කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර විසිනි
2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 16 දිනවල සිදු කළ ඉතිහාසයේ මහා මහ බැංකු මගඩිය සිදු වී මේ වන විට වසර පහකි. ඒ පිළිබඳ විමර්ශණ වාර්තා පහකි.
01. පළමු කොප් කමිටු ඩිව් ගුණසේකර විමර්ශණ වාර්තාව (දිවුරුම් මතදුන් වාචික සාක්ෂි පිටු 449 කි.)
02. දෙවන කෝප් කමිටු සුනිල් හදුන්නෙත්ති මහතාගේ වාර්තාව
03. විගණාකාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගණන වාර්තා
04. ජනාධිපති කොමිෂන් සභා විමර්ශණික වාර්තාව
05. වෝහාරික විගණන වාර්තාව
මේ අනුව, වාචික සාක්ෂි, ලිඛිත සාක්ෂි සහ පර්වේෂන සාක්ෂි ප්‍රමාණවත් ව තිබුනද, මෙම මගඩිය මේ වනතෙක් අධිකරණයට යොමු වි නැත. මේ අතර, දැන් මතවාදයට ලක්වී තිබෙන වෝහාරික විගණන වාර්තාව ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
කුමක්ද මේ, වෝහාරික විගණනය? එය අධිකරණයට යොමු කළ හැකි විශේෂඥ වාර්තාවක් වශයෙන් සැලකේ. එය අනිවාර්යයෙන්ම පිළිගැනෙන රස පරීක්ෂක වාර්තාවක් වැනි දෙයක් නොවේ. එය අභියෝගයට ලක් කළ හැකි වාර්තාවකි. මෙවැනි වාර්තාවක් මෙම මගඩිය සම්බන්ධයෙන් අවශ්‍ය යැයි මුලින්ම යෝජනා කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම අමතා සාක්ෂි දීමේදී ය. ඒ සම්බන්ධයෙන් ඔහු කොමිසමට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ එය සඳහන් වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු අමාත්‍ය මණ්ඩල සන්දේශයෙන් කළ නිර්දේශය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කටයුත්ත ඉන්දියානු කොම්පැනි දෙකකට පවරනු ලැබීය. (BDO සහ KMPG) ඒ සඳහා මහ බැංකුව වැය කළ මුදල ඇ.ඩොලර් 300 කට ආසන්න ය. මෙකී ඉන්දියානු සමාගම් දෙකේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියා කරති. එම සමාගම් පිළිබඳ විවිධ අල්ලස් චෝදනා මාධ්‍යයෙන් මතු කර තිබුණ ද අප එම චෝදනා නොතකා ඔවුන්ගේ වාර්තාවේ අන්තර්ගතය සාකච්ඡා කිරීමට අදහස් කරමු.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ආරම්භය.
1947 පළමුවන පාර්ලිමේන්තුවේ සිට රාජ්‍ය ණය පිළිබඳ වාර්තා විවාදයට ලක් වී ඇත. ආරම්භයේ දී රජයට අවශ්‍ය ක්ෂණික ණය හෝ කෙටිකාලීන ණය සොයාගනු ලැබුවේ භාණ්ඩගාර බිල්පත් මගිනි. එසේ ලබා ගත් ණය රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කෙරේ. කාලය ඉක්මවුවායින් පසු එම මුදල පොලියත් සමඟ ලබා දෙනු ලැබේ. මෙය එතෙක් තිබු වඩාත් විශ්වාසනීය කෙටි කාලීන ණය ක්රමවේදයකි. අය-වැය පියවාගැනීමට මෙම ක්‍රමවේදය යොදා ගනු ලැබී ය. 1997 සිට, භාණ්ඩාගාර බිල්පත් වලට අමතරව භාණ්ඩාගාර බැදුම්කර ක්‍රමවේදය හදුන්වාදෙනු ලැබී ය. මෙය මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ එවකට මහ බැංකු අධිපති වූ ඒ.එස්. ජයවර්ධන මහතා විසින් ය. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද ක්‍රියාකර ඇත. ඔහු මාගේ ආර්ථික විද්‍යා ගුරුවරයා වීම ගැන මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
නව ලිබරල්වාදය යටතේ රාජ්‍ය ණය
ධනවාදී ආර්ථික ක්‍රමය පෝෂණය කිරීමට අවශ්‍ය වු උපකරණයකි බැදුම්කර ණය ඉමවේදය. ඒකාරාශීවන්නා වූ ප්රාග්ධනය, මුල්‍ය ප්රාග්ධනය බවට පහසුවෙන්ම පත් කර ගැනීමට මෙම බැදුම්කර උපකරණය වැදගත් විය. රජයට අවශ්‍ය ණය සැපයීම ක්‍රමානුකූලව ජාවාරමක් බවට පත්විය. කාල් මාක්ස් සහ ව්ලැඞ්මීර් ලෙනින් මේ සම්බන්ධයෙන් අටුවා ලියා ඇත. මුල්‍ය ප්‍රාග්ධන ස්ථරයක් ආර්ථිකයක් තුළ ගොඩනැගී ඇත්තේ මේ රාජ්‍ය ණය හරහා ය.
