Saturday, 17 April 2021

සන්ධානයේ පක්ෂ අතර සම්බන්ධයේ, සාකච්ඡාවේ අඩුවක් තියෙනවා

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ


සාකච්ඡාව - සමන් ජයකොඩි #


ලංකා සමසමාජ පක්ෂය මේ සතියේ තමන්ගේ 85වන සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් වූ වැඩසටහන්වලින් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

ඔව්. අපි මුලින් සැලසුම් කළ වැඩසටහන් ඒ විදිහටම කරන්න බැරි වෙනවා. නමුත් අපි 18 වැනි සිකුරාදා සරල උත්සවයක් සංවිධානය කරල තියෙනවා. සෞඛ්‍ය උපමාන අනුවයි ඒ අවස්ථාව සංවිධානය කරන්නේ.

ජාත්‍යන්තරව සලකන විට ආසියානු ආර්ථිකයේ නැගීමක් පිළිබඳ කතා වෙනවා. වාමාංශික පක්ෂයක් හැටියට ඒ පිළිබඳ දරන්නේ මොනවගේ අදහසක්ද?

ආසියානු ආර්ථිකයේ වර්ධනය සලකපුවාම චීන ආර්ථිකය ඉන් සුවිශේෂී. අපට ඉමහත් සතුටක් තියෙනවා චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳව. පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශයක් කරමින් ඇමරිකාව පරාජය කරමින් චීනය ලෝකයේ පළමුවැනි ආර්ථිකය බවට පත්ව ඇති බව පිළිඅරන් තියෙනවා. ඒක විශිෂ්ඨ ජයග්‍රහණයක්. අධිරාජ්‍යවාදයේ එක්තරා ආකාරයක පරාජයක් විදිහටත් අපට මේක සලකන්න පුළුවන්. ඉදිරියේදී ඇමරිකානු ඩොලරය වෙනුවට චීන යුවානය ජාත්‍යන්තර වෙළඳ පළට ආදේශ වේවි. චීනයට උවමනා කරන්නේ වෙළදාම පමණයි. චීනය අධිරාජ්‍යවාදී රටක් නෙවෙයි. ඒ වගේම චීනය තවත් රටවල් පහළොවක් එකතු කරගෙන පසුගිය කාලයේ ඇතිකරගත් වෙළඳ ගිවිසුම ආසියානු ආර්ථිකයට තවත් ශක්තියක් වෙයි කියල මම හිතනවා.

ඇමරිකාව ඇතුළු අධිරාජ්‍ය රටවලට උවමනා වුණේ නව ලිබරල්වාදය ඔස්සේ තුන්වන ලෝකයේ රටවල් ඍජු සූරා කෑමකට ලක් කරන්න. එම්සීසී ගිවිසුම ආදී ගිවිසුම් අප මත පටවන්නේ ඒ මූලෝපාය හරහායි. චීනය ප්‍රමුඛ ආසියානු ආර්ථිකයේ පිබිදීම නිසා අධිරාජ්‍යවාදයේ මෙවන් සූරා කෑම් ඉදිරියේදී යම් දුර්වල වීමකට ලක්වෙයි කියල මම හිතනවා.

නමුත් ලොව පුරාත්, ලංකාවේත් චීන විරෝධී ප්‍රචාරයන්ගේ අඩුවක් නැහැ.

අනිවාර්යයෙන්ම. ඒක තමයි අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව. එවන් බලපෑම් අප වැනි රටවල්වලටත් තියෙනවා. ඔබාමා ජනාධිපති කාල සීමාව අවසන් කරන්න වසර දෙකකට පමණ පෙර බටහිර ලෝකයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන්ගේ සමුළුවකදී අනාවැකි පළ කර තිබුණා, අද තියෙන තත්ත්වය ගැන. ඒ කියන්නේ 2020 - 30 දශකය වන විට චීනයේ නැගීම පිළිබඳ අනාවැකි පළ කළා. ඒ නිසා ඊට විරුද්ධ ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අධිරාජ්‍යවාදීන් පසුබට වුණේ නැහැ. චීනයට විරුද්ධ ප්‍රචාරය එන්නෙත් එහෙමයි. පහුගිය කාලය පුරා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් චීනයට විරුද්ධව වෙළඳ යුද්ධයක් කළෙත් ඒ නිසයි. චීනයෙන් ආනයනය කරන සියලූ දේට විශාල බදු පැනෙව්වා. එහෙම තමයි අධිරාජ්‍යවාදය ක්‍රියා කළේ. ඇත්තටම චීනයට ඔවුන් බය වුණා කිව්වොත් නිවැරදී.

ජාත්‍යන්තරවත්, දේශීයවත් විශාල ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් ඉන්නවා?

