විජයානන්ද රූපසිංහ #
ජනමාධ්‍ය වාර්තාකරණය හා ආචාරධර්ම පිළිබඳ නව සාකච්ඡාවක් පසුගිය සතියේ මතුවිය. ඒ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ නම ඈදුණු ප්‍රවෘත්තියක් හේතුවෙනි. ප්‍රවෘත්තිය පළ වූයේ රජයේ පුවත්පතක් වන ‘සිළුමිණ’ පුවත්පතේය. එහෙත් සාකච්ඡාව මතු වූයේ ෆේස්බුක් සමාජ ජාලයේය.
පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳ කිසිදු සදහනක් නොමැතිව තමා හා තම බිරිඳ සම්බන්ධ ප්‍රවෘත්තියක් සමාජ ජාලාවල සංසරණය වන බවත්, ඊට ඉක්මනින් පිළිතුරු සපයන බවත් සංගක්කාර සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා තිබුණි. ෆේස්බුක් ප්‍රතිචාර සහ විවිධ සටහන්වලින් මතු වූ කරුණු කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.
- සංගක්කාර වර්තමාන ආණ්ඩුවට හිසරදයක් වන ජනප්‍රිය පුද්ගලයෙක් බැවින්, ඔහුගේ චරිතය ඝාතනය කිරීමට මෙවන් ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත.
- 2024 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වයට සංගක්කාර ඉදිරිපත් වීමට තිබු හැකියාව මත ගොතන ලද ප්රවෘත්තියකි.
- නිදහස් අදහස් දක්වන පුද්ගලයෝ නිහඬ කිරීමට ගන්නා වක්‍ර ප්රයත්නයකි.
- චෝදනාවට ලක්වන තැනැත්තාගෙන් විමසා බැලීමක් සිදු නොකර කරන ලද ඒකපාර්ශ්වීය වාර්තාකරණයකි
අනෙක් ප්‍රතිචාර නොසලකා ඒකපාර්ශ්වීයව නැතහොත් එක් මූලාශ්‍රයක් පමණක් භාවිතා කර සිදුකරන ලද වාර්තාකරණය යන්න පිළිබඳව සාකච්ඡාවක් මතුවීම වැදගත්ය.
ඕනෑම ප්‍රවෘත්තියක් මූලාශ්‍ර දෙකක් හෝ කිහිපයක් මගින් තහවුරු කරගත යුතුය යන්න අවිවාදාත්මකය. එසේ ලංකාව වැනි රටක ප්‍රවෘත්තියක් විවිධ මූලාශ්‍රවලින් තහවුරු කරගැනීමට යාමේදී මතුවන බාධක පිළිබඳව ප්‍රායෝගික කතාන්දර තුනක් දැක්වීමට කැමැත්තෙමි.
පළමු කතාව, කොළඹ මහනගර සභාව පිළිබඳවය. එහි කැළි කසල බැහැර කරලීමට 1990 දශකය මුල් භාගයේදී ඉඩමක් ලබා ගැනීමේදී සිදුවූ අක්රමිකතාවයන් පිළිබඳ පිළිගත හැකි සාක්ෂි සහිතව තොරතුරු ලැබුණි. එය ‘ඇත්ත’ පුවත්පතේ පළ කෙරිණි. එය පළවූ සැනින් කොළඹ නගර සභාව කැළඹී විවිධ දැන හැඳුනුකම් ඇති පාර්ශ්ව මගින් ප්‍රවෘත්තිය තවදුරටත් ඉදිරියට වාර්තා නොකරන ලෙස ඉල්ලීම් කරනු ලැබුණි. නගර සභාවේ නිල නියෝජිතයෙක් අදාල වාර්තාකරු හමුවූ විටක පවසා සිටියේ එය පළ කිරීමට පෙර තමන්ව දැනුවත් කළේ නම් ඊට අදාලව තවත් තොරතුරු සැපයිය හැකිව තිබු බවයි. එහෙත් සැබෑව නම්, එසේ විමසා බැලීමට යොමු වූයේ නම් එම ප්‍රවෘත්තිය පළකිරීමට කලින්ම බලපෑම් එල්ල වීමයි.