සියලූ ධනවාදී සංවර්ධිත රටවල ධනපති පන්තියේ ප්‍රධාන සහ තීරණාත්මක ස්ථරය වී තිබෙන්නේ මුල්‍ය ප්‍රාග්ධන ස්ථරයයි. සෙසු ධනපති ස්ථරයන් ද (ඉඩම්හිමි, වානිජ ආදී වශයෙන්) මුල්‍ය ප්‍රාග්ධනපති ස්ථරය මත යැපේ. නැත්නම්, ඔවුනට ඓයින්ද්‍රීය වශයෙන් බද්ධ වන්නේය. ‘‘ වෙළද පොල’’ ධනවාදයේ ආගමනයක් සමග නිර්මාණය වු සංස්ථාවකි. දැන් මුල්‍ය වෙළඳ පොළ එහි තීරණාත්මක සාධකයකි.
මේ අනුව, 1980 ගණන්වල සිට ධනවාදය නව ලිබරල් අදියරට පත් වීමත් සමග මුල්‍ය ප්‍රාග්ධන ස්ථරය ආර්ථිකයේ මෙන්ම සමාජයේ ප්රබලතම ස්ථරය බවට වේගයෙන් පත්වී ඇත. නව ලිබරල්වාදය යටතේ, ගෝලීය මට්ටමෙන් නිරතුරුවම මුල්‍ය අර්බුද පැන නැගෙනු අපි දැක ඇත්තෙමු. ඒ මුල්‍ය ප්‍රාග්ධන ස්ථරයේ ක්‍රියාකාරකම් නිසා ය. අසියානු මුල්‍ය අර්බුදය, ලතින් ඇමෙරිකානු මුල්‍ය අර්බුදය, රුසියානු මුල්‍ය අර්බුදය, 2008-2013 ගෝලීය මුල්‍ය අර්බුදය සහ මහා අවපාතය නිදසුන්ය. මහා බැංකුවලට මහා භාණ්ඩාගාරයලට පාලනය කළ නොහැකි මුල්‍ය අර්බුද පැන නැගෙමින් තිබේ. 2008-2013 ගෝලීය අර්බුදයෙන් ඇමෙරිකානු ආර්ථිකය ගොඩගනු ලැබුවේ ඇමෙරිකානු රජය විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීම තුළින් පෞද්ගලික අංශය වෙත දිරිගැනීම් ලබාදීමෙනි.
‘‘රාජ්‍ය ණය’’ මේ වන විට ජනතාව සූරාකෑමේ නවතම ක්‍රමවේදයක් බව, මාක්ස්වාදී ආර්ථික විද්‍යා මතයයි. ”තෝමස් පිකෙටි” Thomas Pickety නව ප්‍රාග්ධන කෘතියෙන් හදුන්වාදී තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු, ‘‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’’ සහ ‘‘ලෝක බැංකුව’’ පිහිටුවනු ලැබුවේ ඒ මුල්‍ය ප්‍රාග්ධන සැලකිල්ලට ගනිමිනි. ස්වාධීනත්වය ලබාගත් සංවර්ධනය වන රටවල් ආර්ථිකයෙන් නතු කර ගැනීමට ‘‘ ලෝක බැංකුව’’ සහ ‘‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’’ට අවශ්‍ය විය. ධනවාදයේ පැවැත්මට එකී ජාත්‍යන්තරය අවශ්‍ය විය.
සංවර්ධනය වන රටවලට අවශ්‍ය රාජ්‍ය මුල්‍ය ප්‍රාග්ධන සම්පාදනය කරලීම සහ ඒකාරාශීකරලීම අරමුණු කොට ගෙන, ලංකා බැංකුව ජනසතු කිරීම, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කිරීම අනීවාර්යය අවශ්‍යතාවයක් විය. එහි අධිරාජ්‍ය විරෝධී හරයක් තිබේ. ඒ සඳහා මුලිකත්වය ගෙන ක්‍රියා කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිල්ප් ගුණවර්ධන, ඞී. බී. ඉලංගරත්න, පිලික්ස් ඩයස්, බණ්ඩාරනායක මහතුන් කෘතවේදීව සිහිපත් කළ යුතුය. ඒ සඳහා නායකත්වය දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිහිපත් කළ යුතුය.
