු යැයි විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව වසර දෙකක සහ මාස අටකට ආසන්න සිර දඬුවමක් ඔහුට ලබා දුන්නේය.

දූෂණ විරෝධී ක්‍රියාකාරිකයා (නවාල්නි) ප්‍රංශ රූපලාවණ්‍ය සන්නාමයක් වන යෙව්ස් රොචර් ඇතුළු සමාගම් දෙකකින් රූබල් මිලියන 30ක් (ඩොලර් 400,000 ක්) වංචා කිරීම සම්බන්ධයෙන් 2014 දී වැරදිකරු විය. ඔහුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව එය තවත් වසරකින් දීර්ඝ කරන ලදී. එය පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. සයිබීරියාවේ සිදුවූයේ යයි කියන විෂ වීමකින් සුවය ලබා නවාල්නි ජර්මනියේ සිටි අතර, දෙසැම්බර් මාසයේදී බර්ලින් වෛද්‍යවරුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් පෙනී ගියේ ඔහු සුවය ලබා ඇති බවත්ය. නඩු විභාගයේදී නවාල්නි මේ පිළිබඳව විවාද කරමින් කියා සිටියේ ජනවාරි මැද භාගය වන තෙක් තමා නැවත රුසියාවට ඒමට සුදුසු තත්ත්වයක නොසිටි බවයි.

පසුගිය සතියේ පැවති නඩු විභාගය සඳහා අවම වශයෙන් විදේශීය දූත මණ්ඩල නියෝජිතයන් 20 දෙනෙකු පැමිණ සිටි බව වාර්තා වේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, පෝලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව සහ ඔස්ට්‍රියාව යන රටවල රාජ්‍ය තාන්ත‍්‍රිකයින් අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා අගහරුවාදා මුහුණු පොතෙහි ලියා තිබුණි. ‘සාම්ප්‍රදායිකව විදේශීය අධිකරණවල තානාපතිවරු තම පුරවැසියන්ට සහයෝගය දක්වන බව ඇය දන්නා බව එම ප්‍රකාශයේ සඳහන් වේ. බටහිරයන් නවාල්නි ‘තමන්ගේම’ කෙනෙකු ලෙස සැලකුවද ඔහු රුසියානු සමූහාණ්ඩුවේ පුරවැසියෙකි’. සකරෝවා තවදුරටත් කියා සිටියේ ‘මෙය තවදුරටත් ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමක් නොවේ, එය රුසියාව පාලනය කිරීමට උත්සාහ කිරීමේදී සාමූහික බටහිරයන්ගේ අපිරිසිදු හා නීති විරෝධී භූමිකාව පිළිබඳ ස්වයං අනාවරණය කිරීමකි’.
මොස්කව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පවසා ඇත්තේ නඩු විභාගයට එහි නියෝජිතයින් පැමිණ සිටීම සාමාන්‍ය රාජ්‍යතාන්ත‍්‍රික ක්‍රමවේදයන්ට අනුකූල බවයි. මොස්කව්හි එක්සත් ජනපද තානාපතිවරයා කියා සිටියේ ‘ලොව පුරා රාජ්‍ය තාන්ත‍්‍රික දූත මණ්ඩල සත්කාරක රටේ අධිකරණ නඩු විභාග පැවැත්වීම් සොයාබැලීම සම්මත භාවිතයක්’ බවයි.

රුසියානු ‘තර්ජනය’ දැනටමත් එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කාලයක් තිස්සේ වර්ධනය කර ඇති තත්ත්වය තුළ මොස්කව් සම්බන්ධ ඇමරිකානු නව පරිපාලන ප්‍රතිපත්තිය වඩා ආක්‍රමණශීලි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇලෙක්සි නවාල්නි සිද්ධිය රුසියාවට එරෙහි ආක්‍ර මණශීලී ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගැනෙනු ඇත.

