අනුරසිරි හෙට්ටිගේ #
ලක්ෂපතියන් පිළිබඳ මතකාවර්ජනයක් උදෙසා කොළඹයාගේ සිත මෙහෙය වනු ලැබුවේ ‘විසි ලක්ෂපති’ කතාවක් ගැන ලියන කියන දෑ දැකීම ය; ඇසීම ය. ලක්ෂයක් යනු දහස් සියයකි. එනිසා එය ඉංග්‍රිසියෙන් වහරනු ලබන්නේ One hundred thousand කියා ය. කොළඹයන් අතර ‘තවුසන්ඞ් ටෝක්’ කියා කියමනක් ඇත්තේ ය. ‘තවුසන්ඞ් ටෝක්’ දෙන්නේ අතේ සතේ නැතත් ජැන්ඩි පහට ඉන්න ‘සෝබනකාරයන්’ ය. කොළඹයාගේ ආච්චි ‘පුක කහ ගන්ඩ නියපොත්තක් නැති උනාට ඌ යන්නෙ උඩින්’ යයි කියන්නේ මේ සෝබනකාරයන් ගැන ය. ‘පුක’ යනු පස්ස පැත්ත බව කොළඹයා දන්නේ සන්තබස්තියම් වීදියේ වලව් වත්තෙ කානු ගැට්ටක ඉඳ ‘තටමන’ කාලයේ සිට ම ය. කානු ගැට්ටේ සිට ඒ දේ කළත් වත්තෙ පයිප්පයට අල්ලා පස්ස පැත්ත සෝදා ගත්තේ ඒ කාලයේ කොළඹ නගර සභාව හෙවත් ‘කොනස’, වතු දරුවන් උදෙසා පවත්වා ගත් ලක්ෂයක් වටින වැඩසටහනක් නිසා ය.
ඒ කාලයේ හෙවත් එක්දහස් නමසිය හැටේ දශකයේ මුල් භාගයේ කොළඹයන්ගෙ වතුවලට පැමිණ ‘බයිස්කෝප්’ පෙන්නන මාමල ටිකක් සිටියෝ ය. ඒ ‘බයිස්කෝප්වල’ ගාමිණී ෆොන්සේකලා, ආනන්ද ජයරත්නලා, රුක්මනී දේවිලා, සන්ධ්‍යා කුමාරිලා, ජීවරාණිලා පෙනී නොසිටියත් කොළඹයන්ට හොඳ සවුක්කිය පුරුදු ගැන කියා දුන් සර්ලා ටීචර්ලා හුඟ දෙනෙක් සිටියෝ ය. ඒ අය කොළඹ ළමයින්ට නියපොතු කපන්න, දත් මැදලා සබන් ගාලා මූණ කට හෝදන්න විතරක් නෙමෙයි කානු ගැට්ටෙන් නැගිටලා ‘පස්ස පැත්ත‘ හෝදන්නත් කියා දුන්නේ ය. එ් විතරක් නෙමේ ය. පොත් කියවන්නත් පුරුදු පුහුණු කළේ ය. ඒවා කාලයේ හැටියට ලක්ෂපති වැඩසටහන් ය. කොළඹයා අද මේ සිටින තැනට පාර කියා දුන්නේ ද ‘ලක්ෂපති වැඩසටහන්’ බව කියන්නේ හද පිරි ‘මෙව්වා’ එකෙන් ම ය.
ඒ විතරක් නෙමේ ය. කොළඹයන්ගෙ වතුවල තවත් ලක්ෂපතිලා පිරිසක් ද සිටියෝ ය. ලක්ෂයක් ගැවී තිබුණද ඔවුන් පෝසතුන් නොවන්නේ ය. අන්ත දුප්පතුන් ය. ගමන බිමන උජාරු ය. සෝබන ය. කතා කළොත් ‘තවුසන්ඞ් ටෝක්’ ය. අහන් ඉන්න එකාට ප්ලෙන්ටියක් වත් නැත. එවැනි කොළඹයන්ට ‘හන්ඞ්රඞ් තවුසන්ඞ්’ නමක් පට බැඳුනේ උපහාසයට උනත් එහි සැබෑ ලක්ෂපතියන් ගැන උදාරම් හැඟීමක් ද ඇත්තේ ය. ‘ලක්ෂපති’ලා එසේ ය.