මේ ආර්ථික අර්බුදය අපි පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලෝකයම ආර්ථික අර්බුදයක ඉන්නවා. 1929 - 33 කාලයේ තිබුණා වගේ ආර්ථික අවපාතයක තත්ත්වයට ඒ අර්බුදය වර්ධනය වේ යැයි ආර්ථික විශ්ලේෂකයන් මත පළ කරනවා. රටවල් ගණනාවක් වර්තමානයේදී ඍණ ආර්ථික වර්ධනයන් දක්වා පල්ලම් බැහැලා තියෙනවා. ලංකාවටත් ඒක සිද්ධ වෙලා තියෙනවා.
අපි පක්ෂයක් විදිහට විශේෂයෙන් අයවැය වෙනුවෙන් අපේ අදහස් ලබා දීමේදී දිගින් දිගටම කියපු කාරණාවක් තමයි, මෙවන් ආර්ථික අවපාතයක් ඉදිරියේදී එන්න නියමිතයි, ඒ නිසා ඊට සූදානම් වීමත් ජනතාව දැනුවත් කිරීමත් කළ යුතු බව. ඒ වෙනුවෙන් අපි පටි තද කළ යුතු බව අපි කිව්වා. මෙතනදි කියන්න අවශ්‍යයි පටි තද කළ යුත්තේ පුංචි මිනිහගෙ, සාමාන්‍ය ජනතාවගෙ නෙවෙයි, මුදල් තියෙන කෝටිපතියගෙනුයි පටන් ගත යුත්තේ. එහෙමයි අපි ආණ්ඩුවලට කිව්වේ. නමුත් ඒක සිද්ධ වෙලා නෑ. වර්තමානයේදී පුද්ගලික බද්ද 14%කටත් ආයතනගතව 18%ක් වැනි ප්‍රතිශතයකටත් බදු අඩු කිරීමක් කරල තියෙනවා. මෙය කිසිසේත් සාධාරණ ක්‍රියාවක් නෙවෙයි. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් තමයි සාමාන්‍ය ජනතාවගේ පිට වැඩි බර නොදා රට බේරා ගන්න හැකි වෙන්නේ. වෙළඳ ශේෂ හිඟය පියන්න, ණය බර අඩු කිරීම ආදි යෝජනා ගණනාවක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කරල තියෙනවා.

ලංකා සමසමාජ පක්ෂය වර්තමානයේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන සන්ධනානයේ. ඔබලාට සන්ධාන දේශපාලන නුපුරුදු දෙයක් නෙවෙයි. මේ සන්ධානය ගැන තියෙන අදහස මොකක්ද?

වර්තමානයේදී පෙර සන්ධානවල තිබුණු ආකාරයේ පක්ෂ අතර සම්බන්ධයේ, සාකච්ඡාවේ අඩුවක් අපිට පේන්න තියෙනවා. කලින් සතිපතා අගමැතිවරයාගේ ප්‍රධානත්වයනේ පක්ෂ නායක හමුවීම් තිබුණා. දැන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තත්ත්වය මත අපේ අදහස් නායක මට්ටමින් ඉදිරිපත් කරන්න අවස්ථාව අපට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ගන්න තීන්දු අනුව අපට සිද්ධ වෙනවා, ඒ තීන්දු පස්සෙ දැනගෙන අකමැති වුණත් ඒවට එකඟ වෙන්න. එය කිසිසේත් සන්ධානයක් හැටියට කටයුතු කිරීමේදී සුදුසු දෙයක් නෙවෙයි. මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් විය යුතුයි. අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලයේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියලා.

වමේ සහ ප්‍රගතිශීලී බලවේගවල එකතුවක් පිළිබඳ හැමදාම කතා වෙනවා?

ඒ ගැන අපි වඩා හොඳින් කල්පනා කළ යුතු කාලයක් කියලයි අපි හිතන්නේ. අද වෙද්දි වෙනදාටත් වඩා අපි කොමියුනිස්ට් පක්ෂය එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරනවා. ඒ ගැන අපි පක්ෂයක් විදිහට ඉතාමත් සතුටුයි. අප පක්ෂ දෙක අතර දේශපාලන වශයෙන් වෙනසක් නැහැ. එක් මාක්ස්වාදී පක්ෂයක් විදිහට පක්ෂ දෙක එක් වෙන්න වුණත් අපිට කාලය ඇවිත් කියලයි මම හිතන්නේ. ඒකට අපිට සමාජවාදී ජනතා පෙරමුණේ ක්‍රියා කරන මහජන පක්ෂත් දේශවිමුක්ති ජනතා පක්ෂයත් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සමගිය තුළින් වඩා කිට්ටුවෙන් වැඩ කළ යුතු කාලයක් කියල මම හිතනවා. එහෙම එකතු වීම තුළින් අපේ ශක්තිය අපේ හඬ වර්ධනය කරන්න පුළුවන්.
ඒත් සමඟම මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ සම්‍ඟත් එකඟත්වයෙන් වැඩ කරන්න අපි උත්සාහ කළ යුතුයි. ඒ හරහා සන්ධානය තුළ අපේ ශක්තිය වැඩි කරගන්න අපට හැකිවෙයි කියල මම හිතනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා තිබුණා, මූලාශ්‍රයක් නැති කොවිඞ් 19 රෝගීන් සමාජයෙන් වාර්තා වුණත් තවමත් කොවිඞ් 19 සමාජගත වීමක් නැහැ කියලා. ජ්‍යෙෂ්ඨ වෛරස පිළිබඳ විශේෂඥවරයෙක් වශයෙන් මේ ගැන ඔබේ අදහස කුමක්ද?

දැනටමත් කොවිඞ් 19 රෝගය සමාජගත වෙලා අවසන්. ඒ පිළිබඳව මගේ නම් කිසිම සැකයක් හෝ දෙගිඩියාවක් නැහැ. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුගෙන් තමන්ට මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන් කියල හිතලා තමන් ආරක්ෂා වීමයි දැන් කළ යුත්තේ. ඒ සඳහා හඳුන්වා දී තිබෙන මූලික සෞඛ්‍ය පුරුදු තුන අනුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ සමාජ දුරස්ථ භාවය, මුව ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදු කිරීම. ඒ අනුව කටයුතු කරනවා නම් අපට මේ වෛරසයෙන් බේරෙන්න පුළුවන්. ⋆

 

 

 

 

වම් ඉවුරේ වෙබ් නාදය