Saturday, 18 September 2021

#මහාචාර්ය ඩිල්මා තුෂාරි කොග්ගලගේ



පසුගිය දවසක මට හාවඞ් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වූ පෝල් වීවර්ගේ News and the Culture of Lying: How Journalism Really Works නම් ලිපිය කියවන්නට ලැබුණි. එහි වීවර් පෙන්වා දෙන්නේ දේශපාලනඥයන් හා මාධ්‍යවේදීන් එක්ව මහජනයා නොමග යවන ව්‍යාජ පුවත් නිමාර්ණය කිරීම ඇතැම්විට සිදුවන බවයි.

ඔහු මේ සඳහා දෙන නිදර්ශන අතර වඩාත් පරණ එකක් වනුයේ, 1980 ගණන්වල අමෙරිකා එක්සත් ජනපදයේ රොනල්ඞ් රේගන් ආණ්ඩුව අයවැය පරතරය පියවීම හා Gramm-Rudman සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයයි. සියගණන් පුවත්පත් ලිපි, වාර්තා හා මාධ්‍ය සාකච්ඡා-සංදර්ශන මගින් රේගන් ආණ්ඩුව හා කොංග්‍රසය අයවැය පරතරය පියවාගැනීමට ‘ධීරවීර’ ලෙස කටයුතු කරමින් සිටින බවට පුවත් මැවීම සිදුකළත්, ඇත්ත වශයෙන්ම ෆෙඩරල් ආණ්ඩුව හා රේගන් පරිපාලනය තිරය පිටුපස ගෙනගියේ වියදම් අධික හා නාස්තිකාර වැඩපිළිවෙලක් බව වීවර් දක්වයි. අලූත් අලූත් වියදම් හා නාස්ති සහිත වැඩසටහන් හඳුන්වාදෙන වරක් පාසා ඒවා වූකලී පවතින ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් සෙවීමේ ආණ්ඩුවේ දක්ෂතාව බවට අර්ථදක්වමින් පිළිරූ ගොඩනැගීමක (image building) ඇතැම් මාධ්‍ය නිරත වී යයි කියැවේ. මේ තුළ සත්‍ය වශයෙන්ම අයවැයට එකතු වූ අලූත් බර යටපත් කෙරිණි.

මෙබඳු නිදර්ශණ ගෙනහැර දක්වන පෝල් වීවර් කියන්නේ මෙසේ සිදුවන්නේ මාධ්‍ය හා දේශපාලනඥයන් අනුගමනය කරන අන්‍යෝන්‍ය වශයෙන් උනුන් මත රඳාපැවතීමේ ක්‍රමය හේතුවෙන් බවයි. මාධ්‍ය මෙන්ම ආණ්ඩු කරවන හා විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලනඥයෝ ස්වකීය පුද්ගලික, ආයතනික හෝ දේශපාලන අභිමතාර්ථ සාධනය සඳහා මේ සබැඳියාව භාවිත කරති. මේ අභිමතාර්ථවල හරය වීවර් මෙසේ පෙන්වා දෙයි. මාධ්‍යයට ස්වකීය පැවැත්ම සඳහා නාටකීය පුවත්වල අවශ්‍යතාව පවත්නා අතර ආණ්ඩු හා දේශපාලනඥයන්ට ස්වකීය ස්ථාවරත්වය හා යහපත් ප්‍රතිරූපය පවත්වාගැනීමට අවශ්‍යය. මේ නිසාම ඇතැම් මාධ්‍ය හා ඇතැම් දේශපාලනඥයන් එක්ව ‘බේගල් ඇදබෑමේ සංස්කෘතියක්’ (Weaver – Culture of Lying) නිර්මාණය කරන බව ඔහු පෙන්වා දෙයි. මේ සංස්කෘතිය පවත්වාගැනීමේදී මාධ්‍යවේදීන් හා ආයතන, නාටකීය ස්වභාවයෙන් ඉදිරිපත් කළ හැකි අර්බුද හා හදිසි අවස්ථා පිළිබඳ පුවත් සපයාගැනීමට ආණ්ඩුවල නිලධාරීන් හා දේශපාලනඥයන් මත යැපෙන අතර, අනෙක් අතට එබඳු නිලධාරීන් හා දේශපාලනඥයන් ස්වකීය ඉලක්ක සපුරාගැනීමට මේ බේගල් සංස්කෘතිය භාවිත කරති.

වීවර් පෙන්වාදෙන මේ නාටකීය පුවත් සැපයීම මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට දැන් අලූත් නැත. ඔහුට අනුව මේ කාර්යයට මුලින් අත ගැසුවේ ජෝසෆ් පුලිට්සර්ය. ඒ 1883 දී ඔහු New York Times  මිළටගත් අවස්ථාවෙන් පසුවය. ඒ වනවිට ඇල්මැරුණු තත්ත්වයේ පැවති පුවත්පත වසර විස්සක් ඇතුළත රටේ විශාලතම ව්‍යාප්තිය සහිත පුවත්පත බවට පත්වූයේ, එය පුවත් නාටකීය ස්වභාවයෙන් ඉදිරිපත් කරමින් කළ පරිවර්තනය නිසා යයි කියැවේ. ඔහු පුවත්, කතන්දර බවට හැරවීමට සමත් වූ නිසා යයි කියැවේ. අසාමාන්‍ය සිරස්තල, විශාල ඡායාරූප හා ආකර්ශණීය ග්‍රැෆික් පින්තූර ආදිය මේ කතන්දර ඉදිරිපත් කිරීමේ උපක්‍රමයි. වීවර්ගේ ලිපියෙන් අපට හැෙඟන්නේ මෙතැනින් පටන්ගත් පුවත් ‘කතන්දර’ කොට ඉදිරිපත් කිරීමේ කලාව 20 වන සියවසදී රූපවාහිනී මාධ්‍යය පැමිණීම ආදී සියලූ වර්ධනයන්ද සමග බේගල් කීමේ සංස්කෘතියක් දක්වා තල්ලූ වූ බවයි.

මේ තත්ත්වය ශ්‍රී ලංකාවටද විශේෂයෙන් රූපවාහිණී මාධ්‍ය ආගමනය හා විවෘත ආර්ථිකය යන වර්ධනයන් දෙකම සමග නිසැකවම හටගෙන ඇත. මහජනයා වන අප පුවත් සොයා යනවාටත් වඩා වේගයකින් පුවත් අප සොයා පැමිණේ. ඇතැම්විට අපට බලෙන් පුවත් ගිල්ලන්නේ යයි කීවාටද වරදක් නැත. එවිට අපට සිතෙන්නේ අප යාවත්කාලීන වන බවයි. එහෙත් ඇත්තටම මෙසේ අප මත බලෙන් පටවන්නේ වීවර් දක්වන බේගල් සංස්කෘතියේ නිර්මිතයන් විය නොහැකිද? 1980 දශකයෙන් පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වර්ධනය වූ ආකාරය මෙන්ම දේශපාලනය පාදඩකරණයට ලක්ව ඇති ආකාරය නිරීක්ෂණය කරන විට මේ කාරණය අප කවුරුත් තම තම නැණ පමණින් සිතා බැලීම වැදගත් යයි සිතේ.

 

වම් ඉවුරේ වෙබ් නාදය