2020 අගෝස්තු 28 - ඔක්තෝම්බර් 20 දක්වා මුළු රටම කැළඹිලි තත්ත්වයට පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය කෙළවර වූයේ විස්ස ආපස්සට හරවමිනි. ද්විත්ව පුරවැසිභාවයට අදාළ කාරණය හැරෙන්නට සෙසු ප්‍රතිපාදන බොහෝමයක් විෂ රහිත කරනු ලැබීය. අවසාන විග්රහයේදී ජේ.ආර්. ජයවර්ධන විධායක බලයට ආපසු නොගොස් මහින්ද රාජපක්ෂට අඩු එහෙත් මෛත්‍රීපාල සිරිසේනගේ බලයට වැඩි මට්ටමකට ගෙන ඒම සිදු කෙරුණි.
අවිවාදයෙන්ම මෙය කැබිනට් මණ්ඩලයේ සිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දක්වාද, පොදුජන පෙරමුණට අයත් වාමගාමී, ජාතිකවාදී, දේශප්‍රේමී බලවේගවල මෙන්ම බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, පූජ්‍ය පක්ෂවල බලපෑම නිසා සිදුවූ වෙනසකි. නීතිගතවූ ව්‍යවස්ථා සංශෝධන දහනවයේදී නොදුටු සහ නොතිබුණු අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයකට ඉඩ ලැබුණු බවද, පිළිගත යුතුය.
සංශෝධනය ගැසට් කළ දින සිට ඒ වෙනුවෙන් පැනලා පෙනී සිටි මන්ත්‍රීවරුන් ක්‍රමානුකූලව පසුබැස්ස ආකාරය අපි දුටිමු. ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය බව පාලනයේ බලවත් අය ආරම්භයේදී නොසළකා ක්‍රියා කළද, පසුව වඩාත් බුද්ධිමත්ව ක්‍රියාකිරීමට පෙළඹුණි. එය බලපෑම නිසාය. වඩාත් යහපත් ක්‍රමවේදය වනාහි ව්‍යවස්ථාදායකයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රමාණවත්ව විවෘතව විමසා බලා ක්‍රියා කිරීමය. පවතින දේශපාලන සංස්කෘතිය මෙවැනි ක්‍රියාදාමයකට ඉඩ දෙන්නේ නැත. එම දේශපාලන සංස්කෘතිය ජේ.ආර්. ගේ පාලන ශෛලියෙන් උරුම කරගත් අංගයකි.
අප මුල සිටම කියා සිටියේ ව්‍යවස්ථාවට අවශ්‍යම හා හදිසිම සංශෝධන පමණක් ගෙන එන ලෙසය. දහනව වන සංශෝධනය යහපාලන ආණ්ඩුව තුළ ගැටුම් නිර්මාණය කළ සංශෝධනයක් බව ගෙවී ගිය වසර 5 තුළ මුළු රටම දුටු දෙයකි. මෙය වසන් කිරීමට විපක්ෂය ගත් උත්සහය අසාර්ථක විය.
විධායක ජනාධිපති ක්‍රමය සහ පාර්ලිමේන්තු ක්‍රමය ගුණාත්මකව වෙනස් වූ පාලන ක්‍රම දෙකකි. 19වන සංශෝධනය 2015 දී ඉදිරිපත් කරනු ලැබුවේ හදිසි පනතක් වශයෙනි. සංශෝධනයේ දෙවන කොටස වන 20 වන සංශෝධනය, පොරොන්දු වූ පරිදි ගෙන ආවේ නැත. එසේ එදා දෙවන කොටස වශයෙන් වූ 20වන සංශෝධනය නොගෙනාවේ එදා බලයේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුමක් අනුවය. ජනාධිපති වීමේ දොලදුක ඔහු අත්හැර දමා තිබුණේ නැත. ඔහු බලයට පත් අගමැති ධුරය පණගැන්වීමත්, විධායක ජනාධිපති ධුරය තබා ගැනීමත් යන දෙකම ඔහුට අවශ්‍ය විය. එය නොගැළපෙන ක්රමවේදයකි. ජනපති-අගමැති ගැටුම් ඇති වූයේ අතරමග ක්‍රමවේදයක් නිසායි. විධායක ජනාධිපති සහ විධායක අගමැති ධුර දෙකම එකට තබා ගත නොහැකි බව යහපාලනයේ පස් වසර තුළ අත්හදා බැලීමට අවස්ථාවක් එළඹුනි.
