21 වන සියවසේ, තුන්වන දශකයේ තවත් වසරක් ගෙවී ගොස් 2022 වසර උදාවෙමින් පවතී. 2022 වසරේ අභියෝගයන්ට මුහුණදීමේදී 2021 වසරෙන් උගත යුතු පාඩම් මොනවාද? එය ස්වයං විවේචනයකින් තොරව වටහා ගැනීම අසීරුය. එයද කළ යුත්තේ ඵෙතිහාසික පසුබිම පිළිබඳව මනා අවබෝධයකින් යුතුවය.
19 සියවසේ අවසන් දශක දෙක තුළ, අධිරාජ්‍යවාදී යුගය ආරම්භ විය. අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඉහළම අවධිය වේ. විසිවන සියවස, අධිරාජ්‍යවාදයේ ස්වර්ණමය සියවසයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිරු නොබසින අධිරාජ්‍යවාදයක් බවට පත්විය. එම සියවස තුළ ලෝක යුද්ධ දෙකකි. දෙවන ලෝක යුද්ධය නිමාවට පත්වූයේ අධිරාජ්‍යවාදයේ නායකත්වය ඇමරිකාවට පවරමිනි. එය එක් පැතිකඩකි. අනික් පැතිකඩ, එම සියවසේ විප්ලවීය ස්වරූපයයි. ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන විප්ලවයන් සිදුවූයේ මෙම සියවස තුළය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය, චීන විප්ලවය. කොරියානු විප්ලවය, වියට්නාම් විප්ලවය, කියුබානු විප්ලවය තුළින් අධිරාජ්‍යවාදයේ නිර්මාණයක් වූ යටත් විජිත ක්‍රමය මුළුමනින්ම බිඳ වැටුණි.
ලෝක ආර්ථික රටාව ඒකද්‍රව, ද්වීද්රව, බහුද්‍රව වශයෙන්ද වෙනස් වීමද, මෙම සියවස තුළ අප දුටු ලක්ෂණයන්ය. ලෝක ආර්ථිකය ගෝලීයකරණය වීමද, තවත් සුවිශේෂි ලක්ෂණයකි. එය සිදුවූයේ විද්‍යාව සහ තාක්ෂණය හරහා මිනිසාගේම ජයග්රහණයන් තුළිනි.
21 වන සියවසේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, ආසියානු ආර්ථිකයේ පිබිදීමයි. එය වසර 500කට පසු ඇති වූ වෙනසකි. ආසියාවේ පිබිදීමට බලපෑ තීරණාත්මක සාධකය චීන ආර්ථිකයේ වේගවත් වර්ධනයයි. ඊට සමාන්තරවූ බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ ආසියාවේ මහජන ප්රජාතන්ත්රවාදය වශයෙන් සංකල්ප දෙකක් පදනම් වූ තරඟකාරීත්වයක්ද, දැකිය හැකිය. 21 වන සියවසේ මුල් දශක දෙක තුළ, චීනය ලොවේ දෙවන ආර්ථික බලවතා බවට පත්වීම, ලෝක බලතුලනය යළි වෙනස්වීමට හේතුවිය. සෝවියට් සංගමය 1991දී බිඳ වැටීම, ඉතිහාසයේ ගමන් මඟ වෙනස් වීමට ප්‍රබල හේතුවක් වූවද, රුසියාව අධිරාජ්‍යවාදී කක්ෂයට ඇද ගැනීමට අධිරාජ්‍යවාදය අසමත් විය.
21 වන සියවසේ, පළමු දශකය තුළ හටගත් 2008 ගෝලීය මූල්‍ය අර්බුදයත්, 2020 හටගත් ගෝලීය කොරෝනා වසංගතයත් (කොව්ඞ් -19), අධිරාජ්‍යවාදයට පමණක් නොව ධනවාදී අර්ථ ක්‍රමයට එල්ලවූ ප්‍රබල අභියෝගයක් වී තිබේ. අධිරාජ්‍යවාදී රටවල් අතර ප්රතිවිරෝධතාවයන් උත්සන්න වීමට හේතු වී තිබේ. වසර 20ක අඛණ්ඩ යුද්ධයකින් පසු, ඇෆ්ගනිස්ථානයෙන් පමණක් නොව මුළු මැද පෙරදිගෙන් පසුබැසීමට ඇමරිකාවට සිදුවී තිබේ. එහී තීරණාත්මක සාධකය ආසියානු ආර්ථිකයේ බල මහිමයයි.
ඉහතින් දැක්වූ ඵෙතිහාසික පසුබිම, ගෙනහැර පෑවේ 21 වන සියවසේ තුන්වන දශකය කුමන ගමන් මඟක් ගනීවිද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදීමටය.
