වත්මන් පාලකයින්ට පනස් හයේ උගත් පාඩම්
පක්ෂ නායකයෙකු නොවන ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනපති භූමිකාව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණ තව දින කිහිපයකින් වසරක් පිරෙනු ඇත. නව පාර්ලිමේන්තුව ස්ථාපිත කරනු ලැබ මාස තුනක් පිරීමට ආසන්නය. නව රජය හමුවේ ප්‍රබල මෙන්ම තීරණාත්මක අභියෝග රැසක්ම තිබියදී (ගෝලීය, කලාපීය හා ජාතික වශයෙන්) ආණ්ඩුව ඉහළම ජාතික ප්රමුඛත්වයක් ව්‍යවස්ථා සංශෝධනයට ලබා දීමට පෙළඹුනේ ඇයි? මෙය පිළිතුරක් නැති ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ කර්තෘ කවුදැයි යන ප්රශ්නය සමාජය තුළින් මෙන්ම රජය තුළින්ද පැන නැගුණි. පනත ගැසට් කරනු ලැබුවේ 2020 අගෝස්තු 28 දිනය. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ආවේ ඊට දින කිහිපයකට පෙරය. බලයට පැමිණි විගස ව්‍යවස්ථා සංශෝධනය ස`දහා හදිසි වූයේ ඇයි? කුමක්ද මේ හදිස්සිය?
ව්‍යවස්ථා පනත ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ එය තමාගේ නිෂ්පාදනයක් හෝ නිර්මාණයක් හෝ නොවන බවයි. අමාත්‍ය මණ්ඩලය තුළින්ම මෙම ප්රශ්නය යළි මතු වු අවස්ථාවේ එහි කර්තෘත්වය තමන් භාරගන්නා බව කියා සිටියේය.
2020 අගෝස්තු 28 සිට ඔක්තෝම්බර් 20 දක්වා (පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම දක්වා) රට තුළ පැවතියේ මහත් කැළඹිලි තත්ත්වයකි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 38ක් ඉදිරිපත් විය. ඒ අතර, පොදුජන පෙරමුණට අයත් පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා, කතෝලික පල්ලිය, ක්‍රිස්තියානි පල්ලිය, ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සිය විරෝධය පළ කර සිටියහ. විපක්ෂයේ විරෝධතාවයට වඩා රජය තුළ, පක්ෂය තුළ, සන්ධානය තුළ විරෝධතා ප්‍රබල විය. මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරු පවා මැදිහත් වූහ.
හැට නව ලක්ෂයක් ඡන්දදායකයින් දෙවරක්ම පිට පිට ඡුන්ද දුන් රජයක් අසීරුතාවයට පත්වූයේ කෙසේද? පත් කළේ කව්ද? උපදෙස් දුන්නේ කව්ද? කර්තෘත්වය භාර ගැනීමටවත් කෙනෙකු නොවීය. දුෂ්කර හා අසීරු තත්ත්වයට රජය ඇද දැමුවේ කව්ද? අවසානයේදී ජනපතිට වගකීම භාර ගැනීමට සිදුවිය.අගමැති විසින් කමිටුවක් පත් කිරීමට ද බලකෙරුණි. ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීමට ජේආර්ටත් වඩාත් කැක්කුමක් තිබෙන අය ඉදිරිපත් වුවද, අවසානයේදී සියලූ දෙනා නිහඩ වූහ. ජනපති හැර සෙසු සියලූ දෙනා නිහඩ වූහ.
ව්‍යවස්ථා සංශෝධනයට අඩංගු කරුණුවලින් විෂඝෝර සංශෝධන සතරටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුණේ ජනමත විචාරණයකට යෑම සඳහා පමණය.
ශ්රේෂ්ඨාධිකරණයේදීම නීතිපති මැදිහත් වී සංශෝධනවලට සංශෝධන ඉදිරිපත් කළේය. තවත් තුනක් අමාත්‍ය මණ්ඩලයේදී හැලූණි. 19 වන ව්‍යවස්ථාවේ සාධනීය කාරණා ඉතිිරි වුණි. අවසානයේ ඉතිරි වුණේ මත භේදයට තුඩුදුන් ද්විත්ව පුරවැසිභාවය පිළිබ`ද සංශෝධනය පමණයි.
එහෙත්, සමාජය තුළින්, පූජ්‍ය පක්ෂය තුළින්, බහුජන සංවිධාන තුළින්, පෙරමුණ ආණ්ඩුව තුළින් වඩාත් විරෝධයට ලක් වූයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සංශෝධනයටය.
