Friday, 27 November 2020

 ඩිව් ගුණසේකර


ඔබ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වුණේ ඇයි කියන තැනින් අපි සාකච්ඡාව පටන් ගනිමු.

අප මේ පසුකරමින් ඉන්නේ අපේ රටේ සංවර්ධනයේ නව අදියරකට පිවිසෙමින් සිටින කාලයක්. ඒ වගේම පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදය තුළ විවිධ වෙනස්වීම් සිදුවෙන කාලයක්. චීන ජනාධිපති ෂී ජින්පින් මෙකී වෙනස්වීම් දකින්නේ කැලඹිලි සහිත වෙනස්වීම් වශයෙන්.

ඒ වගේම අපේ රට තුළ නව ජනාධිපතිවරයෙක්, නව පාර්ලිමේන්තුවක් පත්ව තියෙනවා. නව ලිබරල්වාදයේ නිමාවක් ඇති වෙමින් තිබෙනවා. සියලු දේශපාලන පක්ෂ නව ආර්ථික විකල්පයක් ගැන කතාකරන්න පටන් අරගෙන. වමේ ව්‍යාපාරයට, මෙම වර්ධනයන් ප්‍රවනතාවයන් පිළිබඳ තක්සේරුවක් තිබිය යුතුය. අපි හැමෝටම අලුතෙන් සිතන්න සිදුවී තියෙනවා. ඒ සඳහා වමේ නායකත්වය නව පරම්පරාවට පැවරිය යුතුයි.

මා අයත් වන්නේ ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ තුන්වන පරම්පරාවට. මේ ගතවෙමින් තියෙන වෙලාව, අපේ පක්ෂයේ නායකත්වය හතරවන පරම්පරාවට භාර දිය යුතු අවස්ථාව යැයි මා අදහස් කළා. ඒ බව මම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දන්වා සිටියා. ඒ අනුව මා ප්‍රධාන ලේකම් ධුරයෙන් මුදා හරින ලෙස මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා සිටියා. මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම යෝජනාව පිළිගත්තා.


සිදුවිය හැකි යැයි ඔබ සිතන වෙනස්වීම් මොනවාද? ඒ පිළිබඳ විග්‍රහයක් කළොත්?

අප ගෝලීය මෙන්ම ජාතික වශයෙන් ආර්ථික අර්බුදයක ගිලී සිටිනවා. කොවිඩ් 19 ගෝලීය වසංගතය ඊට බලපෑ එක් සාධකයක් පමණයි. එය ආසන්න හේතුව. දුරස්ථ හේතු තමයි නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගය. අප දැන් ඉතිහාසයේ සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙය නව ලිබරල්වාදය අර්බුදයට පත්ව තිබෙන අවස්ථාවක්.  එය සිදුව තිබෙන්නේ වසර 40කට පසුව.

නව ලිබරල්වාදය අපේ රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයට ජනතාව දඬුවම් ලබාදී තිබෙනවා. පක්ෂය දෙකඩ වෙලා. නව ලිබරල්වාදයේ නායකයා පාර්ලිමේන්තුවෙනුත් පිටමං කරලා. ධනේශ්වරයේ ප්‍රධාන පක්ෂය කැඩී බිඳී ගොස්. මෙය කිසිවෙක් අපේක්ෂා නොකළ ද වළක්වාලිය නොහැකි වූ සිද්ධියක්. හේතුව නව ලිබරල්වාදයේ අර්බුදයයි. ගෝඨාභය රාජපක්ෂට දැවැන්ත වරමක් ලැබුණේ එහි ප්‍රතිපලයක් වශයෙන්. සාමාන්‍යයෙන් අපේ මැතිවණ ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් ලබා ගත නොහැකියි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් එම ව්‍යවස්ථාව නිර්මාණය කළේ තුනෙන් දෙකක බලයක් ලැබීම වළක්වාලීමේ අරමුණින්. කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක් නොලැබෙන ලෙසයි. මැතිවරණ ක්‍රමය සකස් කළේ නව ලිබරල්වාදයේ පැවැත්ම තර්ජනයකට ලක්වීම වළක්වාලීමේ අපේක්ෂාවෙන් වුණත් නොසිතූ දෙයක් සිදුවුණා. නව ලිබරල්වාදයේ අර්බුදයේ ප්‍රබලත්වය ඉන් තේරුම්ගත හැකියි.