මෙම ගැටුම නිරාකරණය කරලීමේ අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද තේරුම් නොගත්හ. තේරුම් ගැනීමට වුමනාවක් නොතිබුණා විය හැකිය.
නව ව්‍යවස්ථාවක් ගැන යළි කතිකාවක් ගොඩ නැගෙමින් පවතින නිසා එම නව ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්රමයේ ව්‍යවස්ථාවක්ද, නැත්නම් විධායක අගමැති කෙනෙකු නිර්මාණය කරන පාර්ලිමේන්තු ක්රමයේ එකක්ද යන වග මුලින්ම නිගමනය කළ යුතුය. දෙකටම නැති ක්‍රමයක් වුවද, මූලධර්මවල වෙනසක් ඇති විය නොහැකිය. එනම්, බල තුලනයයි. ජනතා පරමාධිපත්‍යයට යටත් වන බල තුලනයක් සිදුවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. රට අරාජික තත්ත්වයකට පත් නොවන්නාවු නව ව්‍යවස්ථාවක් විය යුතුය. පන්තිමය වශයෙන් ගත් කළ සුළුතරයක් වන ධනපති පන්තියේ බහුතර බලයක් සිදුවීම ධනේෂ්වර ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණයයි. සූරාකන පන්තියේ බලය යටපත් වන ව්‍යවස්ථාවක් අපේක්ෂා කිරීමට අවශ්‍ය ඵෙතිහාසික කොන්දේසි මෝරා නැති බව අපි දනිමු.
මයික් පොම්පියෝ ආවේ ඇයි?
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ධූර කාලය මේ වසර අගදී අවසන් වේ. ජනාධිපතිවරණය නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය. ඩොනල්ඞ් ට්‍රම්ප් යළි බලයට ඒද, නව ජනාධිපතිවරයෙකු තේරී පත්වේද? යනු තවමත් අවිනිශ්චිත තත්ත්වයකි. කවුරු බලයට පැමිණියද, ඔහුට මුහුණ දීමට සිදුවන්නාවු, පොදු යථාර්ථයක් තිබේ. එම යථාර්ථය නැගී එන චීනයයි. චීනයේ ඉදිරි ගමන සනිටුහන් වන පස්අවුරුදු සැලසුම්වලින් දැකගත හැකිය. දැක්ම, උපාය මාර්ගය, ප්‍රතිපත්ති, ඉලක්ක, රහස්‍ය දේවල් නොවේ.
ඇමෙරිකානු ආර්ථිකය පසු බසින ආර්ථිකයකි. 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී ලෝක නිෂ්පාදනයෙන් 50%ක් නිපදවු ඇමෙරිකාව දැන් නිපදවන්නේ ලෝක නිෂ්පාදනයෙන් 20%ට අඩු ප්රමාණයකි. චීනය දැනටමත් ඇමෙරිකාව ආර්ථික කේෂ්ත්‍රයෙන් අභිබවා යමින් සිටි. චීනය තාක්ෂණය අතින් පමණක් ඇමෙරිකාවට පසුපසින් සිටියද, අද වන විට කරට කර සිටින තත්ත්වයට පත්වි සිටි. මෙය ඇමෙරිකාවට බලවත් අභියෝගයකි.්
මෙම වෙනස සිදුවන්නේ බහුධ්‍රැව ලෝක රටාවක් තුළය. නව නැගී එන ආර්ථිකයක් මතුවෙමින් තිබේ. පැරණි සංවර්ධිත රටවල් පසුබසිති. ආරම්භයේදී ගෝලීයකරණයේ වාසිය ඇමෙරිකාවටය. දැන් ගෝලීයකරණයේ උපරිම වාසි ලබන්නේ චීනයයි. ඒ චීනය ලොවේ විශාලතම වෙළදපොල බවට පත්ව ඇති හෙයිනි. පළමුවරට ලොවේ විශාලතම ජනගහණය ඇති රට ලොවේ විශාලතම වෙළදපොල බවට පත්ව ඇත. මෙම යථාර්ථය වෙනස් කරලීමට ඇමෙරිකාවට පුළුවන් කමක් නැත. මිලියන 400ක මධ්‍ය පාන්තික වෙළදපොලක් චීනය සතුව තිබීම ඇමෙරිකා මුහුණ දෙන ප්රබලතම යථාර්ථයයි. න්‍යෂ්ටික අවි තවදුරටත් තීරණාත්මක සාධක නොවේ. චීනය සහ රුසියාව එක්ව ගත්කළ මිලිටරිමය වශයෙන් ඇමෙරිකාවට අභියෝගයකි. නව තාක්ෂණය අතින්ද චීනය සහ රුසියාව සවිමත්ය. 19, 20 සියවසේ යුද්ධ උපාය මාර්ග හෝ ආර්ථික උපාය මාර්ග හෝ 21 වැනි සියවසේ තුන්වන දශකයට වලංගු නැත.