විරෝධතාවල සාර්ථකත්වය නොතිබුණද, මෙය හුදෙක් පෙරහුරුවක් පමණි. රුසියාවේ ස්ථාවරත්වය හා රාජ්‍යත්වය අඩපණ කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරයකට මග පාදාගැනීමට වොෂින්ටනය එය භාවිතා කරනු ඇත.
2021 සැප්තැම්බර් මාසය වනවිට අස්ථාවර කිරීමේ උත්සාහයන් වේගවත් කිරීමට සැලසුම් කර ඇති බව පෙනේ. ඒ රුසියානු මහ මැතිවරණයේ කාලය වන බැවිනි. ඔවුහු තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා දරුවන් වුවද පූජා කිරීමට සූදානම් බව ලිබරල් විපක්ෂය දැනටමත් ඔප්පු කර තිබේ. රුසියානු රජය වැළැක්වීමේ පියවර නොගන්නේ නම්, මෙම පුද්ගලයින්ට රුසියාවේ භූ දේශපාලනික විරුද්ධවාදීන්ගෙන් විශාල සහයෝගයක් පහසුවෙන් ලැබෙනු ඇත. ඊළඟ වතාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ කාර්මික ව්‍යසන, සයිබර් ප්‍රහාර සහ ත‍්‍රස්ත ප්‍රහාර සමඟ අහම්බෙන් සමපාත විය හැකිය’.

මතුව ඇති තත්වය පිළිබඳ රුසියානු කොමියුනිස්ට් පක්ෂය මෙසේ ප්‍රකාශ කරයි:

‘මීට පෙර බෝල්ටික් ප්‍රදේශයේ සහ යුක්රේනයේද, ජෝර්ජියාවේ සහ ආර්මේනියාවේද, මෝල්ඩෝවා සහ කිර්ගිස්තානයේද එවැනි ක්‍රමවේදයන්ගේ ප්‍රහාරයට ලක්වූවෝය. බෙලරුස් හි මෑතදී පැවති විරෝධතා සමාජ මාධ්‍ය හරහා පෝලන්තයේ සහ ලිතුවේනියාවේ මධ්‍යස්ථානවලින් මෙහෙය වුනි. ගෝලීයවාදීන්ගේ අතේ ඇති ජනමාධ්‍ය ‘දේදුනු විප්ලව’ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන උපකරණය බවට පත්ව ඇත’. ‘සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට එරෙහි අරගලයේ කාල පරිච්ඡේදයේ දී මෙන් රුසියාව සම්බන්ධයෙන් ද ඉලක්කය වන්නේ ඒකීය සහ ස්වාධීන රාජ්‍යය විනාශ කිරීමයි. ඒ අතරම, මධ්‍යස්ථ ලිබරල්වාදීන්ගේ ආණ්ඩුව ඉවත්කොට, අන්තවාදී මනසක් ඇති, ඔවුන්ගේ කීකරු ඇදහිලිවන්තයන් ඒ වෙනුවට ආදේශ කිරීමෙන් රුසියාව අර්බුදයෙන් පිටතට ගෙන නොයනු ඇත, තත්ත්වය තවත් උග්‍ර කරනු ඇත. එහි ප්‍රතිඵලය වනුයේ ගෝලීය ප්‍රාග්ධනයේ ඍජු පාලනයට රට යටත් කිරීම, රාජ්‍ය දේපළ තවදුරටත් විකිණීම, රටේ තරගකාරිත්වය සම්පූර්ණයෙන්ම නැතිවීම, දැවැන්ත දරිද්‍රතාවය සහ රුසියානු ජාතිකත්වය වේගයෙන් වඳ වී යාමය. එමගින් අර්බුදයේ ගැඹුරු වීම සහතික කෙරේ. ද්වේෂ සහගත කොමියුනිස්ට් විරෝධය සහ වාමාංශික දේශප්‍රේමී බලවේගයන්ට එරෙහි මර්දනය වැළැක්විය නොහැකි වන්නේය’. ⋆

වසංගතය මෙන්ම අනෙකුත් ගෝලීය අර්බුදයන් පරාජය කිරීමට ඇති හොඳම ක්‍රමය ගෝලීය සහයෝගිතාව බව ෂී පැවසීය. ලෝකය බහුපාර්ශ්වීයත්වයට නායකත්වය දිය යුතු අතර මානව වර්ගයා සඳහා ‘පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්’ ගොඩනැගිය යුතුය. චීන ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු තනි රටකට පමණක් ගෝලීය ගැටලූ විසඳිය නොහැකි බවයි. ‘ගෝලීය ක්‍රියාමාර්ග, ගෝලීය ප්‍රතිචාර සහ ගෝලීය සහයෝගීතාව ඒ සඳහා අවශ්‍යයි’ ඔහු පැවසීය.

