Sunday, 25 September 2022

 මෙරට ජ්‍යෙෂ්ටත ම වෘත්තීය සමිති නායකයකු වූ පෝලියර් ගුණවර්ධන සහෝදරයා අද උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දී සිය දිවිගමන නිමා කළේ ය. මිය යන විට ඔහු 75 වැනි වියේ පසු විය.

ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ ඒ සහෝදරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ සටන්වලට නායකත්වය දුන්නේ ය. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීම විෂයෙහි ලා ඔහු වෙතින් අනුපමේය සේවයක් ඉටු විය.

1980 දශකය දක්වා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ කටයුතු කළ පෝලියර් ගුණවර්ධන සහෝදරයා පසුව ජයතිලක ද සිල්වාගේ නායකත්වයෙන් බිහි වූ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ දේශපාලන කටයුතු සමඟ එක් විය.

දේහය ජල්තර රජයේ නිවාස යෝජනා ක්‍රමයේ අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 5 වැනි ඉරිදා සවස 5ට හබරකඩ පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

 

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන එක්තරා නිලධාරිනියක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරීමකට ලක් කරන ලදැ යි පුවතක් පසුගිය දිනවල විවිධ මාධ්‍යවල පතළ විය. ලංකාවේ පමණක් නොව ස්විස් මාධ්‍යයන්හි පළ වී තිබුණු අතර මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ස්විස් තානාපතිවරයා අගමැතිවරයා හමුවෙන බව ද දැනගන්නට ලැබිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තවම ලැබී නැති බවත් පැමිණිල්ලක් නැතිව ද පරීක්ෂණ කිරීමට තම රජය සූදානම් බවත් ය. 

මෙසේ සිදුවීමක් සිදුව ඇත්නම් එය මහත් බරපතළ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ යමක් සිදුව ඇත් ද නැත්නම් එය යම්කිසි කුමන්ත්‍රණයක් ද යන්න හෙළිදරව් කරගත යුත්තේ රටේ ක්‍රියාත්මක වෙන අපරාධ පරීක්ෂණ අංශයි. එකී අංශ ඒ වෙත මෙහෙයවීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට යි.

මේ සියල්ල මෙසේ තිබියදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට නාඩගම් රඟදැක්වීමක් දකින්නට ලැබුණි. ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා සියලු ගැටලුවලට මැදිහත් වෙන විවිධ කණ්ඩායම් තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් විවිධ ප්‍රකාශ කරනු පෙනිණි. සිදුවීමක් සිදුව ඇත්නම් විධිමත් ආකාරයට ඒ සම්බන්ධව මැදිහත් නොවී මෙලෙස නරි නාටක නැටීමට ඉඩ දීම සම්බන්ධයෙන් රටක් ලෙස අප ලැජ්ජාවට පත් විය යුතු ය. මේ අභියෝගයට ලක් කරන්නේ රටේ ගෞරවය යි. සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු මෙවැන්නක් නොවේ. සිදුවීම් පෙළගැසෙන්නේ මේ ආකාරයට නම් ශ්‍රී ලංකාව ලොව ගර්හාවට ලක් වන රටක් බවට පත්වීම වැළැක්වීමට නොහැකි වනු ඇත. මේ වැනි නිර්ලජ්ජිත සිදුවීම් වැළැක්වීමට ආණ්ඩුව සමත් විය යුතුවා සේ ම උක්ත සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළිකිරීමේ වගකීම ද ඇත්තේ වත්මන් ආණ්ඩුවට ය. මේ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා සහයෝගය පළ කළ යුතු ය.

විදුහල්පති සහ ගුරු සංගම් එකමුතුව

 

ජනවාරි 1 සිට පසුගිය රජය විසින්  3/2016 චක්‍රලේඛය යටතේ  මූලික වැටුපට එකතු කිරීමට නියමිත රුපියල් දස දහසක (10,000) අවම වැටුප් වැඩිවීමේ අවසන් කොටස ගෙවීම මග හැර නොයන ලෙස විදුහල්පති සහ ගුරු සංගම් එකමුතුව නව රජයෙන් ඉල්ලා සිටී. එමෙන්ම රනුක්ගේ කමිටුව නිර්දේශ කළ මුදල් අමාත්‍යංශය විසින් අනුමත කර ඇති වැටුප් විෂමතා ඉවත් කිරීමේ ක්‍රමවේදයෙන් ජනවාරි පළමු වැනිදා ගෙවීමට පොරාන්දු වී තිබූ 50% ප්‍රමාණය ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එකමුතුවේ කැඳවුම්කරු ඊ.එම්.ජේ. ද සේරම් මහතා පැවසීය.  ඒ මහතා මේ බව පැවසුවේ 25 වැනි දා බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

 

වසර 22 ක් පුරා පැවති වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට පසුගිය රජයන් නිසි ක්‍රියාමාර්ගයන් නොගත් බවත් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගුරු සංගම්වලට සාකච්ඡාවක් පවා ලබා නොදුන් බව සේරම් මහත් පැවසීය. අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා මේ ගැටලුවලට සාධනීය විසඳුමක් ලබා දෙනු ඇතැයි තම සංගමය විශ්වාසය පළ කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සමස්ත ලංකා උපාධිධාරි ගුරු සංගමයේ සභාපති පූජ්‍ය අලුදෙණියේ සුමනරතන හිමියන් සහ දේශප්‍රේමී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ.පී.ඩී. කරුණානායක මහතා ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

වම් ඉවුරේ වෙබ් නාදය