අපේ ක්ෂණික කාර්ය භාරය වන්නේ ආර්ථිකය පණගැන්වීමයි.  දෙවනුව, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමයි. තුන්වෙනුව යළි වේගවත් වර්ධනයකට ආර්ථිකය පත් කිරීමයි. 2015 දී අපේ ආර්ථිකයේ වර්ධන වේගය 5%ක් පමණ වුණා. වසංගතයෙන් පසු 2%ට අඩු වුණා.  දැන් එය ඍණ දෙක දක්වා අඩු වෙලා. මීළඟ වසර දෙක තුළ අප 5%ක වර්ධනයක් ලබාගත යුතුය.

අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක්. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15ක් පමණ වෙනවා. අපට ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. විදේශ ආයෝජන ලැබෙන්නෙත් නැහැ. ආධාර දෙන්න කෙනෙකුත් නැහැ. අද අපේ සහයට සිටින්නේ චීනය පමණයි.

මේ ගෝලීය ආර්ථික අර්බුදය චීනයට බලපාන්නේ නැද්ද?

ඇයි නැත්තේ. චීන ආර්ථිකයත් ලෝක ආර්ථිකය තුළයි ක්‍රියාත්මක වෙන්නේ. ගෝලීයකරණයේ ප්‍රතිපලයක් වශයෙන් ගෝලීය අර්බුදය චීනයටත් බලපා තිබෙනවා.

ඒත් චීන කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන්නේ දැක්මක් අනුව බුද්ධිමත් ලෙසයි.

විදේශ වෙළදාම අඩුවන විට චීනය කළේ නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළට හැරවීමයි. අතිරික්ත නිෂ්පාදනය චීන ජනතාවගේ පරිභෝජනයට හැරෙව්වා. එවැනි අභ්‍යන්තර ගැලපීම් සිදු කිරීමට චීනය සූදානමින් සිටියේ. ඒ ඔස්සේ අර්බුදයේ බලපෑම අවම කළා. දැන් චීන ආර්ථිකය යළි පණ ගන්වා තිබෙනවා. එය තමයි චීන ආර්ථික ක්‍රමයේ සහ සංවර්ධිත ධනේශ්වර ආර්ථිකයත් අතර ඇති වෙනස.

චීන කොමියුනිස්ට් පක්ෂය ගැන කතා කරන විට ඔවුන් හා ඔබ පක්ෂයේ සම්බන්ධය කුමක්ද?

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තමයි චීන විප්ලවයෙන් පසු නව කොමියුනිස්ට් චීනය පිළිගැනීමට සටන් කළ එකම පක්ෂය. ඒ වගේම අපි තමයි චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ගොඩනැගූ පළමු පක්ෂය.  අපේ පක්ෂයේ නිර්මාතෘ දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ තමයි චීන නායකයන් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා.  චීන විප්ලවයටත් පෙර දොස්තර වික්‍රමසිංහට චීන නායකයින් මුලින්ම හමුවුණේ  1945 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක කම්කරු සම්මේලනයේ ආරම්භක සැසිවාරයට සහභාගි වී සිටින අවස්ථාවක. චූ එන් ලායි හා ඩෙන් ෂියාපින් එවකට අධ්‍යාපනය ලැබුවේ ප්‍රංශයේ පැරිස් නුවරයි.

ඉන්පසු රබර් - සහල් ගිවිසුම වෙලාවේ ඒ සඳහා පළමු නිල දූත මණ්ඩලය චීනයට යෑමට පහසුකම් සැලසුවේ පීටර් කෙනමන් සහෝදරයායි. ලෝකයේ සහල් හිඟයක් ඇතිවූ අවස්ථාවේ චීනයෙන් සහල් ලබා ගැනීමට යෝජනා කළේ දොස්තර වික්‍රමසිංහ සහ පීටර් කෙනමන්. ඉන්පසු පළමුව සර්වපාක්ෂික නියෝජිත මණ්ඩලයක් චීනයට යැවීමට කටයුතු කළේත් පීටර් කෙනමන්. ඒ වන විට චීනය සමඟ තානාපති සබඳතා තිබුණේ නැහැ.