කෝවිඞ් - 19 වසංගතය මැඩපැවැත්වීම පිළිබඳව ගෝලීය නායකයින්ට ෂී පැවසුවේ ‘අපි සටන ඉදිරියට ගෙන යා යුතුයි. එහෙත් ශීත ඍතුවට වසන්තයේ පැමිණීම නැවැත්විය නොහැකි බවත් අන්ධකාරයට කිසිදා උදාවන ආලෝකය වසා දැමීමට නොහැකි බවත් අපි විශ්වාස කරමු. කොරෝනා වසංගතය පාලනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඇති වඩාත්ම වැදගත් කාර්යය’ යැයි චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය. එන්නත් සංවර්ධනය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම වැදගත් වන අතර එය සමස්ත ලෝකයටම ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම ද වැදගත් බව ෂී සිය කතාවේදී අවධාරණය කළේය. මේ වන විට චීනය රටවල් 150කට වැඩි ගණනකට සහ ජාත්‍යන්තර සංවිධාන 13කට ආධාර ලබා දී ඇති අතර, වෛද්‍ය කණ්ඩායම් 36ක් අවශ්‍යතා ඇති රටවලට යවා ඇති අතර කෝවිඞ් - 19 එන්නත් සඳහා රටවල් ගණනාවක් සමඟ සමීපව කටයුතු කරන්නේය. චීනය සිය අත්දැකීම් අඛණ්ඩව බෙදාහදා ගැනීමටත්, අවශ්‍ය රටවලට සහාය වීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල කෝවිඞ් - 19 එන්නත් දැරිය හැකි මිලකට ලබා ගැනීමට සහාය වන බවත් ෂී පැවසීය.

චීනය සෑම විටම බහුපාර්ශ්වීය ක්‍රියාකාරීත්වය වෙනුවෙන් පෙනී සිටීමට සහ එහි ස්ථිර ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කිරීමට කැපවී සිටී. එය අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන නව සේද මාවත් ව්‍යාපෘති සංසදය සහ චීන ජාත්‍යන්තර ආනයන අපනයන ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්වයට පසුගිය නොවැම්බර් මාසයේදී අත්සන් තබා තිබේ.

පශ්චාත් වසංගත යුගයේ ආර්ථික ප්‍රකෘතියේ හදිසි කර්තව්‍යයට ලෝකය මුහුණ දී සිටින අතර, ෂී කියා සිටියේ ලෝක ආර්ථිකයේ ශක්තිමත් හා සැමට වාසි සැලසෙන ආකාරයේ වර්ධනයක් ඇතිකරගැනීම සඳහා රටවල් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය වේගවත් කළ යුතු බවයි. ලෝක ආර්ථිකයේ මෙහෙයවීම G - 20 සංවිධානය හරහා සිදුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2020 දී චීනයේ ආර්ථිකය සියයට 2.3කින් වර්ධනය වූ අතර, වසංගතයෙන් පීඩාවට පත්වූ ලෝක ආර්ථිකය තුළ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ එකම ප්‍රධාන ආර්ථිකය බවට එය පත්විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ප්‍රමුඛ මූල්‍ය ආයතන අපේක්ෂා කරන්නේ චීනය ගෝලීය සාර්ව ප්‍රකෘතියට නායකත්වය දෙනු ඇති බවයි. චීන පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය තුළින් 2021 දී රට අඛණ්ඩ ආර්ථික වර්ධනයකට යොමු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ඉතිහාසයේ, සංස්කෘතියේ හෝ වෙනත් ආකාරවල වෙනස්කම් මුල් කරගනිමින් ගැටුම් ඇතිවීම් වළක්වා ගන්නා ලෙස ෂී ලෝකයෙන් ඉල්ලා සිටියේය. ඒ වෙනුවට, ලෝකය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම් වූ සහයෝගීතාවය සඳහා සංවාද තුළින් ප්‍රශ්න විසඳා ගත යුතුව ඇත.