එම ප්‍රශ්නයට පමණක් අවසානයේදී ඉතිරි වූයේ කෙසේද? එය රට හමුවේ ජාතික ප්‍රශ්නයක්ද? ජනාධිපති ගෝඨාභයට ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන, මැතිවරණ සටනට පිවිසීමට හැකි නම් එම ප්රශ්නය පමණක් ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ කෙසේද? ගෝඨාභය ඉලක්කකොට මෙම සංශෝධනය ගෙනාවත් මෙය දැන් ඉවත්කරලීමෙන් සිදුවන්නේ ද්විත්ව පුරවැසියන් රජයේ ඉහළ තනතුරුවලට ගෙන ඒම සඳහා වු යටි අරමුණක් නොවේද?
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරුන් සියලූ දෙනා අතරින් පක්ෂ නායකයෙකු නොවන එකම විධායක ජනාධිපති ගෝඨාභය පමණයි. මෛත්‍රීපාල සිරිසේන කිසිදු පක්ෂයකට අයත් නොවුණද ජනාධිපති වූ සැනින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයාද විය. ආරම්භයේදී පරාජිත ආණ්ඩු පක්ෂයම ඔහු ජනාධිපතිවරයා වශයෙන් පිළිගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ම පක්ෂය සහ සන්ධානය බන්දේසියේ තබා මෛත්‍රී ලබා දුන්නේය. එසේ වූයේ කෙසේද යන්න සොයා බැලීම ඉතිහාසඥයන්ට භාරය.
ඒ අනුව, වත්මන් ජනාධිපති ගෝඨාභය, පක්ෂ නායකයෙකු නොවේ. කිසිදු පක්ෂයක සාමාජිකයකු නොවන බව කියනු ලැබේ. ජේආර්ගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂත්වය ඔහු රාජ්‍ය නායක, ආණ්ඩුවේ නායක, අමාත්‍ය මණ්ඩලයේ නායක, සේනාධිනායක, මෙන්ම බලයේ සිටින පක්ෂයේ නායකයා වීමය. ජේආර් ප්‍රංශයේ ඩිගෝල්ට සමාන යයි එදා හදුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පළමුවරට පක්ෂයක නායකයෙකු තබා සාමාජිකයෙකුද නොවේ. ජනාධිපති ගෝඨාභයට මෙය දැනෙන අඩුවකි. තුනෙන් දෙකේ බලයක් ලැබුණද, එම දේශපාලන බලයට හිමිකමක් ඔහුට දැනෙන්නේ නැත. එම නිසා මෙම සමාජ විද්‍යාත්මක සාධකය පසුකාලයේදී මනෝ විද්‍යාත්මක සාධකයක් බවට පත්වී තිබේද? එම රික්තය පිරවීමට ඔහුට අභ්‍යන්තරයෙන් බලපෑමක් එල්ල වෙනවා විය හැකිය.
ඔහුට පක්ෂයේ සහයෝගය ලබා ගැනීමට තම සොහොයුරු බැසිල් රාජපක්ෂ මත යැපීමට සිදුවන්නේය. පාර්ලිමේන්තුවේ සහය ලබා ගැනීමට ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මත යැපීමට සිදු වී ඇත. එක කුස උපන් සහෝදරයන් තිදෙනෙකු වුවද, ඔවුන් දේශපාලන සත්වයන් තිදෙනෙකි. ඇතැම්විට තම පන්ති වුවමනාවන් ජාන අවශ්‍යතාවන් අභිබවා යාමට පුළුවන.
නිදහසින් පසු අද මෙන් බලගතු අභියෝගයනට මින් පෙර සිටි කිසිදු නායකයෙකු මුහුණ නොදුන්නේය. මෙය පවතින යථාර්ථයයි.
කොරෝනා ගෝලීය වසංගතය ආදර්ශමත් ලෙස පාලනය කිරීමට ජනපති සමත් විය. එය පිළිගත් සත්‍යයකි. දැන් යළි දෙවන රැල්ලකට මුහුණ පාමින් සිටියදී ජනාධිපති මෙම ව්‍යවස්ථා සංශෝධන කඩිමුඩියේ ගෙන ආවේ ඇයි? ඉහළම ජාතික ප්රමුඛත්වයක් දුන්නේ ඇයි?
ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පිට මෙන්ම ආණ්ඩුව තුළින් සහ බාහිරව ආ බලපෑම් නිසා සියලූ සංශෝධන දැන් ඉවත් කර ගෙන තිබේ. ඉතිරිවී තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණය පමණය. ඉදිරියේ ඇති ප්‍රබල අභියෝග හමුවේ ආණ්ඩුව මෙහෙයවන්නේ කෙසේද?
