Saturday, 02 December 2023

- අම්පිටියේ සුමනලා සැබෑ කරන ගෝඨාභය දේශපාලනයේ පුරෝකථන

 

 පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට නිර්භීත වන තරමට ඉතිර පැතිර තිබේ. අප ජීවත් වන්නේ ලිඛිත ව්‍යවස්ථාවකින් සම්පාදනය කළ නීති ක්‍රියාත්මක කෙරෙන ශිෂ්ට සමාජයක දැ යි දෙවරක් සිතා බැලීමට සිදු වන තත්වයක් උද්ගත වී තිබේ. මේ පොළා පනිමින් තිබෙන්නේ පසුගිය කාලය පුරා කිසිදු නීතියකින්-රීතියකින් තොරව ඔජ වැඩූ සිංහල බෞද්ධ අන්තවාදයේ කූටප්‍රාප්තිය යි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වන්නේ නම් ප්‍රචණ්ඩ බෞද්ධත්වය කරළිගත වනු ඇතැ යි සමහර දෙනා කළ ප්‍රකාශයන් ඉතා ඉක්මනින් සත්‍යය බවට පත් වෙන ලකුණු දකින්නට තිබේ. එහි අලුත් ම ලකුණ ලෙස අසන්නට ලැබෙන්නේ ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තබා සිය අදහස පළ කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමිනමට සංස්කෘතික අධ්‍යක්ෂ ධුරයක් ලබා දීම යි. පසුගිය රාජපක්ෂ රජය සමයේ ද විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ පැවැති නිවාස අමාත්‍යංශයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් මෙකී හිමියන්ට චෝදනා එල්ල වූවා පමණක් නොව ඔහු නායකත්වය දුන් සංවිධානය ද ගිණිය හැක්කේ අන්තවාදී ආගමික සංවිධානයක් ලෙස ය. 

දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උක්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලියූ කෘතියක් මැදගොඩ අභයතිස්ස හිමිනමගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඒ මැදිහත් වීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල පරිශීලකයන් අතින් විවේචනයට ද ලක් විය. පුරවැසියන්ගේ ලෞකික ජීවිතයේ සකලාංශයන්ට ආගමික සංස්ථාවේ නොමනා මැදිහත්වීම් සම්බන්ධයෙන් අප මෙයට කලින් ද බහුල වශයෙන් ලියා තිබේ. ඕනෑම ආගමික සංස්ථාවක් රටෙහි මූලික නීතියට ගරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරෙන් පැවතිය යුතු ය. කවරෙක් හෝ සිය ආගමික සංස්ථාවේ මූලික නියාමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නම් එය ආගමික වශයෙන් විසඳා ගැනීම ඔවුන්ට බාර දිය යුතු ය. එසේ ම කවර හෝ ආගමික සංස්ථාවකින් රටේ මූලික නීතිය උල්ලංඝනය වන්නේ නම්, ලංකාව ශිෂ්ට රටක් නම් සිදු විය යුත්තේ වෙනස් ආකාරයකින් සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එය මිනිසුන්ට තුච්ඡ ලෙස පහර දෙන මහණුන්ට සේ ම ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරු පැදි ධාවනය කරන පූජයකයන්ට ද එකසේ බලපැවැත්වෙන එකක් විය යුතු ය. කවර හෝ ආගමික සංස්ථාවකට තමන්ට අසාධාරණයක් වනනේ යැ යි හැඟෙන්නේ නම් බාහු බලය යෙදවිම නොව කළ යුත්තේ නීතියේ පිහිට පැතීම යි.

පළමු නිදහස් උළෙලේ ද ද්විභාෂාවෙන් ගායනය වූ ජාතික ගීය මෙවර සිංහලෙන් පමණක් ගැයෙන බවක් අසන්නට තිබේ. ඒ අවුඅස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම් ය. සිදුවීම් දිගින් දිගට ම සිදුවෙන්නේ මෙලෙස නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් කළ පුරෝකථන ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු දකිත හැකි ය. 

- සඳුන් ප්‍රියංකර විතානගේ

 

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර හදිසියේ ස්ථාන මාරු කර දැමීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කළේ ය. ශානි අබේසේකර තම රාජකාරිය ඉටු කිරීමේ දී කීර්තිමත්ව කටයුතු කළ නිලධාරියෙක් ලෙස ප්‍රකට ය. ඔහුට කරන්නට පැවරුණු පරීක්ෂණ බොහොමයක් පාහේ රටෙහි මහත් ආන්දෝලනයක් ඇති කළ ඒවා ය. ඒවා ඔහුට එසේ පැවරෙන්නට හේතුවත් ඔහු පරීක්ෂණ කිරීමේ දී දැක්වූ මහත් දක්ෂතාව බව සිතිය හැකි ය. ආන්දෝලනාත්මක අපරාධ සහ සිදුවීම් යනු සෑම විට ම පාහේ විවිධ බලවතුන් හෝ ධනවතුන් සම්බන්ධ ඒවා ය. එසේත් නැත්නම් මහත් තැතිගන්වන සුළු ඒවා ය. එසේත් නැත්නම් ජනතාවට මහත් හානි ගෙන දුන් ඒවා ය. ඒවා ආන්දෝලනාත්මක වන්නේ ම එබැවිනි. කෙසේ වෙතත් එබඳු පරීක්ෂණ ඉදිරියට මෙහෙයවාගෙන යන්නට අප රට බඳු අවනීතිය කප්ගැසූ රටක මහත් ධීර බවක් අවශ්‍ය ය. දූෂිත ම ආයතන අතර පෙරමුණේ ම සිටින පොලිසිය වැනි තැනක කිහිපගුණයක ධීර බවක් අවශ්‍ය ය.