ලෝකය වසංගතය සමඟ පොරබදමින් සිටින විට, සංවර්ධිත ජාතීන්ගේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රකෘතිය විවිධ දිශාවන් අනුගමනය කරනු ඇත. විශේෂයෙන්ම දැඩි ලෙස වසංගතයට ගොදුරු වී ඇති සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රකෘතිමත් වීම සඳහා ඉක්මන් ආධාර අවශ්‍ය වේ. සිය කතාවේදී ෂී ලෝකයෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය සඳහා වැඩි සම්පත් හා අවකාශයක් ලබා දීම සඳහා සියලූ දෙනාගේම යහපත උදෙසා අවශ්‍ය බවයි. ‘සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනයත් සමඟ ගෝලීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය වඩාත් ශක්තිමත් පදනමක් තැබෙන බැවින්, සංවර්ධිත රටවල්ද එවැනි වර්ධනක ප්‍රතිලාභ ලබනු ඇත.’

ලෝකය ජාත්‍යන්තර නීතියට හා ජාත්‍යන්තර නීතිවලට කැපවී සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා අනතුරු ඇ`ගවීය. ‘බහුපාර්ශවීයත්වය යනු අන්තර්ජාතික කටයුතු සාකච්ඡා තුළින් විසඳා ගැනීම සහ ලෝකයේ අනාගතය සියලූ දෙනා එක්ව තීරණය කිරීමයි’ යනුවෙන් ඔහු පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල සාධාරණ සංවර්ධන අවශ්‍යතා ජාත්‍යන්තර ප්‍රජාව විසින් ආරක්ෂා කළ යුතුය. සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා සහ සමාන නීති ශක්තිමත් කිරීම දිගුකාලීන ඉලක්කය බවට පත් කළ යුතු අතර එමගින් සියලූ රටවලට සංවර්ධනයේ අවස්ථාවන් සහ ප්‍රතිලාභ ලැබෙනු ඇත.

පොදු සමෘද්ධිය සඳහා චීනයේ නොවෙනස් සහයෝගීතාව යළිත් තහවුරු කරයි!

වසංගතය නොතකා චීනය සිය දේශීය කාර්යයන් ඉදිරියට ගෙන යාමට සමත් වී තිබේ. චීනය අන්ත දුප්පත්කම තුරන් කරමින් මිලියන 800 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගත්තේය.
අලූත් අවුරුද්දට දායක වීම සඳහා චීනය වෙනුවෙන්, ෂී පොරොන්දු වූයේ සදාකාලික සාමය, විශ්වීය ආරක්ෂාව සහ පොදු සමෘද්ධිය සියල්ලන්ම භුක්ති විඳින විවෘත, පිරිසිදු හා සුන්දර ලෝකයක් ගොඩනැගීමට චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවය තුරන් කිරීමට, ණය බර ලිහිල් කිරීමට සහ වැඩි වර්ධනයක් අත්කර දීමට චීනය උදව් කරන බවට ඔහු පොරොන්දු වූයේය.

චීනය නව සංවර්ධන අවධියකට අවතීර්ණ වී ඇති අතර, නව සංවර්ධන දර්ශනයක් අනුව නව සංවර්ධන පරමාදර්ශයක් පෝෂණය කරනු ඇත. එහිදී, ප්‍රධාන වශයෙන් දේශීය සංසරණයට බරතැබෙන අතර හා දේශීය හා ජාත්‍යන්තර සංසරණයන් එකිනෙකා ශක්තිමත් කරමින් ක්‍රියා කරනු ඇත්තේ විශාල චීන වෙළඳපොළේ විභවය සහ දැවැන්ත දේශීය ඉල්ලූම පදනම් කර ගනිමිනි. ‘මෙම උත්සාහයන් අනෙකුත් රටවලට වැඩි සහයෝගීතා අවස්ථාවන් ගෙන එනු ඇති අතර ගෝලීය ආර්ථික ප්‍රකෘතියට හා වර්ධනයට තවදුරටත් රුකුලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමුයි,’ ෂී පැවසීය. ⋆