එමෙන්ම, දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය අරමුදල වශයෙන් සැලකෙන‘‘ අර්ථසාධක අරමුදල’’ (EPF) 1958 දී ආරම්භ වුයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ලැබු ලංකා වෘත්තීය සමිති සම්මේලනය දියත් කළ තුන්මසක් තිස්සේ ඇදී ගිය අර්ථ සාධක වැඩ වර්ජනය සාර්ථකවීම තුළිනි. එහි ගෞරවය හිමි විය යුත්තේ එම සටනට නායකත්වය දුන් එම්. ජී. මෙන්ඩිස්, පීටර් කෙනමන්, සහ එන්. ශන්මුගදාසන් යන සහෝදරවරුන්ටය. අද එම ETF අරමුදලේ වත්කම රුපියල් ට්‍රිලියන 2.4කි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ආර්ථ සාධක අරමුදල වැඩ කරන පන්තියේ ශ්‍රම ඵලයයි. එය ජාතික ආර්ථිකයේ හදවතයි. ජනතාවගේ මෙම මුල්‍ය ප්‍රාග්ධන උල්පත දිවි හිමියෙන් රැක ගත යුතුව ඇත.
ඉහතින් දැක්වු ඉතිහාසය ගෙන හැර පෑවේ ඉකුත් කාලයේ මෙකී රාජ්‍ය ආයතන පත්ව තිබු තර්ජනය සිහිපත් කරලීම සඳහාය.
1978 ජේආර්ගේ පාලනය යටතේ නව ලිබරල්වාදයේ ආගමනයත් සමඟ මෙකී ආයතන පෞද්ගලිකරණයට ලක්වීමේ තර්ජනය රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත්වු හැම අවස්ථාවකම ඉස්මතු විය. ඔහුගේ සෑම ව්‍යායාමයක්ම ව්යර්ථකරලීමට කම්කරු පන්තිය, විශේෂයෙන් බැංකු සේවකයෝ සමත් වුහ. 2015 ජනවාරි 8 වැනි දා රනිල් අගමැති වු සැටියේ, ඔහුගේ පළමු ව්‍යායාමය වුයේ මහ බැංකුව තමන් යටතට ගෙන, විදේශිකයෙකු වු තමන්ගේ පවුලේ හිතවතෙකු වු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කිරීම ය. මේ ව්‍යයාමයේ මූලික අරමුණවුයේ රාජ්‍ය අරමුදල් සහ රාජ්‍ය බැංකු පෞද්ගලික අංශයට පවරා ගැනීම හෝ දියකර හැරීම ය. එමෙන්ම ඒ තුළින් ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රාග්ධන ස්ථරය පෝෂණය කිරීම සහ ශක්තිමත් කිරීම ය. එය ජාත්‍යන්තර ධනපති පන්තියේ ද ඉල්ලීම විය.
2014 සිට මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික මුල්‍ය වෙළෙන්දෙකු වශයෙන් ‘‘පර්පෙචුවල් ට්රෙෙෂරීස්’’ සමාගම, ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රාග්ධන කල්ලියට එකතු වු ලාබාලම සහ නවතම සාමාජිකයා විය. මහ බැංකුවේ ලියා පදිංචි මුළු ප්‍රාථමික මුල්‍ය වෙළෙන්දන් සංඛ්‍යාව 16 කි. ඉන් සතරදෙකෙු රාජ්‍ය අංශයට අයත්ය. (ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ අර්ථ සාධක අරමුදල) 1997 දී, මහ බැංකු අධිපති ඒ.එස්. ජයවර්ධන මහතා දුර දක්නා නුවණින්, බැදුම්කර හරහා රාජ්‍ය ණය ලබා ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේදය වූකලි ඍජු සහ වෙන්දේසි ක්රමවේදයයි. යුද්ධය පැවති සමයේ, යුද්ධයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිදුවුයේ රට අභ්‍යන්තරයෙනි. විදේශ රටවල් මුදල් සැපයුවේ නැත. චීනය, ඉන්දියාව, පාකිස්තානය, සහ රුසියාව අවි ආධාර හෝ වෙනත් පහසුකම් සැපයු බව ඇත්ත ය.