ඔබ චීනයට ගොස් තියෙනවද?

ඔව්. හතර පස් වතාවක් ගොස් තිබෙනවා. මා මුලින්ම චීනයට ගියේ 1978 ප්‍රතිසංස්කරණ ආරම්භ කළ විගසයි. පළමු නිදහස් වෙළෙඳ කලාපය තනන අවස්ථාවේ අප එය බැලීමටත් ගියා.

1987 දී අප පක්ෂයේ ත්‍රි පුද්ගල නියෝජිත මණ්ඩලයක් චීනයට ගියා. පීටර් කෙනමන්, පී. කුමාරස්වාමි සහ මම එහි සාමාජිකයන්. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හමුවීමට අපට ආරාධනයක් ලැබුණා. එම හමුවීම සිදුවුණේ ඔහුගේ පෞද්ගලික නිවසේ. ඔබ පුදුම වෙයි, අපි රාත්‍රී අටේ ඉදලා පසුදා පාන්දර දෙක පමණ වනතෙක් දේශපාලනය ගැන සාකච්ඡාවක යෙදී සිටියා. එම වකවානුව සෝවියට් සංගමයේ අර්බුද පැන නැගෙමින් තිබුණු වකවානුව.

ඉන් සතියකට පෙර සෝවියට් නායක මිහායිල් ගොර්බචොප් චීනයට පැමිණ තිබුණා. ඒ අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් Hu Yaobang  රුසියාවේ ගොර්බචොප්ට මෙසේ අවවාද කළ බව අපට කීවා.

“ආර්ථික ප්‍රතිසංස්කරණ කළාට කමක් නැහැ. ඒත් දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ගිහින් රාජ්‍ය යන්ත්‍රණයේ උපරි ව්‍යුහය බිඳ දමා ගත හොත් දේශපාලන බලය නැතිවී යන බව තේරුම් ගන්න”

එසේ කීවේ 1987 දෙසැම්බර්වල. සමාජවාදී කඳවුරේ බිඳ වැටීම ආරම්භ වුණේ 1989 දී. 1991 වන විට සෝවියට් සංගමය ද බිඳ වැටුණා.

චීනයේ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල නිවැරදී කියා ඔබ සිතනවාද?

චීනය තම නව ආර්ථික උපාය මාර්ගයට පිවිසුණේ සාධක තුනක් සැලකිල්ලට ගෙනයි.

  1. සමාජවාදයේ අත්දැකීම
  2. සංවර්ධනය වන රටවල අත්දැකීම්
  3. සංවර්ධිත ධනපති රටවල අත්දැකීම්

චීනයේ පවතික වාස්තවික කොන්දේසි සහ ඓතිහාසික සාධකත් සැලකිල්ලට ගෙන නව ආර්ථික උපාය මාර්ගය තීරණය කළා. එහි සාර්ථකත්වය අනුව නිවැරදි බව ඔප්පු වී තිබෙනවා.

ලෙනින් සහෝදරයා මිය යෑමට පෙර 1924 දී ලියූ අවසන් න්‍යායික සංග්‍රහයේ දක්වා තිබෙන එක් කරුණක් තමයි සෝවියට් දේශයේ සමාජවාදයේ පැවැත්ම සහතික වීමට නම්, චීන විප්ලවය සිදුවිය යුතුය යන්න. එය අර්ථකථනය කරන්නේ කෙසේද? චීන විප්ලවය සිදුවුව හොත් විශාලතම වෙළෙඳ පොළ නිර්මාණය වෙනවා. සෝවියට් සංගමයේ ආර්ථිකය සංවෘත ආර්ථිකයක්. විදේශ වෙළඳාම සීමාවී තිබුණා. එය තරගකාරීත්වයට බාධාවක්. එහි ප්‍රතිපලය වුණේ භාණ්ඩ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය නැති වීමයි. ආර්ථික අර්බුදයට හේතු වුණේ එයයි. චීන විප්ලවය සිදුවූයේ 1949 දී. වසර විසිපහකට පසු. අද චීනයේ ශක්තිය තම විශාලතම වෙළෙඳ පොලයි.