 

චීන - රුසියා විදේශ ඇමතිවරු



චීන හා රුසියා විදේශ අමාත්‍යවරු පවසන්නේ එක්සත් ජනපදය, ඉරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර අත්සන් තැබුණු 2015 බහුපාර්ශ්වික න්‍යෂ්ටික ගිවිසුමකට ‘කොන්දේසි විරහිතව’ හැකි ඉක්මනින් ආපසු පැමිණ ඉරානයට මෙන්ම තෙවන පාර්ශ්වීය ආයතනවලට සහ පුද්ගලයන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි. රුසියානු සහ චීන විදේශ ඇමතිවරු සඳුදා යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝශප් බොරෙල්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඉරාන න්‍යශ්ටික ගිවිසුම තුළ ඉතිරි වී ඇති පාර්ශවයන්ගේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් (වීඩියෝ තාක්ෂණය ඔස්සේ) අමතමින් ඒ බව ප්‍රකාශ කළහ.

රැස්වීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී කියා සිටියේ එක්සත් ජනපදය ඉරාන න්‍යශ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඉරානය පිළිබඳ එහි ඊනියා ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය, න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළ ටෙහෙරානයේ අභියෝගවලට මූලික හේතු බවයි. එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන් නැවත ගිවිසුම හා එක්වන බවට පොරොන්දු වී ඇති නමුත් වොෂින්ටනය ඒ සමඟම ටෙහෙරානයට වැඩි පීඩනයක් එල්ල කරමින් සිටීම නිසා ඉරාන න්‍යෂ්ටික තත්ත්වය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව ඔහු පැවසීය.

ගිවිසුම අනුව අදාළ කොන්දේසිවලට අනුගතවීම සම්පූර්ණයෙන් නැවත ආරම්භ කරන ලෙස චීන විදේශ අමාත්‍යවරයා ඉරානයෙන් ඉල්ලා සිටි අතර එක්සත් ජනපදය ගිවිසුමට නැවත පැමිණීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ගිවිසුමේ අනෙකුත් පාර්ශ්වකරුවන් හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි යෝජනා කළේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රරම්ප් 2018 මැයි මාසයේදී ඒකපාර්ශවිකව ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් කළ අතර ජාත්‍යන්තර විවේචන නොතකා ඉස්ලාමීය ජනරජයට එරෙහිව ‘මෙතෙක් පැවති දරුණුම’ සම්බාධක මුදා හැරියේය. දැඩිසේ විවේචනයට ලක්වූ, ඉවත්වීමෙන් පසුව, වොෂින්ටනය උත්සාහ කරන්නේ ඉතිරි අය ඔවුන්ගේ බැඳීම්වලට කැපවීම වැළැක්වීමට සහ එමගින් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන ඓතිහාසික ගිවිසුම විනාශ කිරීමට ය.

ඉරානය ගිවිසුමට අනුව වසරක් මුළුල්ලේම අනුකූලව කටයුතු කළ අතර, ඉරාන ආර්ථිකයට ඇමරිකානු තහනමේ බලපෑම මගහරවා ගනිමින් සම - අත්සන්කරුවන් ක්‍රියා කරනු ඇතැයි බලා සිටියේය.
එක්සත් ජනපදය ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට ප්‍රතිචාර වශයෙන්, ටෙහෙරානය න්‍යෂ්ටික ගිවිසුමේ 26 සහ 36 වන වගන්තිවලට අනුකූලව න්‍යෂ්ටික බැඳීම් පස් වතාවක් ආපසු ගෙන ගිය නමුත් එක්සත් ජනපද සම්බාධකවලින් අන්‍යෝන්‍ය වෙළඳාම ආරක්ෂා කර ගැනීමට ප්‍රායෝගික ක්‍රම යුරෝපය සොයාගත් වහාම එම පියවර ආපසු හැරවිය හැකි බව අවධාරණය කළේය.

