Saturday, 17 April 2021

අවංකව ක්‍රියා කළා නම් ජිනීවාවල මේ තත්ත්වයන් ඇති නොවෙන්න තිබුණා

 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ


 

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමෙන් ලංකාව පරාදයි. මොකක්ද වුණේ?

ජිනීවාවලදී පැවතිච්ච ඡන්ද විමසීමේදී අපට පක්ෂව ලැබුණේ ඡන්ද එකොළහයි. රටවල් 22ක් විරුද්ධ වෙලා තියෙනවා. මෙහිදී ඡන්දය ප්‍රකාශ නොකර සිටි රටවල් සහ අපට විරුද්ධ වුණු සමහර රටවල් දිහා බලන විට මේ ඡන්දය වෙනුවෙන් අපේ පැත්තට රටවල් නම්මවා ගන්න රජය කෙතරම් වෙහස වුණාද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. උදාහරණයක් විදිහට ලතින් ඇමරිකානු කලාපයේ මෙක්සිකෝව අපට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. ආර්ජන්ටිනාව අපට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. උරුගුවේ රාජ්‍යය අපිට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. මේ රටවල් තුනම වාමාංශික දේශපාලන බලවේගවලින් පාලනය කරන රටවල්. මේ රටවල් එක්ක මොන විදිහටද රජය ක්‍රියා කළේ කියල අපි දන්නෙ නැහැ.

ආසියාව පැත්තනේ මේ වෙලාවෙ අර්බුදයක හිටියත් නේපාලය සමඟ රජය කොයි විදිහටද සාකච්ඡා කළේ කියල අපිට පැහැදිලි නැහැ. ඔවුන් ඡන්දය දීමෙන් වැළකී හිටියා. තර්කානුකූලව හිතුවොත් ඉන්දීය බලපෑමක් ඔවුන්ට තියෙන්න ඇති. නමුත් අපටත් ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. ඉන්දුනීසියාව වගේ රටවලුත් ඡන්දය දීමෙන් වැළකී හිටියා. එක පැත්තකින් රජය මේ  ඡන්දය සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය අපිට පැහැදිලි නැහැ.

අනෙක් පැත්තෙන් රජය පසුගිය මාස කිහිපය පුරා ජිනීවාවල මේ සිද්ධ වෙන දේ ගැන සංවේදීව නෙවෙයි රට අභ්‍යන්තරයේ ක්‍රියා කළේ. හොඳම උදාහරණය කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය පිළිබඳ ගැටළුව රජය කටයුතු කළ අවිචාරයත් විදිහ. ඒ පිළිබඳ ජිනීවා යෝජනාවේ මේ ප්‍රශ්නයත් තියෙනවා. ඒක ඉවත් කරගෙන නැහැ. ජාත්‍යන්තර වශයෙන් එහි තියෙන බලපෑම අපිට තේරුම් ගන්න පුළුවන්නේ.

ඒ වගේම අනෙක් කාරණය තමයි පළාත් සභා මැතිවරණය. මෙවන් ප්‍රශ්නයක් එන බව දැන දැන අපි පළාත් සභා පිළිබඳ කටයුතු කළේ ප්‍රශස්ත විදිහට නෙවෙයි. අවසානයේ අපි පොරොන්දුවෙනවා මැතිවරණ තියන්න රටටටත් ලෝකයටත්. නමුත් හානිය වෙලා ඉවරයි. අපේ සමහර මිත්‍ර රටවලට එත්තු ගන්නන්න බැරි වුණා අපි මෙහෙම තීරණයක් අරන් තියෙනවා, අපිත් එක්ක ඡන්දෙ දෙන්න කියලා. මුස්ලිම් කාන්තාවන්ගේ කාන්තාවන්ගලේ ඇඳුම් පිළිබඳවත් අවිචාරත්වවයි හැසිරුණේ. එක් ඇමැතිවරයෙක් තමන්ට හිතෙන දේ කියනවා. ඇමැති මණ්ඩලය කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. ජනාධිපතිවරයා මේවා පාලනය කරන්න අවශ්‍යයිනේ. අපාලිත තත්ත්වයකුයි තිබුණේ. මේවා ජාත්‍යන්තර වශයෙන් අපට නරක විදිහට බලපෑවේ.

අපිට චෝදනා කරන රටවල් ගැන අදහස මොකක්ද?