තව කාරණයක් කියන්න ඕනේ. ලෝක යුද්ධ ඇතිවුණේ වෙළෙඳ පොළවල් අල්ලා ගැනීම සඳහායි. න්‍යෂ්ඨික අවි බල තුලනය නිසා ලෝක යුද්ධ හටගෙන නැහැ. වර්තමානයේ යුද්ධය දේශපාලන විසඳුමක් හැටියට යොදා ගන්න අද අමාරුයි. යුද උණුසුම් තත්ත්වයක් ඇති කිරීම තමයි කළ හැක්කේ. සාමකාමී සහජීවන ප්‍රතිපත්තිය බිහිවුණේ එම අවශ්‍යතාවය නිසයි. චූ එන් ලායි මෙම ප්‍රතිපත්තියේ නිර්මාපකයෙක්. චීනයේ නව ප්‍රතිපත්තිය ආර්ථිකය විවෘත කිරීම සිදු කළේත් එකී ප්‍රතිපත්තිය අනුවයි.

ඇමරිකා - චීන වෙළෙඳ යුද්ධය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද? චීනය සමඟ ඇති වෙළෙඳ සබඳතා මුළුමනින්ම අත්හරීද?

අද ලෝක ආර්ථිකය අන්තර් සබඳතාවයෙන් යුක්තයි. ඒකාග්‍රතාවයන් ඇතිවී තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. එම යථාර්ථය තුළ වෙළඳ සබඳතා මුළුමනින්ම බිඳී යෑමක් සිදුවිය නොහැකියි. මේවා දේශපාලන උප්පරවැට්ටි. නොවැම්බරයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් පසු යථාර්ථය මතුවේවි.

සරල කාරණය අධිරාජ්‍යවාදය දේශපාලන, ආර්ථික හා තාක්ෂණික වශයෙන් දුර්වලවී තිබෙනවා. චීනය, තාක්ෂණය අතින් G5 තාක්ෂණයත් සමඟ ඇමෙරිකාවට සමීප වී තිබෙනවා. ‘බ්‍රෙක්සිට්’ නැත්නම් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් දුර්වලවී තිබෙනවා. චීන - රුසියා උපාය මාර්ගික හවුල්කාරීත්වය තුළින් මිලිටරිමය වශයෙන්ද ඇමෙරිකාවට අභියෝගයන් එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ අධිරාජ්‍යවාදය හමුවේ ඇත්තේ විකල්ප තුනක් පමණයි. ඒ, චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, ගැටුම්කාරී තත්ත්වයකට යාම හෝ තරග කිරීම. නමුත් තරග කිරීමට ශක්තියක් නැහැ. ගැටුම්කාරීත්වයකට සූදානමක් නැහැ. සහයෝගයෙන් කටයුතු කිරීමට දීර්ඝකාලීන බියක් දක්වනවා. මෙම උභතෝකෝටිකය තුළ ඇමරිකාව කලාපීය යුද්ධ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයට ඇවිත් තියෙනවා. 

මෙය ඉතිහාසයේ මෙතෙක් අත්නොදුටු තත්ත්වයක්. සංවර්ධිත ධනේශ්වර රටකට ලෝක යුද්ධයක් කරා යන්නට අවකාශ නැහැ. යුද බිය තුලනකයක් තියෙනවා. අනිත් අතට යුද්ධය තවදුරටත් අර්බුදවලින් ගොඩ ඒම සඳහා වූ දේශපාලන විසඳුමක් නෙවෙයි. දැන් පවතින්නේ බහු ධ්‍රැව ලෝකයක්. ඇමරිකාව එදා රජ කළේ ඒක ධ්‍රැව ලෝකයක.

ඇමෙරිකාවේ නොවැම්බර් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාට හිමි වේද?

කවුරු බලයට පැමිණියත් යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනවා. ඩිමොක්‍රටික් පක්ෂයේ බයිඩන් ජයගත්තත් ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් සිදුවන්නේ නැහැ. දෙගොල්ලොම අධිරාජ්‍යවාදයේ දෙබෑයෝ.