දූපතේ දුප්පතුන්ට ‘ලක්ෂපති සිහිනය’ හඳුන්වා දුන්නේ ‘ජිම්කානා’ නමැති ලොතරැයිය බව කොළඹයා අසා ඇත්තේ ය. ජිම්කානා ඇඳුණු අය ලක්ෂපතියෝ ය. ගමන බිමන පමණක් නොව කෑම බීම, ඇඳුම් පැළඳුම් එහෙමත් උජාරු ය. ‘ලක්ෂෙට කොඩි දැම්මා වගේ’ කීවේ ද එනිසා ය. එකල ‘ලක්ෂෙට කොඩිය’ නමින් බයිස්කෝප් එකක් ද තිරගත වුණ බව කොළඹයාට මතක ය. කොළඹයා ඒ බයිස්කෝප් එක නැරඹු බවත් මතකය. එහි නළුවාට ද ලක්ෂයක දිනුමක් ඇදෙන්නේ ය. ‘සත පනහ’ සහ ‘ස්වීප් ටිකට්’ නමින් තවත් බයිස්කෝප් දෙකක් ද කොළඹයා නරඹා ඇත්තේ ය. සත පනහ බයිස්කෝප් එකේ ගාමිනී ෆොන්සේකා සහ සන්ධ්‍යා කුමාරි ‘චන්ද්‍රා මේ ? පායා ආවා‘ සින්දුව කියන්නේ ය. ස්වීප් ටිකට් චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා’ කියා සින්දුවක් තිබුණේ ය. මේ සියල්ල ‘ලක්ෂපති බයිස්කෝප්’ කතා ය.
සාදාචාරවත් ’සූදුවක්’ ලෙසින් ‘ලක්ෂපති සිහිනය’ දුප්පතුන් තුළ නිදන් කළේ ‘මහජන සම්පත’ ස්වීප් ටිකට් එක ය; දිනුම ලබන්නාට ලක්ෂයක මුදල් තෑග්ගක් දීම නිසා ය. දරා ගැනීමට බැරි තරමට දිගට හරහට ලක්ෂපතියන් බිහි වන්නට වූයේ ය. ඒ කාලයේ කොළඹ ලක්ෂපතියන් වාසය කළේ ‘කුරුඳුවත්තේ’ ය. කොළඹ තැපැල් කොට්ඨාෂ අංක හතේ ය. අංක හත ‘ලකී සෙවන්’ වුණේ ඒ නිසා වෙන්නටත් බැරි නැත. ආර් ප්‍රේමදාස මහත්තයා කොළඹ 12 න් නගර සභා ඉලැක්ෂන් එක පැරදිලා ‘කොළඹ හතට‘ මාරු උනේ වාසනාව උරගා බලන්නට වන්නට බැරි නැත්තේ ය. ඔහු කොළඹ 12 දී පැරදුනේ කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇල්. ඩබ්. පණ්ඩිතට ය. එනිසා 12 වුණත් 7 ලෙසින් කැරකෙන අය නැත්තේ නොවන්නේ ය. ඒ කාලයේ එසේ වුවත් අද කොළඹ හිඟන්නන්ගේ කඩමාලූ අතරේ තිබී දස ලක්ෂ ගණන් හමුවන්නේ කුස ගින්නේ මහ මග මැරී සිටින විට ය. උජාරු ලක්ෂපති කතා අද වනවිට ‘රුපියල් ගාණට’ වැටී ඇත්තේ එලෙස ය.