අය-වැය හිගයත්, මුදල් උද්ධමනයත්, විදේශ විනිමය හිඟයත් පොලී අනුපාතයේ නැගීමත් ආදි සාධක සැලකිල්ලට ගනිමින්, බැදුම්කර හරහා රජය ලබා ගත්තේ බොහෝ සේ ”ඍජු” ක්‍රමවේදය මගිනි. ”වෙන්දේසි” ක්‍රමවේදයට ගියේ දීර්ඝ කාලීන මෙන්ම අවශ්‍යම අවස්ථාවල දී පමණයි. ”ඍජු” ක්‍රමවේදයට අනුව, ණය වලින් 90%ක්ම ලබා ගත්තේ රාජ්‍ය අරමුදල් සහ රාජ්‍ය බැංකුවලිනි. පෞද්ගලික මුල්‍ය වෙළෙදපල යොදාගත්තේ ප්රවේශමෙනි. මුල්‍ය ප්‍රාග්ධන මුදලාලි තරකිරීමට ප්රගතිශීලි රාජ්‍යයන්ට අවශ්‍ය නොවීය. මුල්‍ය ප්‍රාග්ධන මුදලාලි විසින් යුද්ධය පෝෂණය සඳහා යොදාගැනීම වළක්වාලනු ලැබීය. මෙය දේශප්‍රේමී මෙන්ම ජනතාවාදී පුවේශයකි.
2015 පෙබරවාරි 27 වැනිදා, යහපාලන රජයේ පළමු බැදුම්කර ණය ලබා ගැනීම සිදු කළේ 1997 සිට ක්‍රියාත්මක වූ යථොක්ත ක්‍රමවේදය මුළුමනින්ම අත්හරිමිනි. මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව හිතුවක්කාර ලෙස, අර්ජුන් මහේන්ද්‍රන් එසේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ අගමැති රනිල්ගේ උපදෙස් අනුවය. එහෙත්, කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියක් නොතිබින. මහ බැංකුවේ මහා මංකොල්ලය ආරම්භවුයේ එසේය. මහ බැංකු අධිපතිගේ භූමිකාව, ඔහුගේම සාක්ෂියෙන් තහවුරු වේ. ඔහුගේ හැසිරිම, ක්‍රියාකාරකම්, ගත් තීරණ සහ ලබැදියාවන් සනාථවන්නේ ය.
නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජ්‍ය අංශය ක්‍රමානුකූලව දියකර හැරලීමට, රාජ්‍ය මුල්‍ය ක්ෂෙත්රය දියකර හැරලීමට සහ මුල්‍ය ප්‍රාග්ධන කල්ලිය සවිමත් කරලීමටය මෙය න්‍යායාත්මකව නව ලිබරල්වාදී උපක්රමයකි. මීට දේශපාලන නායකත්වය ලබා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ය. ඒ බව, අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝප් කමිටු සාක්ෂියෙන් තහවුරු වේ.
රනිල් වික්‍රමසිංහ, වෝහාරික විගණනයක් අවශ්‍ය බව, ජනාධිපති විමර්ශණ කොමිසම හමුවේ කියා සිටියේ, අර්ජුන මහේන්ද්‍රන් ක්‍රියාත්මක කළ බැදුම්කර ක්‍රමවේදය නිවැරදි බවට විශේඥ මතයක් ලබා ගැනීම සඳහා ය. මෙය පැහැදිලිවම අර්ජුන් මහේන්ද්‍රන් රැකගැනිමට අවශ්‍ය කරුණු විශේෂ වෝහාරික විගනනයක් තුළින් ලබාදිමේ උත්සහයකි. වෝහාරික විගනනය තුළින් ඉදිරිපත් කර ඇති දත්ත, තර්ක සියල්ලම අර්ජුන මහේන්ද්‍රන්ගේ මුල්‍ය මගඩිය සදහා යොදාගත් ක්‍රමවේදය අධිකරණය ඉදිරියේ සාධාරණ කරගැනීමටය. දේශපාලන ආර්ථික කෝණයෙන් බැලූවිට, මෙම මගඩියේ පන්ති වුවමනාව වූයේ මුල්‍ය ප්‍රාග්ධන ස්ථරය සවිමත් කරලීමත්, ජාතික ආර්ථිකය අර්බුදයට ලක්කිරිම තුළින්, ජාත්‍යන්තර මුල්‍ය ප්රාග්ධනයට ශ්‍රී ලංකා ආර්ථිකය ගොදුරු කිරීම ය.
