Friday, 29 March 2024

කොවිඩ් නිසා ජාතික රෝහලේ කිසිම අංශයක් වැහුවේ නැහැ

වෛද්‍ය කුමාර වික්‍රමසිංහ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික රෝහලේ අධ්‍යක්ෂ


ජාතික රෝහල කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නෙ කොහොමද?

ජාතික රෝහල කියල කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානතම සහ විශාලතම රෝහල. ඇඳන් 3270ක් තියෙන අක්කර 32ක් පුරා පැතිරුණ රෝහලක්. නව දහසක විතර කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරනවා. ලංකාවේ තියෙන සියලූම විශේෂඥ සේවාවන් සපයන තැනක්. ඒ නිසාම කොවිඩ් වසංගතය ඇතුළත වුණත් සාමාන්‍ය සේවාවන් නිතිපතා පවත්වාගෙන යෑමේ අභියෝගයක් අපිට තිබුණා. කොවිඩ් වසංගතයේ පළමු රැල්ල ලංකාවේ ඇති වුණේ පහුගිය අවුරුද්දේ පෙබරවාරි - මාර්තු මාසවල. ඒ අනුව කොවිඩ් රෝගීන්ගෙන් අනෙක් රෝගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේද සකස් කරන්න සිද්ධ වුණා.

මුලින්ම අපි කොවිඩ් රෝගීන් යැයි සැකකෙරෙන අය වෙනුවෙන්ම සුවිශේෂී වාට්ටු කිහිපයක් වෙන් කළා. ඔවුන් වෙනුවෙන් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් පසුව තමයි අපි වෙනත් සාමාන්‍ය වාට්ටු වෙත එම රෝගීන් ඇතුළත් කරගත්තේ. සමහර රෝගීන් එනවා ඉතා හදිසියේ කටයුතු කළ යුතුවෙන. ඔවුන්ට කොවිඞ් වැළඳී තියෙන්නත් පුළුවන්. උදාහරණ විදිහට හදවතේ රෝගී තත්ත්ව සමඟ පැමිණෙන්නන්, හදිසි ශල්‍යකර්ම හෝ හදිසි අනතුරුවලට ලක්වී පැමිණෙන්නන්. ඒ අය සඳහා එම සාමාන්‍ය වාට්ටුවලම වෙන්කළ කොටස්වලට ඇතුළත් කර ගත්තා. ඒ අය වෙනුවෙන් රෝහල පැත්තෙන් සිදුකළ යුතු සියලූ කාරණා අපි සිද්ධ කළා.

පසුගිය වසරේ මුල කොවිඩ් වසංගතය ආරම්භ වුණත් ජාතික රෝහලේ පීසීආර් පරීක්ෂණ කරන්න පටන්ගත්තේ මේ වසරේ ජනවාරි මාසයේ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. මේ නිසා රෝහලේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ ප්‍රමාදයන් ඇති වුණේ නැද්ද?

පීසීආර් පරීක්ෂණය කියන්නේ කොවිඩ්වලට වගේම තවත් රෝග කිහිපයක් හඳුනාගන්න කරන පරීක්ෂණයක්. මීට කලින් අපි කළේ අපිට පීසීආර් පරීක්ෂණයක් කර ගන්න අවශ්‍ය වුණාම වෛද්‍ය පරීක්ෂණ ආයතනය හරහා කරවා ගැනීමයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් රටේ කොවිඩ් රෝගීන් වැඩි වෙද්දි පරීක්ෂණ ප්‍රතිපල එන්න ප්‍රමාද වෙන තත්ත්වයක් ඇති වුණා. ඒ වෙලාවේ අපිට වෙනම පීසීආර් පරීක්ෂණාගාරයක් අවශ්‍ය බව අපි තේරුම් අරන් පරීක්ෂණාගාරයක් සෑදිමේ කටයුතු ආරම්භ කළා. ඒ වෙනුවෙන් ජාතික රෝහලේ අලූත් තැනක් හදන්න වුණා, අවශ්‍ය සියලූ උපකරණ ලබාගත යුතු වුණා. ඒක හදිසියේ කළ හැකි දෙයක් වුණේ නැහැ. එතෙක් අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයට අමතරව කොළඹ වෛද්‍ය පීඨයෙනුත් අවශ්‍ය පීසීආර් පරීක්ෂණ සිදු කරගත්තා. පීසීආර් ප්‍රතිපල ලැබෙන තුරු කියලා අපි කිසිම වෙලාවක රෝගීයාට අවශ්‍ය ප්‍රතිකාර කිරීම් නැවැත්තුවේ නැහැ.