මෙම ඵෙතිහාසික කොන්දේසි තුළ ඇමෙරිකාව විකල්ප උපාය මාර්ග සොයමින් සිටි. චීන-රුසියානු අභියෝග හමුවේ යෝජිත ඉන්දු-පැසිපික් කලාපීය ව්‍යාපෘතිය, ඇමෙරිකාවේ හදිසි අවශ්‍යතාවය වි තිබේ. චීනයේ නව සේද මාවත ආර්ථික ව්‍යපෘතිය හමුවේ, මෙම නව ඉන්දු-පැසිපික් ව්‍යාපෘතිය දැන් හදිසි හා අනිවාර්ය අවශ්‍යතාවයක් වී තිබේ. ජපානය, ඕස්ට්‍රේලියා පමණක් ප්රරමාණවත් නොවන බව තේරුම්ගත් ඩොනල්ඞ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝදි බලයට පැමිණි විගස ඉන්දු-පැසිපික් ව්‍යාපෘතිය දියත් කළේ එම අවශ්‍යතාවය ඉදිරියට ගෙන යෑමටය.
ඉන්දියාව ලොව දෙවන විශාලතම ජනගහණයක්් ඇති රාජ්‍යයි. චීන ඉන්දියා ප්රතිවිරෝධතා උපරිම ලෙස යොදා ගනිමින් ඇමෙරිකාව තම විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ව්‍යාපෘතිය බවට ඉන්දු-පැසිපික් කලාපය තෝරා ගෙන තිබේ. මයික් පොම්පියෝ, හිටපු ඇමෙරිකානු ඔත්තු සේවාවේ නායකයාය. ඔහු ඉන්දු-පැසිපික් ව්‍යාපෘතියේ නිර්මාතෘ හැටියට දැනටමත් පෙනී සිටි. ඇමෙරිකානු ජනාධිපති වෙනස් වුවද ඉන්දු-පැසිපික් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට පදනම දැනටමත් ගොඩ නගා හමාරය. නව ජනාධිපතිවරයා කවුරු වුවද ඉන්දු-පැසිපික් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ඇමෙරිකාට බල කෙරෙනු ඇත.
පොම්පියෝ ශ්‍රී ලංකාවට එන්නේ ”මුට්ටිය දමා බැලීමේ ව්යයාමයකටය.” චීනයේ බලපෑම යටපත් කරලීමේ ව්‍යායාමයක් ලෙසද පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය හැදින්විය හැකිය.
ට්‍රම්ප්ගේ ගමනක අවසානය?
ලැබෙන සියලූ වාර්තා අනුව, ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඩොනල්ඞ් ට්‍රම්ප් අභිබවා ඉදිරියෙන් සිටි. සුදු ඇමෙරිකානුවන් තුළ ජාතිවාදය, වර්ණවාදය උපරිම ලෙස උත්සන්න කරමින් බහුතරය ඔහුගේ පැත්තට නංවාලීමට ඩොනල්ඞ් ට්‍රම්ප් සියලූ උපක්‍රම යොදමින් සිටී. අපේක්ෂයෙකු වශයෙන් ජෝ බයිඩන්ට වඩා ඩොනල්ඞ් ට්‍රම්ප් ආකර්ශණීය ජනප්‍රිය චරිතයකි. මිලියන 08ක කොරෝනා අසාදිතයන් සමඟ, වසංගත පාලනය කරලීම ට්‍රම්ප් රජය නිල වශයෙන් අත්හැර දමා ඇත. දරිද්‍රතාවය, විරැකියාව, ආදායම් අසමානතාවය ට්‍රම්ප්ට එරෙහිව ඇති අතිරේක සාධකයකි.
ජනාධිපති වෙනස් වුවද ලෝක තත්ත්වයෙහි වෙනසක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. අර්බුද සමඟ සහජීවනයෙන් සිටීමට සිදුවන තත්ත්වයකි.⋆