ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායමෙන් 75% ක මුදලක් දැනට උපයා දෙන ජයබහලු පර්යන්තයද ඇතුළත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට පවරාදීමේ සූදානමක් පවතින බව වාර්තා පළ වෙයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසුව නැවතත් එකී කටයුත්ත සම්බන්ධයෙන් වැඩිපුර කතාබහට ලක් වෙමින් තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධානත ම මර්මස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආර්ථික වශයෙන් නොව එහි පිහිටි ස්ථානය අනුව කලාපීය ආරක්ෂාව අතින් ද වැදගත් ස්ථානයකි. එසේ ම විශාල නෞකා ගාල් කිරීම වෙනුවෙන් ගැඹුරෙන් යුත් ප්‍රධානත ම පර්යන්තය ද මෙයයි. කෙසේ වෙතත් මේ ඉන්දියා ජපාන සහයෝගිතාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා දීමේ මූලික කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය රජය සමයේදී යි. නැවත කරළිගත වී ඇති උක්ත පැවරුම් කටයුත්තට අනුව පර්යන්තයෙන් 51%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද අනෙක් 49% ඉන්දු-ජපාන සහයෝගිතාවට ද හිමි වන පරිදි ගිවිසුම් සකස් වන බව කියැවේ. වරයා නිදහස් සේවක සංගමය මේ සම්බන්ධයෙන් දැනටමත් සිය විරෝධය පළ කර ඇති අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මෙම ක්‍රියාවලියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබේ.
දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශාල වශයෙන් සංවර්ධනය කර ඇති ලාභ ලබමින් තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නොරටුන්ට ලබා දීමේ අවශ්‍යතාව කුමක්දැ යි රජය ජනතාවට පැහැදිලි කළ යුතු ය. කලාපීය බල වුවමනාවන්ට යටත් වෙමින් ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන නොරටුන්ට ලබා දීම හැරෙන්නට මෙහි ඇති අනෙකක් නැති බව අපගේ අදහසයි.