සමහර අවස්ථාවල ඩොනල්ඩ් ට්‍රම්ප් සාධනීයයි. මා දන්නා ආකාරයට ඇමරිකානු ජනාධිපතිවරු අතුරින් යුද්ධයක් ප්‍රකාශ නොකළ එකම ජනාධිපති ඔහුයි. ඔහු කෑගසන පුද්ගලයෙක් බව සැබෑව. ඒ වගේම කෑනොගසන පුද්ගලයන් වඩා බියකරු පුද්ගලයන් වෙන්නත් පුලුවන්. යුද්ධ ප්‍රකාශ කර තිබෙන්නේ එවැනි අය. 

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කුමක් විය යුතුද?

පළමුව ශ්‍රී ලංකාව සැලකිල්ලට ගත යුතු කාරණාව තමයි, ආසියානු යථාර්ථය. අද ආසියාව ලෝක ආර්ථිකයේ පෙරගමන්කරුයි. ලෝකයේම අවධානය යොමුව තියෙන්නේ ආසියාව දෙසට.

දෙවනුව, වත්මන් ජාත්‍යන්තර සන්දර්භය තුළ ශ්‍රී ලංකාව නොබැඳි සම දුර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ‘මධ්‍යස්ථභාවය’ යනු වැට උඩ සිටීම නොවෙයි. ප්‍රතිපත්තිමය ස්ථාවරයක් මත පිහිටා කටයුතු කළ යුතු වෙනවා. (Dynamic neutralism)

තුන්වෙනුව, සියලු රටවල් සමඟ මිත්‍රත්තවයෙන් සිටිය යුතු වෙනවා. ඉන්දියාව අපේ නෑදැයා. චීනය අපේ මිතුරා. මිතුරා බොහෝ විට අපට සමීපයි. නෑදෑයින්ට වඩා මිතුරන් පිහිට වූ අවස්ථා තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන්ට තමයි ඉහළම ප්‍රමුඛතාවය දිය යුත්තේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට වසර 77ක් සම්පූර්ණ වී තිබෙනවා. ප්‍රධාන අරමුණු දෙකක් මතයි ඔබේ පක්ෂය පිහිටුවන්නේ. ඒ ස්වාධීනත්වය සහ සමාජවාදයයි. ඉතිහාසය දෙස නැවත හැරී බලන විට ඔබේ තක්සේරුව කුමක්ද?

කොමියුනිස්ට් පක්ෂයක අරමුණු දීර්ඝකාලීනයි.

මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ව්‍යාපාරයේ නිර්මාපකයන්. ඔවුන් අපේක්ෂා කළ වෙනස්කම් දකින්න ඔවුන් ජීවත් වූයේ නැහැ. ඔවුන් සංකල්ප සහ න්‍යායන් තුළින් බුද්ධිමය දායකත්වයන් ලබා දුන්නා. මිනිස් සමාජයේ වෙනස දීර්ඝකාලීන බව ඔවුන් දැන සිටියා.

අපේ පක්ෂයද දීර්ඝ කාලීන අරමුණුවල පිහිටා ගතවූ වසර 77 තුළ විශාල ජයග්‍රහණයන් අපේ සමාජයට ලබා දී තියෙනවා. ඒවා බොහොමයක් ලබා ගත්තේ බලයට පැමිණිලා නෙවෙයි. බලයේ පංගුකාරයන් වීමෙනුත් නෙවෙයි. පංගුකාරයින් වී අප රටට පූර්ණ නිදහස ලබා දුන්නා. සමාජ සංවර්ධනයට විශාල ජයග්‍රහණ ලබා දුන්නා. ජනරජ ව්‍යවස්ථාවක් ලබා දුන්නා. විදේශ වතු, බැංකු ජනසතු කළා. රට කාර්මිකකරණයට අඩිතාලම දැම්මා. සමාජවාදී රටවල් සමඟ සබඳතා ඇති කළා. නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට බලපෑම් කළා. විශ්‍රාම වැටුප්, අර්ථ සාධක ආදී වශයෙන් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ලබා දුන්නා.  පැවති ඓතිහාසික කොන්දේසි මත සමාජ සංවර්ධනයේ ජයග්‍රහණයන් ලබා දුන්නා. සමාජවාදය යනු දීර්ඝ කාලීන අරමුණක්. එය තීරණය කරනු ලබන්නේ ජගත් සංවර්ධනය මතයි.