මේ සඳහා 1956 සමාජ පෙරළියට නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ”අපේ ආණ්ඩුව”ට සිදු වු දෙයින් උගත යුතු පාඩම් බොහෝය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා වසර පහකින් බලයට පැමිණ සමාජ පෙරළියක් ඇති කිරීමට දිවංගත බණ්ඩාරනායක මහතා සමත් විය. එහෙත් ඔහුට බලයේ රැදී සිටීමට හැකි වූයේ වසර 03ක් පමණය. වසර 03කට පෙර ආසන 08ට ඇද වැටුණ එක්සත් ජාතික පක්ෂය යළි 1960 දී බලයට පැමිණි බව සහ එසේ වීමට හේතුවූ සාධක ගැන වත්මන් රජයේ මැති ඇමැතිවරු මෙන්ම ජනාධිපතිතුමාද අවධානය යොමු කළ යුතුව ඇත.
1956 මහ මැතිවරණයට නාම යෝජනා දීමට පෙරදින පැදුරටත් නොකියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඞ් අළුවිහාරේ එක්සත් ජාතික පක්ෂයට එක්වී මාතලේ ආසනයේ අපේක්ෂකයා විය. දොස්තර සුගීශ්වර වික්‍රමසිංහයන් සමඟ වැඩ කළ පීටර් කෙනමන්ගේ භාෂා පරිවර්තකයා වූ මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විය. පළමුවන ඡන්ද ප්‍රතිඵලයද මාතලේ ඡන්ද ප්රතිඵලයයි. පනස් හයේ සමාජ පෙරළිය උදාවූයේ එසේය.
”කවිකොළකාරයා” වශයෙන් ජනප්‍රිය මහනුවර ටී. බී. තෙන්නකෝන් දඹුල්ලේ මන්ත්‍රීවරයා වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අවසන් මොහොතේ මහ අදිකාරම් තැන්නේ මහතා පක්ෂය හැර දමා ගිය නිසාය. ”තැන්නේ පැන්නා” කියා කවි කොළද ප්‍රචාරය විය.
නව රජය යටතේ බස් ජනසතුව, වරාය ජනසතුව, සිංහලය රාජ්‍ය භාෂාව වීම, සිංහල හා දෙමළ භාෂා උගත් අයට රාජ්‍ය සේවය විවෘත කිරීම, ගම්මුලාදැනි ධුරය අහෝසි කිරීම, කුඹුරු පනත ගෙන ඒම සංස්කෘතික අමාත්‍යාංශය පිහිටුවීම, නව විදේශ ප්‍රතිත්තිය, සමාජවාදී රටවල් සමග තානාපති සබඳතා පිහිටුවීම ආදී දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රතිසංස්කරණයන් පළමු වසර 3 තුළ ක්‍රියාත්මක විය.
ප්රතිවිරෝධතා මුලින්ම මතු වූයේ පක්ෂය තුළින්මය. පූජ්‍ය මාපිටිය බුද්ධරක්ඛිත, විමලා විජේවර්ධන සහ අගමැති අතර ගැටුම ආරම්භ වූයේ නැව් සමාගමක් පිහිටුවීමට අවසර නොදුන් නිසාය. පිලිප් ගුණවර්ධන ඇතුළු වමේ සහ ප්රගතිශීලි මන්ත්‍රීවරු රැසක්ම රජයෙන් ඉවත් වූහ. නියෝජ්‍ය අගමැති මෙන් ක්‍රියාකළ සී. පී. ද සිල්වා හදිසියේ ලෙඩ විය. බණ්ඩාරනායක මහතා ඝාතනය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවී සිටි ඩබ්ලිව්. දහනායක අගමැති විය. ආණ්ඩුව පෙරළී යළි යූ.එන්.පී.ය බලයට පැමිණියේ වසර 03ක් ඇතුළතය.
ශ්‍රී ලංකාවේ බිහිවූ ජනප්‍රියතම ආණ්ඩුව සහ ජනප්‍රියතම නායකයා වූ බණ්ඩාරනායක ජනතාවට අහිමිවීමට ගත වූයේ වසර 03ක් පමණය.
1956 ”අපේ ආණ්ඩුව”ට සිදුවු දේ දැනගැනීමට ඉතිහාසය දෙස හැරී බැලිය යුතු වේ. ඉන් ගත හැකි උගත හැකි පාඩම් බොහෝය.
පොදු ජන පෙරමුණේ නවක මෙන්ම පැරණි මන්ත්‍රීවරු එම ඉතිහාසය කියවිය යුතුය. දිවංගත ඞී.ඒ. රාජපක්ෂ බණ්ඩාරනායක පිටුපසින් ඡුායාවක් සේ විපක්ෂයට මාරු වූනේ ඇයිද යන්න උගත යුතු තවත් පාඩමකි.⋆