ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ඞී. ඩබ්ලිව්. සුබසිංහ
අධිභාර බද්ද පැනවීම සඳහා වූ අදාළ ගැසට් පත්‍රය 2020.02.07 වන දින නිකුත් කරනු ලැබ ඇත. විවිධ සමාගම් විසින් උපයන ලද ලාභ මත අධිභාර බද්දක් පැනවීම අපේක්ෂිත අරමුණය.
එහෙත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී විරෝධ පාමින් කරන ලද ප්‍රකාශයට අනුව අර්ථ සාධක අරමුදලෙන්ද අධිභාර බද්ද අය කිරීමට ප්‍රතිපාදන ඇතුළත් කරනු ලැබ ඇත්තේ ආදායම් බදු සඳහා අර්ථ සාධක මුදල උපයන පොලිය බද්දට යටත් කරමිනි. මෙය නොපෙනෙන විදියට ඉතාමත් සූක්ෂම විදියට සිදුකර ඇති බදු පැනවීමකි. ගැසට් පත්‍රයේ අර්ථසාධක මුදලක් ගැන සඳහනක් නැත.
ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඞී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඇත්තට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේ, සියලූ වෘත්තීය සමිති එකතු කරගනිමින් මේ උත්සාහය පරාජය කිරීමට කටයුතු කරන බවය. තව දුරටත් අදහස් පළ කළ සුබසිංහ මහතා ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ මුදල් මංකොල්ලකන්න. සාමාන්‍යයෙන් ආදායම් බදු ගන්නේ ව්‍යාපාරිකයන්ගෙන්. ආණ්ඩුව දැන් කියන්නේ මේ අරමුදලිනුත් ආදායම් බද්දක් ගන්න.
අර්ථසාධක අරමුදල පිහිටුවනු ලබන්නේ 1957 වසරේදීය. එය ලංකා වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙහෙයවනු ලැබූ මාස තුනක් පුරා ඇදි ගිය වැඩවර්ජනයක ප්‍රතිඵලයක් ලෙසය. ඉතිහාසයේ පළමුවැනි අමාත්‍ය මණ්ඩල වෘත්තිය සමිති නායකයින් කැඳවනු ලැබ ගත් ප්‍රතිපත්තිමය තීරණයකි.
මෙම ප්‍රතිපත්තිය පිටුපස සංකල්පය වූයේ රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලැබෙන හෙයින් පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් වෙනුවෙන් අර්ථසාධකයක් ලබාදීමයි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප මාසිකව ලැබෙන්නකි. ඒ වෙනුවට පෞද්ගලික අංශයේ නව සේවකයින්ට ලබා දී ඇත්තේ විශ්‍රාම ගිය පසු ඉතිරි කර ඇති අර්ථසාධක දායක මුදල, විශ්‍රාම ගියායින් පසු එකවර ලබා දීමයි. මෙහි සංකල්පය එකමය. ගෙවීමේ ක්‍රමවේදය වෙනස්ය. විශ්‍රාම වැටුප ආදායම් බද්දෙන් නිදහස්ය. එසේ නම් අර්ථ සාධකයෙන් ලැබෙන මුදල් අදායම් බද්දට හසු කරන්නේ කෙසේද? අධිභාර බද්ද යන්නද ආදායම් මත වන බද්දකි.
මෙය අසාධාරණය, අසමානය, අසදාචාරාත්මකය, අවිචාරාත්මකය.
වසරකට මිලියන දෙකක් ආදායම් බද්දෙන් නිදහස්ය. බදු සමා 14ක් මේ වන විට ලබා දී තිබේ. දාහතරවෙනි සමාව 2022 අය-වැයේදී ලබාදී තිබේ.
මෙම බද්ද ශ්‍රමය මත පැනවීමට යන බද්දකි. ප්රාග්ධනය, ලාභමත, අයකරනු බදුවලට බදු සමා, බදු සහන, බදු නිදහස් කිරීම් ලබාදී ශ්‍රමය මත බදු පැනවීම අශීලාචාරය.