දෙවන කතාව, රාජ්‍ය බැංකුවක් සම්බන්ධයෙනි. ඉංග්‍රීසි පුවත්පතක ව්‍යාපාරික වාර්තාකරු තම ප්‍රවෘත්තිය සමබර කිරීම සඳහා බැංකුවේ ඉහළ නිලධරයින් අමතා ප්‍රවෘත්තිය පිළිබඳ දැනුම් දුන්නේය. අදාල නිලධාරියාද ඉතා ගෞරවයෙන් බැංකුවේ නිල මතය ප්‍රකාශ කර තිබුණි. ව්‍යාපාරික වාර්තාකරු එකී පුවතට අදාල බැංකුවේ මතය විමසා ප්‍රවෘත්තිය ‘සමබර’ කර මුද්‍රණයට සූදානම් කළේය. හවස් වන විට පුවත්පත් අධිපති, වාර්තාකරු අමතා විමසා සිටියේ අදාල බැංකුවට සම්බන්ධ ප්‍රවෘත්තියක් පළකිරීමට සූදානමින් සිටින්නේද යන්නයි. ඒ පිළිබඳ පුවත්පත් හිමිකරුට දැනුම් දුන්විට ඔහුගේ උපදෙස වූයේ ප්‍රවෘත්තිය පළ කිරීමට ‘අත්‍යවශ්‍ය නම් පමණක්’ එය පළ කරන ලෙසයි. ප්‍රතිඵලය වාර්තාකරු විසින්ම ප්‍රවෘත්තිය ඉවත් කර ගැනීමයි. සිදුව ඇත්තේ බැංකුවේ ඉහළ නිලධාරින් පුවත්පත් හිමිකරු අමතා ප්‍රවෘත්තිය ගැන දැනුම් දීමයි.
තෙවන කතාව, ඉඩම් විෂය භාර ඇමැතිවරයෙකු සම්බන්ධයෙනි. දේශපාලන පුවත්පත් වාර්තාකරුවෙකුට, ඉඩම් ඇමැතිවරයෙකුගේ අයථා ඉඩම් ගණුදෙනුවක තොරතුරු සියල්ල ලැබුණි. ප්‍රවෘත්තිය පළකිරීමට පෙර ඒ පිළිබඳව ඇමැතිවරයාගේ අදහස් විමසීමට දුරකතන ඇමතුමක් දුන් විට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ එදිනම හවස නිල නිවසට පැමිණ තමන්ව හමුවන ලෙසයි. වාර්තාකරු නිවසට ගිය විට ඇමතිවරයා ඔහුව සාදරයෙන් පිළිගෙන ආගිය තොරතුරු විමසා පැමිණියේ කෙසේදැයිද විමසීය. වාර්තාකරුගේ පිළිතුර වූයේ කුලී රථයෙන් පැමිණි බවයි. මෙතරම් දීර්ඝ කාලයක් පුවත්පතක සේවය කළත් තවමත් පෞද්ගලික වාහනයක් නැත්දැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා තම අමාත්‍යාංශයට දුරකතන ඇමතුමක් දී ඉදිරියේ වෙන්දේසි කිරීමට සූදානම් කර තිබු මෝටර් රථවලින් හොඳම තත්ත්වයේ රථයක් වෙන් කරන ලෙස දැන්වීය. ඒ නාමික මුදලකට අදාල රථය වාර්තාකරුට ලබාදීමටයි. තේ පානයෙන් හා දේශපාලන තොරතුරු කතාබහෙන් පසු වාර්තාකරු ඇමැති නිවසින් නික්ම ගියේය. අදාල ඉඩම් පිළිබඳ ප්‍රවෘත්තිය අදටත් නොපළවූ ප්රවෘත්තියකි.
පන්ති කාමර හා න්‍යායත්මක සාකච්ඡාවලදී ප්‍රවෘත්තිය සමබර කිරීමටත් විවිධ මූලාශ්‍රවලින් විමසා බැලීමත් යහපත් ලක්ෂණයක් වුවද, ලංකාවේ ප්‍රායෝගික භාවිතය වෙනකකි. සංගක්කාර හා බැදුණු ප්‍රවෘත්තිය සමබර කර හෝ මූලාශ්‍රය විමසා නැතැයි න්‍යායාත්මකව ප්‍රශ්න කළ හැකිය. එහෙත් එය එසේ වූවා නම් අදටත් එම සිදුවීම ප්‍රවෘත්තියක් නොවන්නට ඉඩ තිබුණි.
අනික් අතට තොරතුරු අයිතිය (RTI) යටතේ රජයේ නිල මූලාශ්‍රවලින් ලබාගත් තොරතුරු මත සපයන වාර්තාවක් සඳහා තව දුරටත් විවිධ මූලාශ්‍ර විමසා බැලීමට යා යුත්තේද යන්න සාකච්ඡාවට ලක්විය යුත්තකි.