- දේශපාලන විග්‍රහය
- Posted On
පළාත් සභා සුදු අලියෙක් ද?
වසර තිස් තුනකට පසු (1987 – 2020), යළි රට තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා පළාත් සභා අහෝසි කළ යුතු බවට වූ මතවාදයක් ගොඩ නැගෙමින් පවතී. තරුණ පරම්පරාව තුළ අවබෝධයක් නැති නිසාද, අතීත අත්දැකීම් ඔවුන් තුළ නොමැති නිසාද, ඔවුන් මේ මතවාදයට ගොදුරු විය හැකිය. රට තුළ ක්‍රියාත්මක වන සුළුතරයේ හැම පැත්තකින්ම අන්තවාදීන් මතුවීමට සරුබිමක් නිර්මාණය විය හැකිය.
අවිවාදයෙන්ම, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් පළාත් සභා සංකල්පය හඳුන්වා දීමට බලපෑවේ ඉන්දියානු මැදිහත්වීමයි. එය අවාසනාවන්ත සිද්ධියකි.
එසේ වුවද, එවැනි ඉන්දියානු මැදිහත්වීමකට තුඩු දුන්නේ, එවකට බලයේ සිටි ශ්‍රී ලංකාවේ පාලක පන්තියයි. 1983 කළු ජූලියේ සිට 1987 දක්වා වූ කාල පර්ච්ඡේදයේ ඉතිහාසය හාරා බැලුව හොත් සිදුවූ ඇත්ත සිදුවීම් මාලාව ඉතා පැහැදිලිව දැකගත හැකි වන්නේය. ත්‍රස්තවාදී ප්රභාකරන් කෙනෙකු බිහි කළේ එදා සිටි පාලකයින්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව තුළ සිටි දෙමළ මධ්‍යස්ථ මතධාරීන් පාර්ලිමේන්තුවෙන් පළවා හැරීමට ගනු ලැබූ අමනෝඥ, ම්ලේච්ඡ තීරණය නිසා ප්රභාකරන් කෙනෙකු දෙමළ ජනතාවගේ එකම නායකයා වශයෙන් මතුවිය.
භාෂා ප්රශ්නය, ජනවාර්ගික ප්‍රශ්නයක් දක්වාත්, ඉන් පසුව අන්තවාදය හරහා ත්‍රස්තවාදය නිර්මාණය වූ හැටි අපි දනිමු. ඉන් අනතුරුව ත්‍රස්තවාදී යුද්ධයක් හට ගත්තේය. 1983 කළු ජූලියේ ඍජු ප්‍රතිපලයක් වශයෙන් දෙමළ ඩයස්පෝරාවක් ද බිහිවිය.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට මුල සිටම බලපෑ මූලික සාධකයක් වූයේ තමිල්නාඩු සාධකයයි. උතුරේ ජනතාවට ආහාර යැවීම නවතාලීම හේතු කොට ගෙන ඉන්දීය ආණ්ඩුව ලවා උතුරට පරිප්පු ගුවනින් දම්මවා ගත්තේය. දැන් ප්‍රශ්නයට ජාත්‍යන්තර සාධකයක්ද ඇතුළු විය. උතුරේ ත්‍රස්තවාදය, නැගෙනහිරටද ව්‍යාප්ත වී පසුව දකුණටද බලපාන තත්ත්වයක් නිර්මාණය විය.