අපිට චෝදනා කරන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේ මේ රටවල් දිහා බලපුවාම ඔවුන්ට මොකක්ද තියෙන අයිතිය අපේ රටවල මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න. මේ අයගේ ලෝකය පුරා හැසිරීම බලන්න. ඉරාකය විනාශ කළා. ලක්ෂ 15ක් ජනතාව ඝාතනය කළා. ලිබියාව, යේමනය විනාශ කළා. කිසිම ආරාධනයක් නැතුව සිරියාවට ගිහින් ඇමරිකාව යුද්ධ කරනවා. සිරියාවේ තෙල් බලහත්කාරයෙන් කොල්ල කනවා. අවුරුදු 150ක් එංගලන්තය අපිව යටත් කරන් හිටියා. මේ අය අපේ මානව අයිතිවාසිකම් රැක්කද ඔය අවුරුදුවල. එහෙව් අය තමයි අද මේ විදිහට කටයුතු කරන්නේ. ඒක එක්තරා ආකාරයක සරදමක්.

ඇත්තටම ඔවුන් චෝදනා කරන දෙමළ ජාතිකයන් සම්බන්ධ ගැටළු අපේ රටේ නැද්ද?

මීට කලිනුත් අපි නොයෙක්වර කියල තියෙනවා, දෙමළ ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්න තියෙන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතන ආර්ථික ගැටළු තියෙනවා. සාමාජීය ගැටළු තියෙනවා. මේ ප්‍රදේශවලට ගියාම අපිට පේන දේ තමයි, යුද්ධය අවසන් වෙලා වසර 12ක් ගිහිල්ලත්, ඒ මුල් යුගයේ  යම් යම් තැන්වල සිදුවුණු යම් යම් දේ හැරුණු කොට කිසිදෙයක් වෙලා නැහැ පහුගිය අවුරුදුවල. ඒ වර්තමාන රජයට චෝදනාවක් විදිහට නෙවෙයි. පසුගිය රජයවල් කිහිපය සහ පළාත් සභා ආදී කිසිවකින් යමක් සිද්ධ වෙලා නැහැ. කාගෙන් සිදු වුණේ නැතත් අවසානයේ රජයයි වගකිව යුතු වෙන්නේ. පළාත් සභාව වැඩ නොකළත් ඒකට වගකියන්න ඕනේ රජය.

ඒ අයගේ යටිතල පහසුකම්වල ප්‍රශ්නයක් තියෙනවා. දකුණේ සහ උතුරේ යටිතල පහසුකම්වල වෙනසක් තියෙනවා. දකුණේ තියෙන යටිතල පහසුකම් අදටත් උතුරට නැහැ. ඒක පාරවල් වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, පානීය ජලය, ප්‍රවාහන දෙයක් වෙන්න පුළුවන්. මේ සියල්ල ඉතා ප්‍රාථමික මට්ටමින් එහි සිද්ධ වෙන්නේ. ඇත්ත, යාපනේ යන ප්‍රධාන පාර කාපට් කරලා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරුණු ගමන් වෙනස පේනවා. යාපනය හැරුණු කොට, වව්නියා, කිලිනොච්චි, මුලතිව් වගේ ප්‍රදේශවල තත්ත්වය ඉතාම නරකයි.

ඒ වගේම උතුරේ ජනතාවගේ සාමාජීය තත්ත්වය. මොනවද ඔවුන්ට සපයන ආර්ථික විසඳුම්. මිනිස්සුන්ගේ ජීවිත කඩා වැටිලා තියෙන්නේ. මේ අයගෙන් ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා “අපි ලංකාවේ පුරවැසියන් නෙවේද” කියලා. යුද්ධයට අදාළ නොවිසඳුණු ගැටළු රාශියක් තවමත් ඉතුරුයි. විවිධ කොමිෂන් සභා පත්වුණා. පරණගම කොමිෂම, උගත් පාඩම් කොමිෂම, උදලාගම ආදී වශයෙන්. මේ එකකවත් තිබුණු නිර්දේශ ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කළා නම්, අවම වශයෙන් ක්‍රියාත්මක කරන්න අවංකව උත්සාහ ගනිමින් සිටියා නම් මේ ජිනීවාවල මේ තත්ත්වයන් ඇති නොවෙන්න තිබුණා.

පළාත් සභා ක්‍රමය වෙනුවෙන් ඔබලා පෙනී ඉන්නවා.

පළාත් සභාව තමයි දෙමළ ජනතාවට ලැබුණු සීමාසහිත විසඳුම. ඔවුන් ඒක සම්පූර්ණ විසඳුමක් වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් දැන් ලැබුණු විසඳුමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභාව ඉල්ල ගන්නත් සටන් කරන්න වෙලා. ජාතික ගීය දෙමළෙන් ගායනා කරමින් තිබුණු එකත් නැතුව ගිහින්. තිබුණු තැනින් තවත් පහළට ගිය තත්ත්වයක් උතුරට දැනෙමින් තියෙනවා.