චීන විදේශ ඇමතිවරයා සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කළේ ගිවිසුම ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කළ පරිදි තත්ත්වය නිවැරදි දිශාවට ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් දැරීමේ වැදගත්කම ය.

ගිවිසුමට අදාළ ආරවුල් සාධාරණව හා අපක්ශපාතීව විසඳිය යුතු බව පැවසූ වැන්ග්, ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සොයාබැලීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ( සහාය දැක්වීමට සහ මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මතුවන ගැටළු නිසි ලෙස හැසිරවීමට සංවාද හා සහයෝගීතාව අවශ්‍ය බවද පෙන්වාදුන්නේය.  ගිවිසුමට සියලු ගැටළු විසඳිය නොහැකි බව අවධාරණය කළ ඔහු, කලාපීය ආරක්ෂක ගැටළු සෘජුවම ගිවිසුමට සම්බන්ධ කිරීම, එය ක්‍රියාත්මක කිරීම යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී බාධකයක් වන බවට අනතුරු ඇගවීය.

පූර්ව කොන්දේසි නොමැතිව එක්සත් ජනපදය නැවත ගිවිසුම වෙත ආයුතුය: ලාව්රොව්

මේ අතර, රැස්වීම ඇමතූ රුසියාවේ විදේශ ඇමති සිර්ගේයි ලාව්රෝව්, ගිවිසුම වෙත නැවත පැමිණීම සඳහා එක්සත් ජනපදය කිසිදු පූර්ව කොන්දේසියක් ඉදිරිපත් නොකළ යුතු බව කියා සිටියේය.

”එක්සත් ජනපදය ගිවිසුම වෙත නැවත පැමිණීම කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව විය යුතු යැයි අපි විශ්වාස කරමු. පාර්ශ්වකරුවන් සමඟ එක්ව අපි මෙම කාර්යයේදී අර්ථවත් වැඩකටයුතු සඳහා සූදානම්ව සිටිමු. නිවැරදි කිරීමේ මාවතේ ගමන් කිරීමට ඇමරිකාවට උදව් කිරීමට අපි සූදානම්. ඒ අපේ පොදු අවශ්‍යතාව යයි”, ලාව්රොව් වැඩිදුරටත් පැවසීය.

ඉරානය කළ ප්‍රකාශයන් රුසියාව විසින් සැලකිල්ලට ගෙන ඇති බව ලාව්රොව් සඳහන් කළ අතර, එක්සත් ජනපදය එක්වූ විගසම, ගිවිසුමට අනුව ක්‍රියා කිරීමට ඉරානය සූදානම් බවට ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන්නේය.
”ගිවිසුමෙහි වත්මන් සාමාජිකයින් පමණක් නොව වොෂිංටන් ද මෙම සංඥාව සැලකිල්ලට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල 2231 යෝජනාව දැඩිව පිළිපැදීමට ඇමරිකාව බැඳී ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 25 වන වගන්තිය අනුව සෑම රාජ්‍යකම යුතුකමකි” යනුවෙන් රුසියානු විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

ගිවිසුමෙහි ඉතිරි සාමාජික රටවල (රුසියාව, චීනය, යුරෝපා සංගමය, ජර්මනිය,  ප්‍රංශය හා එක්සත් රාජධානිය) රැස්වීම අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දී විදේශ ඇමැතිවරු හය දෙනා ගිවිසුම ආරක්ෂා කිරීම සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළහ.

ට්‍රම්ප් ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීම පිළිබඳව අමාත්‍යවරුන් සිය ‘කණගාටුව’ යළිත් අවධාරණය කළ අතර, එම ගිවිසුම අනුමත කළ එක්සත් ජාතීන්ගේ නොම්මර 2231 ආරක්ෂක මණ්ඩල යෝජනාව සම්පූර්ණයෙන්ම බලාත්මක බව අවධාරණය කළෝය..


එක්සත් ජනපදය බහුපාර්ශ්වික ගිවිසුමට නැවත පැමිණීමේ හැකියාව පෙන්වා දෙමින් ඒකාබද්ධව එම තත්ත්වය විසඳාගැනීමට ඇති සූදානම අවධාරණය කළහ. 

 

වම් ඉවුරේ වෙබ් නාදය