අපේ අලුත් පීසීආර් පරීක්ෂණාගාරයට අවශ්‍ය සියලූම උපකරණ අපිට දානපතියන්ගෙන් ලැබුණා. දැන් අපිට දිනකට පීසීආර් පරීක්ෂණ දෙසීයකට ආසන්න ගණනක් සිදු කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය අපේ රෝහලේ අවශ්‍යතාවයට බොහෝ විට ප්‍රමාණවත්. ඒ වගේම පසුව හඳුන්වාදුන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයත් දැන් රෝහලට ඇතුළත් කරන හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හැර අන් සියලූම රෝගීන්ට සිදු කරනවා. සියලූම කාර්ය මණ්ඩලය
රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරනවා. කොවිඞ් යැයි සැක කරන රෝගීන්ට පවා අවශ්‍ය සියලු ප්‍රතිකාර ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුව යමින් ඔවුන් සිදු කළා. ඒ නිසා කාර්ය මණ්ඩලයට කොවිඞ් වැළඳීමක් සිදු වුණෙත් නැහැ.

කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමේ වැඩ කටයුතු සිද්ධ වුණේ කොහොමද?

එන්නත ලැබිලා දැන් සුළු කාලයක්. මුලින්ම මේ එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය සේවකයන්ටනේ. ඒ අනුව අපි පළමු දිනයේ සිටම අපේ කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම ආරම්භ කළා. ඒ අනුව ජාතික රෝහලේ ස්ථාන හතරකදී එම එන්නත් ලබා දීම සිදු කළා. එන්නත් ලබා දීමෙන් පසු යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කලින් සංකූලතා ඇති වුණු අයත් ඉන්න පුළුවන්. ඒ නිසා එන්නත් ලබා දීමේදී සැලිකිලිමත්ව කටයුතු කළ යුතු වුණා. ඒ අනුව රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 95%කට වැඩි පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තියෙනවා. අපේ රෝහලට අමතරව වසංගත රෝග අංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයේ අංශ කිහිපයකටත් ජාතික රෝහලේදී එන්නත් ලබා දුන්නා. ඒ අනුව මේ වෙන විට මේ රෝහලෙන් එන්නත් මාත‍්‍රා 10,100කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා.

එන්නත් ලබාදුන් අයට අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබුණද?

එන්නත ලබා දීමෙන් පසු උණ ඇති වීම වගේ දේවල් සිද්ධ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. කිහිප දෙනෙකුට වමනය ඇතිවෙලා තිබුණා. ඊට අමතරව වෙනත් කිසිදු අතුරු ආබාධයත් ඇති වුණේ නැහැ.

කොරෝනා නිසා රෝහලේ බාහිර රෝගී අංශ, සායන වගේ අනිත් කාර්යයන්ට සිදුවෙලා තියෙන බලපෑම කොහොමද?