‘ලක්ෂපති’ කතා අතරින් කොළඹයා ගොඩ වෙන්නට හදන්නේ ‘නමින් ම ලක්ෂපති’ වූ කෙනෙකුගේ මැදිහත් වීම නිසා රටේ ජනමත නායකත්වයේ විකෘතියක් බිහි වූ බව සිහි කරන්නට ය. හේ ‘නිමල් ලක්ෂපති ආරච්චි’ ය. හේ දක්ෂ සන්නිවේදකයකු වන්නේ ය. හඬින් මෙන් ම වැඩෙන් ද සුපිරි ය. රජයේ මාධ්‍ය අධිකාරි බලය යට අහිංසකව සිටි මේ ලක්ෂපතියා, රටේ ජන මාධ්‍යය කකුල් කෙටියෙන් අල්ලා පොළොවේ ගැසුවේ ‘මාධ්‍ය ඔස්තාර්ලා’ගේ ‘මුක පූට්ටු’ කරමින් ය. රාජ්‍ය මාධ්‍ය අධිකාරීත්වයේ හිස් බව මොනවට පසක් කරමින් ‘ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයේ’ පෙරළියක් ඇති කළ මේ සූර ලක්ෂපතියා, අවසානයේ රාජ්‍ය මාධ්‍ය නාලිකා දෙකක මුල් පුටුවකට පත් වූයේ ය. ඒ කාලයේ කොළඹයා ඒ එක් ආයතනයක නිලධාරියකුව සිටියේ ය. ඒ ගැන කියන්නට කතා බොහෝ ය. ඒවා පසුවට ය.
අද වනවිට හැම නාලිකාවකම බුදු බණ සේම වැදි බණ ද දේශනා කෙරෙන්නේ ද, ගීත නමින් බලි තොවිල් යාතිකා ගැයෙන්නේ ද, මිථ්‍යාවේ කඩ තිරයෙන් ජනතා ඇස් වසාලනු ලබන්නේ ද මේ ‘ජිමික් තියරිය’ට ස්ථාවර මුල් නොමැති වූ නිසා ය. සිය හඬ පෞර්ෂය ‘හිරිකිත සිනා රැල්ලක’ දිය කර හරින්නේ ද එනිසා යයි කොළඹයා සිතන්නේ ය. ‘ලක්ෂපතියානුකරණය’ අහම්බයක් නොවේ ය. එය සමාජාර්ථික නව්‍යකරණයේ පැවැත්ම සඳහා අවශ්‍යම කරන්නක් වන්නේ ය. ඒ වනවිට ගූඨ අඳුරක සිරවී වුව පුහු මාන්නාධික මාධ්‍ය අධිකාරිත්වයකට පත්ව තිබූ රාජ්‍ය මාධ්‍යයේ සීතම්බර පට කීතු කොට ඉරා දැමීමක් ද වන්නේ ය. අහෝ ඛේදයකි යි කොළඹයාට සිතෙන්නේ ‘නිමල් ලක්ෂපති තියරියේ’ සළුපට ද මේ වනවිට අහසට විසී වනු දක්නට ලැබෙන නිසා ය. දැන් ඇත්තේ ‘ලක්ෂපති නොව කෝටිපති තියරියන් ය’. බිම දිගේ දුවන වැල් සේ ය. හතර අතට පැතිරෙනු විනා මහ පොළොවට ද යහපතක් නොමැත්තේ ය.