සංවාදය - විදුනෙත් සියඹලාපිටිය

චීන තානාපති හුවේ


චීනය මෙන්ම ශ්‍රී ලංකාවත් කොවිඩ් ගෝලීය වසංගතය පාලනය කරලා. ආර්ථික සහයෝගිතාව වැඩිකරලීමට කාලය ඇවිත්ද?

දැන් කාලය ඇවිත්. තවත් බලා ඉන්න අවශ්‍ය නැහැ. මහ මැතිවරණයට පෙරත් අප දෙපාර්ශ්වය මේ පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

ඊටත් කලිනුත්, එනම් පසුගිය මාර්තු මාසයේදී විදේශ ණයක් ගෙවීමට අප මැදිහත්වී ඩොලර් මිලියන 400ක් ලබා දුන්නා, ඒ සහන ණයක් විදිහට. දින දහයක් ඇතුළත චීන සංවර්ධන බැංකුව සහන ණයක් විදිහට තවත් මිලියන 500ක් දුන්නා. ඒ වගේම ඩොලර් මිලියන 300ක ආයෝජනයකුත් අපි සූදානම් කර තිබෙනවා. ඒ ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. මෙම කර්මාන්ත ශාලාවට රබර් අවශ්‍ය වෙනවා. ඒ හරහා අලුතින් රැකියා අවස්ථා 2000ක් පමණ ඇති වේවි.

රබර්වලට හොඳ ඉල්ලුමක් තියෙනවද?

තියෙනවා. චීනයේ ටයර් කර්මාන්තශාලා රාශියක් තියෙනවා. රට තුළ ඉල්ලුමක් පවතින නිසා අපට රබර් අවශ්‍යයි. ශ්‍රී ලංකාවට තවත් රබර් සැපයිය හැකියි.

කොළඹ වරාය නගරයේ වත්මන් තත්ත්වය කෙබඳුද?

 චීනය ඒ සඳහා ඩොලර් බිලියන 1.4ක් ආයෝජනය කර තිබෙනවා. කොවිඩ් 19 කාලයේත් එහි වැඩ කටයුතු කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත වෙනවා. ලංකා පාර්ලිමේන්තුව මගින් ඒ සඳහා නීති සම්පාදනය කළ යුතු වෙනවා.

 මෑතදී ඇමරිකාව චීන ව්‍යාපාරවලට තහංචි දැම්මා. වරාය නගරයේ කටයුතුවලටත් ඉන් බාධාවක් වෙනවද?

ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජනය වන්නේ මේ වරාය නගරයයි. දෙවන අදියරට අපි තවත් ඩොලර් බිලියන 1.3ක් ආයෝජනය කරනවා. මේ ව්‍යාපෘතියෙන් රැකියා 83,000ක් ඇති කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ එන්ජිම වන්නේ එයයි.

ඇමරිකානු තහංචි ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. එය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකා භූමියේ. ඇමරිකානු භූමියක නොවෙයි. ඔය තහංචිවලට ජාත්‍යන්තර නීතියේ බැඳීමක් නැහැ.

1950 දී අප රබර් - සහල් ගිවිසුම අත්සන් කළේ ඔය තහංචි දමද්දි. එම තහංචි බිඳ දැමීමට එදත් අපි සමත් වුණා. අපට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඔය වගේ කොතරම් තහංචි විවිධ රටවලට පනවා තිබෙනවද? මේවා ශ්‍රී ලංකාවට අයිති දේ. ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති දේ.  මහජනතාවට අවශ්‍ය දේ මොනවාදැයි ජනාධිපතිත් දන්නවා. පාර්ලිමේන්තුවත් දන්නවා. රබර් - සහල් ගිවිසුම වගේ ගිවිසුමක් තමයි වරාය ව්‍යාපෘතියත්. ඉතින් මේ තහංචි කඩාගෙන යෑමට අප සූදානම්.

 ඉන්දියානු මාධ්‍ය මේ සබඳතා ගැන දැඩි විවේචන එල්ල කරනවා. 

කිසිදු පදනමක් නැතිව එල්ල කරන මාධ්‍ය විවේචන ගැන අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ.  ලංකාව අසල්වාසී රටවල් සමඟ මිත්‍ර සබඳතා තබාගත යුතුයි. එය ශ්‍රී ලංකාවේ ජාතික උවමනාවක්. එහි කිසිදු වරදක් නැහැ. අප ඒ ගැන සතුටු වෙනවා. එය රටවල් අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙතක්.