කොවිඞ් තත්ත්වය මත රෝහලට රෝගීන් පැමිණීම අඩු වුණා. සාමාන්‍ය දිනකදී සායනවලට සහ බාහිර රෝගී අංශවලට 6,000ක පමණ පිරිසක් රෝහලට පැමිණෙනවා. මිනිසුන් ඒකරාශී වීමෙන් මේ වසංගතය පැතිරීම වේගවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමහර රෝගීන් සායනවලට පැමිණෙන්නේ අවශ්‍ය ඖෂධ අරන් යන්න පමණක්මයි. ඒ අනුව ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය මත සායනවලට පැමිණෙන පිරිස් සීමා කිරීමේ ප්‍රතිපත්තියකට යන්න වුණා. ඒ අනුව දුරකතන සමාගම්වල උදව්වෙන් විශේෂ දුරකතන මාර්ග ගණනාවක් ඒ ඒ සායනවලට ලබා දුන්නා. ඉන් පස්සේ මාධ්‍ය හරහා ඒ ඒ සායනවලට පැමිණෙන අයට ඒ අදාළ දුරකතනය හරහා අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලය යෙදෙව්වා. එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මාර්ගිකව ලබා දුන්නා. ඒ අනුව තවමත් අපි දහසක පමණ පිරිසකට තැපැල් මාර්ගිකව බෙහෙත් යවනවා. මේ වන විට නැවතත් ටිකෙන් ටික සායනවලට පිරිස් පැමිණෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන්, අසනීපයක් වුණොත් මොකද කරන්නේ කියලා. ජාතික රෝහලේ කිසිම අංශයක් වහල නැහැ. එන ඕනෙම රෝගියෙක් භාර ගන්නවා. බාහිර රෝගී අංශයෙත් අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. ඒ වගේම කොවිඞ් යැයි සැක කෙරෙන, නැත්නම් කොවිඞ් පැතිරෙන ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් වෙනුවෙන් වාට්ටු සහ ශල්‍යාගාර පවා අපි වෙන් කරල තියෙනවා.

කොවිඩ්වලට අමතරව වෙනත් බෝ නොවන රෝග නිසා සිදුවන මරණවල වැඩි වීමක්, එහෙමත් නැත්නම් නිවසේදී සිදුවන මරණවල වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවද?

සංඛ්‍යා ලේඛනවලට අනුව නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. රෝගියා රෝහලකට ගෙනයාම සඳහා වූ තීරණ ගැනීමේ ප්‍රමාදකම් කවදත් තිබුණා. බෝ නොවන රෝගී සමහර අය ඉන්නවා කොවිඞ් තිබුණත් නැතත් හරියට බෙහෙත් ගන්නේ නැති අය. සමහර අය තවමත් ඉන්නවා එවන් රෝගයක් තමන්ට තියෙන බව නොදන්න, තමන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් කර නොගන්න අය ඉන්නවා. මේ කාලය තුළ බෝ නොවන රෝගී සංකූලතා සහ මරණ වාර්තා වූ බවක් සංඛ්‍යා ලේඛනවලට අනුව පේන්නේ නැහැ.

තව කලක් මේ විදිහට කොවිඩ් සමඟ අපට ඉන්න වේවි නේද?

ඔව්, කොවිඩ් වසංගතය සමඟ අපට ජීවත් වෙන්න සිදු වේවි. ලොක්ඩවුන් තත්ත්ව ඇති කිරීමත් අපේ වගේ රටකට දරාගන්න පුළුවන් දේවල් නෙවෙයි. එන්නත ඉක්මණින් සියලු දෙනාටම ලබා දිය යුතුයි. අපි දන්නවා වෛද්‍ය විද්‍යාත්මකව ජනගහනයෙන් 70% - 80%කට එන්නත ලබා දුන්නාම සාමූහික ප්‍රතිශක්තියක් ඇති වෙලා බෝ වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. එන්නත ලබා ගත්තාය කියලා කොවිඩ් ආසාදනය වීම නවතින්නේ නැහැ. එන්නත ලබා දීමේ පරමාර්ථය තමයි කොවිඞ් නිසා සිදුවන මරණ සහ සංකූලතා අවම කරගැනීම. ඒ නිසා එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.

අවසන් වශයෙන් ජාතික රෝහල කොවිඞ් අභියෝගයට සාර්ථකව මුහණ දෙමින් ඉන්නවා කියල හිතෙනවද?

කොවිඩ් වසංගතය මැද අපේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන රෝගී සත්කාරක කටයුතු ප්‍රමාදයකින් තොරව, නිසි පරිදි පවත්වාගෙන යන්න හැකි වුණා. ඒ අනුව ජාතික රෝහල විදිහට අපේ කාර්ය නොපිරිහෙලා ඉෂ්ඨ කළා කියලා මම හිතනවා. 

# සාකච්ඡාව - සමන් ජයකොඩි 

 

වම් ඉවුරේ වෙබ් නාදය