එනිසා ම මාධ්‍යය, පුරවැසියාට සමග නොව පුරවැසියාට ඉදිරියෙන් සිට ගත් සැටියක් පෙනෙන්නේ ය. ඔවුන් පුරවැසියන්ගේ කඳුළු කතාව, ප්රාග්ධනයේ පැවැත්මේ කතාව බවට රූපාන්තරණය කර ගන්නේ ය. විසි ලක්ෂපති කතාව බිහි වන්නේ ඒ ඇසුරේ ය. ඔබ සිතුවා හරි ය. කොළඹයා මේ කියන්නේ ඊයෙ පෙරේදා ‘සිරස’ ලූ කටු ඔටුන්නක වින්දිතයකු වෙමින් සිටින ඒ අහිංසක මල් කැකුළ ගැන ය. ඇය ශුක්රා මුනව්වර්’ ය. ආගමික පසුගාමීත්වය මඟ හරිමින්, මානව නිදහසේ උපරිමය අත්පත් කර ගැනීමේ අනවරත අරගලය නිරත ව සිටි ඒ මල් කැකුළ, ‘ලැප් ටොප්’ සිහිනයේ සිට ‘විසි ලක්ෂපති’ සිහිනයක් කරා අනුවර්තනය කිරීමට ගන්නා තැත කිසිවිටකත් අහිංසක නැත්තේ ය. එහි පූර්ව විනිශ්චයන් ඇත්තේ ය. ‘දකුණේ අභිමානය’ නමින් අබිසෙස් කොට ‘කටු ඔටුන්නක්’ ලූ ඇගේ රුව පෝස්ටරයක් ව රට පුරා තාප්ප, බිත්ති සරසන්නේ එනිසා ය. තරගකාරී ජයග්‍රහණයක් මුදලින් වටිනාකම් ලැබීම යහපත් ය. ඊට විරෝධයක් නැත්තේ ය.
වාර්ගික සහ ආගමික බලහත්කාරයේ නරුම පීඩනය අත්විඳින රටක සහජීවන අපේක්ෂා දුරස් කිරීමේ වෑයමක් වැනි මෙවැනි ‘සෝබන’ සුදුසු නොවන්නේ යැයි කොළඹයා සිතන්නේ ය. ඇය ලාංකික සහජීවන යථාර්ථය අතික්‍රමණය කළ අයකු විනා දකුණේ අභිමානය යැයි ‘තවුසන්ඞ් ටෝක්’ දීම සුදුසු නො වන්නේ ය. ඇයට කලින් තවත් තිදෙනෙකු විසි ලක්ෂපතියන් ව සිටින්නෝ ය. එවක නොතිබූ ‘සෝබනයක්’ මෙවර ‘සිරස’ ලා ගෙන මේ නටන්නේ ‘අහිංසක නැටුමක්’ නොවේ යයි කොළඹයාට දැනෙන්නේ ය.
සැබැවින් ම ‘ෂුක්රා මුනව්වර්’ දැරිය ලැබූවේ එසේ මෙසේ ජයක් නොවේ ය. තමන් ඊට දස ලක්ෂ වාරයක් සුදුසු බව පෙන්වමින් ලැබූ ජයක් ය. ඇය ආ ගමන ආදර්ශවත් ය. එහෙත් ඇය පටන් ගත්තා පමණිකැයි කොළඹයා සිතන්නේ ය. ඇයත්, ඇගේ සමාජයත් ජය ලබන්නට නම් ඇය යන මාවතේ සෙමෙන් වුව ස්ථීර ලෙස ම යාමේ ඉඩ සකස් වී තිබිය යුතුය. ඒ වෙනුවෙන් ‘සිරස’ ලූ කටු ඔටුන්න බිමින් තබා තමන් විසින් කණිමින් ආ මාවත ඔස්සේ පියවර තබන්නට ඇය පරිස්සම් විය යුතු ය. කුරුසියක තබා ඇණ ගසා ඇය ‘කල්වාරි කන්ද’ දෙසට තල්ලූ කිරීම ‘අත සෝදා පාපයෙන් නිදහස් වීමට බලා සිටින පිලාත් තියරිය’ ම මිස අනෙකක් නොවන්නේ ය.
අවසාන වශයෙන් කොළඹයා මෙසේ කියන්නේ ය. ලක්ෂපති ලා නොව විසි ලක්ෂපති ලා බිහි කළත් මිනිසාගේ විමුක්ති මාර්ගය මාධ්‍යයන් තුළින් බිහි වෙතැයි නොසිතන ලෙස ය. මන්ද මාධ්‍ය යනු අධිකාරි බලැති ‘ප්රාග්ධනයේ’ නියෝජිතයා වන නිසා ය. එහි හැම විටම පූර්ව විනිශ්චයක් ඇත්තේ ය.
ඒ වගත් මෙසේ ම ය - කොළඹයා වෙමි ⋆