ඒ වගේම ආර්ථික ගැටළුව. අපි දන්නවා උතුරේ ජනතාවට විදෙස්ගත ඥාතීන් විසින් එවූ මුදල් අඩුවෙමින් පවතින බව සමහර නිරීක්ෂකයින් ප්‍රකාශ කරනවා. ඒකට කාරණා කිහිපයක් බලපානවා. එකක් ඒ රටවල තියෙන ආර්ථික අපහසුතා. අනික් කාරණය තමයි යාපනයේ ඥාතීන්ට මුදල් එවුවේ අසූ ගණන්වල මේ රටින් විදෙස් රටවල පදිංචියට ගිය පිරිස්. ඒ තරුණ පරම්පරාව තමන්ගේ දෙමව්පියන්ට තමයි ඒ සල්ලි එවුවේ. දැන් ඒ දෙමව්පියන් ජීවතුන් අතර නැතිවේගෙන යනවා. අනික් අතට ඒ විදෙස්ගත වුණු අයගේ  ඊළඟ පරම්පරාව, ඔවුන්ගේ දරුවන් ලංකාව සමඟ තිබුණු බැඳීම්වල තීව්‍රතාවයන් අඩු වෙමින් යනවා. මේ කාරණා මත විදේශවලින් ලැබෙන මුදල් අඩුවෙලා තියෙනවා. අනෙක් අතට රටේ හැම තැනම වගේ කොවිඩ් නිසා ඇතිවෙන විරැකියාවත් යාපනයේ තියෙනවා.

උතුරට වෙනස් ආකාරයකින් සලකනවා කියලද ඔබ කියන්නේ.

රටේ අනික් තැන්වල රාජ්‍ය ආයතන විසින් විවිධ මට්ටමින් සංවර්ධන කටයුතු සිදු වුණත් උතුරේ එහෙම තත්ත්වයක් පෙන්න නැහැ. මේ නිසා කෙනෙකුට හිතෙනව නම් උතුරේ ජනතාවට වෙනස් ආකාරයකින් සලකනවා කියලා, එහෙම ඇතිවෙන්න සාධාරණ හේතු තියෙනවා. අපි රජයට බල කළ යුතුයි සියලු ජනතාවට එක ආකාරයකින් සලකන්න කියලා. උතුරට එක හැන්දකිනුත් දකුණට එක හැන්දකිනුත් කියන බෙදීමකට නොයා යුතුයි.

අපි කියන්නේ මේ ජාතික ප්‍රශ්නය විසඳිය යුතුයි. ජාතික ප්‍රශ්නය කියන්නේ අධිරාජ්‍යවාදය විසින් මේ රටේ ඇතිකරපු ප්‍රශ්නයක්. අධිරාජ්‍යවාදය කියන්නේ ධනවාදයේ ඉහළම අවධිය. මේක ධනවාදී සමාජ සංවර්ධනයේ අතුරු පලයක් විදිහටයි මේ ජනවාර්ගික ප්‍රශ්නයත් පැන නගින්නේ. අපි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ ප්‍රශ්නය අවසාන වශයෙන් විසඳ ගන්න වෙන්නේ සමාජවාදී ක්‍රමයක් තුළින්. එතෙක් මිනිස්සුන්ට බලන් ඉන්න බැහැ. ඒ නිසා ඉදිරිපත්වෙන, දෙමළ ජනතාව කැමති වෙන ඕනෑම විසඳුමකට අපි කැමතියි. ඒ අනුවයි අපි පළාත් සභා ක්‍රමයට සහාය දෙන්නේ. පළාත් සභාව හොඳම විසඳුම කියන මතයේ ඉදලා නෙවෙයි. දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදිය යුතුයි කියන මතය සිංහල ජනතාව අතරට අපි ගෙනියනවා. අපි දෙමළ ජනතාව අතරට ගිහින් කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් ලබාගත යුත්තේ එක රටක් ඇතුළේ කියලයි. මෙවන් ද්විත්ව ප්‍රවේශයකින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් අපි විශ්වාස කරනවා සමාජවාදී ක්‍රමයකින් තමයි නියම විසඳුම් ලබාගත හැකිවෙන්නේ කියලා. ඒ නිසා අපි දෙමළ ජනතාවට ආරාධනා කරනවා අපිත් සමඟ මේ සමාජවාදය වෙනුවෙන් කරන පොදු අරගලය සමඟ එකතු වෙන්න කියලා.

 

සංවාදය - සමන් ජයකොඩි 

 

වම් ඉවුරේ වෙබ් නාදය