- වීමංසනය
- Posted On
ආචාර්ය විජේදාසගේ නිෂේධනාත්මක චින්තනය
ඩිව් ගුණසේකර විසිනි ෴
1978 ජේ.ආර්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති 21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන දෙක ආචාර්ය විජේදාස රාජපක්ෂගේ චින්තනෙය් නිෂේධනාත්මක භාවය ප්‍රදර්ශනය කිරීමකි. ඔහු ඉන් අපේක්ෂා කරන රාජ්‍ය ස්ථාවර භාවයක් හෝ ජාතික සමගියක් හෝ සමානාත්මතාවයක් හෝ ඉන් ලබාගත නොහැකිය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විකල්ප වශයෙන් හුවා දැක්වුව ද ඉන් ලැබිය හැකි ප්‍රතිඵලය වන්නේ රාජ්‍යය සහ සමාජය වඩාත් ව්‍යාකූල අරාජික තත්ත්වයකට පත්වීම පමණ ය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය යහපාලනයකට යම් විලංගුවක් බව සැබෑ ය. එය සිදුවූයේ යහපාලන රජය පොරොන්දු වූ 20වන සංශෝධනය හමස් පෙට්ටියට දැමීම නිසා ය. විධායක ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමයට පරිවර්තනය වීම අතරමග වළකාලනු ලැබීය. ඉන් ඇති වූයේ අතරමග සිරවීමකි. 20 වන සංශෝධනය හරහා යෝජනා කළ අනුපාත ඡන්ද ක්‍රමය සහ ආසන ක්‍රමය යන දෙකම ඇතුළත් වූ මිශ්‍ර ක්‍රමය දේශපාලන සුළුතරය හා ජාතික සුළුතරය යන කණ්ඩායම් දෙකේම නියෝජනය සහතික කළේ ය. ඒ හරහා වඩා ස්ථාවරභාවයක් සහතික කළ හැකි විය. පාර්ලිමේන්තු ක්‍රමයකට ආපසු යෑමට සූදානමක් නැත්නම් 19 වන සංශෝධනයට අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතු බව සත්‍යයකි. බල මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක වීමට ඉඩ සැලසී ඇති බැවින් ව්‍යවස්ථා අර්බුද පැන නැගීම වළක්වාලිය නොහැකිය.
ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ව්‍යවස්ථා සංශෝධන අංක 21 සහ 22 සලකා බැලිය යුත්තේ ප්රජාතන්ත්රවාදයේ දෘෂ්ටිකෝණයෙනි.
අද රට තුළ පවතින්නේ බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයකි. ඒ අනුව, සන්ධාන දේශපාලනය යථාර්ථයක් බවට පත්ව ඇත. ආචාර්ය විජේදාසගේ යටි අරමුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළින් බහු පක්ෂ ප්රජාතන්්ත්රවාදය ආපසු හැරවීමට ය.
ඒ බව ඔහුගේ මැතිවරණ ක්‍රමයයට යෝජිත සංශෝධනවලින් අපි පැහැදිලිව දකිමු. පක්ෂයක් ලබාගත යුතු 5% අවම ඡන්ද ප්‍රමාණය 12.5% දක්වා වැඩි කළ යුතුයයි ඔහු යෝජනා කර සිටී. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ බලපෑම මත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් 5% අවම ඡන්ද ප්‍රමාණය පිළිගත් බව ඔහු කියා සිටී. එය වැරදි නිගමනයකි. එය වමේ පක්ෂ ඇතුළු සියලු කුඩා පක්ෂ විසින් ගෙන ආ යෝජනාවක ප්‍රතිඵලයක් බව විජේදාස මහතා නොදන්නවා විය හැකිය.
12.5%ක අවම ඡන්ද ප්‍රමාණයේ සුදුසුකම 5% දක්වා අඩුකරලීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ රණසිංහ ප්‍රේමදාස තේරීම් කාරක සභාව වෙත ය. කලවාන මන්ත්‍රී ඩිව් ගුණසේකර සහ මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් එම තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ සුළුතර යෝජනාවේ එය සඳහන් වේත එම යෝජනාව රණසිංහ ප්‍රේමදාස පිළිගත්තේ නැත. පසුව, ප්‍රධාන පක්ෂ දෙක හැරෙන්නට සෙසු සියලු පක්ෂවල ඉල්ලීම මත පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රබල වෙනස්වීම් සිදුව ඇත. තවදුරටත් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවම රට පාලනය කළ නොහැකිය. ඒ තනිව බලයට පැමිණීමට නොහැකි හෙයිනි. ආර්ථිකයේ, සමාජයේ සහ සංස්කෘතියේ සිදුවී ඇති වෙනස්කම් අනුව බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව සන්ධාන දේශපාලනය අද යථාර්ථයකි. ඊට හරස්ව යෑමට විජේදාස උත්සාහ කරයි.
එහි අරමුණ වන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිට කිසිදු දේශපාලන මතවාදයකට ඉඩ නොතැබීම ය. ජනවර්ග හෝ ආගම් හෝ පක්ෂ බිහිවිය හැකිය. එවැනි වර්ධනයන්ට තුඩු දෙන්නා වූ ඓතිහාසික හෝ සමාජ ආර්ථික හෝ සංස්කෘතික කොන්දේසි විෂය මූලික වශයෙන් නිර්මාණය වීම වළක්වාලීමට ව්‍යවස්ථාව හරහා කළ නොහැකිය. එම දේශපාලන කොන්දේසි නිර්මාණය වීමට තුඩු දෙන්නා වූ සාධක ඉවත් කරලීම දේශපාලන පක්ෂවල වගකීමකි. ත්රස්තවාදයට තුඩු දෙන්නා වූ සමාජ - ආර්ථික - දේශපාලනික - සංස්කෘතික කොන්දේසි ඉවත් කරලීම සඳහා විසඳුම් ඉදිරිපත් නොකර ව්‍යවස්ථා සංශෝධන තුළින් කෘතීම ලෙස ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ අරගලය පාර්ලිමේන්තුවෙන් පිටතට තල්ලු කිරීම ය. කැරළිවලට දේශපාලන බලවේගයන් තල්ලු කිරීමයි. ත්රස්තවාදයට ඉඩ සැලසීම ය. අන්තවාදය නීතියෙන් යටපත් කරගැනීමට ගොස් ත්‍රස්තවාදය කැඳවාගැනීමට ය.
ගෝලීය වශයෙන් පවතින්නා වූ විවිධ වර්ගවල ඉස්ලාමීය ත්‍රස්තවාදය නව ලිබරල්වාදයට එරෙහිව පැනනැගි ජාතිවාදී ආගම්වාදී ප්රපංචයකි. ජාතික දේශපාලනයෙන් ඉවත්කිරීමට අධිරාජ්‍යවාදීහු ක්‍රියාත්මක කළ උපාය මාර්ගයට ප්‍රතිචාරයක් හෝ ප්‍රතික්‍රියාවක් වශයෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදය පැන නැගුන බව තේරුම්ගත යුතුය.
විජේදාසගේ නිර්දේශයට අනුව සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකකට අනුගත විය යුතුය. නැත්නම් දේශපාලනයෙන් ඉවත් විය යුතුය. එය ත්රස්තවාදයට අත වැනීමකි.
මෙම යෝජිත සංශෝධන ජාතික සමගියට, යහපාලනයට, ප්රජාතන්තුවාදයට හරස්වන ව්‍යවස්ථා සංශෝධනයකි.