2019 නොවැම්බරයේදී සහ 2020 අගෝස්තුවලදී විශිෂ්ඨ ජනතා ජයග්‍රහණයක් ලබාගත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජය මුහුණ දී ඇති අභියෝගයන් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන්නේ පළමුව, ලොව සිදුවෙමින් පවතින ඵෙතිහාසික වෙනස්වීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීමයි. ඒ අනුව, ගෝලීය වශයෙන්ද, භූ දේශපාලනික වශයෙන්ද, ජාතික වශයෙන්ද, සිදුවූ සහ සිදුවෙමින් පවතින වෙනස්වීම් සහ ජනතා අභිලාෂයන් තේරුම් ගැනීමට නොහැකි වී තිබීමයි. ගතවූ වසර දෙක පිළිබඳ අධ්‍යනයක් කළ හැකි වන්නේ ස්වයං විවේචනාත්මක විශ්ලේෂණයක් හරහා පමණය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන්නාවූ ත්‍රිත්ව අර්බුදය (ගෝලීය ආර්ථික අර්බුදය, ගෝලීය වසංගතය සහ ජාතික ආර්ථික අර්බුදය) තේරුම් ගැනීමට වත්මන් රජය තවමත් අපොහොසත් වී තිබේ. ඇතැම් අය, මෙම අර්බුදය තේරුම් ගන්නේ කොවිඞ් -19 අතුරු ඵලයක් හැටියටය. තව අය මෙය තේරුම් ගන්නේ ගෝලීය අර්බුදයේ කම්පනයක් හැටියට පමණය. ආණ්ඩු පක්ෂයේ අති බහුතරය සහ සමස්ත විපක්ෂයම මෙම අර්බුදයට තීරණාත්මක සාධකය වශයෙන් ගතවූ වසර 43 තුළ අප අනුගමනය කළ ආර්ථික උපාය මාර්ගය බව තේරුම් ගෙන නැත.
ජනතා විමුක්ති පෙරමුණ මෙම අර්බුදය තේරුම් ගන්නේ හුදෙක් අල්ලස, දූෂණය, මූල්‍ය අවභාවිතයේ අතුරු ඵලයක් වශයෙනි. පක්ෂය තුළ පවතින්නාවූ අභ්‍යන්තර ප්රතිවිරෝධතාවයන් සමනය කරලීමේ උපක්‍රමයක් වශයෙන් එවැනි ස්ථාවරයක් ගන්නවාදැයි අපි නොදනිමු. නව ලිබරල්වාදයේ අර්බුදය අවතක්සේරු කිරීමක් වශයෙන්, මෙම ප්‍රවණතාවය අප දකිමු. ලෝක ආර්ථිකයේ සිදුවෙමින් පවතින වෙනස්වීම් (ලෝක ආර්ථික රටාව සහ ගෝලීය ආර්ථික බලතුලනය) පිළිබඳ දෘශ්ඨිමය ව්‍යාකූලත්වයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබෙන බව අපි දකිමු. නවලිබරල්වාදී ඇතැම් දේශීය බුද්ධමතුන්ගේ බලපෑමද ඊට හේතුවන්නට පුළුවන. චීන විරෝධී, අවස්ථාවාදී ප්‍ර වණතාවයන් ඉස්මතු වන්නේද එම දෘශ්ඨිමය ව්‍යාකූලත්වය තුළින් විය හැකිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් අලුත් පක්ෂයක් වූවද, එය මූලිකව 1956 දරුවන්ගේ දේශපාලන අනුප්රාප්තියක්ය. 1978 දරුවෝද අතරමගදී ඊට එක්වී ඇති බවද, නොරහසකි. 1956-2020 අතර කාලය තුළ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුව ඇති වෙනස්වීම්, ආර්ථිකයේ බලවතුන් බවට පත්වී තිබෙන්නේ, මූල්‍ය හා වෙළඳ ප්‍රාග්ධනපති ස්ථරයන්ය. එම ස්ථරයන්ගේ බලපෑම් ප්රබලය. විධායක ජනාධිපති ක්‍රමය තුළ එකී ස්ථරයන් ප්‍රබලවී තිබේ.
‘රාජ්‍ය මැදිහත්වීම’ අකර්මන්‍ය වූයේද, එම ස්ථරයේම බලපෑම් අනුවය. ගතවූ මාස කිහිපය තුළ සීනි, පොහොර, සුදුළුණු, ගෑස්, සහල් ආදී භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීම අවුල් වූයේද, එම ස්ථරයේ දේශපාලන බලපෑම් අනුවය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන - සමාජ - සංස්කෘතික කේෂ්ත්රයන්ටද ආර්ථික අර්බුදය පැතිරී යමින් තිබේ.
මෙය තේරුම් ගැනීමට ජනාධිපතිතුමා උත්සාහ ගත යුතුය. ලේ නෑදැකම් තව දුරටත් වලංගු නොවේ. පන්ති නෑදැකම් ඊට වඩා ප්රබලය. ලාභ ප්‍රතිශතය 300%ක් වන විට, මිනිසා මිනීමරුවෙකු වන බව කාර්ල් මාක්ස්ගේ පඬි වදනකි. පොදුජන පෙරමුණේ, 1956 දරුවන්ගේ පහන් සංවාදයට පාත්‍රකරමින් 2022ට සුබ පතමු.