අභ්‍යන්තර ත්‍රස්තවාදයක්ද, කලාපීය වශයෙන් තමිල්නාඩු සාධයක්ද ජාත්‍යන්තර වශයෙන් දෙමළ ඩයස්පෝරාවකට මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ වක්‍ර බලපෑමකටද ශ්‍රී ලංකා ආණ්ඩුවට එකවර මුහුණ දීමට සිදුවිය. මිලිටරිමය වශයෙන් ආධාර සැපයීමට කිසිදු රටක් ඉදිරිපත් නොවීය. අවි මිලදී ගැනීමට විදේශ විනිමය හරස් විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අප මත පැටවීමට හේතු වූයේ, ශ්‍රී ලංකාවේ පාලක පන්තියට මිලිටරිමය හෝ දේශපාලනමය හෝ ශක්තියක් නොතිබූ කොන්දේසි යටතේය. පළාත් සභා සංකල්පය පිළිගැනීමට සිදුවූයේ එම සන්දර්භය තුළය. පැවතුන යථාර්ථය තුළ, සාමය සහ ජාතික සමගිය සඳහා මෙන්ම ත්රස්තවාදයට එරෙහිව ඉදිරිපත් වූ දේශපාලන විසඳුම වූයේ පළාත් සභා සංකල්පයයි.
1987 – 2009 දක්වා කාලය තුළ පළාත් සභා ක්‍රියාත්මක වීම හරහා යුද්ධයට සමාන්තරව යම් සංවර්ධනයක් රට තුළ ඇති සිදුවූවා නම් එය සිදුවූයේ පළාත් සභා තුළිනි. නැගෙනහිර උතුරෙන් වෙන්කරලීමට හැකි වූයේද පළාත් සභා හරහාය. පසුව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී උතුරේද පළාත් සභා ස්ථාපිත විය.
2020 මහ මැතිවරණයේදී උතුර - නැගෙනහිරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකු ජයග්‍රහණය කරවා ගැනීමට පොදුජන පෙරමුණට හැකි වූයේ නව දේශපාලන කොන්දේසි නිර්මාණය වූ නිසාය.
එදා 1987 දී පළාත් සභා සංකල්පයට විරුද්ධ වූ යූඇන්පීයේ ප්‍රේමදාස කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහජන එක්සත් පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් පසු කාලයේදී පළාත් සභා දේශපාලන කරළියට ජව සම්පන්න ලෙස ප්රවිශ්ඨ විය.
1988/89 භීෂණ සහ ඝාතන සමයට බලපෑ සාධකය වූයේ පළාත් සභාවට එරෙහිව අවිචාරවත් ලෙස ගනු ලැබූ දේශපාලන තීරණයයි. ඉන් ඝාතනය කරනු ලැබූ දේශපාලන නායකයින් අප මෙහිලා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. මුලාවී මියගිය තරුණයින් සංඛ්‍යාවද අති විශාලය.
දැන් යළිත් පළාත් සභා අනවශ්‍ය යයි යන මතවාදයක් ගොඩ නගන්නේ කුමන අරමුණක් ඇතිවද? 1977න් පසු පළමු වරට තුනෙන් දෙකක දැවැන්ත වරමක් ලැබීමෙන් අධිමානසිකත්වයට පත්වෙලාවත්ද?
ජනවාර්ගික ප්රශ්නය තවමත් මුළුමනින්ම විසඳී නැත. ජාතික සමගිය, වාර්ගින අනන්‍යතා අවබෝධය, ආගමික සංහිඳියාව ගොඩ නැගී නැති තත්ත්වයක් තුළ පළාත් සභා අහෝසි කළ යුතු යැයි මතවාදය නගන්නේ ආපසු අංශක 180 කින් රට ආපසු හැරවීමටද? 2020 මහ මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරු එකොළොස් දෙනා ආපසු ත්රස්තවාදයට ගොදුරු කරලීමටද?
පළාත් සභා, ප්රජාතන්ත්රවාදය ව්‍යාප්ත කරලීමේ සකල්පයකි. බලය විමධ්‍යගත කිරීමට ඔබ්බෙන් බලය බෙදීයාමක් මින් සිදුවී ඇත. ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය හකුළුවාලීම අධිපතිවාදයට රට තල්ලු කිරීමකි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා යළි පළුදු කරලීමට බල කෙරෙන ක්‍රියාවලියකට අප යනවාද?