චීන - ඉන්දියා දේශ සීමාවල උණුසුම් තත්ත්වයක් තිබෙනවා නේද?

ඒවා දේශපාලන හා මිලිටරි වශයෙන් අප දෙපාර්ශ්වයට පාලනය කරගත හැකියි. මේ වෙලාවේ ඊට වඩා දෙයක් කීම අනවශ්‍යයි. එහෙත් මා එක් දෙයක් කියන්න ඕනේ. අපේ අසල්වාසී රටවල් 14න් 2ක් සමඟ දේශසීමා ප්‍රශ්න විසඳගෙන තියෙනවා. චීනය ලෝකයේ හෝ කලාපයේ අධිපත්‍යයක් අපේක්ෂා කරන්නේ නැහැ.

ඇමරිකා - චීන වෙළෙඳ ගැටුම ඔබේ අදහස කුමක්ද?

ඉන් බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. ඇමරිකානු සමාගම් කිහිපයක් චීනයෙන් පිටවී ගිය බව ඇත්තක්. ඔවුන් පිටව ගියේ අපේ කම්කරු හා පරිසර නීති තද නිසයි. ජාත්‍යන්තර මට්ටමේ ඇමරිකානු කොම්පැනි අප අත්හැර යන්නේ නැහැ. ඔවුන්ට කොහෙද ආයෝජන කළ හැක්කේ. වෙන කොහෙන්ද වෙළඳ පොළක් හොයාගන්න තියෙන්නේ. ඔවුන්ට ආරාක්ෂා සහිතම තැන චීනයයි. ඇමරිකානු ව්‍යාපාරවලින් 83%ක්ම කියා සිටින්නේ චීනය ආරක්ෂා සහිත තැන බවයි. කොවිඩ් 19න් පසු තත්ත්වය වඩාත් හොඳයි. 2020 දෙවන කාර්තුවේ අපේ දළ දේශීය නිෂ්පාදනය 3.2%ක්. ලොවේ ඉහළ තැනක්.

සේද මාවත ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය?

මහ මැතිවරණයෙන් පසු ඒ සඳහා හොඳ වාතාවරණයක් ගොඩ නැගී තිබෙනවා. දැන් තමයි හොඳම වෙලාව.

බටහිර රටවල ඉන්දු - පැසිපික් ප්‍රතිපත්තිය ගැන ඔබ කියන්නේ කුමක්ද?

නිදහස් සහ විවෘත නාවික ගමනාගමනයට අප විරුද්ධ නැහැ. එය හොඳ සංකල්පයක්. එහෙත් ඊට මුවාවී මිලිටරි කඳවුරු පිහිටුවීම ප්‍රශ්නයක්. ඉන්දු - පැසිපික් කලාපයේ දැනටමත් ලක්ෂ 3ක හමුදාවක් නතර කර තියෙනවා.

චීනයට එවැනි බලකායක් මේ කලාපයේ නැහැ. ශ්‍රී ලංකාව කළ යුත්තේ තව සෛවරීත්වය භෞමික අඛණ්ඩතාවය, නිදහස ආරක්ෂා කරගැනීමයි. ශ්‍රී ලංකාවේ ජාතික උවමනාවන් සතු අභිලාෂයන් රැකගත යුතුයි. රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමට ඉඩ නොදිය යුතුයි.

ණය කපාහැරීමක් හෝ නවතාලීම ගැනත් කතාබහක් තියෙනවා.

ආසන්න ගැටළු විසඳීමට එවැනි යෝජනා තියෙන්න පුළුවන්. එහෙත් දීර්ඝ කාලීනව එවැනි ප්‍රතිපත්තියක් රටකට අහිතකරයි. ශ්‍රී ලංකාව තම ණය වෙලාවට ගෙවන රටක්. හොඳම විකල්පය ණය නොව ආයෝජන. එහිදී චීනය පැකිලීමකින් තොරව ආධාර දෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති හුවේ මහතා සමඟ ඩේලි මිරර් පුවත්පත කළ සාකච්ඡාවක් ඇසුරිණි.

වම් ඉවුරේ වෙබ් නාදය