මෙය දැනටමත් සිදු වේ. ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක් ඉක්මවා ගොස්ය. දේශීය ණය ප්‍රමාණය රුපියග් ට්‍රිලියන 12 ක් පමණය. පළමු කෝප් කමිටු විමර්ශණයෙන් මහ බැංකු මගඩිය අනාවරණය නොවන්නට, යහපාලන රජය කෙලවර වන්නේ රාජ්‍ය ණය උගුලේ මුඑ මනින්ම හිරවීමෙන්ය. දේශපාලන හා ආර්ථික වශයෙන් පරගැති වීමෙනි. රාජ්‍ය මුල්‍ය ක්ෂෙත්ර දිය කර හැරීමෙන්ය. මහ බැංකුව, දැනටම අර්ජුන මහේන්ද්‍ර ක්‍රමවේදය අත්හිටුවා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට මේ සම්බන්ධයෙන් ඇති දේශපාලන වගකීමෙන් බේරීමට පුළුන්කමක් නැත.
රනිල් වික්‍රමසිංහ විමර්ශන යටපත් කිරීමට ගත් උත්සහයන් මෙසේ පෙලගැස්විය හැකිය
1. ඊනියා ”පිටිපත” නොහොත්, සිරිකොතේ නිතිඥ වාර්ථාව.
2. ”කෝප්” කමිටු අතුරු වාර්තාව පිටවීමට පෙරදින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
3. කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පැනවූ තහනම් නියෝගය ලබා ගත්තේ කෝප් කමිටු සාමාජික සුජීව සේනසිංහ මන්ත්‍රීවරයායි.
4. ”කෝප්” කමිටු සභාපතිට එරෙහිව ගෙනගිය මාධ්‍ය ප්‍රචාරය.
5. දෙවන කෝප් කමිටු වාර්තාවට ඇතුලත් කළ ”පාද සටහන්” යු.එන්.පී. ”පුට්නෝට්” කල්ලියේ උත්සහයකි.
6. රනිල් වික්‍රමසිංහගේ සාක්ෂිය නීතිපතිතුමා විසින්ම පෞද්ගලිකවම මෙහෙයවීම. ඒ තුළින් ”වෝහාරික විගනණයක” අවශ්‍යතාවය ඉදිරිපත් කරනු ලැබීය. සෙසු සියලූ සාක්ෂි මෙහෙවන ලැබූයේ සොලිසිටර් ජනරාල් විසිනි.
7. මහ බැංකු මගඩියෙන් පසුවද මහමැතිවරණයෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස යළි පත් කිරීම. (ජනාධිපති විරෝධතාවය නොතකා)
8. ජනාධිපති විමර්ශණය සිදුවෙමින් පවතිද්දී, අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයේ තබා ගැනීම. ඔහු ආර්ථික උපදේශකයා වශයෙන් පත් කිරීම.
9. රටින් පිටවීමට ඔහුට අවස්ථාව ලබා දීම.
10. වෝහාරික විගණනයක් නිර්දේශ කිරිම, අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරලීමේ අවසාන උත්සහයයි
11. ඩිව් ගුණසේකර කොප් කමිටු මූලික සාක්ෂි සටහන් කොමිෂම වෙත ඉදිරිපත් නොකර තිබීම. මෙය අභිරහසකි.
බැදුම්කර මගඩිය තුළින් සිදුවු සැබෑ අලාභය පිළිබඳ විවිධ සංඛ්‍යා ලේඛණ ප්‍රකාශයට පත් කර ඇත. එම අලාභය ගැන වෝහාරික විගණනයේත් සදහන් කර තිබුණ ද 2015 ට පෙර ලැබූ ලාභ ගැන සඳහන් නොවේ.
මහා බැංකු හිටපු අධිපති මහේන්ද්‍රන්ගේ බෑනා වන ‘‘පර්පෙචුවල් ට්රෙෙෂරීස්’’ සමාගම දෙවන බැඳුම්කර මගඩියෙන් පමණක් රුපියල් මිලියන 4652 /= ක වාසියක් ලබා ඇති බව කිව හැකිය. ඒ ගැන සඳහනක් නැත. රුපියල් මිලියන 300ක ප්‍රාග්ධනයක් තිබු එම සමාගම එක් ගනුදෙනුවක දී මෙතරම් ලාභයක් ලබාගන්නේ කෙසේ ද? ලාභය ප්‍රතිශතය වශයෙන් ගත් කළ 1500% ක් පමණ වේ.
මෙය බැඳුම්කර මගඩිය පිළිබඳ මගේ දේශපාලන, ආර්ථික විමසුමයි.