මෑත දිනයක එවක ජනපති මෛත්‍රී ජීවිත සමාව ලබා දී නිදහස් කළ ජූඩ් ශ්‍රාමන්ත විසින් සිදු කළ රෝයල් පාක් මිනීමැරුම, එවක අඟුලාන පොලිසියේ පිරිසක් සිදු කළ ද්විත්ව ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, හිටපු ජනපතිනි චන්ද්‍රිකාට එල්ල කළ ටවුන් හෝල් බෝම්බය, රේගු නිලධාරි සුජිත් පෙරේරා ඝාතනය, වත්මන් ජනාධිපති ගෝඨාභය ඉලක්ක කළ බව කියන පිත්තල හංදියේ බෝම්බ ප්‍රහාරය ඇතුළු ගණනාවක් විමර්ශන මෙහෙයවනු ලැබුවේ ශානි අබේසේකර විසිනි. ඔහුගේ මෙහෙයවිමෙන් සිදු කළ විමර්ශනවලින් බොහෝ අපරාධ නීතිය හමුවේ නිරාවරණය කෙරුණු අතර විවිධ තරාතිරමේ පිරිස් එයින් දණ්ඩනයට ලක් වූවෝ ය.

මෙසේ අපරාධ විමර්ශනයේ කීර්තියක් අත කර ගෙන සිටි ශානි ජාතික පොලිස් කොමිසමේ ම අභිමතය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කෙරුණේ යහපාලන කියාගත් රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩු සමයේ දී ය. ඒ අනුව පෙර සඳහන් කළ ආකාරයේ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක පරීක්ෂණවලට නායකත්වය දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා නැත්නම් රහස් පොලිස් ලොක්කා ලෙස ශානිට සිදු විය. මාධ්‍යවේදීන් ලෙස අපද සාධාරණයක් අපේක්ෂා කරන සිදුවීම් ගණනාවක් ඒ අතර වන බව කිව යුතු ය. එවක සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රකට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රිවිර එවක කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම, ද නේෂන්හි කීත් නොයාර්ට පහර දීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ආදිය ඉන් ප්‍රධාන ය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, කප්පම් පිණිස යැ යි කියනු ලබන තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම, පානීය ජලය ඉල්ලා කරන ලද උද්ඝෝෂණයකට රතුපස්වලදී වෙඩි තැබීම, වැලිකඩ සිරකරුවන් 29 දෙනෙකුගේ සමූහ ඝාතනය ආදී අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණ කිරීමේ වගකීම ඔහු උර මත තිබිණ. කෙසේ වෙතත් එකී පරීක්ෂණ බොහොමයක් අවසානයක කරා එමින් තිබුණු ඒවා වූ අතර වැලිකඩ සමූහ ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, රතුපස්වල ඝාතන සහ තරුණයන් 11 දෙනාගේ සිදුවීමට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබිණි.

උක්ත සිදුවීම් ගණනාව අතරින් කිහිපයක් රාජපක්ෂවරුන්ට විශේෂයෙන් මේ වන විට ජනාධිපති ධුරයට පත් ව සිටින ගෝඨාභය රාජපක්ෂට ඇඟිල්ල දිගු වූ ඒවා ය. විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඔහු ජනපති වූ වහා ම දින කිහිපයක් ඇතුළත මේ පරීක්ෂණ භාරව සිටින පුද්ගලයා ඒවායෙන් ඉවත් කොට අතිශය නොවැදගත් රාජකාරියකට ඇද දැමීමට පොලිස් කොමිසම ක්‍රියාකිරීම යුක්තිය අගයන කිසිවෙකුට කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. එක් දිනක් (නොවැම්බර් 21) ඇතුළත සියලු ලිපි හුවමාරු කෙරී ශානි අබේසේකර විසි කර දමන්නට ජාතික පොලිස් කොමිසම ක්‍රියාකිරීම උපදවන්නේ හාස්‍යයකි. රාජ්‍ය සේවය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ගෙන යාම පිණිස පිහිටවනු ලැබූ කොමිසමක් වන ජාතික පොලිස් කොමිසම මෙසේ ලැදියාවන් පෙන්වමින් කටයුතු කිරීම වත්මන් ජනාධිපතිවරයා අනුයන බව කියන ප්‍රතිපත්තීන්ට කිසිදු අයුරකින් සමපාත නොවේ. මෙය හානා හීය පානා අඬහැරෙන් දැනේ යන කියමන සිහිකරවන්නකි. සැබැවින් ම නිර්මාණය කරන්නට අවශ්‍ය වන්නේ විනයගරුක රටක් නම් මෙය සිදු නොවිය යුතු ව තිබුණකි. මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු ජාතික පොලිස් කොමිසම විසින් ජනතාවට පැහැදිලි කළ යුතු ය.

සඳුන් ප්‍රියංකර විතානගේ

 

වම් ඉවුරේ වෙබ් නාදය