2020, ඉන්දියානු සාගර කලාපය තුළ යුද උණුසුම් තත්ත්වයක් ඇති වෙමින් පවතී. බටහිර අධිරාජ්‍යවාදීන් තම ප්‍රධාන ඉලක්කය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ඉන්දු - පැසිපික් කලාපයයි. එම කලාපයේ හවුල් කරුවන් වන්නේ ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාවයි. තනි ඉන්දියානු සාධකය හෝ තමිල්නාඩු සාධකයක් වෙනුවට ඉන්දු - පැසිපික් සාධකයක් නිර්මාණය වී තිබේ.
දකුණේ අන්තවාදීන් මෙම සාධකය තේරුම් ගෙන තිබේද?
පළාත් සභා සුදු අලියෙක් වශයෙන් හඳුන්වා තිබේ. මෙහි කිසිදු සත්‍යතාවයක් නැත. පළාත් සභා තිබුණත් නැතත් මෙම පළාත් සභා බල ප්රදේශයනට වැය කරන මුදලෙහි වෙනසත් ඇතිවන්නේ නැත. සිදුවන එකම වෙනස පළාත් සභා වෙනුවට මධ්‍යම රජය එම මුදල වියදම් කිරීමය. ඉතිරිකිරීමක් සිදුවන්නේ නම් ඊට වඩා වන්දියක් ගෙවීම සමස්ත රට විසින් අනාගතයේදී බල කෙරෙනු ඇත.
රට ආපසු යුද්ධයකට තල්ලු කරනවාද? යළි දෙකඩ කරනවාද? නැති සතුරෙකු මවා පෙන්වන්නේ සැබෑ සතුරා වසන් කිරීමටය. පාස්කු ත්රස්තවාදීන්ට අමතරව යළි උතුරේ ත්‍රස්තවාදී කල්ලියක් ඇති කරනවාද? යුද්ධය හටගන්නේ මිනිසාගේ මොලයෙන් මිස තුවක්කු කටෙන් නොවේ.
රුහුණු, මායා, පිහිටි දේශයක් පිහිටුවීමේ සංකල්පයක් මාධ්‍ය හරහා දියත් කරනු ලැබ ඇත. ඉන් අදහස් කරන්නේ පළාත් සභා තුනක් පමණක් නිර්මාණය කරන්නද? අප ජීවත් වන්නේ 21වන සියවසේ තුන්වන දශකයේ බව සමහරුන්ට තවමත් අවබෝධවී නැත.
1947 – 1987 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එනම් වසර 40ක් තුළ වත්මන් පළාත් සභා බල ප්‍රදේශයන්හි ගම් මට්ටමින් සංවර්ධනයක් වූයේ යැයි කිවහැකිද? බණ්ඩාරනායක මැතිණියගේ කාලය තුළ හැරෙන්නට කාර්මික සංවර්ධනයක් වූයේ නැත. කෘෂිකර්ම ක්ෂේත්රයේ සංවර්ධනයක් සිදුවූයේ බණ්ඩාරනායක මැතිණිය පුරෝගාමී ලෙස ආරම්භ කළ මහවැලියේ පළමු අදියර හරහාය.
කුමන පක්ෂයක ආණ්ඩුවක් යටතේ වුවද, ගම් මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධනයක් සිදුවූයේ එය පළාත් සභා ක්‍රමය දියත් කරලීමෙන් පසුවය. පළාත් සභා හොඳින් ක්‍රියාත්මක වී තිබෙනුයේ මධ්‍යම ආණෟඩුවත්, පළාත් සභාවත් එකම පක්ෂයක් බලයේ සිටියදීය.
සාමය, සංහිඳියාව, භෞමික අඛණ්ඩතාවය, සෛවරීත්වය සහතික කළ හැකි වන්නේ ජාතික සමගිය මතය.
පළාත් සභා විසින් ජනතාව එක්සත් කරනු ලැබ ඇත. සුදු අලි කතාව නූගත් ජනතා කොටස් නොමග යැවීමට යොදන ලබන සූක්ෂම උපක්රමයකි.